අපේ කුඹුරට සරිලන යකඩ මී හරකෙක්‌ හැදූ
දිවුලන්කඩවල ගොවි පුතා

මහ ගොවි ජනපද පොලොන්නරුවේ ඇරඹී දැන් සියවස්‌ තුන් කාලකට වැඩිය. පුරෝගාමී ගොවි පරපුරෙන් පසු පරම්පරා දෙක තුනක්‌ දැන් එහි බිහිවී තිබේ. වී ගොවිතැන නම් වූ භාරදූර කටයුත්තේ යෂ්ඨිය මුතුන් මිත්තන් වෙතින් නව පරපුර අතට බාර කොට ඇත. සුපුරුදු ගොවි මැසිවිලි ඔවුන් වෙතින්ද පෙරටත් වඩා ප්‍රබල ලෙසින් ඇසේ.

බත් ගසේ වගාවේ කටයුතු දැන් වැඩිහරියක්‌ මුල සිට අගටම කෙරෙනුයේ යන්ත්‍රානුසාරයෙනි.

ට්‍රැක්‌ටර්වලට කුලී දුන්නහම ඇති දෙයක්‌ නෑ.

බිං, හීය, දෙහීය පමණක්‌ නොව පෝරු ගෑමද ට්‍රැක්‌ටරයෙන් කරන බොහෝ ගොවියෝ එසේ කියති.

අස්‌වනු නෙළීම, පෑගීම, ප්‍රවාහනය ඇතුළු තවත් බොහෝ කටයුතු යන්ත්‍රානුසාරයෙන් කරන්නට ගොවියන් පෙළඹී සිටීම සාමාන්‍ය තත්ත්වයකි.

අත්ට්‍රැක්‌ටරයක්‌ තරම වත් නැත්නම් කුඹුරු කරල වැඩක්‌ නෑ. එසේ කියන්නේ වී ගොවිතැනට වැය වන මුදලින් අත්ට්‍රැක්‌ටරයේ කුලියටද ලොකු කොටසක්‌ වෙන් වන හෙයිනි.

එසේ වුවද අත් ට්‍රැක්‌ටරයක්‌ හිමි කර ගැන්මේ ගොවි සිහිනයද පහසුවෙන් සැබෑ කර ගත හැක්‌කක්‌ නොවේ. මක්‌ නිසාද යත්, අත්ට්‍රැක්‌ටරයක්‌ද වර්තමානයේ රුපියල් ලක්‍ෂ ගණනක්‌ මිල වන මෙවලමක්‌ බැවිනි.

ගොවිතැන වඩාත් පහසු කරවන අත්ට්‍රැක්‌ටරයක සාඩම්බර හිමිකරුවෙකු වීමේ අවස්‌ථාව ගොවි ජනතාවට උදා කරදීමට පුලතිසි ගොවි බිමේ දෙවෙනි පරපුරේ ගොවි දරුවෙකු පෙරමුණ ගෙන සිටී. දිවි මගෙහි හතළිස්‌ හත්වන වියෙහි පසුවන හේ නමින් කේ. ජී. තිලක්‌ පුෂ්ප කුමාරය.

රටට බත නිපදන මැදිරිගිරියේ මහ ගොවි ජනපදය බිහි කිරීමේ මුල් පරපුර තිලක්‌ගේ දෙමාපියන්ට හිමිය. දරුවන් හතර දෙනකුගෙන් යුත් පවුලේ දෙවෙනි පිරිමි දරුවා වූ අප කථා නායකයා අධ්‍යාපනය ලැබුයේ දිවුලන්කඩවල ගමේ පාසලෙනි. කුඩා කල පටන්ම තාත්තා සමඟ කුඹුරට ගොස්‌ තිලක්‌ මඩ නාගත්තේ නිකම් නොව හරි හරියට කුඹුරේ වැඩ කරමින්ය.

දිවුලන්කඩවල, විහාරගම කුඹුරු යායේ තාත්තා සමඟ හරක්‌ බානෙන් හීය හෑ පුතා පසු කලෙක යකඩ මී හරකෙකු නිපදවීය. තම පිය පරපුරේ මෙන්ම පසු පරම්පරාවල ද වැඩි දෙනෙකුට සිහිනයක්‌ව පැවැති ගොවිතැන් කටයුතු පහසුකරවන අත්ට්‍රැක්‌ටරයක්‌ මිලදී ගැන්ම දැන් එතරම් අරුම නොවන කටයුත්තක්‌ බවට පත් කොට තිබේ.

විදෙස්‌ රටවලින් ගෙන්වූ අමතර කොටස්‌ උපයෝගී කරගෙන අපේ රටේ ගොවි බිමට උචිත අත්ට්‍රැක්‌ටරයක්‌ මෙසේ නිපදවෙන්නේ රජ රට ගොවි බිමේ මැදිරිගිරියේ පමණක්‌ වීමද විශේෂත්වයකි.

ජපන් තාක්‍ෂණයෙන් නිමවන මෙම අත්ට්‍රැක්‌ටරය ගොවි දෑතට නව ජවයක්‌ එක්‌ කොට තිබෙන බැව් පැහැදිලි වන්නේ දැනට වෙළෙඳපොළේ තිබෙන ආනයනික වෙනත් ට්‍රැක්‌ටර් හා සස¹ බැලීමෙනි.

විශේෂයෙන්ම කුඹුරු සීසෑමේදී පහසුවෙන් හැසිරවීමේ හැකියාව කාර්යක්‍ෂම සේවාවක්‌ ලබාදීමට මුල්වන බව මෙම නවතම අත්ට්‍රැක්‌ටරය පරිහරණය කරන ගොවි ජනතාව කියා සිටිති.

අපේ යායවල වැඩි හරියක්‌ තියෙන්නේ පුංචි ලියෑදි. මේ හුරුබුහුටි අත්ට්‍රැක්‌ටරයෙන් ඒවයෙත් හාන්න පෝරුගාන්න හරි පහසුයි.

දැනට වෙළෙඳපොළේ තිබෙන වෙනත් අත් ට්‍රැක්‌ටර්වල මිල මට්‌ටම් සමග සසඳන විටද මෙරට ගොවි ජනයාගේ ආර්ථිකයට ඔරොත්තු දෙන තත්ත්වයකට මැදිරිගිරියෙන් බිහි වූ අත්ට්‍රැක්‌ටරයේ මිල නියමවී තිබේ.

කන්නයක්‌ දෙකක්‌ කුඹුරේ බිම් සැකසීම සඳහා පිටතට ගෙවන කුලියටත් වඩා අඩු මුදලක්‌ මූලික මුදල වශයෙන් ගෙවා ට්‍රැක්‌ටරයක්‌ රැගෙන යැමේ අවස්‌ථාව ගොවි ජනතාවට උදාකරදීම විශේෂත්වයකි.

මෙම නවතම අත්ට්‍රැක්‌ටරය මාදිලි දෙකකින් යුක්‌ත වන බවත් තම ගොවි බිමට මෙන්ම අතේ මිටේ ඇති මුදලට සරිලන ආකාරයේ ට්‍රැක්‌ටරයක්‌ තෝරා ගැනීමට ගොවීන්ට අවකාශ සලසා තිබෙන බවත් තිලක්‌ පුෂ්පකුමාර මහතා අප සමඟ කියා සිටියේය.

මෙම අත්ට්‍රැක්‌ටරය ගොවි ජනතාවට හඳුන්වාදීම සහ නිල වශයෙන් එළි දැක්‌වීම නිමිත්තෙන් මැදිරිගිරිය දිවුලන්කඩවලදී පැවැති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වූ පොලොන්නරුව මහ දිසාපති නිමල් අබේසිරි මහතා ප්‍රකාශ කළේ අගනුවරින් බැහැර ඈත දුෂ්කර මැදිරිගිරිය වැනි ගොවි බිමකින් මෙවැනි විශිෂ්ට නිර්මාණයක්‌ බිහිවීම සුවිශේෂී කාරණයක්‌ බවයි. දෙවෙනි පරපුරේ ගොවි දරුවෙකු ලෙස තිලක්‌ පුෂ්ප කුමාර වැනි ආදර්ශමත් ගොවි පුතුන් රටක්‌ සමාජයක්‌ සුවඳවත් කරන්නට දරන ලද වෑයම මහත් ප්‍රශංසනීය බවද කීය. මාස හයක්‌ වැනි කාලසීමාවක්‌ තුළ වී කිලෝ එක්‌කෝටි අනූතුන් ලක්‍ෂයක්‌ නිපදවන පොලොන්නරුවේ ගොවි ජනතාවගේ අතමිට හැබෑලෙසම සරුවන්නට නම් ඔවුන් වී නිෂ්පාදනයෙන් ඔබ්බට ගොස්‌ සහල් නිෂ්පාදනය කරන ගොවියෙකු බවට පත් විය යුතු බවද කියා සිටියේය. අපේ ජීවිතවල සාර්ථකත්වය යනු වියදම් කරන දෙය නොව ඉතිරි කරන දෙය බව මෙහිදී පෙන්වා දුන් මහ දිසාපති නිමල් අබේසිරි මහතා මැදිරිගිරියේ දිවුලන්කඩවල ගොවි පුතා "තිලක්‌" ඊට කදිම ආදර්ශයක්‌ ඔහුගේ මෙම නව නිර්මාණය තුළින් සපයාදී ඇතැයි ද කීය.

නව අත්ට්‍රැක්‌ටරය එළි දැක්‌වීමේ අවස්‌ථාවේ තමන් පැමිණි ගමන් මග පිළිබඳව ද සිහිපත් කළ තිලක්‌ පුෂ්ප කුමාර මහතා මීට දශක දෙකකට පමණ ඉහතදී රුපියල් තුන් දහසක්‌ තරම් සුළු මුදලකින් තමාත්, තම බිරිඳ මංගලාත් එක්‌ව ආරම්භ කළ සුළු ව්‍යාපාරයක්‌ අද වන විට ව්‍යාපාර සමූහයක්‌ බවට පත්ව තිබෙන බව කීය.

කෘෂි කර්මාන්තය පදනම් කර ගත් මේ ව්‍යාපාර සමූහය පෙනී සිටින්නේ ගොවියාගේ පෙර ගමන් කරු ලෙස බවද පැවැසීය. අපගේ ව්‍යාපාර හසුරුවන්නේ අපට අවශ්‍ය ලෙස නොව ගොවි ජනතාවට අවශ්‍ය ලෙස යෑයිද පැවැසූ තිලක්‌ පුෂ්ප කුමාර මහතා අපව ඔසවා තැබූ ගොවි ජනතාවට අප යමක්‌ කළ යුතුයි යන අදහසෙහි දීර්ඝ කාලයක්‌ එල්බ සිටි තමන්ට අපේ ගොවි බිමට සරිලන මෙවැනි අත්ට්‍රැක්‌ටරයක්‌ මෙසේ නිර්මාණය කිරීමට හැකිවූ බවද කියා සිටියේය.

ගොවිතැනේ අභියෝග ජය ගැන්ම අපේ රටේ ගොවියාට එතරම් පහසු කරුණක්‌ නොවේ. ගොවිතැන වෙනුවෙන් කරනු ලබන අප්‍රමාණ කැපකිරීම්, වැය කිරීම්, වෙනුවෙන් ඊට සරිලන ආදායමක්‌ නොලැබීම මූලික කාරණයකි.

විශේෂයෙන්ම රජරට කලාපයේ වී ගොවිතැනේදී ගුණාත්මක තත්ත්වයෙන් යුත් බිත්තර වී, නිවැරදි තාක්‍ෂණික උපදෙස්‌ ද නිසි කලට නිසි පරිදි නොලැබීම සුලබය. සරුඵල නැති හොර බිත්තර වී වපුරා නිසි ඵල ලබන්නට නොලැබෙන තත්ත්වයන් ද, වගාවේ වැළඳෙන වසංගත රෝගවලට වහකඩේ මුදලාලිගේ උපදෙස්‌ පතන්නට සිදුවීමත් නූතනයේ රජරට ගොවි බිම් ඇතුළු බොහෝ කෘෂිකාර්මික ප්‍රදේශවලින් අසන්නට ලැබේ. මෙවන් වටපිටාවක, පරිසරයක ලබන වී අස්‌වැන්නද අවසානයේ කුණු කොල්ලයකට විකිණී ගොවි අතමිට නිසරුවීම වැනිදේ ආගන්තුක ආරංචි නොවේ. සමස්‌තයක්‌ ලෙසින් ගත් කල අප රටේ වී ගොවිතැන පාඩු ලබන රැකියාවක්‌ යෑයි දසත නැගෙන ගොවි මැසිවිලි කණපිට පෙරළන්නට නම් යෙදවුම් මිල පහත වැටී, කෘෂි සේවාවන් නිසි කලට ලැබිය යුතුය. එමෙන්ම ගොවි නිපැයුම්වලට නිසි මිලක්‌ ලැබිය යුතුය. මෙම රාශියක්‌ ප්‍රශ්න හමුවේ ගොවිතැන පහසු කරවන යන්ත්‍ර සූත්‍ර හැම ගොවි ගෙදරකම සුලබවීම ගොවිතැනට කිසියම් රුකුලක්‌ මෙන්ම ගොවි ආර්ථිකය ද යහපත් කරවන්නට යම් මග පෑදීමක්‌ වනු ඇත. මැදිරිගිරියේ ඈත ගොවි බිමේ තිලක්‌ පුෂ්ප කුමාර වැනි දෙවෙනි පරපුරේ ගොවි පුතුන් උත්සාහ දරා ඇත්තේ ජාතියේම උවමනාවක්‌ වන ගොවිතැන නගා සිටුවීමේ වෑයමට හවුල් වන්නටය. එමගින් සහෝදර ගොවි ජනතාවගේ ද අත මිට සරුවී විඩාබර මුහුණු මත සිනහමල් පිපේනම් එය අපට ද සතුටුවිය හැකි කාරණයකි.


කරුණාරත්න ගමගේ

 

 
Powered By -