ජා-ඇල කපාල කන්දේ ඓතිහාසික පාස්‌කු දර්ශනය

ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට රූකඩ කලාව උපයෝගී කර ගනිමින් ප්‍රතිමා ඇසුරෙන් පාස්‌කු දර්ශනයක්‌ රඟ දක්‌වා ඇත්තේ වර්ෂ 1706 මන්නාරම පේසාලේ ප්‍රදේශයේදී යෑයි සඳහන්වේ. එනම් වන්දනීය ජුසේ වාස්‌ පියතුමා අප දේශයේ උතුරු පළාතේ ධර්මදූත සේවයේ නියෑලී සිටි සමයේ එම ප්‍රදේශවල පළාත් පාලකයන් ලෙස කටයුතු කළ වන්නියාර්වරුන්ගේ අනුග්‍රහයෙන් ඉන්දියාවේ ගෝව ප්‍රදේශයෙන් ප්‍රතිමා සහ ඇඳුම් ආයිත්තම් ගෙන්වා ගෙනය. මේ කාලයේදී වන්දනීය ජුසේ වාස්‌ පියතුමාගේ ධර්මදූත සේවයට සහය වීම පිණිස අප දේශයේ කිතුණු සාහිත්‍ය කලාවක්‌ නිර්මාණය කිරීමේ පුරෝගාමියාණන් වූ ගරු ජාකොමේ ගොන්සාල්වේස්‌ පියතුමා වර්ෂ 1705 දී අප මවුබිමට සැපත්ව තිබුණි. එතුමා විසින් වර්ෂ 1728 දී පමණ ක්‍රිස්‌තුස්‌වහන්සේ දු. ඛප්‍රාප්තිය පිළිබඳ ශෝකී ස්‌වරයෙන් රචිත "දුක්‌ප්‍රාප්ති ප්‍රසංගය" නමැති ග්‍රන්ථය එළි දක්‌වන ලදී. එහි පද්‍ය රචනා "පසං පොත" නමින්ද ද්‍රවිඩ භාෂාවෙන් එය "වියාකූලපිරසංගම්" නමින්ද එළි දක්‌වන ලදී. එයින් ජනප්‍රිය වෙමින් පැවති ප්‍රතිමා පණ ගන්වමින් රඟ දක්‌වන පාස්‌කු කලාවට නව ජීවයක්‌ ලැබුණි. එනම් ඡේසුතුමාගේ දුක්‌ත ජීවිත පූජාව ගැන බැතිමතුන්ගේ හදවත් තුළට කා වදින ලෙසට ජවනිකාවෙන් ජවනිකාවට ශෝකී ස්‌වරයෙන් රාගානුකූලව ඉදිරිපත් කිරීමට හැකිවිය. ඉන්පසුව මේ අනුසාරයෙන් දිවයිනේ ජාඇල ඇතුළු බොහෝ කතෝලික ගම් නගරවල දහස්‌ සංඛ්‍යාත බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් පාස්‌කු දර්ශන රඟ දැක්‌වීම පවත්වා ගෙන එන ලදී. කෙසේ වෙතත් අද ශ්‍රී ලංකාවේ අතිශයින් ජනප්‍රියත්වයට පත් පාස්‌කු දර්ශනය යම් යම් හේතූන් මත ප්‍රදර්ශනය නොකෙරේ. අතීත සම්ප්‍රදායන්ට අනුකූලව වර්තමානයේදී ප්‍රතිමා උපයෝගී කරගෙන දුක්‌ප්‍රාප්ති ප්‍රසාංග පොත සහ පසං පොත ඇසුරෙන් ඉපැරණි රාගතාල අනුසාරයෙන් තවමත් ශ්‍රී ලංකාවේ රඟ දක්‌වනු ලබන එකම පාස්‌කු දර්ශනය ජාඇල වික්‌ෂෝප මාතා දේවස්‌ථානය මගින් කරනු ලබන මෙම පාස්‌කු දර්ශනයයි. එහි සාරාංශ ගත ඉතිහාසය මෙසේය.

වර්ෂ 1801 නොවැ. 09 දින ක¹න නාගොඩ මීසමට අයත්ව ගරු ජෝකීම් මූරේ, ගරු මරියානු සල්ද්‍රනෝ, ගරු ජුවාන් වාස්‌ යන ඔරතෝරියානු නිකායික පියවරුන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම මුහුප්පු තනතුර හෙබවූ ඒ රුබෑර්තු සිල්වා මහතා විසින් මුල් ගල තියා ජාඇල වික්‌ෂෝප මාතා දේවස්‌ථානයේ වැඩ ආරම්භ කරන ලදී. වර්ෂ 1851 දී දේවස්‌ථානය ආසිරි ගැන්වීමට අවු. 03 කට පෙර එනම් වර්ෂ 1848 දී නාගොඩ මීසමේ ධර්මදූත සේවයේ නියෑලී සිටි ඔරතෝරියානු නිකායික ගරු පේෙද්‍රda නොරිඤ්ඤ පියතුමාගේ සංකල්පයක්‌ මත දේවස්‌ථානය අසල පිහිටි මෙම මනරම් කඳු ගැටය ආසිරි ගන්වා "කපාල කන්ද" ලෙස නම් කරන ලදී. එයින් වසර 11 කට පසු එනම් වර්ෂ 1859 දී මෙම ඓතිහාසික පාස්‌කුවේ මූලාරම්භය සනිටුහන් කරමින් අප ග්‍රාමවාසී එල්. ලුවිස්‌ ප්‍රනාන්දු මහතා විසින් ග්‍රාමවාසීන්ගේ සහයෝගයෙන් ප්‍රථම පාස්‌කු දර්ශනය අති විශාල බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් රඟ දක්‌වන ලදී. එය ගොබ් ඉරු දිනෙන් ආරම්භ වී පාස්‌කු ඉරු දිනෙන් අවසන් වන පරිදි ඡේසුතුමාගේ දුක්‌ප්‍රාප්තියේ සියලු සිදුවීම් ඇතුළත් කොට "මහා පාස්‌කුව" නමින් රඟ දක්‌වන ලදී. වර්ෂ 1908 දී ජාඇලට දුම්රිය ස්‌ථානය ලැබීමටද මෙම පාස්‌කු දර්ශනයට පැමිණෙන අති විශාල ජනකාය හේතුවුණු බව සඳහන් වේ. මෙම පාස්‌කු දර්ශනයේ වර්ෂ 1941 සිට කුරුසේ ඇණ ගසනු ලබන ඡේසු ප්‍රතිමාව අඹා ඇත්තේ නිහඬ කලාකරුවෙකු වූ අප ග්‍රාමවාසී ලෝරන්ස්‌ මාකස්‌ මහතා විසින් වන අතර දේවස්‌ථානයේ මුහුප්පු තනතුර හෙබවූ ඊ. පිලිප් ප්‍රනාන්දු මහතා සතුව තිබූ මෙම ඡේසු ප්‍රතිමාව ඒ මහතා විසින් වර්ෂ 1938 දී දේවස්‌ථානයට භාර කරන ලදී. අද එය අති පූජනීය ප්‍රතිමාවකි.

වර්ෂ 1950 දශකයේ මුලදී පමණ දින හතේ මහා පාස්‌කුව වෙනුවට එය මහා සිකුරාදා දිනට සීමා වන ලෙසට උදේ 9.00 ට දේවස්‌ථානය අසලින් පාදනමස්‌කාර ස්‌ථාන මුල් කොට ගනිමින් ඡේසුතුමා මරණයට තීන්දු ලැබ කුරුසේ කරින් ගෙන කපාල කන්ද මුදුන දක්‌වා යන අති දුෂ්කර ගමනත්, ඉන්පසු දහවල් 1.30 සිට උන්වහන්සේ කුරුසියේ ඇණ ගැසීම හා උකුත්වීමේ අවස්‌ථාව නිරූපණයෙන් පසුව ඡේසුතුමාගේ නිසල දේහය කුරුසියෙන් බා දෙව්මව් උකුලේ පුනවනු ලැබීමෙන් අනතුරුව දේවස්‌ථානය කරා පෙරහැරින් ගොස්‌ තැන්පත් කිරීමෙන් අනතුරුව නිමාවේ. පාස්‌කු ඉරුදින දිව්‍ය පූජාවෙන් පසු උන්වහන්සේගේ උත්ථානවීම පෙන්නුම් කිරීමෙන් අනතුරුව විජයග්‍රාහී ඡේසු ප්‍රතිමාව රැගෙන වීදි සංචාරය කිරීමෙන් පසු මෙම ඓතිහාසික පාස්‌කු දර්ශනය නිමාවට පත් කෙරේ.

එම නිසා අද මෙම පාස්‌කු දර්ශනය බැලීමට පැමිණෙන බැතිමතුන් හුදු ප්‍රේක්‌ෂකයන් පිරිසක්‌ බවට පත් නොකොට ඔවුන් පාදනමස්‌කාර භක්‌ති අභ්‍යාසයේ කොටස්‌කරුවන් ලෙසට සහභාගිවීමේ හැකියාව ඇති බැවින් ඔබගේ මනස්‌ථාපනය මුදා හැරීම සඳහා වර්ෂ 2010 අප්‍රේල් මස 02 වැනි මහා සිකුරාදා දින බැතිමත් කතෝලික ඔබ සැමට ජාඇල වික්‌ෂෝප මාතා දේවස්‌ථානයේ මීසම් පාලක ගරු සාන්ත සාගර පියතුමා සහ දහම් සේවා සභාව ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටින්නෙමු.

ඊ. ලක්‌සිරි ප්‍රනාන්දු
 

 
Powered By -