ඉන්ට නැෂනල් රිපෝටර්

"මොකක්‌ද වෙන්න යන්නේ?" බුෂ් ඇසුවේය.

පිළිතුරු ගලාගෙන ආවේය. පළමු පිළිතුර ආවේ පෘතුගාල ජනාධිපතිගෙනි.

"දෙකෙන් එකක්‌ වෙන්නයි යන්නේ" ඔහු කීවේය.

දෙවන පිළිතුර ආවේ ස්‌පාඤ්ඤ අගමැතිගෙනි.

"තුනෙන් දෙකක්‌ වෙන්නයි යන්නේ" ඔහු කීවේය.

තුන්වෙනි පිළිතුර ආවේ පින්ලන්ත විදේශ ඇමතිගෙනි.

"පිංලන්තයට අමතරව තවත් ලන්තයක්‌ බිහිවෙන්නයි යන්නේ" ඔහු කීවේය.

ඉන්පසු එතුමා මෙසේ ද කීවේය.

"ඒ තමයි පෝස්‌ටර්ලන්තය. ලංකාවේ නම තුනෙන් දෙකේ බලයෙන් පෝස්‌ටර්ලන්ත ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කියලා වෙනස්‌ කරන්නයි යන්නේ" ඔහු කීවේය.

"ආයුධයෙන් කරන සටන්වලට වඩා පෝස්‌ටර්වලින් කරන සටනෙන් සිදුවන හානිය අඩුයි. ටී පණස්‌හයට හෝ ගල්කටස්‌ එකට වඩා පෝස්‌ටර්එක ඉතා මානව හිතවාදීයි. ලයිට්‌ කණු කඩනවාට වඩා ලයිට්‌ කණුවල පෝස්‌ටර් එකක්‌ ඇලවීම ඉතා ඥනාන්විත ක්‍රියාවක්‌" මෙවිට බුෂ් කියාගෙන කියාගෙන ගියේය.

ඒ අනුව පෝස්‌ටර්වලින් ද යහපතක්‌ සිදුවන බව ජාත්‍යන්තර ප්‍රජා සමිතියට පළමු වරට අවබෝධ විය. දේශපාලන යනු ඉතා බිහිසුණු හා හානිකර ක්‍රියාවලියකි. එහෙත් ආයුධයට වඩා පෝස්‌ටර් හරහා ක්‍රියාත්මක වීමේදී එහි බිහිසුණු බව අඩුවෙන බව මේ අනුව වටහා ගත යුතුය. ඒ අනුව දේශපාලනය අහිංසක සුරංගනා සෙල්ලමක්‌ බවට පත්කිරීම සම්බන්ධයෙන් ඉතා වටිනා කාර්යභාරයක්‌ ඕප්සෙට්‌ මුද්‍රණ යන්ත්‍රය විසින් සිදුකර ඇති බව වටහා ගත යුතුය. නාට්‍යකරුවෙකුට පෝස්‌ටරයක්‌ ගසා ගැනීමට රුපියල් දෙතුන් දහසක්‌ සොයාගැනීම අපහසු වුවත් දේශපාලනඥයන්ට පෝස්‌ටර් ගසන්නට මිලියන හයක්‌ හතක්‌ වුවත් සොයාගැනීමට හැකිවීම වෙනම කතා කළ යුතු මාතෘකාවකි. අනෙක්‌ අතට මෙය දේශපාලනඥයන්ගේ නොව නාට්‍යකරුවන්ගේ වරදය. ඒකාධිපති ආදී හොඳ නාට්‍ය තිබිය හැකි වුවත් සිංහල නාට්‍යය බොහෝවිට ප්‍රේක්‍ෂකයා සම්බන්ධයෙන් හැසිරෙන්නේ ඒකාධිපති ආකාරයෙනි.

බුෂ්ගේ කතාවෙන් සිදුවූයේ ජාත්‍යන්තර ප්‍රජා සමිතියේ කල්පනාව වෙන අතකට යොමුවීම බව බුෂ් වටහාගත්තේය. ඒ නිසා ඔහු දෙවන වරටත් ප්‍රශ්නය යොමු කළේය.

"මොකක්‌ද වෙන්න යන්නේ?"

ඉන් අනතුරුව කවුරුවත් පිළිතුරු දෙන්නට පෙර තමන්ම තමන්ගේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට වූවේය. බුෂ් පමණක්‌ නොව එය අප බොහෝ දෙනා කරන සිදුකරන දෙයකි.

"1977 දී මේ රටේ එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවක්‌ බිහිවුණා. ජනාධිපතිත් එජාපයෙන්, පාර්ලිමේන්තුවත් එජාපයෙන්"

ඉන්පසුව බුෂ් සභාව සිසාරා යන බැල්මක්‌ හෙලුවේය.

"56 තිබුණේත් සභාග ආණ්‌ඩුවක්‌. 60 තිබුණේත් සභාග ආණ්‌ඩුවක්‌. හැට පහේ තිබුණේත් සභාග ආණ්‌ඩුවක්‌. හැත්තෑවේ තිබුණේත් සභාග ආණ්‌ඩුවක්‌. හැත්තෑ හතේදී තමයි එජාප ආණ්‌ඩුවක්‌ ආවේ"

ඔහු යළිත් සභාව දෙස බැලුවේය.

"ඉතිහාසයේ කවරදාකවත් ශ්‍රී ලංකා ආණ්‌ඩුවක්‌ බිහිවෙලා නෑ. 56 බිහිවුණේ මහජන එක්‌සත් පෙරමුණු ආණ්‌ඩුවක්‌. හැත්තෑවේ බිහිවුණේ සමගි පෙරමුණු ආණ්‌ඩුවක්‌. ඒත් මේ බලවේගයේ නියාමක බලවේගය වුණේ ශ්‍රී ලංකා එක කියන එක ඓතිහාසික සත්‍යයක්‌. ඒත් හැත්තෑ හතේ ආණ්‌ඩුව ප්‍රගතිශීලී ආණ්‌ඩුවක්‌ වෙන්න එහි හිටපු පිලිප්ලා වගේ වෙනත් පක්‍ෂවල නායකයෝ ලොකු හයියක්‌ වුණා"

මේ කියන විට සමිතියට වැටහෙන්නට වූයේ ලංකාවේ දේශපාලන ඉතිහාසය සෙවීම හැර ඇමරිකානු හිටපු ජනාධිපති බුෂ්ට වෙනත් වැඩක්‌ නැති බවය.

"හැත්තෑවේ ආණ්‌ඩුවෙන් රටට වැදගත් වෙනසක්‌ කරන්න කොල්වින්ලා ඇන්ඇම්ලා දායක වුණා" එසේ කියා බුෂ් තවත් වරක්‌ සභාව දෙස බැලුවේය.

"ඒත් දැන් ඉතිහාසයේ ප්‍රථම වතාවට තනි නිල් පාට ආණ්‌ඩුවක්‌ හැදෙන්න අවස්‌ථාව ලැබිලා තියෙනවා. මෙයින් පෙනී යන්නේ මහින්ද මහත්තයා මෙතෙක්‌ ශ්‍රීලනිපයට ලැබුණු අසහාය නායකයා බවයි."

ඉන්පසුව යළිත් බුෂ් සමිතිය දෙස බැලුවේය.

"ඒත් මහින්ද මහත්තයා ම පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව කී පරිදි එතුමාව බේරාගන්න ලොකු වැඩ කොටසක්‌ කළේ ශ්‍රී ලංකා එකේ අයටත් වඩා විමල්, චම්පික, දිනේෂ්, ජොන්ස්‌ටන් ඒ වගේම පක්‍ෂ දේශපාලනයේ නොසිටිය ජැක්‌සන්. ඒකෙන් කියවෙන්නේ ශ්‍රී ලංකා එක රැකෙන්න නම් ශ්‍රී ලංකා එකේ අය හා නොවන අය අතර පවතින සහයෝගය සදා රැකගත යුතු බවයි."

ඉන්පසුව යළිත් වරක්‌ බුෂ් සමිතිය දෙස ඇහැ වපර කර බැලුවේය.

"මං කියන්නේ ශ්‍රී ලංකාකාරයෙක්‌ වගේ නෙමෙයි මහින්ද මහත්තයා වගේ හිතන්න. ඒක රටට හොඳයි. මවුබිමට හොඳයි. ලක්‌මවට හොඳයි. හෙට දිනට හොඳයි."

ඉන්පසුව බුෂ් තමන්ගේ පෝස්‌ටරයක්‌ සමිතියට ඉදිරිපත් කළේය. එහි ඇත්තේ බුෂ් අසුපිට නැගී සිටින ඡායාරුපයකි.

"මාත් නිකං ඉන්න ගමන් පෝස්‌ටර් එකක්‌ ගහන්න හොඳ පොටෝ එකක්‌ ගත්තා" බුෂ් කීවේය. ඒ විහිලුවත් සමඟ සමිතිය නිමාවිය.
 

 
Powered By -