ඊළාම් ගිනි පුපුරු දල්වන දෙමළ ජාතික සන්ධානය!


ලබන 08 වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේදී 2/3 ක බහුතර බලයක්‌ ලබා ගැනීම එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ අපේක්‍ෂාව වී තිබේ. රනිල්ගේ නායකත්වයෙන් මැතිවරණයට තරග වදින එක්‌සත් ජාතික පෙරමුණ මෙන්ම ජෙනරාල් ෆොන්සේකාගේ නායකත්වයෙන් තරග වදින ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ අරමුණ එම 2/3 බලය ලබා ගැනීම වැළැක්‌වීම බව පෙනේ. මේ අනුව සිංහල දේශපාලන නායකත්වයන් 2/3 සටන වටා දෝලනය වන්නකි. එහෙත් දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ තේමාව මේ එකක්‌වත් නොව දෙමළ ජනතාවට වෙනම පාලනයක්‌ ලබාදීම බව පෙනේ.

දෙමළ සන්ධානයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය මේ සිංහල පක්‌ෂවල නායකයන්ගේ අවධානයට යොමුව ඇති බවක්‌ නොපෙනේ. දේශපාලන වේදිකාවල සාමාන්‍යයෙන් සිදුවන අපහාස හා නර්මාලාපවලින් බැහැරව ප්‍රතිපත්තිමය කරුණු ජනතාව ඉදිරිපිටට එන්නේද ඉතා අඩුවෙනි. රනිල් කියන්නේ කොළ දෙකයි - අවුරුදු දෙකයි ඉන්පසු රට ගොඩයි යනුවෙනි. මහින්ද කියන්නේද යුද ජයග්‍රහණයෙන් පසු තමන් නිරතව සිටින ආර්ථික යුද්ධය ජයගෙන ව්‍යවස්‌ථා වෙනසක්‌ ඇතුළු කාලීන ප්‍රතිසංස්‌කරණ සඳහා තමන් කැපවන බවය.

රනිල්ගේ ප්‍රතිපත්තිමාලාව පොරොන්දු මල්ලක්‌ වැන්න. ජීවන වියදම් බර හෑල්ලූ කිරීමටත් රාජ්‍ය සේවයට වැටුප් වැඩිවීම ඇතුළු ප්‍රතිලාභ රැසක්‌ද එහි අඩංගු වේ. ජාතික සමගිය නමැති ගැඹුරු හා සංකීර්ණ මාතෘකාව ගැනද රනිල්ගේ ප්‍රකාශනයේ එයි. නව ශ්‍රී ලංකාවක්‌ බිහිකර දෙමළ හා මුස්‌ලිම් ජනතාවගේ දේශපාලන, ආර්ථික හා සමාජ ප්‍රශ්න විසඳන බවද එහි සඳහන් වේ.

කෙසේ හෝ මගේ අවධානය යොමු වන්නේ දකුණේ නායකයන් හා උතුරේ නායකයන් තවමත් ජාතික ගැටලුව පිළිබඳ පොදු එකඟතාවකට නොපැමිණීම නිසා සිදුවිය හැකි අනතුරක්‌ තිබේද යන කරුණ පිළිබඳවය. සිංහල දෙමළ හා මුස්‌ලිම් යන ප්‍රධාන ජනවර්ගවලට හෝ දැන් ඉතින්වත් සාමයෙන් ජීවත්වීමටත් දුප්පත්කමට එරෙහිව නැගී සිටීමටත් තිබෙන අවස්‌ථාව යළි රටට අහිමිවීමට වඩා අහිමි කරවීමේ ප්‍රයත්නයයි.

දෙමළ ජාතික සන්ධානය සිය මැතිවරණ ප්‍රකාශනයෙන් සූදානම් වන්නේ කුමකටද? දෙමළ ජනතාවගේ අභිලාෂයන් නමැති පට්‌ටා ගසන ලද යෙදුම පෙරට දමා නිවී ගිය ඊළාම් ගිනි පුලිඟු යළි දැල්වීමට ඔවුහු වෑයම් කරත්ද? එල්. ටී. ටී. ඊ. සංවිධානයේ දේශපාලන වුවමනාව නිරූපණය කළ දෙමළ සන්ධානයට කිසි දිනක ප්‍රභාකරන්ට විරුද්ධ විය නොහැකි විය.

දෙමළ සන්ධාන නායකයන්ගේ ඒ අසරණ භාවය පිළිබඳ ඔවුහු දොස්‌ ලැබිය යුතු නොවෙති. දෙමළ සන්ධානයට පෙර සිටි අමිර්තලිංගම් ප්‍රමුඛ දෙමළ නායකයන්ට මෙන්ම එල්. ටී. ටී. ඊ.යට විරුද්ධ වූ ලක්‍ෂ්මන් කදිර්ගාමර් නීලන් තිරුචෙල්වම් වැනි දෙමළ ප්‍රජාතන්ත්‍රවාදීන්ට අත්වූ ඉරණම කවුරුත් දනිති. හරි හෝ වැරදි හෝ වේවා ප්‍රභාකරන්ට අවනත වීමට වැඩි දෙයක්‌ එදා ඔවුන්ට තිබුණේද නැත. එහෙත් අද තත්ත්වය කුමක්‌ද? අද ඔවුන්ගේ හිසට පිස්‌තෝලය එල්ල කිරීමේ අනතුරක්‌ නැත. මරාගෙන මැරෙන බෝම්බකාරියන් හෝ බෝම්බකරුවෝ ඔවුන් සොයා එතියිද කිව නොහැක. එහෙත් ඔවුහු ඊළාම් බෙදුම්වාදයට තවමත් අනුග්‍රහය දක්‌වති. කුමක්‌ නිසාද? ප්‍රශ්නය එයයි.

එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදයත් සමග එහි ෆැසිස්‌ට්‌වාදී නායකයා වූ වේළුපිල්ලෙයි ප්‍රභාකරන්ද විනාශ කර තිබේ. වන්නියේ ප්‍රභාකරන්ගේ ප්‍රාණ ඇපකරුවන් බවට පත්ව සිටි ජනතාව ඔවුන්ගෙන් මුදා ගත් රජය ක්‍රමයෙන් ඔවුන්ට අහිමිවී ගිය ජීවිතය ලබාදීමට යම් යම් පියවර ගනිමින් තිබෙන බවද පෙනේ. සමහර විට ඒවායේ අඩුපාඩු තිබිය හැකිය. එහෙත් මේ දෙමළ සන්ධාන නායකයන් විසින් ඒ ජනතාව වෙනුවෙන් කරන ලද්දේ කුමක්‌ද?

දෙමළ ජනතාව පෙරට දමා ප්‍රභාකරන් ඇතුළු බටහිරයන් විසින් ගෙන ගිය තුච්ඡ ව්‍යාපාරයට අනුබලය දුන් ඔවුන්ට දැන්වත් විවෘත මනසකින් යුතුව මේ ප්‍රශ්නය විස¹ ගැනීමට වුවමනාවක්‌ නැද්ද? දෙමළ සන්ධානය සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් අවධාරණය කරන්නේ තමන් තවමත් දෙමළ ජනතාව වෙන්කර රටද බෙදීමට ක්‍රියා කරන බව නොවෙයිද? ප්‍රභාකරන් විසින් වනසා දමන ලද දෙමළ ජීවිත සංඛ්‍යාව දෙස බලා හෝ ඔවුන්ට සිය ජාතිවාදී මළකඩ ඉවත් කර දැමීමට බැරි වූයේ ඇයි? ඔවුන්ට වුවමනා යළිත් ඒ වර්ගයේම විනාශයකට දෙමළ තරුණ කොටස්‌ තල්ලු කිරීමද?

ප්‍රභාකරන් වළ දැමීමෙන් පසු වුවද බටහිරයන් සමග දෙමළ ඩයස්‌පෝරාවට අවශ්‍ය වූයේ ඊළාමය පමණි. අද ඔවුහු ශ්‍රී ලංකාවෙන් පිට ඊළාමයක්‌ ප්‍රකාශයට පත් කිරීමටද සැරසෙති. එහෙත් යළිත් වරක්‌ මේ කවුරුත් එක්‌ව අවුලුවන්නේ ජාතිවාදයේ ගින්න බව ඔවුන්ට නොවැටහීම දෙමළ ජනතාවගේ මෙන්ම සිංහල හා මුස්‌ලිම් ජනතාවගේ අභාග්‍යයකි. මේ ජාතිවාදය වෙනුවෙන් ගලා ගිය රුධිර ගංගා කොපමණද? මේ ජාතිවාදය වෙනුවෙන් සිංහල දෙමළ හා මුස්‌ලිම් ජනතාව ජීවත්වූ හා උපත ලද්දාවූ ද මේ මව්බිම මොනතරම් ආපස්‌සට ගොස්‌ තිබේද?

ඊළාම්වාදයට ජගත් පිළිගැනීමක්‌ ලබාදීම සඳහා ප්‍රභාකරන් විසින් කරන ලද දුෂ්ට මෙහෙවර ඉතා ප්‍රකටය. ඊළාම්වාදයේ සැබෑ උල්පත මතු වන්නේ 1949 තරම් ඈතකදී බව එහි ඉතිහාසය දන්නෝ දනිති. නොබෝදා ජී. එච්. පීරිස්‌ හා එම්. ඩී. නෙල්සන් යන විද්වතුන් විසින් එළි දක්‌වන "ගනඳුරක සිහිවටන" නම් කෘතියේ මෙම ඊළාම් වාදයේ ආරම්භයේ සිට එහි අවසන් අදියර දක්‌වා ප්‍රශස්‌ත හා හරවත් විග්‍රහයක්‌ ඉදිරිපත් කර තිබේ.

ඊළාම් චින්තනය සඳහා ව්‍යාජ සාක්‍ෂි සොයමින් ක්‍රියා කළ ආකාරයත් "වඩුකෝඩ්ඩෙයි සම්මුතිය" ලෙස එළිදුටු ප්‍රකාශනයේ හරයන් පිළිබඳ එම ග්‍රන්ථයෙහි සාක්‌ෂිද දක්‌වා ඇත. නිජබිම සංකල්පය හා ස්‌වෛරී ජාතික රාජ්‍යයක වුවමනාවද එහි සාකච්ඡා විය. මෙසේ එළි දුටු දෙමළ බෙදුම්වාදය එහි කූඨප්‍රාප්තිය තෙක්‌ රැගෙන යැමට විවිධ අනුග්‍රහ ලද බවද නොරහසකි. මුලදීම ඉන්දියාවත් පසුව යුරෝපා රටවලුත් මේ සඳහා උපකාර කළේය. ඇත්ත වශයෙන් එසේ ව්‍යාප්ත වූ එල්. ටී. ටී. ඊ. ය පුදුකුඩිඉරිප්පුවලදී අවසන් සටනින් පරාජය ලබද්දී ලොව ප්‍රබලම ත්‍රස්‌ත සංවිධානය ලෙස ප්‍රකටව තිබිණි.

ඉන්දියාව 1987 දී ඡේ. ආර්. ගේ අත අඹරවා අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුම ස්‌වයංපාලනයකට වුවමනා පසුබිම සකස්‌ කර දුන්නේය. උතුර හා නැගෙනහිර යා කිරීමත් පළාත් සභා නමැති මර උගුල මේ රටට පැටවීමත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා ලෙස ඡේ. ආර්. කළ ඓතිහාසික මෝඩකමක්‌ බව කිව යුතුය. 1983 කලු ජූලියද මේ තත්ත්වයට තුඩු දුන් තවත් හේතුවක්‌ විය.

ඉළාම් ව්‍යාපාරය බටහිර සතුව වැඩුනා පමණක්‌ නොව විශාල වශයෙන් මුදල් ආධාරද ලබා දුන් උල්පතද විය. ලොව පුරා දෙමළ ජනතාව සිය නිජබිම වෙනුවෙන් වසරකට ඩොලර් මිලියන 100 ක්‌ වත් එවන්නට ඇතැයිද කියති. මුදල්වලට අමතරව විද්වතුන්ගේ බුද්ධිමය දායකත්වයද ඊළාම් ව්‍යාපාරයට ලැබුණි. ලංකාවේ දෙමළ ජනතාව හා ඉතිහාසය අළලා ව්‍යාජ හා අසත්‍ය පොත්පත් පවා පලවිණි. මෙහිදී ඇතැම් විද්වත්හු බෞද්ධ දර්ශනය මෙන්ම සිංහල ග්‍රන්ථයක්‌ වන මහාවංශයද නිර්දය විවේචන වලටද ලක්‌කළහ. මේ සියල්ලෙහි අවසන් නිගමනය ලෙස ඉතිරි වූයේ ශ්‍රී ලංකාව එහි සුළු ජනවර්ගය වන දෙමළ ජනතාව මර්දනය කරන බවට ව්‍යාජ ලෙස වපුරුවා හරින ලද මතවාදය පමණි. ඊළාම් සටනට බටහිර දේශපාලන තැරැව්කරුවෝද අනුබල දුන්හ. එනිසා ඊළම සාධාරණ අදහසක්‌ය යන ව්‍යාජයද බටහිර රටවල පැතිර තිබිණි.

මෙසේ වැඩුණු ඊළාම් මතවාදය හා දෙමළ නිජබිම් සංකල්පය නමැති පරණ පොට්‌ටනිය යළිත් කරට ගැනීම දෙමළ ජාතික සන්ධානයේ අරමුණ බව ඉතා පැහැදිලිය. තවමත් ඊනියා මානවහිතවාදී සංවිධානය වෑයම් කරන්නේත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිගේ අධිෂ්ඨානශීලී මෙහෙයුම මගින් වළ දමන ලද ඊළාම් ඇට සැකිලි ගොඩ ගැනීමටය.

දැන් දෙමළ ජාතික සන්ධානය යළිත් ආපසු හැරී ඒ වැරදි ඉතිහාසය ඉව කරමින් මේ ජනවර්ග අතර අසමගියක්‌ ඇති කිරීමට ක්‍රියා කරන බව ඉතා පැහැදිලිය. දෙමළ ජනයා ඉල්ලු ස්‌වයං නිර්ණය අයිතිය ඔවුහු සිහි කරති. ඇත්ත වශයෙන්ම බෙදා වෙන් කිරීමට අයත් සියලු ප්‍රයත්නයන් ඉතා පැහැදිලි අවසානයක්‌ දැක තිබියදී යළිත් ඒ විනාශය වෙතට දෙමළ ජනයා රැගෙන යැමට වෑයම් කිරීමේ තේරුම කුමක්‌ද? දෙමළ ජාතික සන්ධානය අඩු තරමින් සිය ජනතාවට නිදහසේ ජීවත් වීමට පරිසරයක්‌ තිබේද යන්න ගැනවත් මැන බැලීමක්‌ කර තිබේද?

ජනාධිපති මහින්දට වඩා ජෙනරාල් සරත් ෆොන්සේකාගෙන් හොඳක්‌ සිදුවිය හැකිය යන මතයද ජනාධිපතිවරණ සමයේදී ඔවුන් තුළ විය. ආර්. සම්බන්ධන් ඒ බව පැහැදිලිවම කීවේය. ජෙනරාල් සමග තම සන්ධානයට කිසිම ගිවිසුමක්‌ නැතත් ඔහු තමන්ට සවන් දෙන අයෙක්‌ බව ඔවුහු කීහ. ඔවුන් තුළ එම විශ්වාසය ඇති වූයේ කෙසේද? දැන් ඔවුහු එළි දක්‌වා තිබෙන වර්ගයේ විසඳුමකට ජෙනරාල් වාචිකව එකඟතාව පල කර තිබුණේද?

ප්‍රභාකරන්ගේ අවසානයෙන් පසු ඔවුන්ට අලුත් වටයකින් සිය ජනතාවගේ ප්‍රශ්න සාකච්ඡා කරන්නට ඉඩ තිබිණි. එහෙත් ජනාධිපති රාජපක්‍ෂට ලංවී ඒ ප්‍රශ්න ගැන සාකච්ඡා කිරීමට ඔවුන්ට ඕනෑ කමක්‌ නොවීද? දේශීය වශයෙන් ඔවුන් පාලනය වූ ප්‍රභාකරන්ගේ හස්‌තය නැතිවී ගියත් විදේශීය හස්‌තයන්ට ඔව්හු හසුවී සිටිත්ද? ඔවුන්ගේ මෙම ප්‍රකාශනය තුළින් නම් ගම්‍ය වන්නේ ඔවුන් අලුත් විසඳුමකට සූදානමක්‌ නැති බවය.

දෙමළ සන්ධානයේ අය තවමත් සිංහල සමාජය දෙස අවිශ්වාසයෙන් බලන්නේද? මෙරටේ සිංහල දෙමළ හා මුස්‌ලිම් යන ජනවර්ග තුනට කිසිම ප්‍රශ්නයක්‌ නැතිව ජීවත් විය හැකි බව ඔවුන්ට තේරුම් යා යුතුය. ජනවාර්ගික අර්බුදයක්‌ තිබෙන රටක මෙවන් ජනවර්ග සම්මිශ්‍රණයකින් යුතු සහජීවනයක්‌ පවත්වා ගෙන යා හැකිද? සමාජයේ විවිධ ක්‍ෂෙත්‍රයන්හිද වෙනත් සංවිධානවලද මේ ජනවාර්ගික මිත්‍රත්වය තිබේ. දකුණේ ඕනෑම තැනක දෙමළ ජාතීන්ට නිදහසේ ජීවත්වීමට පමණක්‌ නොව ව්‍යාපාර කටයුතු කිරීමටද සේවාවන් සැපයීමටද හැකිවී තිබේ.

රජයේ කාර්යාලවල මෙන්ම මාධ්‍ය ආයතනවලද සිංහල දෙමළ සමගියක්‌ තිබේ. දකුණේ වුවද සිංහල ජාතිවාදයෙන් ඔළුව නරක්‌ කරගත් අය සිටින බව ඇත්තය. එබඳු දේවල් වෙනත් රටවල නැද්ද? ලන්ඩනයට යන කළුහම සහිත ආසියාතිකයකුට මුහුණ දීමට සිදුවන ඉරණම කුමක්‌ද? තවමත් උග්‍ර ලෙස කළුසුදු භේදය තිබේ. මානවහිතවාදය ගැන පුරසාරම් දොඩන බ්‍රිතාන්‍යයේ කිසිම ආයතනයක සුදු ජාතිකයකුට හැර වෙනත් අයකුට ප්‍රධානත්වයක්‌ පිරිනමා තිබේද? එහෙත් ඔවුහු අපට ජාති භේදය ගැන බණ දෙසති.

දෙමළ ජාතික සන්ධානය සිය ජනතාවට සැබෑ ආදරයක්‌ දක්‌වන්නේ නම් ඔවුන් යළිත් ඊළාම් මාවත දෙසට ඇදගෙන නොයා යුතුය. උතුරේ ගම් බිම් අහිමි වූ ජනතාවගේ ප්‍රශ්න ගැන ඔවුන්ට රජය සමග විවෘතව කතා කළ හැකිය. එහෙත් එබඳු සාකච්ඡාවක්‌ කළ බවක්‌ වාර්තා වී නැත. අනිත් වැදගත්ම කරුණ නම් මානුෂික මෙහෙයුම්වලදී සිංහල හමුදා එහි හිරවී සිටි දෙමළ ජනතාවට දැක්‌වූ කරුණාවයි. තරුණ සොල්දාදුවෝ දෑතින් වියපත් දුබල දෙමළ කාන්තාවෝ ඔසවා ගෙන ගියහ. මේ කාන්තාවන් අතර ඉතා අපිරිසිදු ඇඳුම් ඇති, සිරුරේ මළ මුත්‍ර තැවරුණු වයසකම අයද වූහ. එහෙත් කිසිවිටෙක ඒ සොල්දාදු තරුණයකු තුළ පිළිකුලක්‌ හෝ ඇති නොවීය.

දෙමළ සන්ධානය මේ උතුම් මිනිස්‌ ගුණය ගැන හෝ අගැයුමක්‌ කර නැත. ඇත්තටම ඔවුහු බලය ලබා ගැනීමේ අරමුණකින් රෝගීව සිටිතිද? නොඑසේ නම් යළිත් වෙන්වීමක්‌ ගැන කල්පනා කරන්නේ ඇයි? ශ්‍රී ලංකාවේ එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදය යුද්ධයෙන් අවසන් කළ නොහැකි බවත් ඒ සඳහා බලය බෙදීමක්‌ අවශ්‍ය බවත් ඒ කලක්‌ මුළුල්ලේ මතුරන ලද්දකි. ජනවාර්ගික අර්බුදය යන යෙදුම මේ රටේද ජනප්‍රිය කරවීය.

1958 දී බණ්‌ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම හෝ 1967 දී ඩඩිලි සේනානායක - චෙල්වනායගම් ගිවිසුම හෝ ක්‍රියාත්මක වී නම් මෙබඳු ගැටුමක්‌ ඇති නොවන බවද ගැටුම් නිරාකරණය පිළිබඳ විශේෂඥයන් ලෙස උපදෙස්‌ දුන් අය කීහ. අනතුරුව ඉන්දු ලංකා ගිවිසුම යටතේ ඇතිකරගත් පළාත් සභා ක්‍රමයද මෙයට විසඳුමක්‌ බව කීහ. එහෙත් එයටත් එහා යන බලයක්‌ අවශ්‍ය බව සමහරු කියති.

ජනවාර්ගික ගැටුම් සාදා දෙන්නේත්, ඒවාට විසඳුම් යෝජනා කරන්නේත් ජනතාව නොව ජනතාව පාවිච්චි කරන ජනතා නායකයන් බව මේ තිස්‌ අවුරුදු ඉතිහාසය අපට උගන්වා තිබෙන බව මගේ අදහසයි. ප්‍රචණ්‌ඩත්වය හා බියවැද්දීම් මගින් ජනතාව පෙළන සංවිධාන කිසිම විටක සමාදානයකට එකඟ වන්නේද නැත. මේ රටේ සිදුවූ සාම සාකච්ඡා එයට සාක්‍ෂි දරයි. දමිල නිජබිම, දමිල ජාතිකත්වය, ස්‌වයං පාලනය වැනි සිද්ධාන්තවලින් බැහැරව කිසිදු සාකච්ඡාවකට ප්‍රභාකරන් සූදානම් වූයේද නැත. ප්‍රභාකරන් වෙනුවෙන් සාම සාකච්ඡා වලට එක්‌වූ ඇන්ටන් බාලසිංහම්ට පවා සිය නායකයා අපේක්‌ෂා කරන විසඳුම ගැන පැහැදිලි අදහසක්‌ නොවූ බවද පැහැදිලිය.

කෙසේ හෝ ශ්‍රී ලංකාවේ ස්‌වෛරීභාවයට, භෞමික අඛණ්‌ඩතාවට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ටද පටහැනි බලයක්‌ දෙමළ ජනතාවට ලබා දිය යුතු යෑයි අද ඔවුන් වෙනුවෙන් පෙනී සිටින දෙමළ ජාතික සන්ධානය තවමත් කල්පනා කරන බව ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පැහැදිලි වේ.

කෙසේ හෝ වේවා දෙමළ ජාතික සන්ධානය යළිත් ඊළාම් සේක්‌කුවේ පටන් ගත් තැනටම පැමිණ සිටියි. තිස්‌ වසරක්‌ මුළුල්ලේ තම ජනතාව විඳි අප්‍රමාණ පීඩා, අහිමි කරගත් භෞතික සම්පත් හා ජීවිත ගැනද මීට වඩා දයාර්ද්‍රවද බුද්ධිමත් ලෙසද බැලීමට ඔවුන්ට යුතුකමක්‌ හා වගකීමක්‌ තිබිණි. යළිත් ඒ අවදානම් මාවතට සිය ජනතාව රැස්‌ කරන ඔවුන් කරන්නේ ජාතික අපරාධයකි.

අලුත් රටක්‌ හා අලුත් හෙටක්‌ හදන්නට බලය ඉල්ලන මහින්ද මෙන්ම ඔබට සහනයක්‌ හා රටට දියුණුවක්‌ ලබා දෙන්නට බලය ඉල්ලන රනිල්ද මෙම දෙමළ සන්ධානයේ අරමුණු හා අභිප්‍රායන් පිළිබඳ වඩාත් සැලකිල්ලෙන් බැලිය යුතුය. මේ රට එක්‌සේසත් කරන්නට අවංක හැඟීමක්‌ තිබේ නම් දෙමළ සන්ධානයේ මේ අපරාධකාරී හා විනාශකාරී පිළිවෙතට යළිත් දෙමළ ජනතාව ඇදී යනු වැළැක්‌විය යුතුමය. එසේ නොවුවහොත් යළිත් රට තල්ලු වන්නේ ඒ බිහිසුණු ලේ විලටම බව නිසැකය. උතුර නැගෙනහිර වෙන් කිරීමේ අවශ්‍යතාව යළිත් කරළියට ගෙන එන්නට පමණක්‌ නොව දෙමළ ජනතාව බෙදා තබන්නට හදන බටහිර බලවේගවලටද දෙමළ සන්ධානයේ මෙම ප්‍රතිපත්තිය කදිම ආවරණයකි.

මේඝ
 

 
Powered By -