මීළඟ පාර්ලිමේන්තුව කුමක්‌ සඳහා විය යුතුද - IV

මීළඟ පාර්ලිමේන්තුවේ සන්ධානයට තුනෙන් දෙකේ බලයක්‌ ලැබීමට විශාල ඉඩක්‌ ඇති බව අපි කීවෙමු. එවැනි බලයක්‌ ලැබුණොත් කළ හැකි හා කළ යුතු කාර්යයන් රාශියක්‌ වෙයි. හැම කාර්යයක්‌ ම වැදගත් වේ යෑයි කිව හැකි නමුදු විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක්‌ වෙයි. ඒ අතර රටේ ඒකීයභාවය රැක ගැනීම, ව්‍යවස්‌ථා සංශෝධනය, සංවර්ධනය, සංස්‌කෘතිය අපට අවශ්‍ය අයුරින් වෙනස්‌ කිරීම හා රැක ගැනීම, අධ්‍යාපනය, සුභසාධනය, කෘෂිකර්මය හා කර්මාන්ත, සෞඛ්‍යය, දූෂණය හා නාස්‌තිය නැති කිරීම, මෙරට නැවත ධර්මද්වීපයක්‌ බවට පත් කිරීම ආදිය ප්‍රධාන වේ යෑයි සිතමි. මේ සියල්ල ලිපි දෙකකින් විස්‌තර කිරීමට නොහැකි බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් අප මනාප දීමේදී අපේ නියෝජිතයන් ලෙස පත්වන අය අපට අවශ්‍ය අයුරින් කටයුතු කරන අය බවට වග බලාගත යුතු වෙයි. ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ අවශ්‍ය යෑයි අද නොකියන්නකු නැත. ෙ-. ආර්. ජයවර්ධන ජීවත්ව සිටියේ නම් ඔහු ද ව්‍යවස්‌ථාව සංශෝධනය කරන්නට ඉදිරිපත් වනු නොඅනුමානය. මනාප ක්‍රමයට තවත් ඉඩ දිය නොහැකිය. අද ජවිපෙ ද මනාප පොරයට එක්‌ වී සිටියි. ජෙනරාල්ට මනාප දීමට ඉදිරිපත්වන ජවිපෙරමුණු පාක්‍ෂිකයෝ වෙත්ද? ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ නොව අලුත්ම ව්‍යවස්‌ථාවක්‌ අපට අවශ්‍ය වෙයි. එසේ නැතිව අප ව්‍යවස්‌ථා සංශෝධනය යන්නෙන් වගන්ති කිහිපයක්‌ සංශෝධනය කිරීමක්‌ පමණක්‌ අදහස්‌ කෙරෙන්නේ නම් එයින් ජනතාවට අත්වන සුගතියක්‌ නැත. පසුගිය අවුරුදු හැටදෙකක ඉතිහාසයෙන් වැඩි කාලයක්‌, එනම් අවුරුදු තිස්‌දෙකක්‌ අපි විධායක ජනාධිපති ක්‍රමයක ජීවත් වීමු. විධායක ජනාධිපති ක්‍රමයෙහි නරක පැත්ත මෙන්ම හොඳ පැත්ත අද අපි දනිමු. විධායක ජනාධිපති ක්‍රමය නොවන්නට කිසිදිනෙක ප්‍රභාකරන් හා දෙමළ ත්‍රස්‌තවාදය පරාජය කිරීමට නොහැකිවීමට තිබිණි.

මෙයින් කියෑවෙන්නේ ඕනෑම විධායක ජනාධිපතිවරයකුට හෝ ජනාධිපතිනියකට හෝ දෙමළ ත්‍රස්‌තවාදය පරාජය කළ හැකිව තිබුණු බව නොවේ. අපි ඒ බව අත්දැකීමෙන්ම දනිමු. බටහිර හා ඉන්දීය බලපෑම් ඉදිරියේ දණින් නොවැටෙන ජනාධිපතිවරයකු යටතේ පමණක්‌ ඒ කළ හැකිව තිබිණි. විධායක ජනාධිපති ධුරය යම් ආකාරයකින් සංශෝධනය කිරීමත් ඇතැම් කරුණුqවලින් පාර්ලිමේන්තුවට (රාජ්‍ය සභාවට) බලතල වැඩියෙන් දියයුතුව ඇත. ව්‍යවස්‌ථාදායක හා විධායකය යනුවෙන් බටහිර උගතුන් විසින් හැඳින්වෙන සංකල්ප ලංකාව වැනි රටවල් සම්බන්ධයෙන් වලංගු නොවන බව අපි දැන්වත් අවබෝධ කර ගත යුතු වෙමු. බලතල වෙන් කිරීම යන්න බටහිර ද ව්‍යාජයක්‌ පමණකි. ජනාධිපති (රාජ්‍ය නායක) හා රාජ්‍ය සභාව වෙන වෙනම හා එකට ක්‍රියා කරන්නේ කෙසේද යන්න අමුතුවෙන් සිතා බැලිය යුතුය. ඒ සමඟ රාජ්‍ය සේවය කිනම් කරුණු සම්බන්ධයෙන් ස්‌වාධීන විය යුතු ද යන්නත් අධිකරණය (රාජ්‍ය යුක්‌තිය) ක්‍රියා කරන ආකාරයත් අපට සුදුසු ආකාරයකින් සූත්‍රගත කළ යුතුය. මේ සියල්ලෙහිදීම එය හෝ මෙය හෝ යන ද්වීකෝටික ඇරිස්‌ටෝටලීය න්‍යාය මත පදනම් නොවී එය හෝ මෙය හෝ මෙන්ම එය හා මෙය ද යන අපට හුරු පුරුදු චතුස්‌කෝටික න්‍යායේa එක්‌ කෙළවරක්‌ මතද පදනම් විය යුතුය. අවශ්‍ය අවස්‌ථාවලදී චතුස්‌කෝටිකයට අනුව එයත් නොවේය මෙයත් නොවේය යන්න ද සැලකිල්ලට ගත යුතුය.

බටහිරයන්ගේ ව්‍යාජ බලතල වෙන් කිරීම අපට අදාළ නොවේ. අපි වෙන් කරන්නෝ නොවෙමු. බටහිරයෝ ද එසේ නොකරති. එහෙත් ඔවුන් එසේ කරන බව පෙන්වීම සඳහා න්‍යායාත්මක තලයෙහි අවශ්‍ය ව්‍යqහ තනාගෙන ඇත. අප මේ ව්‍යාජයට හසු නොවිය යුතුය. අද මෙරට ප්‍රජාතන්ත්‍රවාදය නිසි ලෙස ක්‍රියාත්මක නොවන්නේ යෑයි ඊනියා උගතුන් නඟන හඬ මායිම් කළ යුතු නොවේ. බටහිරයන්ගේ ව්‍යාජ ව්‍යqහ ලංකාව වැනි රටවල ක්‍රියාත්මක කළ හැකි නොවේ. බටහිර ප්‍රජාතන්ත්‍රවාදය පොතට පමණක්‌ සීමා වූ ව්‍යාජ සංකල්පයකි. ඊනියා මානව අයිතිවාසිකම්, භාෂණයේ නිදහස පොතේ ඇති ආකාරයෙන් බටහිර රටවල ක්‍රියාත්මක නොවේ. මෙරට මාධ්‍ය නිදහස නැතැයි කියමින් බටහිර රටවලට ගොස්‌ සිටින සිංහල ලේඛකයන්ට (තමන් සිංහල නොව ලාංකිකයන් යෑයි මේ පඬියන් කියනු ඇත) ඒ රටවල පළ වන තුන්වැනි පංතියේ සඟරාවකවත් ලිපියක්‌ පළ කර ගත හැකිද? ඔවුන්ට අවසානයේදී ලිපියක්‌ පළ කරවා ගත හැක්‌කේ ද මාධ්‍ය නිදහස නැතැයි ඔවුන් ලෝකයට හඬ ගා කියන ලංකාවේ පමණ ය. බීබීසීය තම දේශපාලන හා සංස්‌කෘතිය ආධිපත්‍යය පැරැණි යටත්විජිතවල පවත්වාගෙන යැමේ අරමුණින් නඩත්තු කරන ඒ ඒ භාෂාවලින් ප්‍රචාරය කරන සංදේශය වැනි අඟුපිල් වැඩසටහන්වල අඳබාලයන් කිහිපදෙනකු සේවය කරන බව අපි දනිමු. එහෙත් මේ එක වැඩසටහනක්‌වත් ඉංගිරීසින් සඳහා නිපදවන්නේ නොවේ. මොවුහු එංගලන්තයේ ජනමාධ්‍යවල සේවය කරන, එංගලන්තයට (බීබීසියට) අවශ්‍ය දේ අපට කියන ජඩ මාධ්‍යවේදීයෝ වෙති. ඔවුන්ගේ වැඩසටහන්වලට සවන් දෙන ඉංගිරිසි ජාතිකයකු තබා එරට බල්ලකුවත් (ඩොගියකුවත්) නැත. ඔවුහු නමට බිරිතානි ජනමාධ්‍යවේදියෝ වෙති.

මෙරට දෙමළ ජාතිවාදය අද ක්‍රියාත්මක වන්නේ බටහිර රටවල විසිරුණු දෙමළ ජනයා මාර්ගයෙනි. දහනව වැනි සියවසේ මුල්භාගයේදී දෙමළ ජාතිවාදය ක්‍රියාත්මක වූයේ මෙරට හදවතින් හා බුද්ධියෙන් ඉංගීරිසීන් වූ දෙමළ නායකයන් මගිනි. අද විසිරුණුq දෙමළ ජනයා ඒ සඳහා යොදා ගැනෙනි. ඊනියා දෙමළ ප්‍රශ්නය විසඳීමට බලය විමධ්‍යගත කිරීමක්‌ අවශ්‍ය නොවන්නේ එවැනි ප්‍රශ්නයක්‌ නොමැති බැවිනි. ජනතාවට පොදු වූ ප්‍රශ්න විසඳීමට කළ යුත්තේ මෙරට සියලුම ජනයාට තම දෛනික කටයුතු තම ප්‍රදේශවලදීම කරගැනීමටත් අදාළ තීරණ තමන්ටම ගත හැකි ආකාරයටත් නීතිරීති සම්පාදනය කිරීම ය. එක්‌සේසත් රාජ්‍යයක්‌ පිහිටුවීමෙන් මේ කරුණු ඉටු කර ගත හැකිය. එක්‌සේසත් යනු එක්‌සත් හෝ සන්ධීය හෝ නොවන රාජ්‍යයකි. අවශ්‍ය නම් එය පරිපාලනය හැකිතාක්‌ ජනතාවට ලබාදෙන ඒකීය රාජ්‍යයක්‌ ලෙස හැඳින්විය හැකි ය. ඒ කළ හැක්‌කේ මේ සභා ජන සභා ආදියෙන් මිස ඊනියා බලය බෙදීම්වලින් හා පළාත් සභා වැනි ආයතන ඇති කිරීමෙන් නොවේ.

දහතුන්වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට එරෙහි ගෙනෙන ප්‍රබල තර්කයක්‌ ගැන අපි ගිය සතියේ සඳහන් කෙළෙමු. ඒ නීතිමය වූවකි. එහෙත් තුනෙන් දෙකක ඡන්දයක්‌ ඇත්නම් ඒ දේශපාලනිකව ම අහෝසි කළ හැකි ය. දහතුන්වැනි සංශෝධනය පමණක්‌ නොව කඩිමුඩියේ පුහු බටහිර උගතුන් සැනසීමට සම්මත කෙරුණු දහහත්වැනි සංශෝධනය ද අහෝසි කළ යුතුය. එසේ කී පමණින් ප්‍රජාතන්ත්‍රවාදය වළපල්ලට යවන්න සූදානම් වන්නේ දැයි මේ පුස්‌සන් ප්‍රශ්න කරනු ඇත. දහහතේ අවශ්‍යතාව විධායක ජනාධිපතිගේ බලතල කප්පාදු කිරීම ය. අලුත් ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කරන විට බටහිර ක්‍රමයට බලතල වෙන් කිරීමක්‌ ගැන නොසිතා රාජ්‍ය නායක, රාජ්‍ය සභාව, රාජ්‍ය සේවය, රාජ්‍ය යුක්‌තිය ආදිය අතර බලය බෙදා හදා ගැනීමක්‌ ගැන සිතීමෙන් මේ ප්‍රශ්න විසදා ගත හැකිය. අප සිතන්නේ ඇරිස්‌ටෝටල්ට අනුව නොව නාගර්ජුන හාමුදුරුවන්ට හා මහා විහාරයට අනුව බව උගතුන් ඉගෙන ගත යුතුය.

මහා විහාරය අනුදැන වදාළ සංස්‌කෘතික ප්‍රතිපත්තියක්‌ ද මෙරට විය. එහෙත් අද ක්‍රියාත්මක වන්නේ බටහිර සංස්‌කෘතික ආධිපත්‍යයට යටවන ප්‍රතිපත්තියකි.

අවුරුදු එකසිය පණහකට අධික කාලයක්‌ තිස්‌සේ පාසලින් කර ගැනීමට නොහැකි වූ බටහිර සංස්‌කෘතික ආධිපත්‍යය මෙරට තහවුරු කිරීම පෞද්ගලික විද්යුත් මාධ්‍ය ඔස්‌සේ පසුගිය අවුරුදු විස්‌සක්‌ පමණ කාලයක තීව්‍ර ව කෙරීගෙන යයි. නව පාර්ලිමේන්තුවෙන් ජාතික සංස්‌කෘතික ප්‍රතිපත්තියක්‌ සකස්‌ කර ක්‍රියාත්මක කළ යුතුය. හෝටලයක බුදුන්වහන්සේගේ පිළිම වහන්සේ නමක්‌ (හෝටලයේ පිළිම වහන්සේ නමක්‌ නිර්මාණය කළේ අහවල් දෙයකට දැයි අපි නොදනිමු.) ඉදිරියේ උන්වහන්සේ දෙසට තම නිතඹ උස්‌සමින් රඟන තන්හා රතී කාමුක සුනඛ ස්‌ත්‍රීන් (අකෝන්ගේ සෙක්‌සිබීච් යන අන්වර්ථ නාමයෙන්) දෙදෙනකුගේ ගායකයා වූ සොනගල් ඇමරිකන් ජාතිකයකු වූ අකෝන් ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය වූයේ මෙරට ඊනියා සංචාරක කර්මාන්තය නැංවීමටලු. (පිළිම වහන්සේට මේ රැඟුම්වලින් කිසිවක්‌ සිදු නොවේ. ඒ වෙනම කරුණකි.) මෙවැනි සුනඛ සංස්‌කෘතික සන්දර්ශන නැවැත්වීමට අපට පණ ඇති පණතක්‌ අවශ්‍ය වෙයි. මෙහිදී සංස්‌කෘතික පොලිසියක්‌ අපට අවශ්‍ය නැතැයි පුහු උගතුන් බෙරිහන් දෙනු ඇත. අපට සංස්‌කෘතික පොලීසියක්‌ නොව සංස්‌කෘතික හමුදාවක්‌ අවශ්‍ය ය. ඒ අන් කිසිවකට නොව බටහිර සංස්‌කෘතික පෙන්ටගනය පසු බැස්‌සවීමට ය. පුස්‌සෝ සංස්‌කෘතික පෙන්ටගනය නොදකිති. පුස්‌සන් අපට කියන්නේ බටහිර සංස්‌කෘතික ආධිපත්‍යයට යටවීමටය. ඔවුන් එයට කලාකරුවාගේ නිදහස වැනි අනන් මනන් වචන යොදා ගනු ඇත. කලාකරුවන්ට පමණක්‌ නොව මෙරට ඊනියා විද්‍යාඥයන්ට ද අද ඇත්තේ බටහිර සංස්‌කෘතික පෙන්ටගනයට යට වී ඔවුන්ගේ මතිමතාන්තර අපට පැටවීමේ කාර්යභාරය ය. ඔවුහු එයට අර නිදහස මේ නිදහස යෑයි කියති. ඉතා පැහැදිලිව ම ඔවුන්ට ඇති මේ නිවට පෞද්ගලික නිදහස නැති කළ යුතුය. ඒ අපට ජාතියක්‌ ලෙස නිදහස්‌ වීමටය. ඊනියා සංචාරක කර්මාන්තය (මෙය කර්මාන්තයක්‌ වන්නේ කෙසේද?) ඇත්තේ මුදල් ඉපැයීමටය. බටහිර ආර්ථිකයට කුමක්‌ හෝ කවුරුන් හෝ විකුණා මුදල් ඉපයීමේ වරදක්‌ නැති විය හැකිය. එහෙත් අපේ ආර්ථිකයක අරමුණු විය යුත්තේ කවරක්‌ද? මීළඟ පාර්ලිමේන්තුවට මේ පිළිබඳව ද සොයා බලා සුදුසු පියවර ගැනීමට බල කළ යුතුය.
 

 
Powered By -