ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්‌ වෙත ස්‌ලිම් ජනතා සම්මාන

ශ්‍රී ලංකා රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ කෝටි තුන්සියයක්‌ වැනි අති විශාල ප්‍රසාද දීමනාවක්‌ ජීවිත රක්‍ෂණ ඔප්පු හිමියන් වෙත ලබාදෙමින් රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ දැවැන්තයා බවට පත්වීමට ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්‌ථාව සමත් වී ඇත. එදා රක්‍ෂණ ආයතනයක්‌ව පැවැති කාලයේ මෙන්ම අද රාජ්‍ය ආයතනයක්‌ ලෙස ද රටේ සංවර්ධන කාර්යයට මහඟු සේවයක්‌ සිදු කරන ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්‌ථාව මෙවර ස්‌ලිම් ජනතා සම්මානයෙන් ද පිදුම් ලැබීය. ඔවුන්ට හිමි වූ ජනතා සම්මානය පිළිබඳව එහි කළමනාකාර අධ්‍යක්‍ෂ නාලක ගොඩහේව මහතා සමග කළ සාකච්ඡාවකි මේ.

ප්‍රශ්නය (- ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්‌ මෙවර ස්‌ලිම් ජනතා සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියතම රක්‍ෂණ සමාගම ලෙස සම්මාන ලැබුවා. මීට තුඩු දුන් හේතු මොනවාද?

පිළිතුරු (- ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්‌ථාව සෑම විටම තම පාරිභෝගික ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට නිරන්තර උත්සාහයක යෙදී සිටී. එම උත්සාහය සාර්ථක වූ බව පසුගියදා ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය සහ නීල්සන් සමාගම පැවැත්වූ මහජන මත විමසීමේදී තහවුරු වුණා. එමෙන්ම මෙම විශ්වාසය ගොඩනැගී ඇත්තේ, ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්‌ථාව තම පාරිභෝගික ජනතාව වෙත ලබා දුන් පොරොන්දු අභිභවා යමින් අති විශිෂ්ට සේවාවක්‌ සැපයීමට හැකිවීම නිසයි.

එමෙන්ම තරගකාරී රක්‍ෂණ ආයතන අභිබවා ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්‌ථාව වර්ධනය කරගෙන ඇති රුපියල් බිලියන 43 ක අති විශාල ජීවිත රක්‍ෂණ අරමුදලත් ඒ තුළින් රක්‍ෂිත ජනතාවට හිමිවන අද්විතීය ප්‍රතිලාභත් ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්‌ථාව නැවත රජයට එකතු වීම මගින් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබන රක්‍ෂණ ආයතනයක්‌ ලෙස ලැබූ ස්‌ථාවරත්වයත් රක්‍ෂණ ඉතිහාසය තුළ ප්‍රථම වරට ජීවිත රක්‍ෂිතයන් වෙනුවෙන් ගෙවන ලද විශාලතම අන්තර් ප්‍රසාද දීමනාව වෙනුවෙන් රු. කෝටි 300 ක්‌ වෙන් කිරීම තුළ ගොඩනැගුනු ජනතා ප්‍රසාදයත් මෙම ජනතා සම්මානය ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්‌ථාව සතු වීමට හේතු වන්නට ඇතැයි අප විශ්වාස කරනවා.

ප්‍රශ්නය (- තම ව්‍යාපාර කටයුතු වලට අමතරව ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්‌ සම්බන්ධ වන ප්‍රජා සත්කාරක කටයුතු මොනවාද?

පිළිතුරු (-රැකවරණය සහ සත්කාරය යන මූලික තේමාව පදනම් කරගෙන ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්‌ථාව ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන්නේ. එනම් අපගේ මූලික පරමාර්ථය වන්නේ සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුටම රැකවරණය සැලසීමයි. එමෙන්ම රටක සංවර්ධන ක්‍රියාවලිය තුළ අධ්‍යාපන සංවර්ධනයද සුවිශේෂී වූ ස්‌ථානයක්‌ ගන්නා හෙයින්, කුසලතා පිරිපුන් දැනුම ආකල්ප සහිත දරු පරපුරක්‌ අනාගත සමාජයට දායාද කිරීම සඳහා දිවයින පුරා ගම් නියම්ගම් සිසාරා පාසල් සංවර්ධනය කිරීමේ අරමුණින් පාසල් පිරියත සුරකිමු තේමාව කරගත් දැවැන්ත ප්‍රජා සත්කාරක සේවාව වඩාත් වේගවත් කිරීමට තීරණය කරනු ලැබුවා.

ප්‍රශ්නය (- මෙම පාසල් පිරියත සුරකිමු ක්‍රියාදාමයේ අරමුණ විස්‌තර කළහොත්,

පිළිතුරු (- ආර්ථික සංවර්ධනයට වඩාත් කැමැත්තක්‌ දක්‌වන මෙන්ම දායකත්වයක්‌ ද දක්‌වන ප්‍රමුඛ පෙළේ රාජ්‍ය මූල්‍ය ආයතනයක්‌ වන ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්‌ථාව ආත්ම අභිමානයෙන් යුතු දරු පරපුරක්‌ සමාජයට දායාද කිරීම මෙම පාසල් පිරියත සුරකිමු අධ්‍යාපන ව්‍යපෘතියේ මූලික අරමුණයි. සෑම දරුවෙකුටම හොඳ අධ්‍යාපනයක්‌ ලබාදීම සෑම දෙමව්පයෙකුගේම අරමුන හෙයින් එය සාක්‌ෂාත් කර ගැනීම සඳහා වත්මන් රජයට සහයෝගය ලබාදීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය හා ඒකාබද්ධව මෙම අධ්‍යාපනික ව්‍යාපෘතිය දියත් කිරීමට අදහස්‌ කළා. එමෙන්ම ජාතික මට්‌ටමේ පාසල්වලට පමණක්‌ සීමාවී තිබුණු පහසුකම් අති දුෂ්කර ප්‍රදේශවල පාසල් වලටද ලබාදීම අපගේ අරමුණයි. රටක අනාගතය සහ රටක සංවර්ධනය එරටෙහි අධ්‍යාපන සංවර්ධනය මත ර¹ පවතින්නක්‌ හෙයින් රටේ සෑම දරුවෙකුම සතු ශිල්ප හැදෑරීමේ අයිතිය සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් දිවයින පුරා පාසල් සඳහා ව්‍යාප්ත නිහඬ ප්‍රජා සත්කාරක සේවාවකි ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්‌ථාවේ පාසල් පිරියත සුරකිමු ව්‍යාපෘතිය.

ප්‍රශ්නය (- මෙම "පාසල් පිරියත සුරකිමු" ව්‍යාපෘතිය තුළින් පාසල්වල ක්‍රියාත්මක කරන ක්‍රියාවලිය විග්‍රහ කළහොත්,

පිළිතුර (- දරුවා ඉගෙනුම ලබන පාසල සුන්දර ස්‌ථානයක්‌ කර විද්‍යාලය වටපිටාව හා පරිසරය නෙත් ඇද ගන්නා තත්ත්වයකට පත්කර දරුවාගේ මානසිකත්වය පාසල තුළදී උසස්‌ තත්ත්වයකට ගෙන ඒමට කටයුතු කරමින් දරුවාගේ අධ්‍යාපනයට රුකුලක්‌ ලබා දීමට මෙම ව්‍යාපෘතියෙන් වැඩපිළිවෙළක්‌ යොදනවා. මේ සඳහා ගොඩනැඟිලිවල තින්ත අලේප කිරීම සඳහා අවශ්‍ය කරන රසායනික තීන්ත වර්ග සංස්‌ථාව මගින් සපයා දෙනවා. මෙම තීන්ත ආලේප කිරීම සංස්‌ථාව මගින් පාසල තුළ පිහිටුවා ගන්නා ලද පාසල් පිරියත සුරකිමු කමිටුව මගින් සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා. පාසල් ඉතිහාසයේ පළමු වතාවට පාසල දියුණු කිරීමට පිහිටුවනු ලද මෙම "පාසල් පිරියත සුරකිමු" කමිටුව සමග සාකච්ඡා කර පාසලේ අභිවෘද්ධිය සඳහා කටයුතු යොදනවා. එමෙන්ම පාසලට අවශ්‍ය කරන පාසල් නාම පුවරුව ශ්‍රී ලංකා රක්‍ෂණ සංසථාව මගින් සකස්‌කර දෙනවා. පාසලේ සිසුන් දෙමව්පියන් ගුරුවරුන් හා විදුහල්පතිතුමා ඒකාබද්ධ කර රැස්‌වීම් පවත්වා පාසලේ සංවර්ධන ක්‍රියාවලිය නගා සිටුවීමට මෙම ව්‍යාපෘතිය යටතේ සංස්‌ථාව කටයුතු කරනවා. එමෙන්ම සිසු දරු දැරියන්ගේ ඩෙස්‌ බංකු වර්ණාලේප කිරීම සඳහා අවශ්‍ය කරන තීන්ත හා අනිකුත් සම්පත් සංස්‌ථාව මගින් ලබා දෙන අතර දෙමව්පියන්ගේ පාසල් පිරියත සුරකිමු කමිටුව තුළින් එකමුතුව පාසල පිලිසකර කිරීම කරනු ලබනවා. එම් තීන්ත ගෑම සිදුකරන අතර "පාසල් පිරියත සුරකිමු" සංවිධානය යටතේ පාසල නවීකරණය කිරීමෙන් පසුවද වරින්වර කමිටුව හරහා පාසල ගැන සොයා බලනවා.

ප්‍රශ්නය (- "පාසල් පිරියත සුරකිමු" වැඩ සටහන යටතේ පාසල දියණු කිරීම සඳහා පාසල් තෝරා ගන්නේ කෙසේද?

පිළිතුර (- මෙම ව්‍යපෘතිය සඳහා අති දුෂ්කර ප්‍රදේශවල පාසල් තෝරා ගැනීමට ප්‍රමුඛ ස්‌ථානයක්‌ දෙන අතර එම පාසල් තෝරා ගැනීමට දිස්‌ත්‍රික්‌කයේ අධ්‍යාපන අධ්‍යක්‍ෂ සහ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්ගේ සහාය ලබා ගන්නවා. දිවයින පුරා ව්‍යාප්තව සිටින 8000 පමණ වන අපගේ අලෙවි කරුවන්ද මෙම සඳහා අවශ්‍ය මූලික තොරතුරු ලබා දෙනවා. ග්‍රාමීය දුෂ්කර පහසුකම් අඩු පාසල් මෙම ව්‍යාපෘතිය සඳහා යොදා ගන්නා අතරම වැසීමට යෝජිත පාසල් කෙරේද විශේෂ සැලකිල්ලක්‌ දක්‌වනවා. උදාහරණයක්‌ වශයෙන් මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ ආදි වාසී ගම්මානයක්‌ වන රතුගල වැදි දරුවන්ගේ පාසල තෝරා ගත්තා. එමෙන්ම මහනුවර දිස්‌ත්‍රික්‌කයේ දුෂ්කර පාසල් ගණනාවක්‌ තෝරා ගත්තා. ගම්පහ සහ කළුතර දිස්‌ත්‍රික්‌කයේ දුෂ්කර පාසල් ගණනාවක්‌ මෙම "පාසල් පිරියත සුරකිමු" ව්‍යාපෘතිය යටතේ සංවර්ධනයට තෝරා ගත්තා.

ප්‍රශ්නය (- දැනට දිවයින පුරා මෙම ව්‍යාපෘතිය යටතේ පාසල් කොපමණ ප්‍රමාණයක්‌ සංවර්ධනය කර තිබෙනවාද?

පිළිතුර (- "පාසල් පිරියත සුරකිමු" ව්‍යාපෘතිය දැනට පාසල් 3000 ක්‌ පමණ දිවයින පුරා අති දුෂ්කර ගම් නියම් ගම්වල නවීකරණය කර ඇති බව ප්‍රකාශ කිරීමට ලැබීම සංස්‌ථාවට මහත් සතුටකි. සමහර අති දුෂ්කර ප්‍රදේශවල වැසී යැමට යෝජිතව තිබූ පාසල් ද මෙම "පාසල් පිරියත සුරකිමු" ව්‍යාපෘතිය යටතේ නැවත නවීකරණය කර පුබුදාලීම තුළින් අද එම ප්‍රදේශවල දරුවන් අධ්‍යාපන කටයුතු සතුටින් හදාරමින් සිටිනවා. පාසල නවීකරණය කිරීමෙන් පසුව අධ්‍යාපන හදාරන සිසු දරු දැරියෝ මොනතරම් සතුටින් සුන්දර පරිසරයක අධ්‍යාපනය හදාරනවාද කිවහොත් පාසල අත්හැර වෙනත් උසස්‌ පාසලකට පවා යැමට අකමැත්තක්‌ දක්‌වන බවද විදුහල්පතිවරු අප සමග පැවැසූවා. 2010 පෙබරවාරි මාසය තුළ පාසල් 50 ක්‌ මෙම ව්‍යාපෘතිය යටතේ නවීකරණය කර ඇති අතර මාර්තු මාසයේදී පාසල් 50 නවීකරණය කිරීම ආම්භකර තිබෙනවා. අප්‍රේල් මාසය තුළ පාසල් 50 ක්‌ නවීකරණය කිරීමට යෝජිතව ඇති අතර පළමු මාස තුනට පාසල් 150 ක්‌ මෙම "පාසල් පිරියත සුරකිමු" යටතේ නවීකරණය කෙරෙනවා. ඉදිරි කාලය තුළ දිවයිනේ සියලුම දිස්‌ත්‍රික්‌කවල පාසල් නවීකරණය කර අවසන් කිරීමට බලාපොරාත්තු වෙනවා.

ප්‍රශ්නය (- ගම්පහ සහ මහනුවර දිස්‌ත්‍රික්‌කවල දුෂ්කර පාසල්වලට මෙම "පාසල් පිරියත සුරකිමු" ව්‍යාපෘතිය යටතේ විශාල සේවාවක්‌ සිදුවන බව ප්‍රදේශවල මහජනතාව ගුරුවරු පවසනවා. ඊට විශේෂ වූ හේතුවක්‌ තිබෙනවාද?

පිළිතුර (- "පාසල් පිරියත සුරකිමු" ව්‍යාපෘතිය පළාතෙන් පළාතට ගමන් කරද්දී මාර්තු අප්‍රේල් මාසවල අවධානය යොමුව තිබෙන්නේ ගම්පහ සහ මහනුවර යන දිස්‌ත්‍රික්‌ක වලටයි. මෙම දිස්‌ත්‍රික්‌කවල රජයේ නිලධාරීන්ගෙන් හා රාජ්‍ය නියෝජිතයන්ගෙන් ඉල්ලීම් රාශියක්‌ අප වෙත යොමු කර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය සිදුකරගෙන යැමේදී ඔවුන් ව්‍යාපෘතියේ වැඩකටයුතු අධීක්‍ෂණය කරන අතරම මෙම කාර්යය සාර්ථක කර ගැනීමට අවශ්‍ය සහයෝගය ලබාදීමට නිරන්තරවම කටයුතු කරනු ඇත.

ප්‍රශ්නය (- මෙම ව්‍යාපෘතියට මහජන ප්‍රතිචාර කොතෙක්‌ද? සාර්ථකභාවය කෙසේද?

පිළිතුර - ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්‌ථාව මගින් සිදු කරන මෙම දැවැන්ත ප්‍රජා සත්කාරක සේවාව සඳහා ඉතා උසස්‌ තත්ත්වයේ මහජන ප්‍රතිචාරයක්‌ ලැබී තිබෙන අතරම ඉතාම සාර්ථක ජාතික මෙහෙවරක්‌ බව ප්‍රකාශ කිරීමට සතුටුයි. අපට ලැබෙන ප්‍රතිචාර අනුව මෙම "පාසල් පිරියත සුරකිමු" ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ පාසල්වල අධ්‍යාපන ප්‍රථිඵලවල පැහැදිලි වර්ධනයක්‌ වාර්තා වෙනවා. ළමයාට අධ්‍යාපනය ලැබීමට හොඳ මානසිකත්වයක්‌ පරිසරය තුළින් ලබා දීම එයට හේතුවක්‌ වෙනවා.

සාකච්ඡා කළේ තරංග රත්නවීර
 

 
Powered By -