මේ මැතිවරණය ජාතිය මුදාගැනීමේ ඊළඟ අවස්‌ථාවයි

ප්‍රභාකරන්ගේ කොටි ත්‍රස්‌තවාදය විනාශ කිරීම ජාතිය මුදා ගැනීමේ පළමු අවස්‌ථාව විය. ඉන් ඉක්‌බිතිව පැවති ජනාධිපතිවරණය එහි දෙවන අවස්‌ථාව විය. තව ටික දිනකින් පැවැත්වෙන මැතිවරණය අප විසින් සැලකිය යුත්තේ ඒ ක්‍රියාදාමයේම තෙවන අවස්‌ථාව ලෙසයි. යම් විදිහකින් කොටි ත්‍රස්‌තවාදය විනාශ කිරීමෙන් පසු පැවැත්වූ ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා පැරදුනේ නම් කොටි විනාශකර දැමීම අර්ථ ශූන්‍ය කාර්යයක්‌ වන්නට තිබිණි. ඒ අයුරින්ම මේ මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක්‌ එක්‌සත් ජනතා සන්ධානය ලබා නොගත හොත් ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා ලැබූ ජයග්‍රහණය අර්ථ ශූන්‍ය ක්‍රියාවක්‌ වනු ඇත.

මේ තර්කයෙන් මා බලාපොරොත්තු වන්නේ කොටි විනාශ කිරීම, ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා ජයගැනීම, මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක්‌ ලබා ගැනීම වෙන් වෙන් ක්‍රියා නොව එකම ක්‍රියාදාමයක අවස්‌ථා ලෙස අප විසින් සැලකිය යුතු බවයි. ඒ ක්‍රියාදාමයේ පරමාර්ථය අන් කිසිවක්‌ නොව අපගේ රට ජාතිය පත්ව ඇති ශෝචනීය තත්ත්වයෙන් එය මුදා ගැනීමයි. මෙහිදී තුනෙන් දෙකක බලයක්‌ රජයට ලබාදිය යුත්තේ කුමක්‌ නිසාද යන්න ඇතැමෙකුගේ විමසිල්ලට භාජන වී ඇති බව අපි දුටිමු. මෙහිදී එවැන්නන් විසින් නගන තර්ක කීපයක්‌ පසුගිය දිනවල අපට අසන්නට ලැබිණ.

මේ රජය දූෂණයෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන රජයක්‌ නොවේ. එවැනි රජයකට තුනෙන් දෙකක බලයක්‌ ලබා දීම අස්‌පයාට අං ලබාදීමක්‌ වැනි ක්‍රියාවක්‌ වන්නට පුළුවන. තුනෙන් දෙකක බලයක්‌ ලබා ගැනීමෙන් පසු ඒ දූෂණය, භීෂණය, ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා පටිපාටිය තව දුරටත් වැඩි වනු විනා අඩු නොවෙනු ඇත.

මේ තර්කය නගන්නන් විසින් අමතක කරනු ලබන එක්‌ ප්‍රධාන කරුණක්‌ නම් මේ දූෂණය භීෂණය මේ රජය විසින් නිර්මාණය කරන ලද්දක්‌ නොව ඊට පෙර තිබූ රනිල්, චන්ද්‍රිකා රජය මගින් මේ රජයට දායාද කරන ලද්දක්‌ බවයි. ඒ දායාදය පසුගිය කාලය තුළ බිහිවූ සියලු රජයන්ට උරුමකර දෙන ලද්දේ 77 දී බලයට පැමිණි ඡේ. ආර්. ජයවර්ධන විසිනුයි. මේ දූෂණයේ භීෂණයේ නිර්මාතෘවරයා ඔහු වෙයි. ඔහු බිහිකළ ව්‍යවස්‌ථාව මගිනුයි ඒ භීෂණය හා දූෂණය රාජ්‍ය ව්‍යqහයට ඇතළු කර ස්‌ථාපිත කරන ලද්දේ. යෑංකි ඩිකී යනුවෙන් හඳුන්වන ලද බටහිර ගැත්තෙකු වූ ඡේ. ආර්. ඒ අධම ව්‍යවස්‌ථාව අනේක වාරයක්‌ සංශෝධනය කරමින් ඒ අධම ක්‍රියාමාර්ගය ලැඡ්ජා බයෙන් තොරව ක්‍රියාවට නැංවූ සැටි අපි දුටිමු.

2005 බලයට පැමිණි මහින්ද රාජපක්‍ෂට ඒ අධම දායාදය පිටුදැකීමේ හැකියාවක්‌ නොතිබිණ. ඒ අධම ක්‍රියාමාර්ගය පිටුදැකීම කෙසේ වෙතත් සිය රජය රැකගැන්ම සඳහා අවශ්‍ය පාර්ලිමේන්තු බලය මහින්ද රාජපක්‍ෂ මහතාට ලබා ගත හැකි වූයේ අකැමැත්තෙන් වුව ඒ අධම මාර්ග තුළම රැඳී සිටීමෙනුයි. ළිං කටින් වැටුනු මිනිසා ළිං කටින්ම ගොඩ ආ යුතුය යන ප්‍රස්‌ථාපිරුල සිහිගන්වන්නකි මහින්ද රාජපක්‍ෂ මහතාට අනුගමනය කිරීමට තිබුණු මඟ. එක්‌සත් ජාතික පක්‍ෂයේ වූ මන්ත්‍රීවරුන් කීපදෙනකුට ඇමැති පට්‌ටම් පගා වශයෙන් දීමෙන් තොරව පාර්ලිමේන්තුව තුළ බලය රැක ගැනීමේ මගක්‌ එතුමාට නොතිබිණ. කථානායක පදවිය පවා සිය පක්‍ෂයට ලබාගත නොහැකි තත්ත්වයකි පාර්ලිමේන්තුව තුළ වූයේ. යම් විදිහකින් තමන් සමග වූ මන්ත්‍රීන් මෙන්ම එජාපයෙන් ආ මන්ත්‍රීන්ද දූෂකයන් ලෙස සලකා බැහැර කළේ නම් එවිට පාර්ලිමේන්තුව තුළ සිය බලය කඩා වැටෙනු නියතය. චන්ද්‍රිකා කුමාරතුංග මුහුණ දුන් ඉරණමට ගොදුරු වනු නියතය. කැබිනට්‌ රැස්‌වීම්වලට පැමිණි චන්ද්‍රිකාට සිය අත්බෑගයද පරිස්‌සම්කර ගැනීමට නොහැකි වූ සැටි අපි දුටිමු.

එසේ වී නම් මහින්ද රාජපක්‍ෂ බලයට පත්කිරීමෙන් ජනතාව බලාපොරොත්තු වූ ප්‍රධාන අරමුණ ඉටුකර ගත හැකිවනු ඇත්ද? ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය විනාශ කිරීමට හැකි වනු ඇත්ද? රට ජාතිය විජාතික ග්‍රහණයෙන් මුදවා ගැනීමට හැකිවනු ඇද්ද? තමන් පත් කළ ජනතාවගේ අපේක්‍ෂාව ඉටු කිරීමට නම් මහින්ද රාජපක්‍ෂට තිබුණේ දෙකෙන් එකක්‌ තෝරා ගැනීමයිá වැඩි හානිකර මඟ වෙනුවට අඩු හානිකර මඟ තෝරා ගැනීමයිá වසූරියෙන් බේරීම සඳහා හෙම්බිරිස්‌සාව වැළඳ ගැනීමයි.

අද වන විට මේ රජයට එරෙහිව ඇති දූෂණ භීෂණ චෝදනාව මහ හඬින් රට තුළ මෙන්ම ලොව තුළත් නගන එ. ජා. පාක්‍ෂිකයන් ඇතුළු ජාතිෙද්‍රහීන් මේ කටයුතු කරනු ලබන්නේ කුමන පරමාර්ථයක්‌ මුල්කරගෙනද යන්න අප විසින් වටහා ගත යුතුයි. එදා ඔවුන් ඒ උද්ඝෝෂණය නැගුවේ, ඒ චෝදනා අන්තර්ජාතික ප්‍රජාව වෙත ගෙන ගියේ, ඒ ප්‍රජාව මගින් ත්‍රස්‌තප්‍රහාරය වළක්‌වා ලනු සඳහායිá ප්‍රභාකරන් බේරා ගනු සඳහායිá සිය ස්‌වාමිවරුන්ට මේ රටේ ජයගැනීමට අවස්‌ථාවක්‌ ලබාදෙනු සඳහායි. ඒ උද්ඝෝෂණ දඩමීමා කර ගෙන ඒ විජාතික බලවේග ගෙන ඒමට කටයුතු කළ සැටි අපි දුටිමුá අවි සැපයීම නැවැත්වූ සැටි අපි දුටිමු. ණය ආධාර නොදී සිටි සැටි අපි දුටිමු. යුද්ධය නවත්වා සාම කතා වෙත යන ලෙස බලකර සිටි සැටි අපි දුටිමු.

අදත් ඔවුන් ඒ උද්ඝෝෂණ ගෙන යනු ලබන්නේ, ඒ චෝදනා එක්‌සත් ජාතීන්ගේ සංවිධානය වෙත ගෙනියනු ලබන්නේ අන් කිසිවක්‌ සඳහා නොව මේ රජය අස්‌ථාවර කරනු සඳහායි. යම් විදියකින් මේ මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක්‌ රජයට හිමි වුනොත් ඔවුන්ගේ මේ ක්‍රියාමාර්ගය සාර්ථක වීමට සෑම ඉඩකඩක්‌ ම ඇති බව අප විසින් වටහා ගත යුතුයි. මේ දිනවල රනිල් වික්‍රමසිංහ මහතා කට ඇරියොත් කියෙන්නේ මේ රජයට තුනෙන් දෙකක බලයක්‌ ලබා නොදෙන ලෙසයි.

එබැවින් කුමන දුර්වලතා, අඩුපාඩු තිබුනත් මේ රජයට තුනෙන් දෙකක බලයක්‌ ලබාදීම මහින්ද රාජපක්‍ෂ වෙනුවෙන් නොව තමන්ගේ රට ජාතිය වෙනුවෙන් අප විසින් ඉටු කළ යුතු වගකීමක්‌ බව අප විසින් වටහා ගත යුතුයි. එවිට පමණි මේ රජයට සතුරු කුමන්ත්‍රණවලට මුහුණ දීමට හැකි වනුයේá ඔවුන්ගේ අඩන්තේට්‌ටම් නොතකා කටයුතු කළ හැකි වනුයේá එමෙන්ම තමන් වටා සිටින දූෂිතයන් පිටුදැකීමටද හැකිවනු ඇත්තේ තුනෙන් දෙකක බලයක්‌ ලබාගෙන නව ව්‍යවස්‌ථාවක්‌ බිහිකර ගැනීමෙන් පමණි. අද අප මුහුණ දෙන මේ සියලු අතුරු අන්තරා උපද්‍රව මග හැර ගැනීමට හැකි වනුයේ.

මෙහිදී ඇතැමුන් නගන තවත් තර්කයක්‌ වෙතද ජනතා අවධානය යොමු කිරීම වැදගත් යයි සිතමි. එනම් තුනෙන් දෙකක බලයක්‌ ඉල්ලනු ලබන්නේ නව ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමට නම් ඒ ව්‍යවස්‌ථාව කුමක්‌ද යන්න මෙවේලෙහි හෙළි කළ යුතු බවයි මොවුන්ගේ තර්කය වී ඇත්තේ. අනුර දිසානායක මේ කතාව කීම ගැන මම පුදුම නොවෙමි. එහෙත් ඇසූ පිරූතැන් ඇති ඡේ.සී. පීරිස්‌ පියතුමාද මේ තර්කය නගා ඇති බව මම අයිලන්ඩ් පුවත්පතේ දුටිමි. මෙය කළ හැකි දෙයක්‌ද? සිංහල ගැමියන් විසින් මෙවැනි කතා හඳුන්වන්නේ නූපන් දරුවන්ට කේන්දර සෑදීමක්‌ ලෙසයි. තුනෙන් දෙකක බලයක්‌ ලබාගෙන හදනු ලබන ව්‍යවස්‌ථාව රට ජාතියට ද්‍රොහී එකක්‌ නම් එය නිෂ්ප්‍රභ කිරීමේ අවස්‌ථාව අපට තිබේ.

නව ව්‍යවස්‌ථාවක්‌ ක්‍රියාවට නැගීම සඳහා තුනෙන් දෙකක්‌ ප්‍රමාණවත් නොවේ. ඒ අරභයා ජනමත විචාරණයක්‌ද පැවැත්විය යුතුයි. එවිට එය පිටුදැකීමේ අවස්‌ථාව අපට ලැබෙනු ඇත. එමෙන්ම නව ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කරනු ලබන්නේ එකී පක්‍ෂයක්‌ සඳහා නොව (ඡේආර් කළ ලෙස නොව) මුළු මහත් ජාතියම මුල්කරගෙනයි. එහිදී එක්‌සත් ජනතා සංධානයේ ඉන්නා සියලු පක්‍ෂවල ඔළු ඊට අවශ්‍ය වනු ඇත. එමෙන්ම විපක්‍ෂයේ ඔළු ද ඊට යොදා ගත යුතු වනු ඇත. මහමැතිවරණය මගින් ඒ ඔළු මතුකර ගැනීමෙන් පසුය ව්‍යවස්‌ථාව සැදීම පටන්ගත යුතු වන්නේ. එය නූපන් දරුවන්ට කේන්දර හැදීමක්‌ විය හැකි නොවේ.

මෙහිදී අප විමසිලිමත් විය යුත්තේ නව ව්‍යවස්‌ථාවේ ස්‌වභාවය පිළිබඳ නොව තුනෙන් දෙකක බලයක්‌ ලැබෙන සේ අප පාර්ලිමේන්තුවට පිටත් කර හරින පුද්ගලයන් ගැනයි. ඔවුන් අප අනුමත කරන පරමාර්ථ ඉටුකර දීමට සූදානම් වූ පිරිසක්‌ ද යන්නයි අප විසින් විමසා බැලිය යුත්තේ.

මේ ලිපිය ආරම්භයේදී මේ මැතිවරණය පිළිබඳ අර්ථකථනය මම ඉදිරිපත් කෙළෙමි. මෙය ජාතිය මුදා ගැනීමේ - ජාතික විමුක්‌ති අරගලයේ තෙවන අවස්‌ථාව බව මම පෙන්වා දුනිමි. තුනෙන් දෙකක බලයක්‌ සඳහා අප පාර්ලිමේන්තුවට යවන පුද්ගලයන් මේ අර්ථකථනය කෙතරම් දුරට අවබෝධ කරගෙන ඇති ද යන්න පළමුව නැගිය යුතු ප්‍රශ්නය වන්නේ එවැනි අවබෝධයක්‌ ඔවුන් සතුව නොමැති නම් ඔවුන් පාර්ලිමේන්තුවට ඇරීම අපගේ ඡන්දය අපතේ යෑවීමක්‌ වනු ඇත. අප විසින් දෙවනුව ඇසිය යුතු ප්‍රශ්නය නම් ඔවුන් ඒ සඳහා ඇප කැප වූ අවංක ජාති හිතෛෂීන් ද යන්නයි. අද අපෙන් බලය ඉල්ලා සිටින, ඒ පැත්තෙන් මේ පැත්තට පනින අවස්‌ථාවාදීන්, පාර්ලිමේන්තුවට ගොස්‌ හතරවරං ගැසීමට සූදානම් වී සිටින්නන්, මුදල් බලයෙන් පාර්ලිමේන්තුවට රිංගා ගැනීමට තැත් කරන්නන්, කුඩු කාරයන්, හෝ දුෂිතයන් එවැනි කැපවීමක්‌ ඇති පිරිසක්‌ නොවන බව කිව යුතු නොවේ. එවැන්නන් පාර්ලිමේන්තුවට යෑව්වොත් එය මේ සටනේ අවසානයද වනු ඇත. එබැවින් තුනෙන් දෙකක බලය ලබාදීම මෙන්ම ඒ සඳහා පාර්ලිමේන්තුවට යවන්නන් ගැන ද අප දැඩි ලෙස විමසිලිමත් විය යුතුයි.

මේ අරභයා අප පසුගිය දශක කීපය තුළම කටයුතු කර ඇත්තේ අප හමුවෙහි ඇති සටන ගැන අවබෝධයකින් යුතුව නොවේá ප්‍රඥ සම්පන්න ලෙස නොවේ. 56 දී බණ්‌ඩාරනායක මහතාට සහාය දෙනු පිණිස අප පිටත් කර ඇරියේ ජාතිකත්වය රෙද්දට බැනියමට සීමා කර ගත් අප්‍රබුද්ධයන් පිරිසකුයි (ඒ අවස්‌ථාවේ වෙන පිරිසක්‌ නොසිටි බව ඇත්තකි) 1970 වේ සිරිමා බණ්‌ඩාරනායක මැතිනියගේ සහායට අප පත් කර ඇරියේ මේ ජාතික සටන අවඥවෙන් සලකන මාක්‌ස්‌වාදීන් පිරිසකුයි. 1994 දී අප තෝරාගත් චන්ද්‍රිකා සහ ඇගේ පරිවාර පිරිස රට පාවා දෙන පිරිසක්‌ බවට පත්වූහ. 2005 දී මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහායට අප ඇරිය ජ.වි.පෙ. සහෝදරයන් මහින්ද නසා විප්ලවය මගින් බලය ඇල්ලීමට සැරසුණු අඥනයන් පිරිසක්‌ විය. මේ අනුවණකම් අපි යළිත් වරක්‌ නොකළ යුතුයි. එබැවින් තුනෙන් දෙකක බලය ලබා දෙන අතරම ඒ බලය මගින් අපගේ අපේක්‍ෂා ඉටුකර දීමට සූදානම් වූ පිරිසක්‌ පාර්ලිමේන්තුවට යෑවීමට ද අප වග බලා ගත යුතුයි.

ආචාර්ය ගුණදාස අමරසේකර
 

 
Powered By -