මා දුටු රුවන්

රුවන් විජයවර්ධන. මුළු රටක්‌ දන්නා පරිදි ඩී. ඇස්‌. සේනානායකගේ මී මුණුපුරා, කනිෂ්ඨ ඩී. ආර්. විජයවර්ධන (දිනේන්ද්‍රd රුවන්) අද මුළු රටමත්, විශේෂයෙන් ගම්පහ දිස්‌ත්‍රික්‌ ජනතාවත් අතර ඉතා සීග්‍රයෙන් ජනප්‍රියතාව දිනා ගනිමින්, ආදරය දිනා ගනිමින් දේශපාලන පොරපිටියේ දැවැන්තයන් හති වැටී විඩාහෙළමින් උකටලීව සිටින විට අති දැවැන්ත දේශපාලන ගමනක්‌ සනිටුහන් කරමින් ඉදිරියට පැමිණ ඇත. කොටින්ම අද ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ එක්‌සත් ජාතික පාක්‍ෂිකයන්ගේ බලාපොරොත්තුව බවට පත්ව ඇත. වසර හැත්තෑවකට අධික ඉතිහාසයක්‌ ඇති ප්‍රෙෘඪ පක්‍ෂයක, ජෝන් කොතලාවල හැර අන් සියලු රාජ්‍ය නායකයන් බිහිකළ සියනෑ කෝරළයේ ජනතාව අතර මේ අංකුර නායකයා මහා වක්‍ෂයක්‌ සේ සෙවනක්‌ ඉල්ලා සිටින සියල්ලන්ටම සෙවන සමඟ සිසිලසක්‌ ද සපයමින් තේජාන්විතව නැඟී සිටියේ කෙසේද? මේ ලිපියේ අරමුණ එය විමසා සිටීමයි.

වසර දෙකක සුළු කාලයක්‌ හැර වසර ගණනාවක්‌ පුරා විපක්‍ෂයේ ලැග සිටින බිම් මට්‌ටම් එක්‌සත් ජාතික පාක්‍ෂිකයන් අද ගත කරන්නේ කේන්තිය මුසු වුණු කලකිරීමකිනි. සැබෑ ජනතා බලවේගයක්‌ ක්‍රියාත්මක වී 1994 දී චJද්‍රිකා මැතිනිය ජයග්‍රහණය කළ සේ ඉන් අනතුරුව පැවැති මැතිවරණයන්හිදී ද සැබෑ ජනතා බලය ක්‍රියාත්මක වී එක්‌සත් ජාතික පක්‍ෂය පැරැදුනි නම් එක්‌සත් ජාතික පාක්‍ෂිකයන් එය ඉවසා දරා සිටින්නට ඉඩ තිබෙන නමුත් 1999 දී කොටි බෝම්බයකින් පුරහල ඉදිරිපිටදී ම එක්‌ ඇසක්‌ අහිමි කර ගැනීම නිසා ඇති වූ අනුකම්පාව නිසාද, 2005 දී නැවතත් උද්දච්ච කොටි විසින් උතුර - නැගෙනහිර ජනතාවට තම රටේ ජනාධිපතිවරයා තෝරා ගැනීමට ඡන්දය පාවිච්චි කිරීමට ඉඩ නොදී වර්ජනය කිරීම නිසා ද රනිල් වික්‍රමසිංහ මහතාට ජනපති වීමට තිබූ අවස්‌ථා දෙකම කඩාකප්පල් විය. එම අවස්‌ථා කෙදේදීම නිසි ලෙස ජනතා කැමැත්ත ක්‍රියාත්මක විණි නම් එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවක්‌ යටතේ අවශේෂ මැතිවරණ ද දිනා ගැනීමට එක්‌සත් ජාතික පක්‍ෂයට තිබූ අනඟි අවස්‌ථාව මඟහැරී ගියේය.

මේ අමිහිරි සත්‍ය වසන් කොට රනිල් වික්‍රමසිංහයන්ට කවදාවත් මැතිවරණයක්‌ දිනන්නට බැරි යෑයි අවලාද නඟන රාජ්‍ය පාක්‍ෂික කේවට්‌ටයන්ගේ බසට

නොරැවටී තවමත් එතුමාණන්වම තම නායකයා ලෙස එක්‌සත් ජාතික පාක්‍ෂිකයන් ඔසවාගෙන යන්නේ එබැවිනි.

රාජ්‍ය බලය සාධාරණ සහ යුක්‌තිසහගත මැතිවරණයකින් ජනතා කැමැත්තෙන් ලබා ගන්නා තුරු එක්‌සත් ජාතික පක්‍ෂයත්, එහි පාක්‍ෂිකයනුත්, නායකත්වයත් රැක ගැනීම වෙනුවට, බලලෝභීව, බඩගෝස්‌තරවාදීව, රට සහ පක්‍ෂය දෙවන තැනට ඇද දමා තම පෞද්ගලික පටු අරමුණු කෙටිකාලීනව ඉටුකර ගැනීම සඳහා පක්‍ෂයෙන් පක්‍ෂයට පිල් මාරු කරන දේශපාලන ගෙම්බන් හා කටුස්‌සන් ලෙස ජනතාව විසින් හඳුන්වන දේශපාලකයන් නිසා එක්‌සත් ජාතික පක්‍ෂය තුළ මහ හිඩසක්‌ අංකුර, තරුණ දේශපාලකයන්ට අනාගත දේශපාලන නායකත්වයන් කරා යැමට විවර විය. මේ අවස්‌ථාව උපරිම ලෙස ප්‍රයෝජනයට ගත් තරුණ නායකයා රුවන් විජයවර්ධනයි.

රට පාලනය කළ සේනානායක - විඡේවර්ධන - ජයවර්ධන හා වික්‍රමසිංහ යන සියලු පතාක යෝධයන්ට සමීප ලේ ඥතීත්වයක්‌ දැක්‌වීම ඒ සඳහා හොඳ ආරම්භයක්‌ වුවද, මේ අංකූර තරුණ දේශපාලකයා රටේ නායකත්වයට බෞතීස්‌ම ලබා ඇත්තේ රාජකීය රුධිරයෙන් පමණක්‌ නොව, මේ තරුණයා සැබවින්ම ඩී. ඇස්‌., ඩඩ්ලි, සර් ජෝන්, සහ ඡේ. ආර්. නම් සතර මහා පුරුෂයන්ගේම අග්‍ර පුරෝහිත ඩී. ආර්. විඡේවර්ධනගේ පුත් රංජිත්ගේ සූක්‍ෂම ප්‍රවර්ධන වැඩපිළිවෙළක අග්‍ර ප්‍රතිඵලයකි.

19 මස දින මෙලොව එළිය දුටු රුවන් සිය ළමා කාලය බියගම සහ කැලණියේ ගොවි කම්කරු දූ පුතුන් සමඟ ගත කිරීමට එතුමා ඉඩ සැලැස්‌වීය. කොළඹ හතේ මහ මන්දිරයක රිදී හැන්ද කටේ රුවාගෙන උපන් කුමරාට පසු දිනෙක රටේ සාමාන්‍ය ජනතාවගේ හද ගැස්‌මේ රාවය හඳුනා ගැනීමට නම් කොළඹ කොල්ලො සමඟ ක්‍රිකට්‌ සෙල්ලම් කිරීම මෙන්ම වෙල් ඉපනැල්ලේ ඔට්‌ටපාලුවලින් එල්ලේ ක්‍රීඩා කර තිබීම ද එතරම්ම වැදගත් බව රංජිත් විඡේවර්ධනයන් විශ්වාස කළේය. ඔහු දහම් පාසලේ අධ්‍යාපනයට ද ගුරු හරුකම් ලබා ගැනීමට ද යොමු කරන ලද්දේ කැලණිය රජමහ විහාරාධිපති හිමිපාණන් සහ කොළඹ ගංගාරාමයේ පොඩිහාමුදුරුවන් වෙත ය. මේ උත්තම සංඝ පීතෘවරු දෙදෙනාම ලංකාවේ ඉතිහාසය, බෞද්ධ දර්ශනය, හා සංස්‌කෘතිය ද සිංහලයාගේ නැඟීම සහ වැටීම ද, පරසතුරු ආක්‍රමණ සහ ඊට එරෙහිව සිංහලයන් කළ සටන් ද ජාතික නායකයෝ බිහි වූ ආකාරය හා ඔවුන් ජාතික සටන් මෙහෙය වූ ආකාරය ද ටිකින් ටික ක්‍රම ක්‍රමයෙන් මේ කොලුගැටයාට කියා දෙන ලදී. රුවන්ගේ හද තුළ සැබෑ දේශප්‍රේමය, ජාතිකත්වය ඇති කිරීමට මේ පැවිදි දෙගුරුන් කරන ලද කර්තව්‍යය ඉමහත් ය. රුවන් විජයවර්ධන බඳු නායකයකු බිහිකිරීමට සරු පස තනා දුන් කැලණිය රජමහා විහාරාධිපති හිමිපාණන්ට මෙන්ම ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ට ද ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුය.

ඉන්පසු රංජිත් පියාණන් කල්පනා කළේ සිය පුතු අධ්‍යාපනය ලැබිය යුත්තේ කොහේද යන්නයි. රාජකීය, ආනන්ද සහ ශාන්ත තෝමස්‌ යන ලංකාවේ ප්‍රමුඛතම පාසල් ත්‍රිත්වයෙන් ශාන්ත තෝමසය ඔහුගේ ප්‍රවේසම් සහිත තෝරාගැනීම විය. එයට බලපෑ ප්‍රමුඛතම හේතුව වූයේ සියලුම ජාතීන්ගේ දරුවන් ද සියලුම ආගම් අදහස්‌ දරුවන් ද එක බංකුවේ හිඳගෙන අකුරු කරවන ප්‍රමුඛතම පාසල එය වූ බැවින් සිය සිංහල බෞද්ධ පුත්‍රයාට අන්‍ය ජාතිකයන්, අන්‍ය ආගමිකයන් සිතන පතන ආකාරය අත්දැකීමට සැලැස්‌වීමයි. සැබැවින් ම අද එය ඵලදරා ඇත. තම දේශපාලන බල අධිකාරිය පවත්වා ගෙන යැමට සිංහල බෞද්ධයාගේ දේශමාමක හැඟීම් කුණු කොල්ලයට විකුණන දේශපාලකයන් අතර එක්‌සත් ලංකාවක්‌, සියලුම ජාතිකයන්ට හා ආගමිකයන්ට සම අයිතීන් ඇති ඔවුන්ගේ අයිතිවාසිකම් හා ප්‍රජාතාන්ත්‍රීය අයිතිවාසිකම් කප්පාදු කිරීමට නොසිතන නිවහල් අදීන සැබෑ බුදු දහම අනුගමනය කරන පුත් රුවනක්‌ බිහිකිරීමට ශාන්ත තෝමසයෙන් ලැබූ ඒ පිටිවහල ඉමහත් විය.

නමට පමණක්‌ මතට තිත නොතබමින් අමද්‍යප ව්‍යාපාරය ආරම්භ කළ මත්පැන් හා ගවමස්‌ වෙළෙ¹මට එරෙහිව වීදි සටන් කළ ජාතියේ පියා නමින් විරුදාවලිය ලත් සිය සීයා වන ඩී. එස්‌. සේනානායක අකුරු කළ පාසලටම සිය පුතාවත් යෑවීමෙන් ඩී. එස්‌. ලද ආභාෂයම තම පුතණුවන්ට ද ලබාදීමට රංජිත් කල්පනා කළා විය හැකිය.

ඉන්පසු රංජිත්

විඡේවර්ධනයන් දෙනෙත් යොමු කළේ වර්තමාන දේශපාලන පොරපිටිය දෙසය. එහි එකට දේශපාලනයේ යෙදෙන තාත්තලා සහ පුතාල ද දේශපාලනය සිය පරවේණීය බූදලයක්‌ ලෙස සලකා කටේ කිරි සුවඳ යන්නටත් මත්තෙන් බලලෝභීව සිය පවුල් ව්‍යාපාර තර කර ගැනීම සිය එකම පරමාර්ථය කරගත් තරුණ දේශපාලකයන් රාශියක්‌ ඔහු දිටීය. තම පුත්‍රයාත් එම මජර වළටම වැටෙනු බැලීමට රංජිත් අකැමැති විය. මේ බොහෝ දේශපාලක පුත්‍රයන්ට දේශපාලක බලයෙන් මිස රටට බරක්‌ නොවී ජීවත් විය හැකි ජීවිකාවක්‌ කර ගැනීමට හැකියාවක්‌ නැති බව ඔහු දුටුවේය. සියලුම දේශපාලකයන් දූෂණයේ යෙදෙමින් සල්ලිම පොදි බැඳීමට යොමුව ඇත්තේ දූෂණයේ යෙදෙමින් මහජන සම්පත් කොල්ල කෑම හැර වෙනත් ජීවන වෘත්තියක්‌ ඔවුන් නොදන්නා නිසා යන මහජන මතය හිස්‌ මුදුනින් පිළිගත් රංජිත් තම පවුලේ ව්‍යාපාරය වන පුවත්පත් ව්‍යාපාරය ඉතා විචක්‍ෂණව රටට හිතකර පරිද්දෙන් කරගෙන යැම සඳහා ජනමාධ්‍යකරණය පිළිබඳව හැදෑරීමට එංගලන්තයේ ඉහළම විශ්වවිද්‍යාලයක්‌ වන සිටි විශ්වවිද්‍යාලයේ නේවාසික අධ්‍යාපනය සඳහා රුවන් පිටත්කර හරින ලදී. එබැවින් රුවන් විජයවර්ධන නම් තරුණයා ද ඩී. එස්‌. ඩඩ්ලි, ඡේ. ආර්. බඳු මුතුන්මිත්තන්ගේ ද සිය පරපුරේ ද උතුම් ගෞරවය රැකගෙන සිය දෑත් කිලිටි කර නොගෙන දුප්පත් ජනතාවගේ දේපළ ගසා කෑමට අවශ්‍ය නොවන චරිතයක්‌ බවට පත්කරවාලීය.

යමෙක්‌ දේශපාලනය කරන්නේ නම් ඒ පිළිබඳ විධිමත් හැදෑරීමක්‌ ප්‍රථමයෙන් කර තිබිය යුතුය යන්න රංජිත්ගේ දර්ශනය විය. තම පුත්‍රයා ද දේශපාලන පිටියේ බඩපිණුම් ගහන තවත් ජෝකරයකු හෝ ජෝකරයකුගේ පුත්‍රයකු සේ අහසින් ඉබේ පත් කරනවාට වඩා දේශපාලනය පිළිබඳ ජාත්‍යන්තර මට්‌ටමේ අධ්‍යාපනයක්‌ ලබා දීම සඳහා ලොව ප්‍රකට එංගලන්තයේ සසෙක්‌ස්‌ විශ්වවිද්‍යාලයට ඔහුව පිටත්කර හරිද ලදී. එහිදී ඔහු තෙවැනි ලොව දේශපාලනය පිළිබඳ උපාධිය ලබා ගැනීමට සමත් වූ අතර එහිදී ඉන්දියාව, පාකිස්‌තානය, බංග්ලාදේශය, චීනය බඳු ආසියාතික රටවල ද නයිජීරියාව, කොංගෝව, ටැන්සානියාව වැනි අප්‍රිකානු රටවල ද වෙනිසියුලාව, බ්‍රසීලය, ආජන්ටිනාව බදු ලතින් ඇමරිකානු රටවල ද අනාගත රාජ්‍ය නායකයන් සමඟ එකට අධ්‍යාපනය ලැබීමට ද, ඔවුන් සමඟ අදහස්‌ හුවමාරු කර ගැනීමටද, ලංකාවේ ජනතාව මුහුණපාන ප්‍රශ්නවලට සමාන ප්‍රශ්නවලටම මුහුණ දෙන වෙනත් රටවල තරුණ දේශපාලකයන් එම ප්‍රශ්න අර්ථකථනය කරන අයුරු ද ඒවාට යෝජනා කරන විසඳුම් ද සාකච්ඡා කිරීමට ද හැදෑරීමට ද වාද කිරීමට ද සසෙක්‌ස්‌ විශ්වවිද්‍යාලය ඔහුට පිටිවහලක්‌ විය.

හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ යන කියමන සනාථ කරමින් දේශපාලනයට පිවිසුණු මේ තරුණ නායකයාට ලංකාවේ ප්‍රධානම දේශපාලන පක්‍ෂ කීපයෙන්ම සෘජු සහ රහස්‍ය ඉල්ලීම් ගලා ඒමට පටන් ගත්තේ මොහු බැඳෙන පක්‍ෂය මොහුගෙන් බැබලෙන බව එම දේශපාලන පක්‍ෂ සාක්‍ෂාත් කර ගෙන සිටි බැවිනි. නමුත් රුවන් විජයවර්ධනයන්ගේ අධිෂ්ඨානය මෙබඳු විය. ඔහුට රැකීමට රටක්‌ ඇත. ඔහුට රැකීමට පක්‍ෂයක්‌ බලාපොරොත්තුවේ දෑස්‌ අයාගත් පාක්‍ෂිකයිනුත් උතුම් පරපුරක මේ දක්‌වා පක්‍ෂ විපක්‍ෂ කිසිවකුගෙන්වත් වචනයක්‌ නො අසා

රැකගෙන ආ උතුම් පරපුරක ගෞරවයත් රැක ගැනීමට ඇති බව ය.

සිංහල, දෙමළ, මුස්‌ලිම්, බර්ගර් සෑම ජාතිකයකුටම බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්‌ලාම් හා ක්‍රිස්‌තියානි සෑම ආගමිකයකුටම වසර හැත්තෑවකටත් වඩා කාලයක්‌ එකට වැඩ කළ හැකි එකට නැඟී සිටිය හැකි සම තැන ඇති එකම පක්‍ෂය ලෙස ඔහු දුටුවේ එක්‌සත් ජාතික පක්‍ෂයයි.

දස අතේ ඉල්ලන ඉල්ලන දේ ලබා දෙන්නෙමි ය යන පොරොන්දු දේශපාලනය නොව, රට හැදිය හැකි ස්‌ථිරසාර ආර්ථික දර්ශනයක්‌ ඇති එකම පක්‍ෂය ලෙස ඔහු දුටුවේ එක්‌සත් ජාතික පක්‍ෂයයි.

දෙවැනි ලෝක යුද්ධයෙන් බ්‍රිතාන්‍ය ප්‍රමුඛ මිත්‍ර හමුදා ජයග්‍රහණය කරවීමට වින්සන්ට්‌ චර්චිල් අගමැතිතුමා දුන් දේශපාලන නායකත්වය ලොව පුරා ජනතාව අද ද සමරයි. අද ද එතුමාගේ නාමය ලොව දස දෙස රැව් පිළිරැව් දෙන්නේ එබැවිනි. නමුත් යුද්ධයෙන් පසු රටේ ආර්ථික සංග්‍රාමය විජයග්‍රහණය කරවීමට චර්චිල් අසමත් වූ බව දුටු බුද්ධිමත් බ්‍රිතාන්‍ය ජාතිකයන් ඔහු ගෙදර යවා වෙනත් අයකු දෙවැනි ලෝක යුද්ධයෙන් පසු වහාම අගමැති පුටුවේ හිඳුවන ලදී. ඔහු වසර 4 ක මහා ආර්ථික සංග්‍රාමයකින් පසු කඩා වැටුණු බ්‍රිතාන්‍ය නැවත ලොව බලවත්ම රාජ්‍යයක්‌ බවට පත් කරන ලදී. මීට වසර හැටකට පමණ පෙර ඉංග්‍රීසි ජාතිකයෝ ද කළගුණ සලකමු බඳු හෘදයංගම සටන් පාඨවලට වශී වී වින්සන්ට්‌ චර්චිල්වම බලයට පත් කරන ලද්දේ නම් ලෝක ඉතිහාසය අද මීට වඩා වෙනස්‌ වීමට ද ඉඩ තිබිණි. අප ද තවමත් ඔවුන්ගේ යටත් විජිතයක්‌ වීමට ද ඉඩ තිබිණි.

අපේ ශ්‍රී ලාංකික ජනතාව ද ඉතා බුද්ධිමත් ය. කළගුණ ද සලකා තිබේ. දැන් ඇත්තේ රටට වඩාත් ඵලදායී සමබර සහ සමබල ජාතික ආණ්‌ඩුවකි. බලය දූෂණය කරයි. වැඩි බලය වැඩියෙන් දූෂණය කරයි. මෙම උතුම් වාක්‍යයන් තුන්කල් දකිනා බුද්ධිමතුන් ප්‍රකාශ කර ඇත්තේ ඉතා වටිනා තේරුම් ඇතිවය. යුද්ධය අවසන් ය. ආර්ථික යුද්ධය විජයග්‍රහණය කළ හැකි අගමැති අපේක්‍ෂකයා රනිල් වික්‍රමසිංහ යෑයි මම යෝජනා කරමි. අනික්‌ තරගකාරී පක්‍ෂවලට එබඳු ආර්ථික දර්ශනයක්‌ ඇති නායකයකු නොමැති නිසා අගමැති අපේක්‍ෂකයකු ද පත් කර ගත නොහැකි වී ඇත. දැක්‌මක්‌ ඇති අනාගත අගමැතිවරයකුට රුවන් විජයවර්ධන වැනි ඇමැතියෙකු යෝධ සවියක්‌ වනු නියතය. ඔබ බුද්ධිමත් ය. මම නැවතත් කියමි. ඔබ ඔබේ රටට යුක්‌තිය ඉෂ්ඨ කළ යුතුය. වසර 5 කට වරක්‌ ලැබෙන මහජන ඡන්දයට සාධාරණය ඉෂ්ඨ කළ යුතුය. ඔබ ඔබේ ඡන්දයෙන් පාර්ලිමේන්තු යවන්නේ හුදු ජනප්‍රියතාව පමණක්‌ ඇති විකටයකු, නළුවකු, නිළියකු හෝ ක්‍රීඩකයකු නම් තාත්තාගේ පුතාට උරුම වූ බලලෝභීත්වයේ ඉදිරි නියෝජිතයකු නම් අනාගතයේ යම් දිනකදී ඔබට ඔබේ දරුවාට ඔබ අද ගත් තීරණය ගැන පසුතැවිලි වීමට සිදුවනු ඇත. නමුත් ඔබ බුද්ධිමත් ය. දර්ශනයක්‌, දැක්‌මක්‌ ඇති නිහතමානී අවංක නායකයකුට ඔබේ ඡන්දය පාවිච්චි කරන්න. ඒ සඳහා රුවන් විජයවර්ධන සුදුසු යෑයි මම යෝජනා කරමි.

වෛද්‍ය නුවන් වික්‍රමසිංහ

 

 
Powered By -