කැබලිත්ත හරහා කුමණට හොර පාරක්‌

ත්‍රස්‌තවාදී තර්ජනය හේතුවෙන් වසා දමා තිබූ කුමන නොහොත් යාල-නැගෙනහිර ජාතික උද්‍යානය ඉකුත් ජනවාරි 30 වැනිදා පාරිසරක අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් නැවත විවෘත කරන ලදී. පානම සිට ඕකන්ද දක්‌වා වූ කිලෝ මීටර් 17 ක දුර තුළදී ආරක්‍ෂක හමුදා මුරපළ තුනකදී සංචාරකයන් පරීක්‍ෂාවට ලක්‌ කළ ද, ආරක්‍ෂක කඳවුරු කිහිපයක්‌ම කුමන ජාතික උද්‍යානයේ සංචාරකයන් ගැවසෙන ස්‌ථාන තුළ තිබුණ ද, දැන් සංචාරකයෝ බොහෝ දෙනකු කුමන උද්‍යානයේ සිරි නැරැඹීමට එහි යති. ඉකුත් දිනෙක අලුයම කුමන වනෝද්‍යානයේ වන සතුන් පිරික්‌සමින් ඉදිරියට ගිය අප ඇතුළු වාහන කණ්‌ඩායමකට දකින්නට ලැබුණේ අපට ඉදිරියෙන් සෙබළුන් කණ්‌ඩායමක්‌ අවි දරා පාමුර සංචාරයක යන දසුනකි. එසේම කොටියන් ලැග සිටින්නට ඉතාම කැමැති පර්වත කිහිපයකම ආශ්‍රිතව මුරපළ ද පිහිටා තිබෙනු පෙනේ. ත්‍රස්‌තවාදය පරදවා නැවත දේශීය විදේශීය සංචාරකයන් වෙත විවෘත කළ මෙවන් වන උයනක අවි දරා සිටින කවරකු හෝ දකින්නට ලැබීම අපගේ වනෝද්‍යාන පිළිබඳ ඉතා නරක චිත්‍රයක්‌ මවන්නට හේතුවක්‌ වෙයි. මේ හේතුව නිසා ලොවට යන්නේ සුබවාදී කතාන්දරයක්‌ නොවේ. එබැවින් කුඹුක්‌කන් ඔය මායිම දක්‌වා හෝ මොණරාගල, කොටියාගල දෙසින් මහ ඝන කැලෑ ප්‍රදේශවලට අපගේ ආරක්‍ෂක අංශ යෙදවීම මගින් කැලෑ අපරාධ, වන සත්ත්ව දඩයම් සීමා කිරීමට මෙන්ම වෙනත් අකටයුතුකම් ද සීමා කිරිමට ඔවුන්ට හැකියාව ලැබෙයි.

අප එසේ යෝජනා කරන්නට තවත් විශේෂ හේතුවක්‌ තිබේ. එනම්, නැවත විවෘත වූ කුමන උද්‍යානයේ අසිරිය විඳින්නට ඉතා විශාල සංචාරක පිරිසක්‌ දිනපතා පොතුවිල් - අරුගම්බේ - පානම - ඕකන්ද ඔස්‌සේ කුමනට පැමිණෙති. මේ සියල්ලෝ කුමන උද්‍යාන දොරටුවෙන් ඇතුළු වන්නේ ප්‍රවේශපත් ලබා ගනිමින් උද්‍යාන අරමුදලට විශාල දායකත්වයක්‌ සපයමිනි.

එහෙත්, දැන් දැන් ත්‍රස්‌ත භීතිය පහවීමත් සමග මොණරාගල, කොටියාගල, ඇතිමලේ ප්‍රදේශයෙන් කුඹුක්‌කන් ඔය ප්‍රදේශයට හොර රහසේ පැමිණ, නීති විරෝධී ලෙස කුමන උද්‍යානයට ඇතුළු වන බවට පැමිණිලි ලැබෙමින් පවතී. සැතපුම් 30-40 ක්‌ පමණ වන මෙම කැලෑබද මාර්ගයෙන් පැමිණෙන ඔවුහු තම සිව්බල වාහන මගින් බාධක දුරලා කඳවුරු ගසාගෙන දින 2-3 සිටින බවටද පැමිණිලි ලැබුණත්, ඒවා මඬින්නට හෝ වළක්‌වාලමින් ඔවුන්ට ටිකට්‌පත් නිකුත් කරන්නට හෝ වන ජීවී කාර්ය මණ්‌ඩලයක්‌ එහි නැත. කුමන දෙසින් සැලකිය යුතු දුරක්‌ එහි පවතින බැවින් කුමන නිලධාරීන්ට ද ඒවා පාලනය කළ නොහැකිය. එබැවින් වන ජීවී කාර්ය මණ්‌ඩලයක්‌ කොටියාගල ප්‍රදේශයෙන් යෙදවිය යුතු අවශ්‍යතාවක්‌ දැන් කුමනට ඇත. මේ පිළිබඳ පාරිසරික අමාත්‍යවරයාගේ අවධානය යොමුව ඇති බවද දැනගන්නට තිබේ. මෙවන් අනවසර සංචාරක හෝ වෙනත් පාර්ශ්ව මගින් උද්‍යානයට සිදුවන විනාශයන් වෙතොත් ඒවා පාලනය එහි යෙදැවෙන ආරක්‍ෂක අංශ මගින් ද සිදුවේ. එබැවින් කුමනට වඩා අද කොටියාගල පෙදෙසට, කුඹුක්‌කන් ඔයට ආරක්‍ෂක අංශවල අවශ්‍යතාවක්‌ පවතී.

කොටියාගල පෙදෙසින් සිව්බල එන්ජින් සහිත ජීප් රථ වලින් කුමනට හා යාල කලාප තුනට ඇතුළු වන පිරිස්‌වල වැඩිවීමක්‌ පෙන්නුම් කිරීමට එක්‌ විශේෂ හේතුවක්‌ ද තිබේ. ඒ එළඹ ඇති මහ මැතිවරණයයි. මැතිවරණයෙන් තමන් ජයග්‍රහණය කිරීම සඳහාත්, තමන්ගේ මනාප ගොඩ වැඩිකර ගැනීම සඳහාත් මෙහි එන ඇතැම් දේශපාලකයන් වන මැද පිහිටි කැබලිත්ත පුද බිමට පැමිණ භාරහාරවල නියෑළෙන බව රහසක්‌ නොවේ. මේ හේතුව නිසා අද කැබැලිත්ත පුදබිම ද දූෂණය වන්නට පටන්ගෙන තිබේ.

ඒ යුද හමුදා සෙබළුන් ගැන නොවේ

යාල - නැගෙනහිර ගැන කතා කළ මොහොතේ යාල උද්‍යානය ගැන ද වචනයක්‌ නැවත කතා කළ යුතුව ඇත. අපි පසුගිය සතියේ යාල වනෝද්‍යානය තුළදී සිවිල් ආරක්‍ෂක භටයින් දෙදෙනකු විසින් සිදු කරන ලද වන සත්ත්ව දඩයමකට අදාළ කරුණු ඉදිරිපත් කළෙමු. එහිදී අප කියා සිටි එක්‌ කාරණයක්‌ වූයේ අභය භූමිය රකින්නට රැකවලුන් පත්කර, එම රැකවලුන්ම එහි වන සතුන් මරාගෙන කයි නම් එවන් රැකවලුන්ගෙන් යාල වනෝද්‍යානයට වැඩක්‌ නැති බවය. යාල වනෝද්‍යානයේ ඇතැම් සෙබළුන්ගේ ගිනි අවිවලට අදාළව නිකුත් කර තිබූ පතරොම්වල අඩුවීම් ඇති බවද දැනගන්නට ඇතැයි අපි එහි ලියා තැබීමු. එහෙත් කිසි විටෙකත් එම සටහනේ අප අදහස්‌ කළ පරිදි දඩයම් සිද්ධියට අදාළ පාර්ශ්වය ගැන මිස හමුදා සෙබළුන් කිසිවකු ගැන එවන් සටහනක්‌ ලියා නොතිබූ බවද මෙහිදී අපි අවධාරණය කරමු.

ගෙවී ගිය සතියේ තවත් වැදගත් පාරිසරික සංසිද්ධියක්‌ වූයේ උඩවලව ඇත් අතුරු සෙවණේ හැදී වැඩුණු තවත් අලි පැටවුන් සිව්දෙනකු වනාන්තරයට මුදාහැරීමයි. පාරිසරික අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් සිදු කරන ලද මෙම කාර්ය ලුණුගම්වෙහෙර වනෝද්‍යානයේදී සිදු කෙරුණු අතර, උඩවලව වනෝද්‍යානයෙන් බැහැරව මෙවන් අලි පැටවුන් නිදහස්‌ කිරිමක්‌ සිදුවූ ප්‍රථම අවස්‌ථාව මෙය විය. එහෙත් මෙම අවස්‌ථාවට ප්‍රථම වරට පාරිසරික ක්‍ෂේත්‍රයේ මාධ්‍යවේදීන්ට ආරාධනය කර නොතිබිණි. මෙතෙක්‌ සෑම අලි පැටවුන් නිදහස්‌ කිරීමේ අවස්‌ථාවක්‌ම වාර්තා කළ මාධ්‍යවේදීන් වෙනුවට සංචාරක අමාත්‍යාංශය මගින් වෙනත් මාධ්‍ය කණ්‌ඩායමක්‌ රැගෙන ගොස්‌ තිබූ බවද, එහෙත් ඔවුන් එහි යන්නට ප්‍රථම අලි පැටවුන් නිදහස ලබා වන වැදී සිටි බවද වාර්තා විය.

සති මැදදී අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා තවත් වැදගත් අවස්‌ථාවකට මාධ්‍යවේදීන් තම අමාත්‍යාංශය වෙත කැඳවා සිටියේය. ඒ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාතික සමනළයකු ප්‍රකාශයට පත් කිරීමේ අවස්‌ථාවයි.

ශ්‍රී ලංකාවේ ජාතික පක්‍ෂියා, ගස, මල, ක්‍රීඩාව මෙන්ම සමනළයකු මෙසේ ප්‍රකාශයට පත් කළ අතර, ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඇමැතිවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ජාතික සමනළයා ලෙස "ශ්‍රී ලංකා මහ කුරුළුපිය පැපිලියා" (ඔරදසාes daරිසමි-ඨර්හ 1852) නම් කරන බවයි.

ශ්‍රී ලංකාවේදී සමනළුන් විශේෂ 243 ක්‌ වාර්තා වන අතර ඉන් 20 ක්‌ අප රටට ආවේණික වේ. සමස්‌ත සමනළුන් අතරින් විශේෂ 66 ක්‌ වඳවී යැමේ තර්ජනයට ලක්‌ව සිටී. පරිසර හා ස්‌වාභාවික සම්පත් අමාත්‍යාංශය මගින් පත් කරන ලද සමනළුන් පිළිබඳ විශේෂඥයන්ගේ කමිටුව මගින් ශ්‍රී ලංකාවට ආවේණික, අපේ රටේ දක්‌නට ලැබෙන විශාලතම සමනළයා වන ශ්‍රී ලංකා මහ කුරුළුපිය පැපිලියා (Sරස ඛ්බන් ඊසරා අසබට) ජාතික සමනළයා වශයෙන් නම් කිරීමට නිර්දේශ කර ඇත.


ජගත් කණහැරආරච්චි
ඡායාරූප - වාසල සේනාරත්න නීලක අබේරත්න

 

 

 
Powered By -