ජෙනරාල් පෙරට දාලා ජවිපෙ පසු බසිනවා

බෞද්ධ ආගමට පමණක්‌ නොව, ඕනෑම ආගමකට කවුරු හෝ නිගරු කරන්නේ නම් ඊට විරුද්ධව මුලින්ම පෙරමුණ ගන්නේ තමා යෑයි කම්කරු ඇමැති කැලණිය සංවිධායක මර්වින් සිල්වා මහතා දිවයින ඉරිදා සංග්‍රහය සමග සාකච්ඡාවකට එක්‌ වෙමින් ප්‍රකාශයක්‌ කළේය.

අප ඇසු ප්‍රශ්න කීපයකට ඇමැතිවරයා පිළිතුරු දුන්නේ මෙසේය.

ප්‍රශ්නය - මේ දිනවල ඔබ පිළිබඳව නිල නොවන ආකාරයේ කට කතා පැතිරී යනවා.

පිළිතුර - නිල නොවන කට කතා ඕනෑතරම් පැතිරෙන්න පුළුවන් මට මොකද කට කතා පැතිරෙනවාට අර කතාවක්‌ තියනවානේ වැඩි පුර වැඩ කරන මිනිසා බැණුම් අහන්නේ. විරුද්ධවාදීන් කාටද දොස්‌ නොකියන්නේ.

ප්‍රශ්නය - ඔබ කැලණියේ එ. ජ. ප. අපේක්‌ෂක බෙවන් පෙරේරා මහතාගේ දේශපාලන රැස්‌වීමකදී ඔහු සමග කරට අත දාගත්තේ ඇයි.

පිළිතුර - ඇයි. ඒක වරදක්‌ද බෙවන්ලත් ජෝර්ඡ් පෙරේරලාත් එක්‌ක ගහගන්නවා නම් ඇන කොටා ගන්නවා නම් හොඳයි කියලද? ඔබ කියන්නේ.

ප්‍රශ්නය - ඔබ වැනි ඇමැතිවරයෙක්‌ එසේ කිරීම පුදුමයක්‌.

පිළිතුර - ඇත්ත වශයෙන්ම පුදුමයක්‌ නොවේ ආදර්ශයක්‌. අපේ කැලණි ආසනයේ එ. ජා. ප. සමග ගැටීම් කිසිම තැනක නැහැ. ප්‍රශ්න නැහැ. ඒ ගැන කොච්චර සතුටු වෙන්න ඕනෑද? හැබැයි කුසලාන කට්‌ටිය නම් කැලණියේ දකින්නවත් නැහැ. දැන් ජනතා විමුක්‌ති පෙරමුණ ජනරාල්ව ඉස්‌සරහට දාගෙන ඉන්නේ ජනතා විමුක්‌ති පෙරමුණ තවත් පසු බහිනවා.

ප්‍රශ්නය - මේ රෙටි මාධ්‍ය ආයතන ගැන ඔබ මොකද කියන්නේ රෑ

මාධ්‍යවේදීන්ට මම හරි හිතවත්, ආදරෙයි. ඔවුන්ගෙන් අති විශිෂ්ට සේවාවක්‌ වෙනවා. කවුරු හෝ මාධ්‍ය ආයතනයක්‌ වේවා, මාධ්‍යවේදීයෙක්‌ වේවා. කොටින්ට, හිතවත්ව ක්‍රියා කරන්නේ නම් මම පමණක්‌ නොවේ. ජාතික කැක්‌කුමක්‌ ඇති කවුරුත් අකමැතියි.

කෙසේ වෙතත් මාධ්‍ය වෘත්තියට නිගා නොදෙන මාධ්‍යයට විශේෂ සේවාවක්‌ කරන මාධ්‍යවේදියා වෙනුවෙන් සම්මාන පිදීමට මම ක්‍රියා කරනවා.

මම කිව්වොත් කිව්වා. නොකරන දේවල් කියන්නේ නැහැ.

අද කැලණියේ මහා මාර්ග අලූත්වැඩියා වෙලා තියනවා. කැලණියේ සංවර්ධන කටයුතු රාශියක්‌ සිදු කෙරීගෙන යනවා.

කැලණිය පන්සලට යන වරාගොඩ මාර්ගයට සමීප තොරණ හන්දියේ නියම තොරණක්‌ ඉදි කරලා තියෙනවා. කැලණි පිරිවෙනේ සංඝයා වහන්සේලා ගේ සම්මන්ත්‍රණ ශාලාව ඉදි කෙරී ගෙන යනවා. කිරිබත්ගොඩ නගරයේ බුදු පිළිමය කැලණියේ ප්‍රාදේශීය සභාවට නුදුරින් අලුතින් ඉදි කරන විෂ්ණු කෝවිල මේ හැම දේකටම මගේ හිතවත් මිත්‍රයෝ දායක වෙලා තියෙනවා කිරිබත්ගොඩ විහාරමහාදේවි බාලිකා විදුහලට වගේ පිරිමි විදුහලත් තැනීමට පියවර ගෙන තියනවා. තව කොච්චර දේවල් කැලණි ආසනයට මගෙන් ඉටු වෙනවද? ඇයි ඒ පැත්ත ගැන කතා නොකරන්නේ අද කැලණි නගරයේ හරක්‌මස්‌ කඩ දකින්න තියනවාද?

කැලණි ප්‍රදේශය තුළ වැඩි කලක්‌ යන්නට කලින් සුදුහඳුන් සුවඳ පැතිරෙනවා. සුදු හඳුන් පැල දැනටමත් රෝපණය කෙරිලා තියනවා. තවත් ඕනෑ තරම් තියනවා නම් මා කරන හොඳ දේවල් විරුද්ධවාදීන් අමතක කරලා දාලා කියනවා. කැලණි ආසනයට මීට පෙර කවුරුත් නොකළ වැඩ කොටස්‌ රාශියක්‌ තවත් ඉටු කෙරීගෙන යනවා.

ඕනෑම චෝදනාවක්‌ එල්ල කරන්න ඒවා මගේ ඇඟේ ගෑවෙන්නේ නැහැ.

මම දේශපාලනයට අද ඊයේ ආපු කෙනෙක්‌ නෙවේ. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පවුලේ කට්‌ටිය මා කවුද කියලා හොඳින් දන්නවා. කුඩා කාලේ පටන් අපි එක පවුලේ උදවිය වගේ හිතවත්ව ජීවත් වුණේ.

බැසිල් රාජපක්‍ෂ මහතා ගම්පහ දිස්‌ත්‍රික්‌කයට තරග කිරීම එම ජනතාවගේ විශාල භාග්‍යයක්‌.

කිසිම දේශපාලනඥයකුට ජනතාව වෙනුවෙන් කරන්න බැරි දේවල් වැඩ කටයුතු රාශියක්‌ ඔහු අතින් කෙරෙන්න පුළුවන්. මම රැස්‌වීම් කීපයකදී කියලා තියනවා, අලුත් ආණ්‌ඩුවේ අගමැති බැසිල් රාජපක්‍ෂ මහතා වෙන්න ඕනෑ කියලා.

කැලණියට මට කරන්න වැඩ රාශියක්‌ තව තියනවා යෑයිද ඇමැතිවරයා සඳහන් කළේය.

නෝමන් පලිහවඩන
පින්තූරය ධම්මික සිල්වතුර

 

 
Powered By -