...එදා එල්ෆින්ස්‌ටන් එක පිරෙන්න මගේ රසිකයෝ හිටියා
ඉන්දිකා උපමාලි

සංගීතමය පවුල් පසුබිමක්‌ තුළ නොමැකෙන මතක සටහන් තබමින් කලා කේත්‍රයේ විසිවසරක්‌ පුරාවට ඈ ගමන් කළ මාවතේ හමු වූ ප්‍රවීණයන් බොහෝය. ඒ අතරින් විශාරද මාලනී බුලත්සිංහලයන්, ආචාර්ය කේමදාසයන් ඇගේ සංගීත දිවිය ආලෝකවත් කළේය.

"සඳපහන් රැයේ" ගීතය ගීතවත් වීමත් සමග මේ ආදරණීය හඬ හිමි ඉන්දිකා උපමාලි රසික හදවතේ ලැගුම් ගත්තේ ගායන අඹරේ පායා බැබලුණු තාරකාවක්‌ ලෙසිනි. මෙලෙසින් ඉන්දිකා පසුගිය දා තම සංගීත දිවියේ තවත් සංධිස්‌ථානයක්‌ පසු කළේ ආදරණීය රසික රසිකාවියන්ට සජීවී ප්‍රසංගයක්‌ සමගින් ප්‍රථම ගීත එකතුව තිළිණ කරමිනි.

ඔබේ සංගීත ජීවිතයේ පසුගිය දා ලද ඒ අපූර්වත්වය තුළින්ම කතා බහ ඇරඹුවොත්?
ඒ මොහොත ජීවිතේ ගැටීමකටත් වඩා එක්‌ සංධිස්‌ථානයක්‌ කියලා මම හිතනවා. පළමු වතාවටයි ඒක පුද්ගල ගී ප්‍රසංගයක්‌ සමගින් මගේ ප්‍රථම සංයුක්‌ත තැටිය එළිදැක්‌වූවේ. විසි වසරක්‌ පිරෙන සංගීත ජීවිතේ තුළ ලබපු අත්දැකීම්වල ප්‍රතිඵලයක්‌ තමයි එදා එළිදුටුවේ. මුළු එල්ෆින්ස්‌ටන් රංග ශාලාවම පිරෙන්න මගේ රසික රසිකාවියන් පැමිණ සිsටියා. එක ස්‌ථානයක එතරම් පිරිසක්‌ මට දැකගන්න ලැබීම ඇත්තටම වචනවලින් විස්‌තර කරන්න බැරි සතුටක්‌. ඒ වගේමයි විශාරද මාලනී බුලත්සිංහල, ආචාර්ය ප්‍රේමසිරි කේමදාස වැනි ප්‍රවීනයන්ගේ ප්‍රසංගවලට, ඔපෙරාවලට මට සම්බන්ධ වීමට අවස්‌ථාව උදාවූවා සේම, අද ගුරුවරියක්‌ හැටියට මගේ ගෝල බාලයන්ටත් මේ සජීවී ප්‍රසංගයේ අත්දැකීමක්‌ ලබාදෙන්න පුළුවන් වුණා. එයත් මෙහි තිබූ තව විශේෂත්වයක්‌. මේ හැම කටයුත්තක්‌ම සාර්ථක කරගන්න මගේ ස්‌වාමිපුරුෂයාගෙන් ලැබුණු සහය ගැනත් මතක්‌ නොකරම බැහැ.

මෙතරම් කාලයක්‌ ගත කළේ ඇයි ප්‍රථම ගීත එකතුව එළිදක්‌වන්න?
මේ කාලය පුරාවට කලාව කියන විෂය තුළ මගේ ජීවිතේ අඩුවක්‌ දැනිලා නැහැ. මොකද එදා ඉඳලම මම හැම කලා කටයුත්තකම නියෑලිsලා හිටියා. විවිධ අවස්‌ථාවල චිත්‍රපට, ටෙලිනාට්‍ය පසුබිම් ගායිකාවක්‌ ලෙසට සම්මානවලින් ඇගයීමට ලක්‌වුණා. ඒ වගේමයි සංගීත විෂය පැත්තෙන් ප්‍රථම පෙළ උපාධිධාරිනියක්‌, ආචාර්ය ප්‍රේමසිරි කේමදාස, විශාරද මාලනී බුලත්සිංහල වැනි ප්‍රවීනයන්ගේ ඇසුර මට ලබන්න පුළුවන් වුණා. මගේ ගුරුවරු සහ රසිකයෝ තමයි ගීත එකතුවක අවශ්‍යතාව මට මතුකළේ. ඒ නිසා විසි වසරක කාලය ගැන මට තෘප්තිමත්.

එය සජීවී ප්‍රසංගයක්‌ සමගින් එළිදක්‌වන්න හිතුවේ?
ඇත්තටම අද සජීවී ප්‍රසංගයක්‌ කියලා කියන හැම එකක්‌ම සජීවී නෙමෙයි. එය එසේ නොවිය යුක්‌තක්‌ කියලයි මම විශ්වාස කරන්නේ. මොකද රසිකයා ප්‍රේක්ෂ
කාගාරයට පැමිණෙන්නේ සජීවීව ඒ අත්දැකීම ලබන්න. ඒ තුළ ශබ්ධ පරිපාලනයේ වෙනස්‌වීම, ප්‍රේíකාගාරයේ උණුසුම් ප්‍රතිචාර ප්‍රකාශ කිරීම වැනි යම් යම් අස්‌ථාවර වීම් ඇති වෙන්න පුළුවන්. එයත් ප්‍රේක්ෂකයාගේ බලාපොරොත්තුවක්‌. ප්‍රාසාංගික කලාව පැත්තේ අත්දැකීම් රාශියක්‌ ඕනවටත් වඩා මා තුළ තියෙනවා. ඒ නිසයි නර්තනාංගයක්‌ වුණත් ඉදිරිපත් කිරීමේදී එක ගීතයකට පමණක්‌ සීමා කළේ. එක පැත්තකින් මගේ ගුරුවරු ඇතුළු හිතවත් පිරිස එක්‌ රැස්‌කර පැවැත්වූ මෙය ඔවුන්ට කළ උපහාරයක්‌.

මෙහි අඩංගු ගීතවල ඇති විවිධත්වය මොනවගේද?
විවිධ ආර ඔස්‌සේ ගමන් කරපු ගීත තිබෙනවා. ඒ වගේමයි විවිධ අත්දැකීම් මත පද රචනා වුණු ගීතත් විශේෂයි. සඳ දහවල, මේ රාත්‍රිය, මැජික්‌කාරිය, රසෝගය, රෑට සඳපාන, මෙන්ම රබන් පදවලින් ලියෑවුණු ගීතයක්‌ ද ඇතුළුව ගීත දහසයක්‌ මෙහි අන්තර්ගතයි.

අද කාලෙට මෙම ගීත ගැලපේවිද?
අද කාලෙට ගැලපෙන ගීතත් තියෙනවා. අපි යමක්‌ එළිදක්‌වනවා නම් එහි පවතින වෙළෙඳ පොළ ගැනත් සිතිය යුතුමයි. නැත්නම් අපි වෙළඳ පොළ හමුවේ හුදකලා වෙනවා. ඒ වගේමයි මගේ ගීත වලට ප්‍රියකරන විවිධ වයස්‌ කාණ්‌ඩයේ ප්‍රේක්ෂකයන් සිටිනවා. ඒ සියල්ලන්ටම උචිත වන පරිදි තමයි සඳ පහන් රැයේ ගීත එකතුව එළිදැක්‌වූවේ.

ඒ කියන්නේ වත්මන් පරපුර මෙයට ප්‍රියකරාවි කියලද?
ඔව්, අනිවාර්යෙන්ම, එදා පැමිණ සිටිය පිරිස අතරින් වැඩිම පිරිසක්‌ හිsටියේ තරුණ පරපුර. ඒ වගේමයි සියලුම සංයුක්‌ත තැටිත් විකිණී තිබුණා. මේ සියල්ල දිහා බැලුවහම හොඳ ප්‍රතිචාරයක්‌ ඉදිරියේදිත් ලැබේවි කියලා විශ්වාසයි.

මොනවද ඒ අලුත් නිර්මාණ?
ප්‍රවීන කලා අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ පද බැඳීමකින් යුත් එදා මා ගායනා කළ "කුවේණී" ගීතය ඇතුළත් "කුවේණී" ඔපෙරාව වේදිකාගත කිරීම තමයි මගේ ඊළඟ අරමුණ. ඒ අතර තුර මගේ දෙවැනි ගීත එකතුවටත් සූදානම් වෙනවා.

මේ ගීත එකතුව "සඳපහන් රැයේ" නමින් නම් කරන්න හේතුව?
ගායිකාවක්‌ ලෙසට ප්‍රථම වතාව මම ප්‍රේක්ෂකයා අතරට ගිය ගීතය තමයි සඳපහන් රැයේ. බොහෝ දෙනාගේ මතය වුණා මේ ගීතය වෙනස්‌ම ආරක්‌ ගත්ත ගීතයක්‌ කියලා. ඒ වගේමයි හොඳම ගායිකාව ලෙසට "සිග්නීස්‌" සම්මානයෙන්ද පිදුම් ලබන්න පුළුවන් වුණා. ඒ නිසා ගීතයට කරන උපහාරයක්‌ කියලා හිතාගෙනයි ගීත එකතුවට සඳපහන් රැයේ කියලා නම් කළේ.

ගීතයක්‌ රූප රචනාවක්‌ මතින් ජනප්‍රියවන යුගයක ඔබේ ගීත එකතුව ඊට මුහුණ දෙන්නේ කෙසේද?
ඉස්‌සර නම් මනෝහාරි වැනි ප්‍රසංග ඔස්‌සේ ඔවුන් විසින්ම රූප රචනා ඉදිරිපත් කරමින් ගායක ගායිකාවන්ගේ ගීත විකාශය කළා. නමුත් අද සිදුවන්නේ ගායකයා විසින්ම රූප රචනා කරලා තමන්ගේ ගීතය ජනප්‍රිය කරගැනීමයි. මේ රටාවෙන් ඈත්වෙන්න ගායිකාවක්‌ ලෙසට මටත් අපහසුයි. නමුත් කවදාහරි මගේ ගීතයකට රූප රචනාවක්‌ කරනවනම් පද රචකයාගේ අදහසටත්, සංගීත වේදියාගේ අදහසට අනුව තමයි මම එය නිර්මාණය කරන්නේ. ඒ තුළින් මම බලාපොරොත්තු වෙන්නේ ගීතයේ අර්ථයට හානියක්‌ නොවී සාර්ථක රූප රචනාවක්‌ ගොඩ නගන්න හැකියාවක්‌ ලැබේවි. දැනට ගීත දෙකකට එලෙසින් රූප රචනා කරලා තියෙනවා.

කොපමණ ගීත ගැයුවත් එළිමහන් ප්‍රසංග වේදිකාවේ ඔබේ හඬ නිහඬයි?
ප්‍රතිපත්තියක්‌ හැටියට මම එළිමහන් ප්‍රසංග වලට සහභාගි වෙන්නේ නැහැ. මොකද මම හිතනවා වෘත්තිමය ගුරුවරියක්‌ මගේම ස්‌ථාවර හඬක්‌ ගොඩනගාගත්ත ගායිකාවක්‌ හැටියට ඒ හඬට හානියක්‌ නොකර ගත යුතුයි කියලා.

ගායිකාවකගෙන් මිදුන තැන ඔබේ සාමාන්‍ය ජීවිතය ගෙවී යන්නේ?
සංගීතයෙන් මිදුන මොහොතක්‌ නම් මගේ ජීවිතේ නැති තරම්. ගෙදර දොර වැඩකදි වුණත් හැම මොහොතකම අඩුම තරමින් ගීතයක්‌ හරි මුමුණමින් තමයි වැඩ කරන්නේ. ඒ වගේමයි මේ තරම් සරල ජීවිතයක්‌ ගත කරන්න මගේ මහත්තයගෙන් ලැබෙන රුකුල අතිමහත්.


ලක්‌මිණී අතුකෝරල
ඡායා- සුජාතා ජයරත්න
 

 
Powered By -