දරුවා කළු ගඟ සහ මව

කළුතර මව දරුවා ගඟට විසි කොට දින කිහිපයක්‌ යන්නට මත්තෙන් අම්බලන්ගොඩ ප්‍රදේශයේ මවක්‌ විසින් ද ඉපදුණු දින රාත්‍රියේම තම දරුවා ගඟට විසි කළාය. අනුරාධපුර ප්‍රදේශයේ තරුණියක්‌ තමන්ට උපන් දරුවා ඉරිඟු ගාලකට විසි කොට දැමූ පුවතක්‌ මේ සිදුවීම් දෙකට පෙර වාර්තා වී තිබිණි.

මෙවැනි ආරංචි එක ළඟ සිදුවීම නිසා ඒවා බෙහෙවින් ජනතා අවධානයට පාත්‍ර විය.

නමුත් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් අපේ රට තුළ වරින් වර මීට ඉහතදී ද සිදු විය.

අප හැම දෙනාම බලන්නේ සිද්ධියේ ශෝකාත්මක පැත්ත දෙසය. රූපවාහිනි නාලිකා කළු ගඟට දැමූ දරුවාගේ පුවත ප්‍රධාන ප්‍රවෘත්ති අතරට ගෙන රටම හඬවනු ලැබීය. පුවත්පත් ද මේ දෙයම කළේය.

ජනමාධ්‍ය මේ සිදුවීම ප්‍රමුඛත්වයට ගැනීම සහ එය නිතර පාවිච්චියට ගැනීමෙහි වරදක්‌ ද දැකිය නොහැක. මවක්‌ තම දරුවා හිතා මතා ගඟට දැමීම විරල සිද්ධියකි.

මෙම සිදුවීමට පසුව පළ වූ සියලු වාර්තා මම කියවා බැලීමි. එම මවගේ තත්ත්වය හොඳින් වටහා ගත් අය සමඟ කතා බහ කළෙමි.

දරුවා ගඟට දැමීමට ඇයට බල කරනු ලැබුයේ මේ විෂම සමාජ ක්‍රමයේ වරද නිසාය යන්න සමාජ විද්‍යාඥයන්ගේ මතයයි.

දැන් අපි දරුවාගේ මව මෙවැනි දරුණු තීරණයකට එළඹෙන්නට සැකසුණු පසුබිම කෙටියෙන් සොයා බලමු.

ඇය සහ ඇගේ පවුල පළමුව ජීවත් වූයේ කළුතර වෙරළබඩ පැල්පත් වලය. එම පැල්පත්වාසීන් හැමදෙනාම පාහේ අසරණ අඩු ආදායම් සහිත අයය.

සුනාමි රළ ප්‍රහාරයෙන් ඔවුන් සියලු දෙනාගේම පැල්පත් අහිමි විය. ඔවුන්ට ඊළඟට පදිංචිවීමට ලැබුණේ සුනාමියෙන් නිවාස අහිමි වූ අයට අලුතින් තනා දෙනු ලැබූ නිවාස සංකීර්ණයේ ය. ඔවුන් විසූ පැල්පත්වලට වඩා මේ නව නිවාස හොඳ තත්ත්වයේ ඒවාය.

නමුත් ඇගේ සැමියාට ස්‌ථිර රැකියාවක්‌ තිබුණේ නැත. මේ නිසා දරුවන් පස්‌දෙනකු සහිත ජීවිතය බොහෝ දුෂ්කර විය. එම දරුවන් පාසල් යැමක්‌ කළේ නැත.

පියා ලොතරැයිපත් විකිණීමෙන් සුළු ආදායමක්‌ ලැබූ නමුදු, ඔහු මත්පැනට ගොදුරු වූවෙකි. මේ තත්ත්වය යටතේ පවුලේ වැඩිමහල් පිරිමි දරුවා කළුතර වෙළෙඳපොළේ කම්කරු වෘත්තියකට ගියේය.

පියාත්, පුතාත් කිසියම් ආදායමක්‌ පවුල වෙත ගෙන ආ නමුදු මෙම පවුලේ හරි එකතුවක්‌ තිබී නැත. පියා නොයෙක්‌ හේතුන් නිසා ණය බරින් පීඩිත වූවෙකි. ඒ නිසා ඔහු නිතර ගෙදර සිටියේ නැත.

මෙම මව ද ලොතරැයි වෙළෙ¹ම පටන් ගත්තේ මේ ආර්ථික අහේනිවලට පිළියමක්‌ ලෙසිනි.

මවත් පියාත් දෙදෙනාම ගෙදර නැති බැවින් ළමුන් දවල් දවස ගත කළේ එම නිවාස සංකීර්ණයේ තැනින් තැන ගෙවල්වලය. දවල්ට විස්‌කෝතු කන ලෙස කියා මව දරුවන්ට රු. 20 බැගින් දී ලොතරැයි වෙළෙ¹මට ගියාය.

මවගේ ස්‌වීප් ටිකට්‌ වෙළෙ¹මට ලොකුම බාදාව වූයේ බාලම පිරිමි දරුවා ය. මේ දරුවා හැම විටම ඇ පසුපසින් යැමට පුරුදුව සිටියේය. ඇවිදිමින්

ලොතරැයි විකුණමින් සිටි ඇයට, ලොතරැයි කූඩුවක සිට වෙළෙ¹ම කිරීමේ අවස්‌ථාව ලැබිණි. එය එක්‌තරා අන්දමකින් ඇයට ලැබුණු උසස්‌වීමක්‌ බඳු විය.

නමුත් එතැනදී ද ඇයට හරහට සිටියේ මේ දරුවා ය. නිතර මව පසුපසින් එන මේ දරුවා ලොතරැයි කූඩුවේ ද කාලය ගත කළේය.

අලියාද ළමයාද එක මොහොතක්‌වත් නිකං නොසිටී යෑයි කියුමක්‌ තිබේ. මේ ළමයා ද එසේය. සියොළඟ දූලි නාමින් කෙළි සෙල්ලමෙහි යෙදෙන වයසේ සිටින මේ දරුවා ලොතරැයි කූඩුව තුළ සිරවී සිටින්නට කැමැති නොවීම පුදුමයක්‌ නොවේ.

ඔහු ඒ මේ අත දිව යයි. හදිසියේ අතුරුදන් වෙයි. ලොතරැයි විකිණීම අතරේ මේ දඟකාර දරුවා බලා ගැනීම ඇයට ඉමහත් කරදරයක්‌ වන්නට ඇත.

එබැවින් ඇය පළමුව දරුවා ළමා නිවාසයකට ඇතුළත් කරන්නට උත්සාහ කර ඇත. නමුත් එය සාර්ථක වී නැත.

දරුවා නින්දට යවා කළුතර බෝ මළුවේ අතරමං කර පලා යන්නට ඇය උත්සාහ කරන්නේ ඉන් පසු ය. නමුත් මවගේ කූට උපක්‍රමය නොදත් අහිංසක දරුවා ඇය පසුපසින්ම දිව ආවේය.

දරුවා ගඟට දමා නිදහස්‌ වීමේ තීරණයට ඈ එළඹෙන්නේ ඉන් පසුවය. පාලමට යටින් කළු ගඟ ගලන්නේ මෝය කට හරහා මුහුදටය. එබැවින් කළුතර පාලම යටින් ගඟට වැටෙන්නකුගේ සිරුර මෝය කට හරහා ඉක්‌මනින් මුහුදට වැටේ. එවැන්නකුගේ සිරුර ආපසු හමුවන්නේ ඉතා කලාතුරකින් බව ප්‍රදේශවාසීන්ගේ මතයයි.

මේ වඩදිය කාලයයි. ගඟේ වතුර මට්‌ටම පහළට ගොස්‌ ගඟ ඉහළට ඇදෙන කාලයයි. වතුරට වැටුණු දරුවා මෝයකට වෙත යනවා වෙනුවට ගඟ ඉහළට පාවුණේ එබැවිනි. ලොරි රියෑදුරාට දරුවා පෙනුණේ ද එබැවිනි.

මව සිතුවේ දරුවා ගඟ දිය දිගේ ගොස්‌ මෝය කට හරහා මුහුදේ

අතුරුදන් වනු ඇත කියා ය.

දරුවා විසි කිරීමෙන් පසු ඇය ගියේ ගෙදර ය. කිසිදු කලබල බවක්‌ ඇය පෙන්වා නැත. ඥති කාන්තාවක්‌ දරුවා කොහිදැයි ඇසූ විට ළමා නිවාසයකට බාර දුන්නා යෑයි කියා ඇත.

ගඟෙහි සිට දරුවා ගොඩට ගත් පසු ආරංචිය කළුතරත්, රට පුරාත් පැතිර ගියේය. ඥති කාන්තාව නැවත පැමිණ දරුවා ගඟට දැම්මේ දැයි මේ මවගෙන් ඇසීය. මව ඊට පිළිතුරු දී ඇත්තේ "එහෙනං ළමා නිවාසයේ අය දරුවා ගඟට දමන්නට ඇත කියා ය."

දරුවා ගඟට දැමීමෙන් පසුව ද ඇය දැඩි කම්පනයක පසු නොවූ බව මේ කරුණු වලින් පෙනේ. පොලිසියේදී ද , බන්ධනාගාරයේදී ද ඇය අතීත සිදුවූ දේ ගැන කම්පා වන ලකුණු පෙනෙන්නට නොතිබුණු බව අසන්නට ලැබේ. එමෙන්ම දරුවා භූමදානය කරන දවසේ දරුවා අවසන් වරට දකින්නට යැමට ඇය ඉල්ලීමක්‌ කර තිබුණේ ද නැත.

ඇය ළඟ සැලසුමක්‌ තිබූ බව ද සිතා මතා එය සිදුකළ බව ද ඇය කළ ප්‍රකාශවලින් පෙනේ.

මේ සටහන ලිවීම ආරම්භ කළේ කිසියම් නිගමනයක්‌ දෙමින් මෙය අවසන් කරන හැඟීමෙනි. නමුත් ඇය ගැන එලෙස නිශ්චිත අවසන් නිගමනයකට එළඹීම ඉතා දුෂ්කරය.

මෙම දුක්‌බර තීන්දුව ගන්නට පෙර ඊට ආසන්න දිනයක ඇය මෙම දරුවන් පස්‌දෙනා ද රැගෙන සැමියාගේ මහ ගෙදර ගොස්‌ තිබේ. නමුත් එම නිවැසියන් ඔවුන් ගෙට වද්දා ගෙන නැතැයි පැවසේ.

මේ සියලු මානසික පීඩාවන් දරුවා ගඟට බිලි කිරීමට ඇයට බලපෑවා වන්නට පුළුවන.

නමුත් මෙය පියකු නැති දරුවකු බිහිකළ මවක්‌ නින්දාවට බියෙන් දරුවා කැලයට විසි කිරීමට සමාන කළ හැකි දෙයක්‌ නොවේ.

දරුවා ගඟට දැමුවේ ආර්ථික පීඩනය නිසාමද?

නැතහොත් ලොතරැයි වෙළෙ¹මට දරුවා බාධාවක්‌ වූ නිසාද?

දිළිඳුකමත්, පීඩාවත්, නූගත්කමත් එකට එකතුව දරුවා මරා දැමීමෙන් ලොකු සහනයක්‌ ලැබේ යෑයි යන පටු සිතුවිල්ල වෙත ඇය මෙහෙයවනු ලැබීද?

එසේත් නැත්නම් සංසාර ගමනේ යම් භවයක දරුවා ඇයට සතුරෙක්‌ව ඇය ඝාතනය කිරීම නිසා මේ භවයේදී ඇය ඊට මෙසේ ප්‍රතික්‍රියා දැක්‌වීද?

මේවා අනුමාන පමණි.

මේ කිසිවකට නිශ්චිත පිළිතුරු සොයා ගැනීම අපහසුය. නමුත් එක්‌ මZඟක්‌ තිබේ.

ඒ මඟ නම් අවංක ලෙස ඇය පාපොච්චාරණයක යෙදීමය.

පිළිවෙළින් පියවරෙන් පියවර මේ අපරාධය සිදු කිරීම දක්‌වා ඈ තල්ලු වී ගිය ආකාරය ඇගේ පාපොච්චාරණයක්‌ ලෙසින් ප්‍රකාශ වන්නේ නම් යම් නිගමනයකට එළඹීමේ හැකියාව අපට ලැබේ.

ඇගේ ඒ අවංක පාපොච්චාරණය සමාජයට අලුත් ඇසක්‌ පාදා දෙනු ඇත. සමාජයට අලුත් පාඩමක්‌ ද කියා දෙනු ඇත.

චන්ද්‍රසිරි දොඩන්ගොඩ

 

 
Powered By -