මගේ ජීවිතය ආදරයෙන් හිස්‌වෙලා නැහැ...
රමණි සිරිවර්ධන

කාලෙකට පස්‌සෙ අපිට රමණිගෙ සොඳුරු රංගනය හමුවෙලා... පාට පාට සමනල පියාපතක්‌ වගේ මෘදු, සුන්දර, සැහැල්ලු රංගන විලාශයයි ඇගේ අනන්‍යතාවය. චරිතයක සොබාවය කුමක්‌ වුවත් එයින් සොඳුරු බව පලා යන්නට නොදී රංගන කාර්යයේ යෙදෙන රමණි, මේ දවස්‌වල අයිරා නිසා අපේ කතාබහ රිදී තාරකාවි" පාමුලින්ම පටන් ගත්තා.

"දීර්ඝ ටෙලි නාට්‍යයකට මම මුලින් සම්බන්ධ වුණේ "රෝස කටු" තුළින්. ඊට පස්‌සෙ තමයි මට රිදී තාරකාවි වෙත ඇරයුම් ලැබුණෙ. දීර්ඝ ටෙලිනාට්‍යයක්‌ වුණත් අපට පහසු විදිහට අපිට දින ලැබුණා... මේ වෙද්දි එහි රූගත කිරීම් අවසන් කරලයි තියෙන්නෙ. රෝමියෝ මං කියන ටෙලිනාට්‍යයේ වැඩකටයුතු වෙනුවෙනුයි මේ දවස්‌ වෙන් කරගෙන ඉන්නේ..."

රමණි සිරිවර්ධන කියන්නෙ අපට සිටින අත්දැකීම් බහුල ශිල්පිණියක්‌. ඔබ චරිතයක්‌ භාරගනිද්aදි සෑම විටම එය ප්‍රධාන චරිතයක්‌ විය යුතුයි කියන මතයේ සිටිමින් ද චරිත බාරගන්නෙ.

"නැහැ... නැහැ... මට අවශ්‍ය වන්නේ චරිතයේ අපූර්වත්වයයි. මගේ රංගන දිවිය පුරාම මට ලැබෙන්නෙ නාගරික, බටහිර පන්නයට හැඩගැසුණු ගැහැනියගේ චරිත. සමහරවිට එය මගේ පෙනුම හා කටහඬ නිසා තීරණය වෙන්නැති. නමුත් මම විවිධාකාර චරිත ඔස්‌සේ රංගන හැකියාව උරගා බලන්න කැමැති කෙනෙක්‌..."

ඔබේ රංගන දිවියේ අතීතය බොහෝම සුන්දර වූවක්‌. එදා මෙදාතුර මතකයන් යා කළොත්...

"චාරුලතා" ටෙලිනාට්‍යයෙන් මට විශාල ජනප්‍රියත්වයක්‌ ලැබුණා. ඇත්තටම මම නිර්මාණ බොහෝ සංඛ්‍යාවකට දායක වූ කෙනෙක්‌ නෙවෙයි. නමුත් මම කළ චරිත ප්‍රමාණය අදටත් මිනිසුන් අතර මා ජීවත් කරවනවා. කාලයක්‌ මම මගේ ව්‍යාපාර කටයුතු, දියණියගේ අධ්‍යාපනය හා අනෙකුත් පෞද්ගලික වැඩකටයුතු නිසා රඟපාන්න වෙලාවක්‌ හොයාගන්න බැරි නිසා නිහඬව ගතකළා ඒත් නැවතත් මම රඟපාද්දි එදා ප්‍රේක්‍ෂකයන් මා වෙත දැක්‌වූ ආදරය කැමැත්ත එපරිදිම රැඳී තිබුණ බව මට දැනෙනවා. ශිල්පිණියක්‌ විදිහට මට මෙය විශාල සතුටක්‌..."

ඇයි මේ තරම් ප්‍රසාදයක්‌ තියෙද්දිත් රමණි රංගනය වෘත්තියක්‌ විදිහට තෝරාගෙන ඒ වෙනුවෙන් මුළු කාලයම වෙන් නොකරන්නෙ.

"ඇත්තටම රඟපෑම වෘත්තියක්‌ විදිහට කරගෙන යන්න මම කැමැතියි. නමුත් මගේ ජීවිතයේ අනෙකුත් දේවල් එක්‌ක ඒ සඳහා වැඩි කාලයක්‌ මට යොදවන්න අපහසු වෙලා තියෙනවා. මගේ ගෙදර කටයුතු සමාජසේවා වැඩකටයුතුවලට මට ලොකු කාලයක්‌ වෙන් කරන්න සිද්ධවෙලා තියෙනවා. මම පුංචි දවස්‌වල ඉඳන් ආගම දහමට වැඩිපුර නැඹුරු කෙනෙක්‌. ඒ නිසා මට මගේ ආගමික අංශයේ වැඩකටයුතු වෙනුවෙන් කාලයක්‌ අවශ්‍යයි..."

රමණි නිළියක්‌ පමණක්‌ නොවෙයි, ටෙලිනාට්‍ය නිෂ්පාදිකාවක්‌. "ෂර්ලොක්‌ හෝම්ස්‌" වැනි අභියෝගාත්මක ටෙලිනාට්‍යයට පවා රමණි අතගැහුවෙ බොහෝම සැහැල්ලුවෙන්. ඉදිරි කාලයේදීත් එවන් අපූර්ව නිර්මාණ කිරීමේ අදහසක්‌ තියෙනවද..."

"ඇත්තටම ෂර්ලොක්‌ හෝම්ස්‌ කියන්නෙ විශාල වියදමක්‌ හා වෙහෙසක්‌ දරා කළ ටෙලිනාට්‍යයක්‌. ඒ අභියෝගය මා ඇතුළු මගේ නිෂ්පාදන කණ්‌ඩායම සාර්ථකව ජයගත්ත. ඉදිරියේදී එහි ඉතිරි කොටස්‌ ටිකත් කරන්න මම තීරණය කරලයි ඉන්නෙ. මෑතක මම ළමා ටෙලිනාට්‍යයක්‌ නිෂ්පාදනය කරන්න සූදානම් වෙනව. එහි චරිතයක්‌ රඟපාන්නත් මගේ අදහසක්‌ තියෙනව. මොකද මම ටෙලිනාට්‍යයක්‌ නිෂ්පාදනය කරත්දි එහි රඟපාන්නෙ නැහැ. ඒත් මෙය ළමා නිර්මාණයක්‌ නිසා මම එහි චරිතයක්‌ රඟපානවා."

රමණි තවමත් යොවුන් වියේ රැඳී සිටියාට ඇය තරම්ම උස්‌ මහත් වූ දියණියකගේ මවක්‌. දියණියක හදා වඩාගෙන ජීවිතය ජීවත් කළ ඇගේ දිවියේ මේ දවස්‌.

"දැන් දුව ලොකුයි. 2010 දුව උසස්‌ පෙළ විභාගයට පෙනී ඉන්නව. ඊට පස්‌සෙ එයා එයාගෙ තාත්ත ඉන්න රටට ගිහින් වැඩිදුර අධ්‍යාපනය ලබන්නයි සැලසුම් කරල ඉන්නෙ. දුව යන්නෙ ජර්මනියට..."

රමණි කියන්නෙ ජනප්‍රිය කාන්තාවක්‌. ජනප්‍රිය චරිතවල පෞද්ගලික ජීවිත ලෝකයට රහසක්‌ නොවෙයි. රමණි කියන සුන්දර නිළිය දියණියත් හදා වඩාගෙන ජීවිතයේ වැඩි කාලයක්‌ සැමියකුගේ ඇල්ම බැල්මෙන් හිස්‌වූ ජීවිතයක්‌ ගත කළ කෙනෙක්‌. ඇත්තටම මේ ආදරණීය හිස්‌තැන දෙස අදත් රමණි බලන්නෙ පසුතැවීමෙන් නෙවෙයි උපේක්‍ෂාවෙන්.

"මගේ ජීවිතය ආදරයෙන් හිස්‌වෙලා නැහැ. කෙනෙක්‌ මට ආදරය කරද්aදි මම උපරිමයෙන් ආදරය ලබනවා හා මගේ ආදරය ඔහුට ලබාදෙනව. ඒ ආදරය අවසන් වූ දවසකට එතැන ඉතිරි වෙන්නෙ ගැහැණියකගේ හෝ මිනිසකුගේ බැඳීමක්‌ විතරයි. අවසන් වූ ආදරයක්‌ ගැන තැවීමෙන්වත් වෛර කිරීමෙන්වත් පලක්‌ නැහැ. ආගම දහම අවබෝධ කරගත් කෙනෙක්‌ විදිහට මම එවන් සබඳතාවක යථාර්ථය හොඳින් තේරුම් අරන් ඒ දෙස බලන කෙනෙක්‌. ජීවිතයට ප්‍රශ්න එන්නෙ හැමදාම ළඟ තියාගෙන විඳව විඳව ඉන්න නෙවෙයි. ප්‍රශ්නයකට විසඳුමක්‌ නැතිනම් ඒකට ආගම දහමට අනුව උත්තරයක්‌ අනිවාර්යෙන්ම තියෙනව."

කාලය ඊයක වේගයෙන් අප පසු කරගෙන ගියත් තරුණ රූසිරි තවමත් ඇය ළඟ නතර වෙලා. මේ අරුමය කුමක්‌දැයි අප විමසුවා.

මම කිසි දෙයක අන්තයට යන කෙනෙක්‌ නෙවෙයි. දුක හෝ සතුට වෙනුවෙන් මගේ ප්‍රතිපත්තිය එයයි. බාහිර රූපලාවන්‍ය සත්කාරවලටත් වඩා අපේ ජීවන පැවැත්ම තමයි මෙයට බලපාන්නෙ. මගේ ජීවිත ප්‍රතිපත්තිය නිසා කියලයි මම හිතන්නෙ..."

"රිදී තාරකාවි" හි අයිරා අද ජනතාවට ළඟ චරිතයක්‌. අයිරාගේ විලාසිතාව... වගේ චරිතයක්‌" රමණිට සමානද?.

"මම ලස්‌සනට අඳින්න කැමැතියි. සාමාන්‍යයෙන් ළඟ පාතකට ගියත් ලස්‌සනට හැඳපැළඳගෙනයි මම එළියට යන්නෙ. අයිරගෙ චරිතය ගත්තොත් ඇගේ ඇඳුම් විලාසිතා නම් මගේ සැබෑ ජීවිතයට සමානයි. ඒත් චරිත සොබාවය නම් අයිරයි මමයි සමාන නැහැ..."


ධම්මිකා සුරංජි පතිරණ
ඡායා - සමන් අබේසිරිවර්ධන
 

 
Powered By -