සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ සැඟවුණු කතාව

සෝමාලියාව ගැන මේ දිනවල ලංකාවේත් කතාබහට ලක්‌වේ. ඒ සෝමාලියාව අසාර්ථක රාජ්‍යයක්‌ නිසාවත් එහි නීතිය හා සාමය නිසි ලෙස සුරකෙන්නේ නැති නිසාවත් නොව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් අපේ රටවැසියන්ද සේවය කරන නැව් පැහැරගැනීම හේතුවෙනි. ඉකුත් 23 වැනිදා ඉරානයේ සිට ඊජිප්තුව බලා ගමන් කරමින් තිබූ එම්. වී. ටල්කා නැව ඕමාන වෙරළට මුහුදු සැතපුම් 120 ක්‌ දකුණේදී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට අසුවිය. බ්‍රිතාන්‍ය වර්ජින් දූපත්හි ලියාපදිංචි කර ඇති මෙම නැවේ බර්මියුඩා කොඩිය ඔසවා තිබිණි. මේ පැහැර ගැනීමේ පුවත අපට වැදගත් වන්නේ ටල්කා නැවේ සේවයේ නියුතු නැවියන් 25 දෙනාගෙන් 23 දෙනෙක්‌ම ශ්‍රී ලාංකිකයන් වීම නිසාය. ඉකුත් මාර්තු තුන්වැනිදා සවුදි අරාබියේ ලියාපදිංචි කුඩා නැවක්‌ මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්‌වූ අතර එහි නැවියන් 14 දෙනාගෙන් 13 දෙනෙකු ශ්‍රී ලාංකිකයන් විය. 2009 ඔක්‌තෝබර් 15 වැනිදා සිංගප්පූරුවේ ලියාපදිංචි තවත් යාත්‍රාවක්‌ කොල්ලකරුවන්ගේ ග්‍රහණයට නතුවූ අතර එහි සේවය කළ නැවියන්ගෙන් පස්‌දෙනකු ශ්‍රී ලාංකිකයන් විය. මේ අතර ඉකුත් වසරේ සැප්තැම්බර් 15 වැනිදා පැහැර ගැනීමට ලක්‌වූ ඩුබායි සමාගමකට අයත් රෝ රෝ ලයිලා නැවේ සේවය කළ කපිතාන්වරයකු ඇතුළු නැවියන් තිදෙනා මාස හයක්‌ තිස්‌සේ සෝමාලියානු කොල්ලකරුවන්ගේ අත්අඩංගුවේ පසුවී ලංකාවට පැමිණියේ ඉකුත් 24 වැනි බදාදා දිනයේය. ඇත්තෙන්ම සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් නිසා සමස්‌ත ලෝකයේම නාවික ප්‍රවාහන කටයුතුවලට මහත් බාධාවක්‌ ඇතිව තිබේ.

1982 දී සම්මත කරගනු ලැබූ එක්‌සත් ජාතීන්ගේ මුහුදු නීතිය පිළිබඳ සම්මුතිය අනුවද මුහුදු කොල්ලකෑම බරපතල අපරාධයකි. මුහුදු කොල්ලකරුවන්ගේ අතීතය ක්‍රිස්‌තුපූර්ව තුන්වැනි සියවස දක්‌වා ඈත කාලයට දිවයයි. ක්‍රිස්‌තු පූර්ව 286 දී රෝම හමුදා නායකයකු වූ කරෝසිස්‌ මුහුදු කොල්ලකරුවන්ට එරෙහිව සටන්වැදීම සඳහා පත්කරන ලද බව ඉතිහාසයේ සඳහන් වෙයි.

21 වැනි ශතවර්ෂය ආරම්භ වනවාත් සමගම සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ තර්ජනයද ක්‍රමයෙන් හිස එසවීය. 2008 වසරේදී සෝමාලියානු කොල්ලකරුවන් නැව් 111 කට පහරදුන් අතර එයින් 42 ක්‌ පැහැරගත්හ. 2009 ජනවාරි පෙබරවාරි කාලයේ නැව් පැහැර ගැනීම හා පහරදීම් 2008 ජනවාරි පෙබරවාරි කාලයට වඩා 10% කින් ඉහළ ගියේය. සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ බහුතර වයස අවුරුදු 20-35 ත් අතර තරුණයන් වන අතර ඔවුන් උතුරු දිග සෝමාලියාවේ පුන්ට්‌ලෑන්ඩ් හි පදිංචිකරුවෝ වෙති. නැගෙනහිර අප්‍රිකානු නාවිකයන්ගේ සංගමයට අනුව සෝමාලියාවේ මුහුදු කොල්ලකරුවන්ගේ කණ්‌ඩායම් පහක්‌ ක්‍රියාත්මක වන අතර මොවුන්ගේ ප්‍රමාණය දහසකට අධිකය. සෝමාලි ධීවරයන්, පැරණි හමුදාභටයන් මෙන්ම තාක්‌ෂණික ශිල්පීන්ද මුහුදු කොල්ලකරුවන්ගේ කණ්‌ඩායම්වල සාමාජිකයෝ වෙති. ගරහාඩ් මොහොමඩ් නම් පුද්ගලයා සෝමාලියාවේ දකුණු දිග මුහුදේ එනම් කිස්‌මායෝ ප්‍රදේශයේ කොල්ලකෑම්වලට යෙදෙන කණ්‌ඩායම්වලට නායකත්වය දෙන අතර මාර්කා කණ්‌ඩායමට නායකත්වය දෙන්නේ යූQqසුෆ් මොහොමඩ් සියාඩ් විසිනි. සෝමාලියාවේ මාර්කා ප්‍රදේශය මොවුන්ගේ රජදහන වෙයි. සෝමාලි ධීවරයන්ගෙන් සැදුම් ලත් ප්‍රන්ට්‌ලෑන්ඩ් ප්‍රදේශයේ ක්‍රියාත්මක වන කණ්‌ඩායම පුන්ට්‌ලෑන්ඩ් බලකාය ලෙස හැඳින්වේ.

මුහුදු කොල්ලකරුවන් තමන්ට අවශ්‍ය ආයුධ වැඩි වශයෙන් ලබා ගන්නේ යේමනයනි. එහෙත් ඔවුනට මොගඩිෂු නගරයෙන්ද ආයුධ ලබාගත හැකිය. කොල්ලකරුවෝ ආර්. පී. පි. අව් වල සිට ස්‌වයංක්‍රීය රිවෝල්වරද අත්බෝම්බ මෙන්ම තවත් නවීන ස්‌වයංක්‍රීය ආයුධද භාවිතා කරති. මේ සෝමාලි කොල්ලකරුවන්ට පිටරටවල පදිංචිවී සිටින සෝමාලි ජාතිකයන්ගෙන් අවශ්‍ය දැනුම හා සහය පළවන බව සොයාගෙන ඇත. විශේෂයෙන්ම කැනඩාවේ වෙසෙන දෙලක්‍ෂයකට අධික සෝමාලියානු ජනප්‍රජාව මොවුන්ට සහය ලබාදෙයි. බී. බී. සී. යේ ඇන්ඩෲ හාර්ඩින් සෝමාලියාවේ මුහුදු කොල්ලකරුවන්ගේ රජදහනක්‌ වන එයිල් නගරයේ සිට ගෙන ආ වාර්තාවකින් ප්‍රකාශ කර සිටියේ එම නගරය පුරා අලුතින් මිලදී ගත් සුඛෝපභෝගී වාහන ගමන් කරන අයුරු මෙන්ම අලුතින් ඉදිවූ නිවාස වලින් ද ඩොලර් මිලියන ගණන් කප්පම් මුදල් ලැබී ඇති බව හොඳින්ම පෙනීයන බවය. එම නගරයේ වෙසෙන වෙළෙන්දියක වන අබ්ඩි හිර්සි ප්‍රකාශ කරන්නේ තමන් මේ කොල්ලකරුවන්ගේ ක්‍රියාකලාපයන් කිසිවිටක අනුමත නොකරන බවත් ඔවුන් මේ ප්‍රදේශයට වැරදි සංස්‌කෘතියක්‌ ආරෝපනය කර ඇති බවත්ය. එමෙන්ම මේ කප්පම් කණ්‌ඩායම් වලට සම්බන්ධ නැති සාමාන්‍ය වැසියන් බියෙන් පසුවන්නේ යම් දිනක ඇමරිකාව හෝ වෙනත් බලවත් රටක්‌ මේ ප්‍රදේශයට ගුවන් ප්‍රහාර එල්ලකිරීමේ අනතුරක්‌ පවතින නිසාය.

ඇත්තෙන්ම සෝමාලියාව මෙලෙස කප්පම්කරුවන්ගේ මුහුදු කොල්ලකරුවන්ගේ රජදහනක්‌ බවට පත්වූයේ එරට නීතිය හා සාමය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසාය. ඇත්තෙන්ම සෝමාලියාවේ ආණ්‌ඩුවට එරට නීතිය හා සාමය ක්‍රියාත්මක කළ නොහැකි අතර මොගඩිෂු නුවර පවා පාලනය කරන්නේ ආයුධ සන්නද්ධ කණ්‌ඩායම් විසිනි. සෝමාලියාව ලෝකයේ දුප්පත්ම රටවල් කිහිපයෙන් එකකි. එරට ජනගහනයෙන් 73% ක්‌ම වෙසෙන්නේ අන්තදුගී තත්ත්වයේය. ඔවුනගේ දිනක ආදායම ඩොලර් 2 කට වඩා අඩුය. එහෙත් සෝමාලි මුහුදු කොල්ලකරුවන්ට නම් ඉතා හොඳ සුඛෝපභෝගී වාහන හොද නිවාස මෙන්ම සුන්දර තරුණියන්ද විවාහ කර ගැනීමට හැකි බව හරූවේ වෙසෙන අබ්ඩි ෆාරා ජුහා බී. බී. සි. යට ප්‍රකාශ කර තිබිණි. ඇමෙරිකාව, ඉන්දියාව, චීනය මෙන්ම තවත් බලවත් රටවල් සෝමාලියාව ආසන්න මුහුදේ සිය යුද නැව් යෙදෙව්වද මේ කොල්ලකරුවන්ගේ පැහැර ගැනීම් නතර කිරීමට හැකිව තිබෙන්නේ ද යන්න ප්‍රශ්නයකි.මේ අතර පැනමාවේ ලියාපදිංචි එම්. වී. අල් මෙසාන් නෞකාව අල්ලා ගැනීමට පැමිණි මුහුදු කොල්ලකරුවන්ට එම නැවේ සිටි පෞද්ගලික ආරක්‍ෂකයන් වෙඩි තබා ඇති අතර එයින් එක්‌ කොල්ලකරුවකු මියගොස්‌ ඇත. එමෙන්ම මුහුදු කොල්ලකරුවන් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීමට ඔවුනට හැකිව තිබේ.

එහෙත් මෙලෙස පෞද්ගලික ආරක්‍ෂකයන් යොදාගෙන යැමේදී මුහුදු කොල්ලකරුවන් වඩා ප්‍රචණ්‌ඩවී නැව්වලට දරුණු ප්‍රහාර එල්ල කිරීමේ අනතුරක්‌ද තිබෙන බවට ජාත්‍යන්තර නාවික සංවිධාන අනතුරු අඟවයි. කෙසේ නමුත් මුහුදු කොල්ලකරුවන් පාලනයට කිසිවෙකු සමත්ව නැති බව පැහැදිලිය. ඇත්තෙන්ම මේ පිටිපස යම් ජාත්‍යන්තර බලවේගයක්‌ ක්‍රියාත්මක වන්නේදැයි සමහරු සැක පහළ කරති. ඩොලර් මිලියන සිය ගණනින් ඇදෙන මුදල්වලට සිදුවන්නේ කුමක්‌ද? එයින් කොටසක්‌ යළිත් කප්පම් වශයෙන් ගෙවන්නේද? එය දන්නේ සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ම පමණි.


චතුර පමුණුව
 

 
Powered By -