නිද්‍රොපගත සමාජයක හෘදය සාක්‌ෂිය අවදි කරවීම

සිය මව විසින්ම කළු ගඟට වීසි කරන ලදුව දින කීපයක්‌ මරු සමග සටන් කරමින් සිට මිය ගිය අමිල සඳරුවන් දරුවාගේ පුවත මෑතකදී මේ රටේ ජනතාවගේ ප්‍රබල අවධානයට ලක්‌වූ පුවතක්‌ පමණක්‌ නොව නිද්‍රdශීලී සමාජයක හෘදය සාක්‌ෂිය අවදි කරන්නක්‌ද විය. එහෙත් අප ජීවත්වන මේ සමාජය අතිශයින් ක්‍රියාකාරී හා ප්‍රබෝධමත් එකක්‌ ලෙස කෙනෙක්‌ කියන්නටද බැරි නැත.

තිස්‌වසරක ත්‍රස්‌තවාදය අවසන් කර දෙවැනි ජාතික නිදහස රටට උදාවී තිබේ. උතුරෙහි මෙන්ම දකුණෙහිද වැසියෝ නිදහසේ යති එති, කති, බොති, සැනසෙති. වයිවාරන්න බඩු භාණ්‌ඩ වලින් පිරී ගිය වෙළෙඳ සැල්ය. ප්‍රීති ප්‍රමෝදයෙන් ඔකඳව ගයන ගැයුම් හා රඟන රැඟුම්වලින් අවිවේකී වූ යෞවන යෞවනියෝය. සියලු රූපවාහිනි නාලිකා වැඩි කාලයක්‌ වැය කරන්නේ ඒවා විකාශය කිරීමටය.

ගම්දොර සිට එන ලැ-ජාශීලී ලියෝ සැණකින් සමාජශීලී බවටද නිරූපිකාවෝ බවටද පත්වෙති. ජංගම දුරකථන ඔස්‌සේ ඔවුහු නිබඳව ප්‍රිය තෙපුල් හුවමාරු කර ගනිති. නවීන විලාසිතාවන් නුවරින් ගමටද ගොස්‌ තිබේ. ග්‍රයින්ඩරය මුළුතැන් ගෙට ඇතුළු වී මිරිස්‌ගල හා හිරමනය කෞතුක භාණ්‌ඩ බවට පත් කර තිබේ. රූපවාහිනිය දෙස බලා කෑම, බීම හා වෙනත් විශේෂ ආහාර පාන සකසා ගැනීමට නාගරික ලියන් පමණක්‌ නොව වත් පොහොසත් කමක්‌ නැති ඇතැම් ගැමි ලියෝද දුක්‌ ගනිති.

ගම්වල මිනිසුන්ට දියුණුව වුවමනා නැද්දැයි මේ අලුත් සංස්‌කෘතික පෙරළි විවේචනය කරන විද්වතුන්ගෙන් දේශපාලනඥයෝ අසති. එහෙත් මේ අරුත්සුන් දියුණුව මිරිඟුවක්‌ බව බොහෝ දෙනෙක්‌ නොදනිති.

පාරිභෝගික සමාජයක ඇවිල යන්නේ බඩු භාණ්‌ඩ විකුණා ගැනීමේ තරගය හා පොරයයි. වෙළෙඳපොළ යනු පාරිභෝගිකයාට අටවන ලද උගුලක්‌ බව කිසිවකුට නොවැටහේ. ඇතැම් භාණ්‌ඩයක්‌ පාරිභෝගිකයාගේ ඇඟේ ගැසීම සඳහා අඩනිරුවත් සරාගී ලියෝද භාවිත කරති. ඒ ලියන් හා භාණ්‌ඩ අතර කිසිදු සාම්‍යයක්‌ නැතත් ඔවුහු අනඟ රැඟුම් හා බැලුම්වලින් සංවරශීලය බිඳ පාරිභෝගිකයා වසඟයට ගනිති.

මේ සමාජයේ සියල්ලටම මිලක්‌ නියම වන අතර ගුරුවරයාටද වෙළන්දකුගේ තත්ත්වයට බැසීමට සිදු වෙයි. ඉගෙනුම යනු දැනුම හෝ ශාස්‌ත්‍ර ගවේෂණය නොව අලෙවි කළ හැකි යමක්‌ පිළිබඳ සහතිකයක්‌ ලබා ගැනීමක්‌ වේ. ගුරු ගෝල වෙනසක්‌ නැති තරමටම ඔවුහු මිත්‍ර වෙති. ඇතැම් ටියුෂන් ගුරුවරු සිය සිසුන් හා සිසුවියන් සමග මත්පැන් සාද වැනි නොකටයුතු ක්‍රියාවන්හිද යෙදෙති.

දෙමව්පියන් හා දරුවන් අතරද ස්‌නේහයේ බැඳි සිඳී යයි. ඇතැම් දෙමව්පියෝ සිය දරුවන්ගෙන් පතන්නාහු අදහාගත නොහැකි තරම් සිහින ලොවකි. ඒ වෙනුවෙන් දරුවන් ඉල්ලන ඉල්ලන සියල්ලමත් ලබාදීමට දුක්‌ විඳිති. අවසානයේ සිදු වන්නේ කුමක්‌ද? තමන් අපේක්‍ෂා කළ සිහින ලෝකය බිඳ වැටීම පමණක්‌ නොව දරුවන්ද තමන්ට අහිමි වීමය. දූ දරුවන් නිසා දෙමව්පියෝද දබර කර ගනිති.

පුද්ගල ස්‌වභාවය නම් කිසිම දෙයකින් සෑහීමකට පත් නොවීමය. ජීවිතය සැපවත් කිරීම යනු අර්ථ නිරූපණය කළ නොහැකි යෙදුමකි. සැප යනු දුකින් මිදීමකි. එහෙත් අප ලුහුබඳින සැප දුක්‌ තැවුල් රැසකට හේතු වේ. බුදුන් වහන්සේ ලෞකික සුවය ග්‍රාම්‍ය දෙයක්‌ සේ පෙන්වා දෙති. රස තෘෂ්ණාවෙන් බැඳී වන මෘගයන් සේ විනාශයට පත් නොවීමට නම් සරල හා සැහැල්ලු ජීවන ප්‍රතිපදාවක්‌ අනුගමනය කළ යුතු බව බුදුන් වහන්සේගේ අනුශාසනාව විය. එහෙත් මෙම පාරිභෝගික සමාජය අපගේ සංවර ශීලය බිඳ අප කරා විපත් පමුණුවන්නක්‌ බව අපට හැඟීයන්නේද?

සංස්‌කෘතිය යනු ඒ ඒ ජාතීන් සතු අනන්‍යතාව හෙවත් පොදු ලකුණුය. එහෙත් අපට එබඳු දෙයක්‌ තිබේද, සිංහල බෞද්ධයන් විසින් ආරක්‍ෂා කරනු ලබන උතුම් දෙයක්‌ ලෙස සාරධර්ම සැලකේ. පෙරදිග අප බටහිරයන්ගෙන් වෙනස්‌ වන ප්‍රධාන හා ප්‍රබලම රේඛාව මෙම සාරධර්ම පද්ධතියයි. මෙම සාරධර්ම බිඳ දැමීම සඳහා කලක සිටම අපට අනුබල දෙන අලුත් වටිනාකම් සමූහයක්‌ සමාජගත වී තිබේ.

සංවර්ධනය යනුවෙන් අපගේ ශරීර අභ්‍යන්තරයටම කවා තිබෙන සංකල්පය අතර සාරධර්ම විනාශ යට රුකුල් දෙන දේවල් කොපමණද? මේ දිනවල ආන්දෝලනයක්‌ව පවතින බටහිර පොප් ගායකයකු වන අකෝන් (AKON) මේ රටට ගෙන්වනු ලබන්නේ කුමක්‌ සඳහාද? ඔහු පසුපසන සිටින්නෝ කවරහුද?

අකෝන් පිළිබඳ දැක්‌වෙන අන්තර්ජාල තොරතුරු අනුව නම් ඔහු කලාකරුවකු නොව පාදඩයෙකි. කලාකරුවා යනු ජාති, ආගම් හා සංස්‌කෘතීන්ට ගෞරව කරන්නෙකි. ඊටත් වඩා ඒ භේද නොතකා විශ්ව සාධාරණත්වය අගයන්නෙකි. එහෙත් මේ අකෝන් නම් ගායකයා බුදුන් වහන්සේට අවමන් කළ අයෙක්‌ බව කියෑවේ. මුළුමහත් බෞද්ධ ලෝකයේම ගෞරවයට පාත්‍ර වූ බුදුන් වහන්සේගේ ප්‍රතිමාවක්‌ අබියස අඩනිරුවත් ලියන් දෙදෙනෙකු කැඳවා ඔහු කළ අවමන බෞද්ධයකුට තබා සාධාරණ හා ශිෂ්ට මිනිසකුට පවා අනුමත කළ නොහැකිය.

අද බටහිර ලෝකයේ ඇතැම් අධම වෙළෙන්දෝත් බුදුරුවට නිගා කරති. බුදුරුව ඇතුළත් කාන්තා ඇඳුම් හා වෙනත් භාණ්‌ඩ නිෂ්පාදනය කරන වසලයෝද වෙති. බෞද්ධ, හින්දු හා ක්‍රිස්‌තියානිය ලොව පුරා ප්‍රචලිත දර්ශන ලෙස ගෞරව ලබති. මහම්මත්තුමන්ද එසේය. සල්මන් රුෂ්ඩි හා නස්‌ලිමා නස්‌රින් මුස්‌ලිම් ලෝකයේම වෛරයට පාත්‍රව ඇත්තේ සාහිත්‍ය නිර්මාණ මගින් ඒ ආගම් විමසීම නිසාය. "සැටනික්‌ වර්සස්‌" හා ලඡ්ජා තහනම් කෘති වී තිබේ. මහම්මත්තුමා විකට චිත්‍රයකට නැඟූ ඩෙන්මාර්ක්‌ විකට චිත්‍ර ශිල්පියාට එරෙහි වූ විරෝධය අපට මතකය.

බෞද්ධ සංස්‌කෘතියට අවමන් කරන ලද අශිෂ්ටයකු මේ රටට කැඳවීමෙන් අපේක්‍ෂා කරන්නේ කෙබඳු සංස්‌කෘතික මෙහෙවරක්‌ද? ශ්‍රී ලංකාවේ තරම් මානවහිතවාදීන් ලිබරල්වාදීන් වෙනත් කිසිදු රටක නැති තරම්ය. එසේම මේ රටේ විවිධ මුල්ලාවරුද සිටිති. මූලධර්මවාදයම හිසින් ගත් ඔවුහු හා ඉතා බිහිසුණු කලහකරුවෝය. එහෙත් එසේ නොවන සාමාන්‍ය අයට වුවද මේ වර්ගයේ "අසංස්‌කෘතික විගඩම්මු" සමග කුමන සමාගම්ද?

ධනවාදී සමාජයක කලාව හා රස වින්දනය පිළිබඳ තත්ත්වය මෙන්ම පිළිගැනීමද වෙනස්‌ය. අද මේ රටේ බොහෝ එෆ්. එම්. ගුවන් විදුලි නාලිකා ඔස්‌සේ ඇසෙන ගීතවල තත්ත්වය කුමක්‌ද? ඒවායේ සිටින සමනල නිවේදක නිවේදිකාවන්ගේ තත්ත්වය කුමක්‌ද? ඔවුහු ප්‍රාමාණික භාෂා සාහිත්‍ය ඥානයකින් යුක්‌ත වූවෝද? බොහෝ වැඩසටහන් තමන්ගේ මට්‌ටමට කපා ගත් විකෘතීන් නොවේද?

මම නිදසුන් දැක්‌වීමට කරදර නොවෙමි. එහෙත් බොහෝ ගෘහණියෝද දුරකථන ඔස්‌සේ මේවාට සම්බන්ධ වීමෙන් ආශ්වාදයක්‌ නොලබත්ද? මේ සමහරකින් දැනුම, රසඥතාව වෙනුවට මුදල් කඳු බෙදා දෙනු ලැබේ. එසේ මුදල් ලද්දෝ ඒවාට කරන පැසසුම්ද බොහෝය. ජාතික ගුවන් විදුලිය මේ පරිහානියට අයත් නොවීම ගැනද සටහන් කළ යුතුය. සිංහල බස හා රසඥතාව පිළිබඳ ඔවුන් දක්‌වන උනන්දුව හා ගෞරවය අගය කළ යුතු වේ. රැල්ල සමග නොදුවා සියල්ල සමග සටන් කිරීම ජාතික මාධ්‍යයන්හි අදිටන විය යුතුය.

කෙසේ හෝ අපගේ ජීවිත යාත්‍රාව ඇදී යන්නේ මෙම පාරිභෝගික සමාජය නමැති බිහිසුණු හා කැළඹිලි සහිත සාගරය ඔස්‌සේය. එහි කෙළවර යහපත් වෙරළක්‌ නොමැති බවද අමුතුවෙන් කිව යුතු නැත. දවසින් දවස සීග්‍රයෙන් ඇදී යන මේ විනාශකාරී ගමනේ අතරමඟ අපට හෘදය සාක්‌ෂිය සමග කිසියම් සංවාදයක්‌ සඳහාද විරාමයක්‌ ලබා දෙයි. මෙම ලිපිය සමාරම්භයේ අප විසින් සඳහන් කරන ලද කළු ගඟට වීසි කළ දරු පැටියා එබඳු සංවාද නිමිත්තක්‌ වී තිබේ.

මෙහිලා බොහෝ දෙනෙක්‌ විසින් නඟන ලද එක්‌ සාධාරණ ප්‍රශ්නයක්‌ වූයේද "දාරක ප්‍රේමය" හෙවත් දරු සෙනෙහසට කුමක්‌ වීද යන්නයි කලකට පෙර උපන් හැටියේ බිළිඳුන් විකිණීමේ ජාවාරමක්‌ මේ රටේ තිබිණි. අදත් එබඳු පුවත් ඇසෙයි. එහෙත් අදට වඩා ඒ දිනවල මෙම දරුවන් විකිණීම සමාජයේ මූලික මාතෘකාවක්‌ වී තිබිණි. දරුවන් විකිණීම මෙන්ම මඟහැර දමා යැමද අද තරම් සුලබව සිදු නොවුවත් බුද්ධ කාලීන සමාජය දක්‌වා එහි ඉතිහාසය ඇදී යයි.

බුදුන් දවස විශාලා මහනුවර සිටි අම්බපාලි ගණිකාවද තම බිළිඳුන් කසළ ගොඩකට වීසි කළ බව කියති. ඕ එකල ලිච්ඡවී රජ දරුවන් සමග සමීපව සිටි බවද සඳහන් වේ. එහෙත් ඇය සිය බිළිඳා හැර යන්නී දිළිඳු බව නිසා නොවේ. සළෙලුන් පිනවීමට කැපවී සිටි ඇය තුළ මාතෘ ස්‌නේහයක්‌ නොවීද? ගණිකාවකට කුටුම්භ රක්‍ෂණයක්‌ද අනවැසිය. ඇතැම් විටක සිය කාමභෝගී දිවියට බිළිඳුන් හරස්‌ විය හැකි බව ඇය සිතුවාද? එහෙත් කිසාගෝතමිය හා පටාචාරා ඊට වඩා බෙහෙවින් වෙනස්‌ සිතිවිලි වලින් යුතු වූහ. දරුවන් නිසා ඔවුහු මහත් දුක්‌ ගත්හ.

කළු ගඟට සිය ළාබාලම පුතු වීසි කළ මවද කිසාගෝතමියක්‌ වැන්න. ඕ පුතු කර ගසා ගෙන ඇවිද ගෙන ගියේ පුතුට වෙනත් ජීවිතයක්‌ ලබා දෙන්නටය. එහෙත් දාරක ස්‌නේහය නිසා ඇයට පුතු අතරමං කර එන්නටද අසීරු වී ඇතැයි අනුමාන කළ හැකිය. "අම්මේ" කියමින් තමා ලුහුබැඳ දිව ආ පුතු මඟහැර යැමට අසමත් වූ ඕ ඉනික්‌බිති සැණෙකින් එපුතු ගඟදියට වීසි කළාය. එවේලෙහි ඇගේ සිත තුළ කෙබඳු සිතිවිලි සමූහයක්‌ වීද? මිනිස්‌ සිත යනු වටහා ගත නොහැකි සංකීර්ණ දෙයක්‌ බව එම ක්‍රියාව නොහඟවයිද?

මේ මව කළ අපරාධයට දෙස්‌ දොවොල් නඟන කිසිවෙක්‌ ඇගේ අඳුරු හද ගැබ නොදකිති. යොවුන් වියෙහි දොරකඩදීම ඇය සල්ලාලයකුගේ ගොදුරක්‌ වූවාය. කිසියම් කාමාතුරයකුට සිය කුමරි බඹසර පිදූ ඇය ඉනික්‌බිතිව සැමියකු හා සරණ යන්නී ප්‍රාර්ථනා දහසක්‌ සමගය. තිස්‌ හැවිරිදි වන විට ඇය පස්‌දරු මවකි. කුමක්‌ද ඒ ජීවිතය. ඒ දුක්‌ අතරට සුනාමියක්‌ද එක්‌විය. සුනාමි සහන කිසිවක්‌ද ඇගේ පවුලට ලැබී නැත. බැරිම තැන ඇය ගත් තීරණය වැරැදි වුවද ඇගේ වියවුල් සිතට නැඟුණු එකම විසඳුම එය වී තිබේ.

දරිද්‍රතාව හා අසාධාරණය නමැති සමාජ පවුරුවලින් වටවූ මෙබඳු පුතුන් හා අම්මලා මේ සමාජය තුළ තව කොපමණ සිටිත්ද? එහෙත් ඒ බොහෝ දෙනෙකුට උරුම වූ හැඬුම, කඳුළ සුසුම හැර ඒ ඉරණමට මුහුණදී නැඟී සිටිය හැකි බලයක්‌ ඒ කිසිවකුට තිබේද?

මේ ෙ€දවාචකයෙහි අවසාන රූපාවලිය මම ඔබට සිහිපත් කරමි.

සුන්දර ළමා වියක්‌ පවා අහිමි වූ සිය සරදම් සහිත දෛවයේ අවසානයේදී අමිල සඳරුවන් එක්‌තරා ඇගයුමකට ලක්‌වී සිටියේය. ඔහුගේ නිසල සිරුර අලුත්ම විසිතුරු ඇඳුමකින් වැසී ගියේය. රිය පෙළකින් සිය දූවිලි මැඳුරට අවසන් වරට පැමිණි අමිලගේ නිසල දේහය අසල කොතරම් යහපත් මිනිස්‌සු රැඳී සිටියෝද? අයියලා, අක්‌කලාටද අලුත් ඇඳුම්ය. සංවේගය ප්‍රකාශ කිරීමට සුදු මල් පොකුරුය. ළමා රක්‍ෂණ බලධාරීන්ගෙන්ද ඔහු නමට මල් වඩමකි.

ජීවිතයට වඩා මරණය සුන්දර වී තිබෙන සෙයකි ෘ අම්මා තවමත් අඳුරු සිර කුටියකය. හෙට ඇයට සිය අපරාධයට හේතු ඉදිරිපත් කිරීමටද සිදු වනු ඇත. දැරියක ගැහැනියක කළ සමාජය තුළ ඇය මවක්‌ සේ කඹුරමින් ගෙවන ලද ජීවිතය ගැන අසන්නට කිසිවෙක්‌ සිටිත්ද? ඒ කතාව කිsසිසේත් සුන්දර නැත.

සමුගෙන ගිය පුතු මෙන්ම විඳවමින් සිටින අම්මා ගැනද දේශපාලන වේදිකාවේද කියෑවේ. වසර හයකට පසු සඳලුතල වලින් බැස මනාප ඉල්ලන්නට දූවිලි පොළවේ දුප්පතුන්ගේ ලෝකයට එන දේශපාලන උත්තමයෝ ඇය ගැන දොඩවති. එහෙත් ඒ කිසිවෙක්‌ මෙවන් ෙ€දවාචකයට වගකිවයුතු වෙතැයි කිසිම අම්මා කෙනෙක්‌ මොහොතකට හෝ කල්පනා කරත්ද? මෙම පාරිභෝගික සමාජය නැමැති වංකගිරියෙහි ඒ බොහෝ අම්මලාද මංමුළා වී සිටිති. ඒ අම්මලාගේ ප්‍රාර්ථනා ලෝකයද වෙනස්‌ය. ඔව්හු සිය පුතු හෝ දියණිය සුපිරි තරුවක්‌ කරන්නට මේ සමාජයෙන්ම එස්‌ එම් එස්‌ මනාපයක්‌ සිඟන්නෝ නොවෙත්ද?

ගාමිණි සුමනසේකර
 

 
Powered By -