ළමාවියේ සිහින බොඳකරන "ඔටිසම්"

වයස අවුරුදු එක හමාරක දෙකක දරුවෙක්‌ කියන්නෙ හරිම හුරතල් දරුවෙක්‌.... උනුසුමට තුරුළුවෙලා කියන හුරතල් කතා අහන්න කොයි අම්ම තාත්තද අකමැති. ඒත් ඔබේ මේ පුංචි හුරතලා අවුරුදු එකහමාරක්‌ විතර වෙන කොටවත් වචනයක්‌ දෙකක්‌ කතා කරන්නෙ නැත්නම් අනෙක්‌ සම වයසේ දරුවන් සමග සෙල්ලම් කිරීමේ හැකියාව ඔහුට පැහැදිලි ලෙසම අඩු බවක්‌ ඔබට පෙනෙනව නම් ඔබ ඔබේ දරුවා ගැන විශේෂ අවධානයක්‌ යොමු කළ යුතුව තිබෙනවා.

සමහර විට ඔබේ දරුවා එවැනි හැසිරීම් රටාවක්‌ පෙන්වන්නේ ඔහු ළමාවියේදී ඇතිවන එක්‌තරා ස්‌නායු වර්ධනීය මානසික ගැටලුවකට මුහුණදී සිටින නිසා විය හැකි බවයි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වෛද්‍ය සුදත් දම්සිංහ පවසන්නේ.

මේ රෝගී තත්ත්වය හඳුන්වන්නෙ ඔටිසම් යනුවෙන්. වයස අවුරුදු එකහමාරක දෙකක දරුවෙක්‌ පෙන්වන මෙවැනි අසාමාන්‍ය හැසිරීමකට හේතුව ළමා මොළයෙහි ඇතිවන ස්‌නායු වර්ධනයේ ගැටලුවක්‌ නිසා සාමාන්‍ය ආකාරයෙන් බාහිරව වෙනත් ලෙසකින් වර්ධනය වීමයි. පළමු උපන් දිනය දක්‌වා හැම අතින්ම සාමාන්‍ය ලෙස වැඩෙන දරුවෙක්‌ දෙවැනි උපන් දිනය වනවිට මෙවැනි රෝග ලක්‍ෂණ පෙන්වීම මේ රෝගයේ ස්‌වභාවයයි. සෙල්ලම් කරනවා අඩු, වැඩිපුර කතාබහ නොකරන හැම දරුවෙක්‌ම ඔටිසම් දරුවෙක්‌ නෙමෙයි. නමුත් ඔබ මේ පිළිබඳ සැලකිලිමත් විය යුත්තේ මේ වනවිට ශ්‍රී ලංකාවේ ඔටිසම් දරුවන් ලක්‍ෂ හතරක්‌ පමණ සිටින බව හඳුනාගෙන ඇති නිසයි.

ඔබේ හුරතල් දරුපැටියත් ඔටිසම් රෝගයෙන් පෙළෙනවද? ඒ ගැන සැකහැර දැනගන්න ඔබට පහසුවෙන් පුළුවන්.

ඔබේ දරු පැටියා වයස වසරක්‌ වන විටත් වචන කිහිපයක්‌ හෝ කතා නොකරයි නම් හා වසර දෙක වනවිට වාක්‍ය කීමේ හැකියාව ලබා නොගන්නේ නම් හෝ යන්තමින් හෝ එතෙක්‌ කළ කතාබහ වසර එකහමාර වනවිට නැතිවන්නේ නම්,

ඔබේ දරුවාට අන් අය සමග සෙල්ලම් කිරීමේ හැකියාව ඔබට පෙනෙන ලෙස අඩුනම් හා ඔහු හෝ ඇය තනිවම සෙල්ලම් කරමින් සිටී නම්,

දරුවා ඔබගේ ඇසට ඇස බැලීම නොකරයි නම්,

ඔබ ඇඟිල්ලෙන් සෙල්ලම් බඩුවක්‌ පෙන්වූ විට දරුවා ඒ දෙස බැලීමට නොදන්නේ නම් හා දරුවා ඔබට යම් යම් දේ ඇඟිල්ලෙන් නොපෙන්වයි නම්,

දරුවා යම්කිසි බාහිර තැනකට රැගෙන ගියවිට අධික ලෙස දඟලමින් කෑගසමින් හැසිරෙන්නේ නම් හා යම් කිසිවකු ගෙදර පැමිණි විට හා පරිසරයේ යම් වෙනසක්‌ ඇති වූ විට දරුවාට එය දරාගත නොහැකි නම්,

දරුවාට යමක්‌ අවශ්‍ය වූ විට ඔබට එය ඇඟිල්ලෙන් පෙන්වනවා වෙනුවට ඔබගේ අත අරගෙන ගොස්‌ එම දෙය මත තබා ඔබව ඊට යොමු කරයි නම්,

සෙල්ලම් බඩුවක්‌ දුන්විට එම සෙල්ලම් බඩුවේ කුඩා කොටසක්‌ පමණක්‌ අතගාමින් කර කවමින් සිටීනම් එනම් එම සෙල්ලම් බඩුව සම්පූර්ණයෙන් හඳුනා ගන්නට අපොහොසත් බවක්‌ පෙන්වයි නම්,

විදුලි පංකා වැනි කැරකැවෙන දෑ දෙස බලා සිටීමට වැඩි කැමැත්තක්‌ දක්‌වයි නම්,

පරිසරයේ ඇති දෑ කටේ දමමින් සෙල්ලම් බඩුවක්‌ දුන්නත් එය සමග සෙල්ලම් නොකර එය කටේ දැමීමට තැත්කරයි නම්,

නිතරම දෙපසට වැනීම, ඉදිරියට වැනීම එකතැන කැරකැවීම සහ අසාමාන්‍ය ලෙස අතපය චලනය කිරීම පෙන්වයි නම්,

නිදා ගැනීමේ සහ ආහාර ගැනීමේ ගැටලු නිතර නිතර ඇතිවෙයි නම්

බොහෝවිට එය ඔටිසම් රෝගයේ පූර්ව ලක්‍ෂණ විය හැකියි.

බොහෝවිට තමාට අවශ්‍ය දේ ලබාගැනීමට උත්සාහ දැරීමත් එය නොලැබුණුවිට අතිශය කලබලයට පත්වීමත් ඔටිසම් දරුවන් ගේ ස්‌වභාවයයි. ප්‍රචණ්‌ඩකාරී හැසිරීම් මෙන්ම විවිධ කායික වර්ධනීය ගැටලු ද මෙම දරුවන් තුළින් දැකගත හැකියි.

මෙම රෝග ලක්‍ෂණ එකක්‌ හෝ කිහිපයක්‌ තිබූ පමණින්ම ඔබේ දරුවා ඔටිසම් රෝගී දරුවකු ලෙස එකවරම තීරණය කළ යුතු නැහැ. කිසියම් දරුවෙකුට මෙම සැක සහිත ලක්‍ෂණ තිබේ නම් වහාම ළමා මනෝ

වෛද්‍ය උපදෙස්‌ සඳහා යොමුවීම වැදගත්.

එවැනි සායනයකින් ඔබේ දරුවා ඔටිසම් රෝගී දරුවෙකු ලෙස හඳුනාගතහොත් ඊළගට යොමුවිය යුත්තේ දරුවාට ඇති විවිධ ගැටලුවල ප්‍රමාණාත්මක සහ ගුණාත්මක ස්‌වභාවය පිළිබඳ විද්‍යාත්මක මිනුමක්‌ ලබා ගැනීමටයි. එම තක්‌සේරුවෙන් පසු දරුවාගේ ඇති ගැටලු සඳහා චිකිත්සක වැඩ පිළිවෙළක්‌ සකස්‌කර ගත යුතු වෙනවා. එනම් ආරම්භයේදී සතියකට පැය විස්‌සක්‌, ඉන්පසු සතියකට පැය හතළිහක්‌ ආදී වශයෙන් එම චිකිත්සාවන් සිදුකළ යුතුවෙනවා. නිවැරදි ආකාරයට නම් දිනකට පැය අටක්‌ දක්‌වා මෙම චිකිත්සාව වැඩිකළ යුතුයි.

නමුත් එවැනි චිකිත්සාවන් ආයතනයක්‌ තුළ ලබාදීම ශ්‍රී ලංකාව වැනි රටක්‌ තුළ කිසිසේත් සිදු වන්නක්‌ නොවෙයි. එමනිසා වඩාත් ප්‍රායෝගික ක්‍රමය වන්නේ සතියකට පැයක්‌ හෝ දෙකක්‌ ආයතනගත චිකිත්සාවක්‌ ලබාදී ඉතිරි චිකිත්සක වැඩපිළිවෙළ සඳහා දෙමව්පියන් පුහුණු වී එය නිවසේදී ලබාදීමයි.

ඔටිසම් අප හිතනවාට වඩා බහුල රෝගී තත්ත්වයක්‌. අපේ රටේ මේ පිළිබඳ විධිමත් පර්යේෂණ සිදුකර නොමැති නමුත් 2001 වසරේ සිදුකළ සංගණන වාර්තාවලට අනුව අපේ රටේ ඔටිසම් දරුවන් ලක්‍ෂ හතරක්‌ පමණ සිටින බවට නිගමනය කළ හැකියි. ඇමරිකාව වැනි දියුණු රටවල සිදුකර ඇති පර්යේෂණවලට අනුව ඇමරිකාවේ සෑම දරුවන් එකසිය හැටදෙනකුගෙන් එක්‌ දරුවෙක්‌ ඔටිසම් දරුවකු බව සොයාගෙන තිබෙනවා.

ඔටිසම් දරුවකු කඩිනමින් හඳුනා ගැනීම ඉතාමත් වැදගත්. මේ රෝගය සඳහා බෙහෙත් ප්‍රතිකාර නොමැති බවත් අප මතක තබාගත් යුතු අනෙක්‌ කාරණයයි. ඔබ අන්තර් ජාලයට ගොස්‌ මේ පිළිබඳ සොයා බැලුවහොත් විවිධ බෙහෙත් වර්ගවල නම් රාශියක්‌ එහිදී ඔබට හමුවේවි. එහෙත් ඒ එක බෙහෙතකින්වත් ස්‌ථීර ලෙස ඔටිසම් සුවවන්නේ යෑයි මෙතෙක්‌ සොයාගෙන නැහැ.

එහෙත් අපද විවිධ බෙහෙත් වර්ග මෙවැනි දරුවන්ට ලබා දෙන්නට පුරුදු වී සිටිනවා. විවිධ විටමින් වර්ගවලට අමතරව මොළයේ ඇති විවිධ ස්‌නායු සම්ප්‍රේෂකවල ක්‍රියාකාරිත්වය සකස්‌ කරනු ලබන බෙහෙත් වර්ගද යම් යම් සීමාවන් යටතේ යොදා ගැනීම දැන් තරමක්‌ ප්‍රචලිතයි. නමුත් මේ එකක්‌ වත් ස්‌ථීර ප්‍රතිකාර ක්‍රමනම් නොවෙයි. ඒ කෙසේ වුවත් දරුවකු ඔටිසම් රෝගී තත්ත්වයෙන් පෙළෙන්නේ දැයි කඩිනමින් හඳුනාගත යුත්තේ එවැනි දරුවකුට ලැබිය යුතු ඉහළම ප්‍රතිකාරය වන නිවැරදි චිකිත්සාව ඉක්‌මණින් ලබාදීම තුළින් වඩාත් යහපත් ප්‍රතිඵල පිළිබඳ අපේක්‍ෂා ඇති කරගත හැකියි. ඔටිසම් දරුවකුට ප්‍රතිකාර ලබාදීම ආරම්භ කිරීම හෙට නොව අදම කළ යුත්තේ දරුවාගේ මනස නැවතී බලා නොසිටින නිසයි.

 

 
Powered By -