මංකඩ

සිදුවීමක්‌ වෙන්න කලින්...

කළුතර බෝධිය ළඟින් කළු ගඟට වීසි කළ අමිල සඳරුවන් පුතා සදහටම දැස පියා ගත්තා. ඒ නොදරුවාට අත්වූ ඉරණම ගැන කම්පා වූවකු නැති තරම්. ඒ ගැන අද මුළු රටම දන්නවා. හැබැයි මේ කියන්නේ අමිල පුතාගේ අවාසනාවන්ත ඉරණමත් එක්‌ක කාටත් දැනෙන ඒත් නොදැනුනා වගේ ඉන්න කාරණයක්‌ ගැන.

අමිල පුතාගේ පුවත මුල්වරට රටට හෙළි කරලා මේ සමාජයට ඒ කතාව කිව්වේ රූප පෙට්‌ටියෙන්. ඒකෙ ගෞරවය වගේම එමගින් අමිල පුතාගේ සහෝදරයන්ට අත්වූ සෙත ගැන ඒ හැමෝටම පිං. හැබැයි පුංචි කොස්‌සක්‌ තියෙනවා. පහුගිය සති එකහමාරක කාලේ මේ සිද්ධියේ දර්ශන රූප පෙට්‌ටියේ පෙන්වූ ආකාරය. පුංචි අමිල සඳරුවන් දියෙන් ගොඩට ගනිද්දී අර තරුණයාගේ දැත මතදී දරුවගේ හිස කඩා වැටෙන දසුන. ඒක බොහොම හැඟීම්බර එකක්‌. පහුගිය දවස්‌වල හැමදාම චිත්‍රපටයක්‌ වගේ මේ දසුන රූපවාහිනියෙන් විකාශය වෙද්දී සමහර සංවේදී මිනිසුන් එය දරාගත නොහැකිව ඉවත බලා ගත් ආකාරය ඔබ නොදන්නවා ඇති. ඇඟිල්ල දිගු කරන්නත් බෑ අපට. ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය. ඒකත් එහෙමයි කියමුකො. දන්නවද ඔබ. පහුගිය සඳුදා කාර්යාලයට දුරකථන ඇමතුමක්‌ ආවා. වැඩිහිටි මවකගෙන්. "කළු ගඟේ පාවුන බබාගේ" හිස කඩාගෙන වැටෙනවා පෙන්වන කොට අපේ දුවට ක්‌ලාන්තේ හැදෙනව. එයාගේ බබාත් නැතිවෙලා තියෙන්නෙ දියේ ගිලිලා. ඒ මව කීවා.

ඒ කාන්තාව ගැනම හිතල ලියනව නෙවෙයි. අරමුණ යහපත් වුණත් මේ වගේ සංවේදී දර්ශන නිතර නිතර පෙන්වන එක කොයිතරම් සදාචාර සම්පන්නද කියා හිතන එක හොඳයි නේද? විශේෂයෙන් පුංචි දරුවන්ගේ සිද්ධියක්‌ පෙන්වද්දී පුංචි බබලා ඉන්න අම්මල තාත්තලට ඒ වගේ දෙයක්‌ දරාගන්න අමාරුයි. ඒක පළවැනි කාරණය.

අනික (22) අමිල පුතා අවසන් ගමන් ගිය දවස. එදා මගේ නෙත ගැටුණේ පත්තරවල මුල්පිටුවල තිබුණා ඒ වගේම අවාසනාවන්ත සිද්ධියක්‌. අම්බලන්ගොඩ පස්‌දරු මවක්‌ උපන් ගමන් බිළි¹ව පොලිතින් උරයක දමල හල්වතුර ගඟට වීසි කරල. දෙවියනේ මොනවද මේ වෙන්නෙ වදාපු අම්මලාට දරුවන් ගංගාවලට වීසි කරන්න තරමට...?

මට හිතෙන්නෙ ඒ අම්මලට වගේම අපි හැමෝටම කොතන හරි වැරදිල තියෙනවා. දැන් අමිල ගැන වගේම ඒ දරුවට අත්වූ ඉරණම ගැනත් හැමෝම එක වගේ දුක්‌වේවි. අද නොවෙයි හෙට දුප්පත් කම නැති කරන්න පොරොන්දු දෙන මැති මහත්වරු සමහරවිට මේ දරුවන්ගේ මරණ දේශපාලන වේදිකාවේ තොරම්බල් කරාවි. ඒත් මෙහෙම ඉරණමක්‌ උදාවෙන්න කලින් මහ මගදී හමුවන මේ වගේ දරුවන්ට බත් වේලක්‌ හරි දෙන්න ඉදිරිපත් වෙන්නෙ අද සමාජයේ කීයෙන් කී දෙනාද? සමාවෙන්න මේ කතාව එතැනින් ඉවර නෑ. දැන් අමිල සඳරුවන් වෙනුවෙන් ඒ දරුවන් සහෝදරවරුන්ට උදව් කරන්න පදනම් හදාවි. දැත් දිගුවේ. එය විය යුතුයි. නමුත් අමිල වගේ දරුවො කී දෙනෙක්‌ අද අප අතර ජීවත් වෙනවද? අමිල පුතාගේ ෙ€දවාචකය මාර්කට්‌ නොකර සිදුවීමක්‌ වෙන්න කලින් පොදුවේ ඒ වගේ දරුවන් වෙනුවෙන් යමක්‌ කරන්න කාට හරි පුළුවන්නම්...

පුංචි එකාගේ වාසනාව

හොරණ දොඹගොඩ සීලරතන ම.වි. පිරිමි ගුරුවරු කිරිඇල්ලෙ මළ ගෙදරක යන්න පිටත් වුණා. ගමන යතුරු පැදිවලින්. මුළු පිරිස දහ දෙනයි. හොරණ පසුකරන විට රාත්‍රි 8.00 ට පමණ වුණා. ඉඩංගොඩ ඉඳල මළ ගෙදර කොතනදැයි ඉව අල්ලමින් තමයි පිරිස ඉදිරියට ඇදුනෙ. හේතුව මළ ගෙදර කිරිඇල්ලත් ගොරක ඇල්ලත් අතර බව දැනගෙන තිබුණාට නිච්චියටම තියන තැන කවුරුවත් දැනගෙන හිටියේ නැහැ.

ඉඩංගොඩ, කිරිඇල්ල විතරක්‌ නෙමෙයි ගොරකඇල්ලත් පහුකරල යතුරුපැදි එක දෙක ඉස්‌සර වුණා. පිරිස අතර විදුහල්පතිත් හිටියා. ඔහු දැන ගත්තා මග වැරදුන බව. එක්‌ අයෙකු මළ ගෙදරට දුරකථන ඇමතුම් ගත්තා. ඒත් කිසිම ප්‍රතිචාරයක්‌ නැහැ. මේ අතර විදුහල්පතිගෙ බයිසිකලය පසුකර සෙසු බයිසිකල් තවදුරටත් ඉදිරියට ඇදුනා.

"තවත් ඉස්‌සරහට ගිහින් වැඩක්‌ නැහැ" ඉස්‌සර කරපු කට්‌ටියව ආපහු හරව ගන්න ඕනේ."

මෙහෙම හිතුව විදුහල්පති බයිසිකලය නතර කෙරුවා. කුඩා අතුරු පාරක්‌ හරස්‌වෙලා තමයි ප්‍රධාන පාර අයිනෙ ඔහු යතුරුපැදිය නතර කරල තිබුණේ.

දුරකථන ඇමතුමක්‌ ගන්න හැදුව විතරයි. විදුහල්පතිවරය ඉන්න පැත්තට මොකක්‌දෝ තුරුළු කරන් කවුදෝ දුවගෙන එනව පේනවා. ඒ රුව අතේ දුරට ළං වුණා. මේ තරුණ තාත්තා කෙනෙක්‌. පපුවට තුරුළු කරගෙන ඇවිත් තියෙන්නෙ පුංචි දරු පැටියෙක්‌.

"අනේ" මහත්තයෝ මගේ දරුවට හොඳටම අමාරුයි. හන්දියෙ දිස්‌පැන්සරියටවත් ගෙනියන්න විදියක්‌ නෑ..." කිසිම හාවක්‌ හූවක්‌ නැති ඒ දරු පැටියාව බදාගෙන ශෝකයටත් බියටත් අසරණ බවටත් පත්ව සිටි ඒ තරුණ පියා කීවා.

විදුහල්පති ඔරලෝසු කටුව දිහා බැලුවා. රාත්‍රි දහයත් පහුවෙලා. පාරේ වාහනයක්‌ යන එන සේයාවක්‌ නෑ. විදුහල්පති පියාව බයිසිකලයට නංවා ගත්තේ "නගින්ට මල්ලි හන්දියට නෙවෙයි රත්නපුරේට හරි යං" කියල.

බයිසිකල් රෝදය වට සීයක්‌ දෙසීයක්‌ කැරකෙන කොට දිස්‌පැන්සිරිය පෙනුණා. පුංචි බබා ඇඳ මත තියනකොටත් සිරුර සීතල වෙලා. තරුණ වෛද්‍යවරයා දරුවව පියවි සිහියට ගෙනෙන්න ගත්ත වෙහෙස දිහා අපි හැමෝම බලා හිටියා. දරුවගෙ හුස්‌ම වැටෙන්න පටන් ගත්තේ ඊට පස්‌සේ. පුංචි එකා ඇස්‌ ඇරියාම අර තරුණ තාත්තා කිරි කැටියව තුරුළු කරගෙන මූණ සිඹ සිඹ වැළපුන ආකාරය දකිද්දී මට මතක්‌ වුණේ මගේ පුංචි එකාව. ඇත්තමයි ඒක දැකල විදුහල්පතිවරයගෙ ඇහෙනුත් කඳුළු වැටුණා.

මළ ගෙදර හොයාගන්න බැරිව අපිව අතරමං කෙරුවේ අර පුංචි එකාගෙ වාසනාව. මේ සටහන මංකඩට එව්ව හොරණ

පිළිකා රෝගී ඇය ආධාර පතයි

සමන් චන්දන මාරසිංහ අන්තිමට එහෙම ලියා තිබුණා.

කොළඹ 14, ග්‍රෑන්ඩ්පාස්‌, නාගලගම්වීථිය, 169/1 නිවසේ පදිංචි 56 වියෑති පී. ජී. දයාවතී මහත්මිය දැඩි පිළිකා රෝගයකින් පෙළෙන බැවින් ඇය සුවපත් කිරීම සඳහා මුදලින් රුපියල් විසිපන් ලක්‍ෂයක්‌ (25,00000) පමණ වැය වන බව මහරගම පිළිකා රෝහලේ විශේෂඥ වෛද්‍ය ජයන්ත බාලවර්ධන මහතා පවසයි. මේ මුදල සොයා ගැනීමට අසීරු කරුණක්‌ බැවින් පින් ඇති ඔබගේ ආධාරය ග්‍රෑන්ඩ්පාස්‌, ලංකා බැංකු ශාඛාවේ ගිණුම් අංක 8666866 ට ලබාදෙන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. විස්‌තර දැන ගැනීමට අවශ්‍ය නම් 011-2381058 අංකයට අමතන මෙන් ඉල්ලමි.


තිස්‌ස ගුණතිලක

අපට ලියන්න
මංකඩ, දිවයින ඉරිදා සංග්‍රහය
223 බ්ලුමැන්ඩල් පාර කොළඹ 13
 

 
Powered By -