යාළු ඇමති අසු සරසා ගනී හෙට

ඇමෙරිකා එක්‌සත් ජනපදයත් මහා බ්‍රිතාන්‍යයත් ඉරාකය ආක්‍රමණය කරද්දී මේ නම් ලොව බලගතුම ස්‌වභාවික සම්පත සඳහාත් යන්න බොහෝ දෙනෙකුගේ අදහස විය. එහෙත් එය එසේ නොවේය. මෙය හුදෙක්‌ම ලෝකයේ ආරක්‍ෂාවට ඉරාකය තර්ජනයක්‌ හෙයින් අපි එරට පාලනය වෙනස්‌ කිරීමේ කාර්යයක නිරත වන්නෙමු යන්න ඉරාක යුද්ධයට මුල්වූ දෙරටම එක හඬින් කියා සිටියහ. ලෝකය විනාශ කිරීමට නිෂ්පාදනය කරන ලද අවි ආයුධ ඉරාකයේ ගොඩ ගසා ඇතැයිද ඒවා වහා විනාශ කළ යුතුය යන්නද බුෂ් සහ බ්ලෙයාර් දෙපළගේ අදහස විය. ඉරාකය ආක්‍රමණය විය. අහිංසක ජනතාව සිය දහස්‌ ගණනක්‌ මරුමුවට පත්විය. ගුවන් යානාවලින් හෙලූ බෝම්බ පාබල හමුදාවේ ෂෙල් වෙඩි ආදියෙන් ගෙවල් දොරවල් දස දහසක්‌ විනාශ විය. එහෙත් අවසානයේදී අප කියූQ ලෝකය විනාශ කිරීමට නිෂ්පාදනය කරන ලදැයි සැක කළ කිසිම ආයුධයක්‌ ඉරාකයෙන් හමුවුණේ නැත. එහෙත් ඉරාක පාලන තන්ත්‍රය මුළුමනින්ම විනාශයට පත්වූ හෙයින් ඇමරිකාවත් එංගලන්තයත් එක්‌වී පාලනයට කර ගැසූහ. විනාශවී ගිය මහාමාර්ග ගුවන්තොටුපළවල් වරාය සහ ගෙවල් දොරවල් නැවත ගොඩ නැගීම ඇරඹිණ. ඒවායේ කොන්ත්‍රාත් ලැබෙන්නට ඇත්තේ එංගලන්තයටත් ඇමරිකාවටත් වන්නට පුළුවන. ඉරාකය සතු ඉමහත් තෙල් ආකර මොන ආකාරයකට බෙදා හදා දුන්නා දැයි නොදනිමු. කෙසේ වෙතත් අදත් ඉරාකය පාලනය වන්නේ ඇමරිකානු එංගලන්ත හවුලට යටත්වය.

ඉරාකයේ තෙල් පිළිබඳ අපගේ අංශු මාත්‍රයක්‌වත් ආශාවක්‌ බලාපොරොත්තු නැතැයි පිට පිsට කියූ ටෝනි බ්ලෙයාර් ඊයේ පෙරේදා කළේ කුමක්‌ද ඔහු ඉරාකයේ තෙල් ආකරයක්‌ හිමි කොරියන් සමාගමක උපදේශකයකු ලෙස පත්වන්නට කළ ආරාධනය පිළිගෙන වැඩ ආරම්භ කළේ එංගලන්තයත් ඔහුගේ ආණ්‌ඩුපාක්‍ෂික සගයනුත් නිරුත්තර කරමිනි. ඔහු විසින් මෙම තනතුර භාරගත් බව රහසක්‌ ලෙස මුලින් තබාගන්නා ලෙස පාර්ලිමේන්තු කාර්යසභාවෙන් ඉල්ලීමක්‌ද කර තිබිණි. ඔහු විසින් කරන්නට යන කාර්යය ඔහුටම වාවාගත නොහැකි නිසා නොවේද? උපතින් එංගලන්ත සභාවේ ක්‍රිස්‌තියානි ආගම අදහන්නෙක්‌ වූ ඔහු අගමැති ධුරයෙන් ඉවත් වීමත් සමගම කතෝලික පල්ලියේ සාමාජිකයෙක්‌ බවට පරිවර්තනය වූයේ ආගම දහම කෙරෙහි වඩාත් ලැදිව කටයුතු කරන්නට අවශ්‍ය නිසා යෑයි ඔහු ප්‍රකාශ කර තිබිණි. ඔහු අග්‍රාමාත්‍ය ධුරය දැරූ අවස්‌ථාවේ එක්‌වරක්‌ නොව ඔහු කීප වරක්‌ම පල්ලියේ ඉගැන්වීම් වලට එරෙහිව කටයුතු කොට ඇති බව කොන්සර්වැටිව් මන්ත්‍රිනී ඇන් විටකොම්බ් පැවසුවේ ටෝනි බ්ලෙයාර් කවුද යන්න අප කවුරුත් දන්නවා යෑයි පැවසීමට වන්නට ඇත.

අගමැති කමින් ඉවත්වූ දා සිට ටෝනි බ්ලෙයාර් විසින් නොයෙක්‌ ආකාරයේ ව්‍යාපාරයන්හි උපදේශක වශයෙන් පවුම් මිලියන සිය ගණනක්‌ උපයාගෙන තිබේ. එසේම පසුගිය වසරේ පමණක්‌ ඔහුගේ ආදායම මිලියන විස්‌සක්‌ ඉක්‌මවා ගොස්‌ ඇති බවත් සඳහන් වෙයි. ඒ පිළිබඳ විවාදයක්‌ නැත. ඒවා නීත්‍යානුකූලව හම්බ කරගත් මුදල්ය. එහෙත් එය මොන තරම් සදාචාරාත්මකදැයි එංගලන්ත පුවත්පත්වලින් ප්‍රශ්න කෙරෙමින් පවතී. සිය ගණනක්‌ බ්‍රිතාන්‍ය සොල්දාදුවන් ඉරාකයේදී ජීවිත අහිමි කරගත්තේත් දස දහස්‌ ගණනක්‌ ඉරාක වැසියන් මරුමුවට පත් වූයේත් ටෝනි බ්ලෙයාර්ගේ පුද්ගලික ජෙට්‌ යානයට තෙල් ගැසීමටදැයි අයෙක්‌ ප්‍රශ්න කර තිබිණ.

මේ අතරතුර සදාචාරය සුව පහසු ජීවිතයකට කැප කළ යුතුද යන හැඟීම් ලේබර් ආණ්‌ඩුවේ හිටපු ඇමැතිවරුන් තිදෙනකුගේ ක්‍රියාදාමයන්ගෙන් හෙළිවී ඇත. බ්ලෙයාර් රජයේ සිටි ගමනාගමන ඇමැති ස්‌ටීවන් බයරීස්‌, බ්‍රවුන් රජයේ හිටපු ආරක්‍ෂක ඇමති ජෙෆ් හූන් සහ සෞඛ්‍ය ඇමැතිනී පැටි්‍රෂියා හෙවිට්‌ ඔවුන්ගේ සේවාවන් මුදලට සැපයීමට සූදානම් වූ බව රහසින් කරන ලද වීඩියෝ පටිගත කිරීම් මගින් හෙළිවී ඇත. ඔවුන්ගේ සේවාවන් වශයෙන් හැඳින්වෙන්නේ බොහෝ දුරට ඔවුන් විසින් ඇමැතිවරුන්ව සිටි සමයේ දැනගත් රාජ්‍ය රහස්‌ එමෙන්ම ව්‍යාපාරික ක්‍රමවේද පිළිබඳ හෙළි කිරීමත් එමගින් ව්‍යාපාරික ලෝකයට නොයෙකුත් වාසි සැලසෙන ආකාරයේ උපදෙස්‌ දීමත් වේ. තවද රජයේ යම් යම් තීරණ පිළිබඳ අදහස්‌ දැක්‌වීමත් පාර්ලිමේන්තු ලොබින් කිරීම හෙවත් පිටස්‌තරයන්ගේ අදහස්‌ පාර්ලිමේන්තු මන්ත්‍රීන් ලවා සභාවට ඉදිරිපත් කරවීමක්‌ කිරීමට මොවුන් අධික මිල ගණන් අයකිරීමට එකඟවී ඇති බවත් වීඩියෝ පටයකින් ඔප්පුවී ඇත. ඇමරිකානු සමාගමක්‌ ලෙස ව්‍යාජව සැරසී මේ හිටපු ඇමැතිවරුන් තිදෙනා පටිගත කොට ඇත්තේ චැනල් 4 නම්වූ රූපවාහිනී මධ්‍යස්‌ථානය මගිනි. මෙම චැනලය ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳ වරින්වර නොයෙක්‌ පටිගත කිරීම් විකාශනය කරන ආයතනයද වේ.

මේ ඇමැතිවරුන්ගේ කටයුතු පිළිබඳ වහා පියවරක්‌ ගත් අගමැති බ්‍රවුන් මොවුන් තිදෙනාගේ පක්‍ෂ සාමාජිකත්වය තහනම් කොට තිබේ. බොහෝ විට ලබන මැයි මාසයේ පැවැත්වෙන බ්‍රිතාන්‍ය මහා මැතිවරණයට මුහුණදීමටද මොවුනට ඉඩක්‌ ලැබේද යන්න සැකසහිතය. කාලාන්තරයක්‌ තිස්‌සේ මුළු ලොවම එක හෙළා පිළිගත් බ්‍රිතාන්‍ය දේශපාලන ව්‍යqහය පසුගිය දශකය තුළ ඉතාමත් හෑල්ලුවී යන ආකාරයේ කටයුතු ගණනාවක්‌ නිසා අසරණ බවට පත්විණ. යම් යම් දේශපාලකයන්ගේ දෙබිඩි පිළිවෙත් නිසාත් ලෝකයේ නොයෙක්‌ රටවල අභ්‍යන්තර ප්‍රශ්නයනට අතපෙවීමේ ආශාවෙන් පෙළඹවීම නිසාත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව කෙරෙහි බ්‍රිතාන්‍යයන්ගේම ප්‍රසාදය හීනවී යන තැනට පත්වී ගෙන යයි. හුදෙක්‌ මැතිවරණ සමයේ පටු දේශපාලන වාසි තකා ආණ්‌ඩු පක්‍ෂයේ මෙන්ම විපක්‍ෂයේද මන්ත්‍රීවරුන් එල්ටීටීඊ සංවිධානයට දක්‌වන අනුග්‍රහයත් ඔවුන් වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළීම සිදුකිරීමත් මේ දිනවල අපට දක්‌නට ලැබිණි. මැයි මාසයේ නව රජයක්‌ සමග ඒවා බොහෝ දුරට වෙනස්‌වන්නට ඉඩ ඇත.

කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය ආණ්‌ඩුවල එක්‌තරා හොඳක්‌ ඇත. ඇමැතිවරයා අග්‍රාමාත්‍යවරයාගේ මොනතරම් හිතවතෙක්‌ වුවත් ඔහුගේ අමාත්‍යාංශයේ වැඩකටයුතු නිසියාකාරව කරගත නොහැකි බව පෙනී ගිය හොත් එම ඇමැතිධුරයෙන් ඉවත්කර දමනු ලැබේ. ලේබර් ආණ්‌ඩුව පත්ව ගතවූ පසුගිය වසර කීපය තුළදී එම පක්‍ෂයේ වර්ණවත් පතාක යෝධයන් ඇමැතිකම් අහිමිව ගෙදර ගිය සැටි දුටුවෙමු. ඇමැතිවරුන්ගේ නොහැකියාව මත අමාත්‍යංශයෙන් මෙන්ම රටේද ප්‍රශ්න මතුවූ විට ඔවුන් අත ගගා නොසිට ඇමතිකමෙන් පහ කළ විට විපක්‍ෂයට එක්‌වීමට ඉඩ ඇති බව නොසලකා හැර හුදෙක්‌ රටත් ජනතාවත් පිළිබඳ සිතා ඔවුන් නෙරපූ හැටි අපි දුටුවෙමු.

මා අග්‍රාමාත්‍යවරයාගේ ළඟම හිතවතා යෑයි කියා හෝ පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨතමයකු යෑයි කියා හෝ මා ෂඩ්භාෂා පරමේෂ්වර විචිත්‍ර කථිකයා යෑයි කියා හෝ කිසිම තාප්පයක්‌ වැටක්‌ වැසිකිළියක්‌ නෑර ඡන්ද පෝස්‌ටර් ගැසීමට දක්‍ෂයා යෑයි කියා හෝ මැතිවරණ නීති රීති කැඩීමට හපනා යෑයි පවසා ඔප්පුකර හෝ අනෙක්‌ අයට වඩා ඉංගී්‍රසි පුළුවන් යෑයි පෙන්නා හෝ විපක්‍ෂයේ අපේක්‍ෂකයනට අම්ම මෝ නැතිව බැනීමට හැකියාව ඇතැයි සනාථ කර හෝ පාර්ලිමේන්තුවේ කිසි විනයක්‌ සහයක්‌ නැතිව හැසිරීමට දක්‍ෂ යෑයි වැඩ කිඩ පෙන්නා හෝ අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් ඕනෑම බීඩි කඩයකට වුව යැමට හැකි යෑයි ඔප්පු කර හෝ එංගලන්ත ආණ්‌ඩුවේ ඇමැතිකමක්‌ ගන්නට හැකියාවක්‌ ඇතැයි සිතන්නට කරුණු කාරණා දක්‌නට නැත.

එංගලන්තයේ මෙසේ හෙයින් ශ්‍රී ලංකාවේද ළඟ එන මහ මැතිවරණයෙන් තම පක්‍ෂය දිනුවත් තමා පරාදවී ඇමැතිකම්ද අහිමිවී යැමට තිබෙන ධාරිතාව වැඩි බව පෙනෙන යමෙක්‌ ඇත්නම් සූදානම් ශරීරේ කියා එංගලන්ත ක්‍රමයට උපදේශක සමාගම් ආරම්භ කර තිබුණහොත් හොඳයෑයි උපදේශයක්‌ වශයෙන් භාර නොගත්තත් දීමට කැමැත්තෙමි.
 

 
Powered By -