සංස්‌කෘතික හා ආධ්‍යාත්මික දරිද්‍රතාව

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බරපතල සංස්‌කෘතික හා ආධ්‍යාත්මික දරිද්‍රතාව පිළිබඳව පාලකයන්ගේ හෝ බුද්ධිමතුන්ගේ හෝ ප්‍රමාණවත් අවධානයක්‌ යොමු වී නැති බව සංවේගයෙන් වුවද කිව යුතුය. මේ සංස්‌කෘතික හා ආධ්‍යාත්මික පරිහානිය පිළිබඳව විවෘත ආර්ථිකය නමැති ජනප්‍රිය මුව හමට තඩිබෑම අප බොහෝ දෙනෙකුගේ පිළිවෙත වී තිබේ.

විවෘත ආර්ථිකය විසින් නිමවන ලද ධනවාදී පාරිභෝගික සමාජය හිත් පිත් නොමැති එකක්‌ බව ඇත්තය. කොරේ පිටට මරේ කීවාක්‌ මෙන් ඒ මතට එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදය ද කඩා වැටීමත් සමග එම සංස්‌කෘතික සෝදා පාළුවේ දොරටු වඩ වඩාත් විවෘත වූ බවද ඇත්තය.

අපට වුවමනා ශක්‌තිමත් දේශීය ආර්ථික පිළිවෙතක්‌ වර්ධනය නොවීම නිසා රටක්‌ වශයෙන් අපට සිදු වූයේ ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය ආයතනය වැනි ශූර චෞරවයන්ට අවනත වීමටය. තුන් වැනි ලෝකයේ ඉරණම වෙනස්‌ කිරීමට කැපවී සිටින අනේපිඬු සිටුවරුන් ලෙස පෙන්වන මේ ආයතන ප්‍රධානීන්ගේ සිතැඟි හා ආකල්ප ඒ රටවල් ද්‍රරිද්‍රතාවයෙහිම සිරකර තැබීමය.

යුරෝපා කොමිසම නැමැති නිර්දය බටහිර සමාගම අදත් අපට කරන සතුරුකම්වල සීමාවක්‌ නැත. මේ තත්ත්වය ඉවෙන් මෙන් වටහා ගත් වත්මන් රජය සිය සංස්‌කෘතික නෑයන් වූ චීනය, ඉරානය වැනි රටවලටත් ඉන්දියාව හා රුසියාව දෙසටත් ඇදී යැම බටහිරයන්ගේ නොසතුටටද හේතු වී තිබේ.

කෙසේ හෝ අපට එල්. ටී. ටී. ඊ. සංවිධානයත් එහි ෆැසිස්‌ට්‌‌වාදී නායක වේළුපිල්ලේ ප්‍රභාකරනුත් විනාශ කිරීමට හැකි විය. ප්‍රභාකරන්ගේ දුෂ්ටකම් පිළිබඳව ඕනෑවට වඩා තක්‌සේරුවක්‌ කළ බටහිර ඇතැමුන්ට අප ලද ඒ විජයග්‍රහණය දිරවා ගත නොහැකි වීමද පුදුමයක්‌ නොවේ.

දැන් ඔවුන්ගේ වෑයම එදා අපගේ වීරෝදාර හමුදාවන් විසින් වළලා දමන ලද ඊළාම්වාදයේ ඇටසැකිළි යළි ගොඩගැනීම බව ඉතා පැහැදිලිය. එක්‌සත් ජාතීන්ගේ මහලේකම්ගේ උපදේශක මණ්‌ඩලය අපට එරෙහිව ඇටවීමට බලාපොරොත්තු වන අන්තර් ජාතික කෙමනකි. අපට සලසන ලද බදු සහනයක්‌ වූ ජී. එස්‌. පී. ප්ලස්‌ පෙන්වා ඔජ වඩන්නේ ද අප මෙල්ල කර ගැනීමට බව අපි දනිමු.

මේ හැර ඔවුන්ට වුවමනා තවත් දෙයක්‌ ඇත. එනම් මේ රට සංස්‌කෘතික කාන්තාරයක්‌ කිරීමටය. සංස්‌කෘතිය යනු ඒ ඒ ජාතීන්ගේ ස්‌වභාවය හා අනන්‍යතාව හඳුනා ගැනීමේ ලකුණුය. එහෙත් බටහිරට වුවමනා වී ඇත්තේ ජනප්‍රිය සංස්‌කෘතිය නමැති ව්‍යාජය මේ රටේ ද ව්‍යාප්ත කරවීමය.

මේ වන විටත් ඒ සඳහා විවිධ සැලසුම් ක්‍රියාත්මක වෙමින් තිබේ. එහෙත් අපේ සංස්‌කෘතික බලධාරීන්ට හෝ වෙනත් විද්වතුන්ට මේ සංස්‌කෘතික ආක්‍රමණ පිළිබඳ පැහැදිලි අවබෝධයක්‌ නැති බව පෙනේ. රටක දියුණුව මනිනු ලබන්නේ භෞතික සංවර්ධනයෙනි. ඔවුන්ගෙන් වැඩි දෙනෙකුට සංස්‌කෘතික වර්ධනය යනු අප්‍රධාන දෙයකි.

පසුගිය දිනවල උද්ගත වූ ඇමෙරිකානු පොප් ගායක අකෝන් (AKON) මේ රටට ගෙන්වීමට ක්‍රියා කරන ලද්දේ කවුරුන් විසින් වුවද ඔහු අයත් වන්නේ සංස්‌කෘතික විහීනයන්ගේ ගණයටය. අකොන් ගැන හාංකාවිසියක්‌ නොදැන ඔහු මේ රටට ගෙන්වා සපුරා ගන්නට වෑයම් කළේ කවර මනදොලක්‌ද?

සංස්‌කෘතික තානාපතීන් ලෙස ක්‍රියාකිරීමට කලාකරුවෝ ඉතා සුදුසු වෙති. එහෙත් මේ පොප් ගායක අකෝන් ශ්‍රී ලංකාවේ සංස්‌කෘතික පදනම හා මූලයක්‌ වන බෞද්ධ සංස්‌කෘතියට අවමන් කළ පවිටෙකි. ඒ අසංස්‌කෘතික ක්‍රියාව තරමටම එයට එරෙහිව සිරස ආයතනයට එල්ල වූ ප්‍රහාරය ද අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

මේ වර්ගයේම තවත් සංස්‌කෘතික ප්‍රහාරයක්‌ පොළොන්නරුවෙන් වාර්තා විය. මහපැරකුම් සමයේදී කරවන ලද ඓතිහාසික පොළොන්නරුව රාජධානියේ ආරක්‍ෂක බැම්ම බැකෝ යන්ත්‍ර යොදවා කඩා දැමීමය. මේ සංස්‌කෘතික අපරාධය කළෝ කවරහුද? කවුරුන් වුවත් ඔවුන් විසින් කරන ලද වරද නිවැරැදි කළ නොහැකි එකක්‌ බව අප දැඩිව කියා සිටිමු.

පැණසර නොවන දේශපාලනඥයන් අහිමිවීම රටකට මුහුණ දීමට සිදුවන බරපතල විපතකි. ඔවුන්ට ජාතික චින්තනයක්‌ හෝ සංස්‌කෘතික අධ්‍යාත්මයක්‌ හෝ නැත. බටහිර සිට එන අකෝන්ලා ඉඹලා පිළිගැනීමේ යථාර්ථය එයයි. මේ මුග්ධයන්ට පොළොන්නරුවේ ඓතිහාසික ආරක්‍ෂක බැම්මත් වනාතමුල්ලේ පාරක්‌ අයිනක ඉදිකර තිබෙන ගඩොල් බැම්මත් අතර කිසිදු වෙනසක්‌ නැත. එහෙත් ජනතාව එය තවමත් තේරුම් ගෙනද නැත. ඒ නොතේරුම නිසා රටට වුවමනා විශිෂ්ටයන් බිහිකර ගැනීමද දුෂ්කර වී තිබේ.
 

 
Powered By -