මිල සූත්‍රයෙන් ඉගිලූණු කුකුළා

කුකුළන් තරම් මෙලොව කරුමක්‌කාර සතෙකු තවත් නොමැති තරම්ය. පාවට්‌ටා ගහේ පස්‌පංගුවම බේතට ප්‍රයෝජනයට ගන්නවා මෙන්ම කුකළාගේද සියලු අංගෝපාංග පාරිභෝජනයට ගනිති. කුකුළාගේ උපත මෙන්ම විපතද මිනිසාගේ ආහාරයකි. කුකුළු උපත සිදුවන බිත්තරයද, බිත්තරයෙන් බිහිවන කුකුළාද අපේ රටේ පමණක්‌ නොව මුළු ලෝක වාසියාගේම ආහාරය වී තිබේ. කුකුළු මස්‌ මෙන්ම බිත්තරද පාරිභෝජනයට නොගන්නා රටක්‌ නොමැති තරම්ය.

උත්සව සමයත් සමගම කුකුළාට ලැබෙන්නේ විශේෂ තැනකි. බිත්තරයටද එසේමය. උත්සව සමය ඇරඹීමටත් පෙර දැන් දසතින් ඇසෙන්නේ කුකුළු මස්‌ හා බිත්තර පිළිබඳ මිල ගණන්ය. උත්සව සමයත් සමගම අපේ රටේ ඇති බිත්තර ප්‍රමාණය ප්‍රමාණවත් නොවන නිසා පිටරටින් බිත්තර ආනයනය කිරීමට රජය සූදානම් බවද අසන්නට ලැබේ. බිත්තර හිඟ වන තරමට බිත්තරවල මිලද ඉහළ ගොසිනි. මේ දිනවල බිත්තරයක මිල රුපියල් 16 සිට 18 දක්‌වා වෙයි. කුකුළු මස්‌වල මිල ගණන්ද එසේමය. සාමාන්‍ය කුකුළු මස්‌ කිලෝවක මිල රුපියල් 550 ත් 650 ත් අතර වී තිබේ. අත් පා බඳ ආදී වශයෙන් කොටස්‌වලට කැපූ කුකුළු මස්‌ කිලෝවක මිල රුපියල් 800 ද ඉක්‌මවා තිබේ.

කුකුළුමස්‌ හා බිත්තරවල මිල ගණන් ඉහළ ගොස්‌ ඇත්තේ උත්සව සමය නිසාමද? උත්සව සමය කුකුළුමස්‌ හා බිත්තර මිල ඉහළ යැමට බල පා ඇති එක්‌ සාධකයක්‌ පමණි.

කුකුළු ගොවිපල හා කුකුළු මස්‌ අලෙවිය පිළිබඳව දීර්ඝ කාලයක පළපුරුද්දක්‌ ඇති එස්‌. සවුන්දර රාජා අප සමග කී කතාවයි මේ,

"කුකුළු මස්‌ සහ බිත්තර නිෂ්පාදනයේදී මේ රටේ ප්‍රමුඛත්වය ලැබෙන්නේ සාමාන්‍ය පරිමාණයෙන් ඒ නිෂ්පාදන කටයුතුවල නිරතවී සිටින අයට නෙමෙයි. මහා පරිමාණයෙන් කුකුළු මස්‌ හා බිත්තර නිෂ්පාදනය කරන දැවැන්ත ආයතන කීපයක්‌ම දැන් අපේ රටේ තියනවා. කුකුළු මස්‌ බිත්තර විතරක්‌ නොවේ කුකුළන්ට දෙන කෑමත් නිෂ්පාදනය කරන්නේ ඒ සමාගම් විසින්මයි. අවසානයේදී කුකුළු මස්‌ හා බිත්තරවල මිල තීරණය කරන්නෙත් ඒ උදවියමයි.

"අපේ රටේ කුකුළු ගොවිපලවල අයිතිකරුවන් විසින් පිහිටුවා ගන්නා ලද සමස්‌ත ලංකා මට්‌ටමේ සංවිධාන දෙකක්‌ තියනවා ඒ වුණාට ඒ සංගම් සංවිධානවලට මහා පරිමාණයෙන් කුකුළු මස්‌ නිෂ්පාදනය කරන සමාගම් එක්‌ක හැප්පෙන්න බැරිවෙලා තියනවා. අනික තමයි මේ කුකුල් මස්‌ හා බිත්තර කර්මාන්තයට රජයෙන් කිසිම අනුග්‍රහයක්‌ ලැබෙන්නෙ නෑ. රජයේ ගොවිපලවලත් කුකුළුමස්‌ හා බිත්තර නිෂ්පාදනය වෙනවා. ඒත් ඉතා සුළු ප්‍රමාණවලින්. එහෙම නිෂ්පාදනය කෙරුණෙත් ඒ රජයේ ගොවිපලවල ස්‌වභාවය වන්නෙත් අර කලින් කී දැවැන්ත සමාගම්වල දංගෙඩියට අහුවෙන එක විතරයි. මේ නිසා අපේ රටේ උත්සව කාලෙට කුකුළුමස්‌ බිත්තර හිඟ වීම, ඒවායෙහි මිල ගණන් ඉහළයැම කිසිවෙකුටත් වළක්‌වන්න බෑ. ආණ්‌ඩුව කියනවා උත්සව එනකොට පිටරටින් බිත්තර කුකුළුමස්‌ ගෙන්නනවා කියලා. ඒත් ඒවා ගෙන්නනකොට උත්සව ඉවරයි. කෙරෙන්න ඕන කුකුළුමස්‌ බිත්තර රටින් ගේන එක නෙමෙයි ඒ කර්මාන්තෙ යෙදිලා ඉන්න සුළු හා මධ්‍ය පරිමාණ ගොවියන් දිරිමත් කිරීම සහ ඔවුන්ට පහසුකම් සැලසීමයි. දැන් බලන්න හැම ස්‌වෙච්ඡා සංවිධානයක්‌ම ස්‌වයං රැකියා සඳහා කියලා ආධාර දෙන්නෙ සත්ව පාලනේට. ඒ අතරින් හැම කෙනෙකුටම පටන් ගන්න කියන්නේ කුකුළන් ඇතිකරන එක. මේ රටේ හැම ගමකම වගේ මිනිස්‌සු කුකුළන් ඇති කරනවා. ඒත් ඒ මස්‌වලට බිත්තරවලට සිද්ධ වෙන දෙයක්‌ නෑ. මේ වැඩපිළිවෙළ නිසි ක්‍රමවේදයක්‌ ඔස්‌සේ සංවිධානය නොවීම තමයි අපේ රටේ කුකුල් මස්‌ බිත්තරවල හිඟයට හේතුව.

සවුන්දර රාජාගේ කතාවේද ඇත්තක්‌ තිබේ. අපේ රටේ සෑම කාර්යාවලියකදීම රාජ්‍ය හා පෞද්ගලික වශයෙන් අංශ දෙකක්‌ වෙයි. මින් රාජ්‍ය අංශය අභිබවා පෞද්ගලික අංශය නැගී සිටිනවා පමණක්‌ නොව පෞද්ගලික අංශය විසින් රාජ්‍ය අංශය ආණ්‌ඩු මට්‌ටු කිරීමද සිදුකරනු ලබයි. අපේ රටේ පෞද්ගලික බස්‌ සේවාව හා රාජ්‍ය බස්‌ සේවාව මේ සඳහා දිය හැකි කදිම නිදර්ශනයයි.

කුකුළු මස්‌ හා බිත්තර නිෂ්පාදනය කරන නිෂ්පාදකයන් බේරාගැනීමට හෝ ආරක්‍ෂා කරගැනීමටද රාජ්‍ය අංශයට නොහැකි වී තිබේ.

මේ තත්ත්වය ඉතා මැනවින් තේරුම් ගැනීමට හැකි පැහැදිලි සාක්‍ෂියක්‌ වෙයි. එනම් මේ රටේ කුකුළු මස්‌ කිලෝවක හා බිත්තරයක මිලයි. වෙළෙඳසැලෙන් සැලට කුකුළුමස්‌ කිලෝවක මිල වෙනස්‌ය. බිත්තරයක එවැනි මිල වෙනස්‌වීමේ ප්‍රවණතාව රුපියල් ශත ගණනක්‌ පමණ වුවත් කුකුළු මස්‌ කිලෝවේදී නම් එය රුපියල් 50 සිට 250 දක්‌වා අතර වූ විවිධ මිල ගණන්වලට වෙනස්‌වී තිබෙනු දැකිය හැකි වේ. එකම පාන්ගෙඩියට විවිධ සූත්තර දමා මලූවල බහා ලස්‌සන ලාංජන අලවන තරමට මිල වැඩිවනවා මෙන්ම කුකුළු මස්‌වල මිලද වෙනස්‌ වන්නට පටන්ගෙන තිබේ. එදා ශත දහයක්‌ වැඩියෙන් පාන් ගෙඩියක්‌ විකුණු පුද්ගලයන්ට අවුරුදු ගණනක්‌ හිරේ තපින්නට සිදු වූයේ පාන්ගෙඩිය වෙනුවෙන් රජයේ මැදිහත්වීමක්‌ තිබුණු නිසාය. එහෙත් අද රජය පාන්ගෙඩියෙන් ඉවත්වී හමාරය. එහෙව් රටක කුකුළෙකු වෙනුවෙන් රාජ්‍ය මැදිහත් වීමක්‌ තිබේදැයි අපිට සිතිය නොහැක. මේ සෑම එකකම ලාබය, වාසිය ලබන්නේ ආණ්‌ඩු පිහිටුවීමට අත යටින් මුදල් ලබාදෙන මහා පරිමාණයේ සමාගම්ය.

කුකුල් මස්‌ සම්බන්ධයෙන් අපිට ඩෙන්මාර්කයේදී අපූරු අත්දැකීම් රැසක්‌ ලබන්නට හැකි විණි. ඩෙන්මාර්කයේ සුපිරි වෙළෙඳසල්වල මස්‌කළ කුකුළන් තුන්දෙනා බැගින් දැමූ මලු තිබේ. සුපිරි ලෙස සකස්‌ කළ එවැනි මල්ලක්‌ 2005 වර්ෂයේදී ක්‍රෝණ 200 කි. (ක්‍රෝන 200 ක්‌ යනු අපේ රුපියල් 5200 කි) එමෙන්ම ගම්බද කුකුළු ගොවියන් විසින් නිපදවනු ලබන මස්‌ කුකුළන්ද තුන්දෙනා බැගින් මලුවල දමා ක්‍රෝන 100 කට අලෙවි කරති. එකම වෙළෙඳ පොළේදී තමන්ට කැමති කුකුළෙකු මිලදී ගත හැකිය. අපේ රටේ මුදල්වලින් 5200 ක්‌ වැනි ඉහළ මිලක්‌ ගෙවා ඩෙන්මාර්කයේ වැසියෙකුට සුපිරි කුකුළන් තුන්දෙනකු මිලටගැනීම යනු ඒ තරම් කඡ්ජක්‌ නොවේ. එරට ආර්ථික ක්‍රමය, වැටුප හා ඒකපුද්ගල ආදායම අනුව එවැනි මිලකට කුකුළන් තුන්දෙනකු මිලට ගැනීම අපේ රටේ අයෙකු කිඹුල් බනිස්‌ ගෙඩියක්‌ මිලට ගැනීම වැනිය. නමුත් මෙහිදී කීමට උත්සාහ කළේ කුකුළන් ගැනය. ඕනෑම වෙළෙඳ සැලකදී ඩෙන්මාර්ක්‌ වැසියන්ට තමන් කැමති ගණනකදී තමන්ට කැමති අන්දමේ කුකුළෙකු මිලට ගැනීමට අවස්‌ථාව ඇතත් අපේ රටේ එවැන්නක්‌ නොමැත. වෙළෙඳ සැලෙන් දෙන ඕනෑම කුකුළෙකු ඔවුන් නියම කළ මිළට ගැනීමට පාරිභෝගිකයාට සිදුවෙයි. ඩෙන්මාර්කයේ එවැන්නක්‌ සිදුවී ඇත්තේ එහි පාරිභෝගිකයා ආරක්‍ෂා කරගැනීමට රජය මැදිහත් වී ඇති නිසාය. එරට පාරිභෝගිකයා පමණක්‌ නොව පාරේ යන බල්ලා පවා ආරක්‍ෂා කර ගැනීමට රැක ගැනීමට ආණ්‌ඩුව නීතිරීති සකසා ඒවා අකුරටම ක්‍රියාත්මක කරනු ලබයි. අපේ රටේ සෑම නීතියක්‌ම වල්වැදි බල්ලට ගොස්‌ ඇතිවා පමණක්‌ නොව නීතිය ක්‍රියාත්මක වන්නේ කුමක්‌වත් කරකියා ගත නොහැකි නැතිබැරි එකාට පමණි.

මෙවැනි පසුබිමක්‌ ඇති අපේ රටේ උත්සව සමයේදී කුකුළුමස්‌ කිලෝවක්‌ රුපියල් 1500 කට හා බිත්තර ගෙඩියක්‌ රුපියල් 100 කට අලෙවි කරන වෙළෙන්දන් සිටියත් ඔවුන් මර්දනය කිරීමට නීති රීති නොමැත. හේතුව කුකුළා සහ කුකුළාගේ මිල රජයේ මිල සූත්‍රයෙන් හා මිල පාලනයෙන් ඉවත්ව ඇති නිසාවෙනි. සිදුවන එකම දෙය වන්නේ උත්සව සමයේදී අම්මලා තාත්තලා දහඅතේ හෝ ණය වී කීයකට හෝ කුකුළු මස්‌ කිලෝවක්‌ මිලදී ගෙන තම දරුවන්ට වේලක්‌ හෝ රහට කන්න දී පසුව ණය ගෙවා දැමීමයි.

උත්සව සමයේදී කුකුළුමස්‌ බිත්තර ගණන් යැම අපිට නම් දන්නා කාලයේ සිට අසන්නට දකින්නට ලැබෙන දෙයකි. එහෙත් අපිව ආරක්‍ෂා කිරීමට අපට සහන මිලට බඩු ලබාදීමට වෙර දරන වලිකන පිරිසට නම් මිල මතක්‌ වන්නේ මිල වැඩි වූ පසුවය. නමුත් පාලකයා සහ පාලනය යනු මිල වැඩි වීමට පෙර මිලවැඩිවීමට බලපාන හේතු සාධක සොයා බලා ඒවාට විසඳුම් සෙවීමය. එය හදිසියේම කළ නොහැක. දැඩි අවධානයකින් හා විපරමකින් යුතුව කරුණු අධ්‍යයනය කොට ඊට නිසි සැලසුම් දියත් කළ යුතුවෙයි. නමුත් අද පාලකයින් තුළ දක්‌නට නොවන්නේද එයමය. මිල වැඩි වූ පසු කුමක්‌ හෝ දොඩවයි. උත්සව සමයේදී කුකුළුමස්‌ හා බිත්තරවල මිල වැඩිවීම ගැන ඇසෙන කතාද එසේමය. ඒවාට දෙන පිළිතුරු ඉතා සංකීර්ණය. ලෝකයේ මුලින්ම බිහිවූයේ කිකිළියද? බිත්තරයද? යන ප්‍රශ්නයට උත්තර නැතිවාක්‌ මෙන්ම උත්සව සමයේ කුකුළුමස්‌ හා බිත්තර ගණන් යැමටද උත්තරයක්‌ නැත.

දියසේන රතුගමගේ
 

 
Powered By -