රට පුරා මැතිවරණ මෙහෙයුම් කමිටු දසදහසක්‌
ඡන්ද පොළ රැක ගැනීමට විපක්‍ෂය සීරුවෙන් සිටියි

පියසේන දිසානායක සහ අජිත් අලහකෝන්

ලබන 08 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ඡන්ද පොළවල සිදුවිය හැකි බවට විශ්වාස කරන දූෂණ අක්‍රමිකතා සම්බන්ධව නිරීක්‍ෂණය කිරීමට විපක්‍ෂය විශේෂ වැඩපිළිවෙළ රැසක්‌ ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව ඡන්ද පොළ සහ ගණන් කිරීමේ මධ්‍යස්‌ථාන ආරක්‍ෂා කිරීම සඳහා මෙහෙයුම් කමිටු සාමාජිකයන් යෙදවීමට ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්‌ථාන ආරක්‍ෂා කිරීමේ සාමාජිකයන් යෙදවීම ඇතුළු පියවර රැසක්‌ ගනු ලබන බව එක්‌සත් ජාතික පක්‍ෂයත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයත් සඳහන් කරයි.

මේ සම්බන්ධව ආණ්‌ඩුව ප්‍රකාශ කරන්නේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මෙවර විශිෂ්ට ජයග්‍රහණය හමුවේ බියට පත්ව ඇති විපක්‍ෂය සිය පරාජය වසා ගැනීමට අසාර්ථක උත්සාහයන්හි නිරත වන බවය.

විපක්‍ෂයේ විශේෂ වැඩපිළිවෙළ සම්බන්ධව අදහස්‌ දැක්‌වූ එක්‌සත් ජාතික පක්‍ෂයේ මහලේකම් තිස්‌ස අත්තනායක මහතා පැවැසුවේ අදාළ මෙහෙයුම් කටයුතු සඳහා තම පක්‍ෂයේ සාමාජිකයන් ලක්‍ෂයක්‌ යොදවන බවය.

මේ වන විට මැතිවරණ මෙහෙයුම් කමිටු දස දහසක්‌ පමණ රට පුරා ක්‍රියාත්මක කර ඇති බවත් එම සාමාජිකයන්ට විශේෂ පුහුණුවක්‌ සහ උපදෙස්‌ මාලාවක්‌ ලබාදෙනු ලබන බවත් ඒ මහතා සඳහන් කළේය.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ප්‍රධාන ලේකම් විජිත හේරත් මහතා පැවැසුවේ පසුගිය ජනාධිපතිවරණයේදී සිදුවූ ඡන්ද දූෂණ අක්‍රමිකතා මහ මැතිවරණයේදී සිදුවීමට ඇති ඉඩකඩ අහිමි කරන බවය.

ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක්‌ සකස්‌ කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන ඇමැතිවරයා පැවැසුවේ මහ මැතිවරණයෙන් ද එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය විශිෂ්ට ජයග්‍රහණයක්‌ ලබන බවය.

විපක්‍ෂය සිය නියත පරාජය හමුවේ එය වසා ගැනීමට විවිධ ක්‍රියාමාර්ග ගන්නා බවත් මැතිවරණය සාමකාමීව පැවැත්වීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සිය අපේක්‍ෂකයිනට ලබා දී ඇති උපදෙස්‌ නිසි අයුරින් ක්‍රියාත්මක කිරීමට පක්‍ෂයේ සියලු දෙනා පියවර ගන්නා බව මෛත්‍රිපාල සිරිසේන ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

 
Powered By -