ලන්ඩන් සටහන්
සුජිව නිවුන්හැල්ල

යුද්ධය අමතක කොට රට නංවමු ජනාධිපති නීතිඥ ෆයිස්‌ මුස්‌තාපා

ශ්‍රී ලංකාවේ පැවැති ත්‍රස්‌තවාදය දැන් සහමුලින්ම තුරන් කර ඇති නිසා සියලුම ජාතීන් එක්‌ව රට සංවර්ධනය කිරීමට කටයුතු කළ යුතු බව ලන්ඩනයේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ ජනාධිපති නීතිඥ ෆයිස්‌ මුස්‌තාපා මහතා පැවසීය. පසුගිය සතියේ ලන්ඩනයේ පුද්ගලික සංචාරයක යෙදුනු මුස්‌තාපා මහතා "ඉරිදා දිවයින" හා කථා කරමින් එසේ කියා සිටි අතර ඔහු තවදුරටත් කියා සිටියේ ලෝකය පුරා විහිදී විසිරී සිටින ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමට දායක විය යුතු බවයි.

ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව අදහස්‌ දැක්‌වූ ඔහු කියා සිටියේ පසුගිය ජනාධිපතිවරණයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විශාල ජයක්‌ ලැබූ බවත් ඒ අනුව ළඟ එන මහා මැතිවරණයෙන්ද එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය ජයග්‍රහණය කර රජයක්‌ පිහිටවනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවයි.

රජයේ ඇමතිවරයෙකු වන තම පුත් ෆයිසර් මුස්‌තාපා දේශපාලනයට අවතීරණය වීම පිළිබඳ තමා එතරම් සතුටක්‌ නොදැක්‌වූ බවත් එහෙත් ඔහු රට වෙනුවෙන් කරන සේවය අගය කරන බවයි.

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පිළිබඳව කතා කළ මුස්‌තාපා මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ නීතිය තවමත් සාධාරණව ක්‍රියාකරන නිසා ෆොන්සේකා මහතා වැරදිකරුද, නිවැරදිකරුද යන වග උසාවිය මගින් තීරණය කරනු ඇති බවයි. ජෙනරාල් ෆොන්සේකා මහතාව යුද අධිකරණයට ඉදිරිපත් කිරීම සාධාරණ දැයි ඇසූ පැනයට පිළිතුරු දුන් මුස්‌තාපා මහතා කියා සිටියේ යුද අධිකරණයකින් ලැබෙන තීරණයන් පවා සිවිල් උසාවියකදී අභියෝගයට ලක්‌ කළ හැකි බවයි.

යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවට එල්ල වී ඇති මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා පිළිබඳ කතා කළ මුස්‌තාපා මහතා කියා සිටියේ සාමාන්‍යයෙන් ඕනෑම යුද්ධයකට පසු එවැනි චෝදනා එල්ල වන බවත් අයිරිෂ් ගරිල්ලන් සමග එංගලන්තය සටන් වදින කාලයේ එංගලන්ත රජයටත් එවැනි චෝදනා එල්ල වූ බවය. තත්ත්වය එසේ වුවද ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේදී මානව හිමිකම් උල්ලංඝනය වූයේ නම් ඒවා කළ අය නීතියේ රැහැනට හසු කර දඬුවම් දීමට සුදුසු නීති පද්ධතියක්‌ ශ්‍රී ලංකාවේ තිබෙන නිසා විදේශ රජයන් ඒ පිළිබඳව ඇඟිලි නොගැසිය යුතු බව මුස්‌තාපා මහතා අවධාරණය කළේය.

මහා කොමසාරිස්‌ කාර්යාලයෙන් ජංගම සේවයක්‌

ලන්ඩන් ශ්‍රී ලංකා මහා කොමසාරිස්‌ කාර්යාලය බ්‍රිතාන්‍යයේ සෙසු ප්‍රදේශවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතාවයන් ඉටුකර දීම සඳහා ජංගම සේවාවන් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

ලන්ඩනයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස්‌ නිහාල් ජයසිංහගේ උපදෙස්‌ පරිදි ඔවුන්ගේ පළමු ජංගම සේවය ලන්ඩනයේ සිට සැතපුම් සියයක්‌ පමණ දුරින් පිහිටි බර්මිංහැම් නගරයේදී පැවැත්වීමට නියමිතය.

අප්‍රෙල් මස 24 වන සෙනසුරාදා උදේ 10.00 සිට දහවල් 1.00 දක්‌වා බර්මිංහැම් නුවර බර්මිංහැම් මහ විහාරයේදී මෙය පැවැත්වේ. එදිනට අලුත් ගමන් බලපත්‍ර ලබා ගැනීම, බලපත්‍ර දීර්ඝ කිරීම, උප්පැන්න ලියා පදිංචි කිරීම, ද්විත්ව පුරවැසි භාවය ලබා ගැනීම, ශ්‍රී ලංකාවට වීසා ලබා ගැනීම, ශ්‍රී ලංකාවේ විශ්‍රාම වැටුප් ලබා ගැනීම සහ ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්‌ථා පිළිබඳව උපදෙස්‌ ලබා ගැනීම යන කරුණු ගැන මහ කොමසාරිස්‌ නිලධාරින් සමග සාකච්ඡා කළ හැක.

මෙම පියවර සාර්ථක වුවහොත් ඉදිරියේදී බ්‍රිතාන්‍යයේ අනෙක්‌ ප්‍රධාන නගරවලද මෙම ජංගම සේවය පැවැත්වීමට මහ කොමසාරිස්‌ කාර්යාලය බලාපොරොත්තු වේ.
 

 
Powered By -