විශිෂ්ට සේවාව සංකේතවත් කරන්න අපි නිල ඇඳුම වෙනස්‌ කළා
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි මනෝඡ් ගුණවර්ධන

ශ්‍රී ලංකන් ගුවන් සේවය පසුගිය කාලය පුරාම දිනෙන් දින වර්ධනීය වෙනසක්‌ ඇති කරන්නට සමත්වූ බ නොකිවමනාය. ඒ විශිෂ්ටත්වය වඩ වඩාත් සංකේතවත් කරන්නට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිල ඇඳුමටද වඩාත් දේශීය පෙනුමක්‌ ලබාදෙන්නට එම සමාගම කටයුතු යෙදීය. මේ එකී "වෙනස" පිළිබඳව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි මනෝඡ් ගුණවර්ධන මහතා සමග කළ සාකච්ඡාවකි.

ප්‍රශ්නය (- ශ්‍රී ලංකන් ගුවන් සමාගම සිය නිල ඇඳුම වෙනස්‌ කිරීමට තීරණය කළේ ඇයි?

පිළිතුර (- ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිල ඇඳුම වෙනස්‌ කිරීමට අපේ ගුවන් සේවයේ යම් වෙනසක්‌ පෙන්වීමේ සංකේතයක්‌ පමණයි. මේක අපේ සේවාවන් ප්‍රමිතියෙන් උසස්‌ කිරීමේ වැඩසටහනේ එක කොටසක්‌ පමණයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිල ඇඳුමට අවුරුදු 30 පමණ ඉතිහාසයක්‌ තියෙනවා. එහි අගයක්‌ නොමැති බව මම කියන්නේ නැහැ. නිල ඇඳුම වෙනුවෙන් යොදාගෙන තිබුණු සමහර අංග යාවත්කාලීන කරන අදහසකින් තමයි සියලුම සේවාවන්ගේ නිල ඇඳුම් වෙනස්‌ කළේ. මෙහිදී වෙනසකට ලක්‌ වෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිල ඇඳුම පමණක්‌ නොවෙයි. අපේ ගුවන් සේවයේ සමහර නිල ඇඳුම් මීට දශක දෙකකට පමණ ඉහතදී ගැලපෙන ඒවා තමයි තිබුණේ. අපේ පිරිමි ගුවන් සේවකයන්ගේ නිල ඇඳුම වූයේ රතුපාට කබායක්‌ සහ කළු කලිසමක්‌ පමණයි. ඒක මීට දශක දෙකකට පමණ ඉහත නිර්මාණය කළ දෙයක්‌. ඒ පිළිබඳ එය අඳින අයගෙත් එතරම් පැහැදීමක්‌ තිබුණේ නෑ. අන්න ඒ වෙනස සංකේතවත් කිරීමට තමයි මේ නිල ඇඳුම් වෙනස්‌ කිරීමට තීරණය කළේ.

ප්‍රශ්නය (- පසුගිය දිනවල ශ්‍රී ලංකන් ගුවන් සේවය ගැන කතා කළේ පාඩු ලබන ආයතනයක්‌ ලෙසයි. ආයතනයේ නිල ඇඳුම වෙනස්‌ කිරීමෙන් පමණක්‌ ගුවන් සේවය නවීකරණය කරන්න පුළුවන් කියා ඔබ සිතනවද?

පිළිතුර (- ඉහත සඳහන් කළ ආකාරයට නිල ඇඳුම මාරු කළ පමණටම අපේ සේවා තත්ත්වයන් උසස්‌ වෙන්නේ නෑ. ඒ සඳහා වෙනමම ප්‍රමිතීන් එකක්‌ නොවෙයි කිහිපයක්‌ම සෑම අංශයෙන්ම යොදවා තියෙනවා. ආහාරපාන අංශය, විනෝදාත්මක අංශය, සේවා අංශය, අපේ සේවා අංශය බොහෝ වෙනස්‌ ක්‍රමවේදයන් ඇති කර ඇගයීමේ ක්‍රමවේදයක්‌ ඇති කර තිබෙනවා. සෑම ගුවන් සේවකයෙක්‌ම වසරකට තුන්වරක්‌ ඇගයීමට ලක්‌ කරනවා. ඒ වගේ ඇගයීම් ඇති කර ඒ අය දිරිමත් කිරීමට වෙනමම ක්‍රමවේද ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ ආකාරයට සේවා තත්ත්වය උසස්‌ කිරීමට අපි සෑම විටම කටයුතු කරනවා. නිල ඇඳුම වෙනස්‌ කිරීම එහි එක්‌ කොටසක්‌ පමණයි. ඇත්තටම මේ නිල ඇඳුම සඳහා කිසිදු වියදමක්‌ ගියේ නෑ. හේතුව සෑම වසරකම අලුත් නිල ඇඳුම් කට්‌ටලයක්‌ ලබාදෙනවා. අද

පෙබරවාරි 16 වැනිදා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිල ඇඳුම් මාරු කරන දවසයි. ඉතිං මේකම තමයි නවීකරණය කර මේ වසරේ ලබා දුන්නේ.

ප්‍රශ්නය (- කොහොමද ඒ නවීකරණය කළේ?

පිළිතුර(- මේක අවුරුදු තුනකටත් ඉහතදී ආරම්භ කළ ක්‍රියාදාමයක්‌. ඒ ක්‍රියාදාමය ඉදිරියට ගෙනයැම පමණයි මම කළේ. එමිරේට්‌ස්‌ සමාගමේ පාලන කාලයේදීත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිල ඇඳුම යම්කිසි වෙනසක්‌ කළ යුතුයි කියන යෝජනාව ඉදිරිපත් කර තිබුණා. නමුත් එය ක්‍රියාත්මක කිරීමට නොහැකි වුණා. ඒක ඉදිරියට ගෙනයැම පමණයි මම කළේ.

ගිහාන් නානායක්‌කාර කියන මහත්මයා තමයි මේ නව නිල ඇඳුමේ නිර්මාතෘ වශයෙන් කටයුතු කළේ. මේ සඳහා තුන්හරතදෙනෙකුගේ නිර්මාණ ඉදිරිපත් කර තිබුණා.

ප්‍රශ්නය (- පැරණි නිල ඇඳුමේ තිබූ අපේ ජාතික අනන්‍යතාව, සංස්‌කෘතික අගය නව නිල ඇඳුමෙන් ඉවත්වී තිබෙනවාද?

පිළිතුර ) නැහැ. නැහැ. නව නිල ඇඳුම වෙනස්‌ කිරීමට හේතුව මම ඉහත සඳහන් කළානේ. අපේ සමහර දේවල් යල්පැන ගිය ක්‍රමයටම කරගෙන යැමේ පුරුද්දක්‌ අපට තියෙනවා. මෙහි මෝස්‌තරයේ කිසිම වෙනසක්‌ කළේ නෑ. මොකද ශ්‍රී ලංකන් සහ එයාර් ලංකා ගුවන් සේවිකාවන් ගුවන් මගීන් අඳුනාගන්නේ එහි තිබෙන පෙනුමෙන්. ඒක අපි වෙනස්‌ කළේ නැහැ. එය තියාගෙන බොහෝ විට මෝස්‌තර අංගය, වර්ණය, ඇඳුම් සමග අනිකුත් උපකරණ කට්‌ටල යම් පමණක්‌ නවීකරණය කළා. ඒ කියන්නේ වැඩ කිරීමට පහසු ආකාරයට තමයි මේ නිල ඇඳුම වෙනස්‌ කළේ.

මේවා ඇඳගෙන වැඩ කරන්න ඕනෑ. ඒ සියල්ලටම සරිලන ආකාරයට තමයි මේ නිල ඇඳුම වෙනස්‌ කළේ. නව නිල ඇඳුම මසා තිබෙන්නෙත් එය අඳින කෙනාට ඉතාමත් පහසුවක්‌ දැනෙන ආකාරයටයි.

ප්‍රශ්නය (- එමිරේට්‌ස්‌ ආයතනයේ පාලන කාලයේදී මෙම නිල ඇඳුම වෙනස්‌ කිරීමට ක්‍රියාත්මක වූ බව ඔබ පැවසුවා. නමුත් එය ක්‍රියාත්මක නොකරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් වුණා නේද?

පිළිතුර (- නෑ... එහෙම ඉල්ලීමක්‌ තිබුණේ නෑ. ඉල්ලීම තිබුණේ අපේ ජාතික අනන්‍යතාව නැතිවන ආකාරයේ වැඩ කරන්න එපා කියලයි. නිල ඇඳුමේ යම් කිසි කොටසක්‌ වෙනස්‌ කිරීමට සෑමදෙනාම කැමැත්තෙන් සිටියේ. මොකද අවුරුදු 30 ක නිල ඇඳුමක්‌ කියන්නේ යල්පැනගිය එකක්‌. ඇත්තටම ඒ අංග වෙනස්‌ කිරීමට සේවක මණ්‌ඩලයේ කිසිදු විරෝධයක්‌ දැක්‌වූයේ නෑ.

ප්‍රශ්නය (- මෙවැනි කටයුත්තක්‌ කිරීමේදී සේවක වෘත්තීය සමිතිවලින් මොනවගේ බලපෑමක්‌ද ඇතිවුණේ?

පිළිතුර (- සාමාන්‍යයෙන් මගේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ එක්‌ ප්‍රතිපත්තියක්‌ තියෙනවා අපි වෘත්තීය සමිති යූනියන් කාරයෝ හැටියට ගණන් ගන්න අය නොවෙයි. ලංකාවේ විශාලම කාර්යභාරයක්‌ ඉටුකරන වෘත්තීය සමිති තිබෙන්නේ අපේ ආයතනයේ.

ආයතනය කඩාකප්පල්කාරී වන වැඩසටහන් හෝ ආයතනය වසාදමන ආකාරයට අපේ වෘත්තීය සමිති කවදාවත් කටයුතු කරන්නේ නෑ. ඔවුන් සිටින්නේ ආයතනයේ කොටස්‌කරුවන් ලෙසයි. ඒ වගේම යම්කිසි යහපත් අදහසකින් සෑමදෙනාටම සරිලන ආකාරයෙන් වැඩසටහනක්‌ ආරම්භ කළ විට වෘත්තීය සමිතිවලින් අපට හොඳ සහයෝගයක්‌ ලැබෙනවා.

අපේ ආයතනයේ මෙවැනි වැඩවලට වෘත්තීය සමිති කවදාවත් අකුල් හෙළන්නේ නෑ. මොකද වෘත්තීය සමිති සමග අපේ ලොකු ගනුදෙනුවක්‌ තියෙනවා. වෘත්තීය සමිති සමග නිතරම අප සාකච්ඡා කරනවා. ඔවුන් සමග නිතරම සාකච්ඡා කරන ආයතනයක්‌ තමයි ශ්‍රී ලංකන් ගුවන් සේවය කියන්නේ. ඇත්තටම අපට වෘත්තීය සමිති සමග කිසිම ප්‍රශ්නයක්‌ නෑ. වෘත්තීය සමිති අපට ලොකු සහයෝගයක්‌ දෙනවා. මොකද මේ නිල ඇඳුම වෙනස්‌ කිරීම, එහි ප්‍රමිතීන් වෙනස්‌ කිරීම අප හඳුනාගත් දේවල්. ඇත්තටම මේවා කිරීමට මූලික වුණෙත් ඒවා පාවිච්චි කරන අයගේ ඉල්ලීම් මතයි.

ප්‍රශ්නය (- ශ්‍රී ලංකන් ගුවන් සේවය උසස්‌ තත්ත්වයකට ගෙනඒමට එහි නිල ඇඳුම පමණක්‌ වෙනස්‌ කිරීම ප්‍රමාණවත්ද?

පිළිතුර (- නැහැ. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස්‌ දෙකෙක්‌ තිබෙනවා. එකක්‌ එයාර් ලංකා නමින් අපේ ගුවන් සේවයක්‌ තිබෙනවා. එයාර් ලංකා සමගම සෑම දෙනාම හඳුනාගෙන සිටියේ එහි සේවා තත්ත්වය පිළිබඳවයි. සෑම දෙනාම කියන දෙයක්‌ තමයි එයාර් ලංකාහි සේවා තත්ත්වය ඉතා ඉහළ කියන එක. එහි සත්කාරශීලීභාවය ඉතා ඉහළයි.

එතකොට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සත්කාරශීලීභාවය ගැන කවුරුවත් කතා කරන්නේ නෑ. ශ්‍රී ලංකන් ගුවන් සේවය නූතන, ඉදිරියට යන ගුවන් සේවයක්‌ ලෙසයි හඳුන්වන්නේ. ඉතිං මේ කොටස්‌ දෙකේ සම්මිශ්‍රණයක්‌ අවශ්‍යයි. ඒක තමයි අපි මේවැනි වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ. එයාර්ලංකා සමාගමේ සංග්‍රහශීලීභාවය, ලෙන්ගතුකම නැවත ශ්‍රී ලංකන් ගුවන් සේවයටත් එක්‌ කළ යුතුයි.

නමුත් මෙතෙක්‌ කල් අප ලබාගත් නූතන මුහුණුවර නැති කිරීමටත් හොඳ නෑ. ඔය දෙක එකතු කළහොත් අපේ ගුවන් මගීන්ට ලැබෙන සේවය අනිවාර්යයෙන්ම උසස්‌ වෙනවා. මේ සඳහා දීර්ඝකාලයක්‌ ගත වෙයි. ඒ සඳහා භෞතික සම්පත් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ගුවන් යානා යාවත්කාලීන කිරීම අවශ්‍ය වෙනවා, නව ගුවන් යානා මිදී ගැනීම වැනි ක්‍රියාදාමයකට යා යුතුයි. මං හිතනවා තව මාස තුන හතරක්‌ ඇතුළත එවැනි ක්‍රියාදාමයක්‌ පිළිබඳවත් අපට කතා කිරීමට හැකිවේවි කියලා.

ප්‍රශ්නය (- ආණ්‌ඩුවට තිබෙන චෝදනාවක්‌ තමයි රාජ්‍ය ආයතනවලට නිතරම ඇඟිලි ගසනවා කියන එක. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිල ඇඳුම් වෙනස්‌ කළෙත් දේශපාලන වුවමනාවකට කිව්වොත්?

පිළිතුර (- ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිල ඇඳුම් වෙනස්‌ කළේ කිසිම දේශපාලන පාටමාරුවකටවත්, කිසිම දේශපාලන ඇඟිලි ගැසීමටකවත් නොවෙයි. මෙය ඇත්තටම මම ඉහත සඳහන් කළ ආකාරයට වසර තුනක පමණ ක්‍රමවේදයක සිදුවීමක්‌ පමණයි. ඒ කාලයේදී රජයට මෙවැනි කටයුතු සඳහා ඇඟිලි ගැසීමට හැකියාවක්‌ තිබුණෙත් නැහැ. එමිරේට්‌ස්‌ ආයතනය ආරම්භ කළ ඒ ක්‍රියාදාමය ඉදිරියට ගෙනයැම පමණයි මම කළේ. එයට සෑම දෙනාගේම ආශිර්වාදය ලැබුණා. නමුත් මේකට කිසිම ඇඟිලි ගැසීමක්‌ තිබුණේ නෑ. අඩුම තරෙම් දේශපාන ඉඟියක්‌වත් ලැබුණේ නෑ.

මේ ආයතනයේ සෑම වැඩකදීම රජයේ ඇඟිලි ගැසීමක්‌ නෑ. රජය මගින් අධ්‍යක්‍ෂ මණ්‌ඩලයක්‌ පත්කර තිබෙනවා. ඔවුන් ඒ අධීක්‍ෂණ කටයුතු කරනවා. ඒ හැරෙන්න කිසිම දේශපාලනමය ඇඟිලි ගැසීමක්‌ මේ ආයතනයට වෙන්නේ නෑ. ඒ බව ආයතනයේ කළමනාකාරීත්වය, සේවකයන්, වෘත්තීය සමිති නියෝජිතයන් දන්නවා. ශ්‍රී ලන්කන් ගුවන් සේවය අවුරුදු 30 ක ඉතිහාසයක්‌ තිබෙන ආයතනයක්‌. මේ අවුරුදු 30 ම ස්‌වාධීනව වැඩ කළ ආයතනයක්‌. ඒක ඉදිරියටත් එසේමයි.

ප්‍රශ්නය (- ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉදිරි කටයුතු ගැන යමක්‌ පැවසුවොත්?

පිළිතුර (- ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පැවැත්ම සහ ඉදිරි දියුණුව ශ්‍රී ලංකාවේ සංචාරක ක්‍ෂේත්‍රය සමග බැඳී තියෙනවා. ශ්‍රී ලංකාවේ සංචාරක ක්‍ෂේත්‍රය දිණුවෙන් දියුණුවට පත්වන විට ශ්‍රී ලංකන් ගුවන් සේවයට දියුණුවීමට ලැබෙන අවස්‌ථාවන් වැඩිවෙනවා.

අපි දැනටමත් සංචාරක ක්‍ෂේත්‍රයේ අධිවේගී දියුණුවක්‌ දැක තිබෙනවා. අපගේ නිවාඩු නිකේතන මේ වන විට සංචාරකයන්ගේ පිරී ඉතිරී ගොස්‌ තිබෙන්නේ. මේ දැක්‌මත් සමග ශ්‍රී ලංකන් ගුවන් සේවයටත් මනා දියුණුවක්‌ පෙනෙන්නට තිබෙනවා. මෙය සාක්‍ෂාත් කර ගැනීමට තමයි ශ්‍රී ලන්කන් ගුවන් සේවය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන මණ්‌ඩලය, සංචාරක අධිකාරිය, කොළඹ හෝටල් නියෝජිතයන්ගේ සමිතිය ආදී සියල්ලන් සමග එකතුවී සංචාරක ව්‍යාපාරයේ අපට අවශ්‍ය වන වාර්ෂික වර්ධනය කොපමණක්‌ වනවාද කියා උපකල්පනය කරනවා. ඒ උපකල්පනය මත අපේ ගුවන් සේවයේ යම්කිසි ප්‍රවර්ධනයක්‌ සහ වර්ධනයක්‌ දකින්නට පුළුවන්.

සාකච්ඡා කළේ ප්‍රභාත් විතාන
 

 
Powered By -