ජනතා විශ්වාසය අප සමගයි
ශ්‍රීලංකා නිදහස්‌ පක්‍ෂයේ ප්‍රධාන ලේකම් කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා ඇමැති මෛත්‍රිපාල සිරිසේන

පුලතිසි පුරවරය කේන්ද්‍ර කරගනිමින් දේශපාලන ක්‍ෂේත්‍රය නියෝජනය කරන 1989 සිට වසර 21 ක්‌ නොකඩවා පාර්ලිමේන්තුව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයකු වන මෛත්‍රිපාල සිරිසේන මහතා මෙරට ප්‍රධාන දේශපාලන පක්‍ෂයක්‌ වන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ප්‍රධාන ලේකම්වරයාය. කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා ඇමැතිවරයාව කටයුතු කරන ඔහු රජරට ගොවි ජනතාවගේ ප්‍රශ්න පිළිබඳ ලොකු සංවේදී බවකින් කටයුතු කරන ඇමැතිවරයෙකි. මෙවර අප ඔහු සමග කතා කළේ එළැඹෙන මහ මැතිවරණය ගැනය.

ප්‍රශ්නය - මෙම පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය කුමන අන්දමේ ජයග්‍රහණයක්‌ බලාපොරොත්තු වන්නේද? සන්ධානය බලාපොරොත්තු වන එ ජයග්‍රහණය ලැබෙයිද?

පිළිතුර - අනිවාර්යයෙන්ම අපට පැහැදිලි විශිෂ්ට ජයග්‍රහණයක්‌ ලැබෙන එක ස්‌ථිරයි. අපි ලබන ජයග්‍රහණය මෙයට පෙර මේ රටේ පැවැති සියලුම පාර්ලිමේන්තු මැතිවරණවලට වඩා ඉහළම, විශිෂ්ට ජයග්‍රහණයක්‌. එ ජයග්‍රහණය ලෝකයේ රටවල් පුදුම කරවන ප්‍රතිඵලයක්‌ වනවාට සැකයක්‌ නැහැ.

ප්‍රශ්නය - ජනතාවගේ තීන්දුවෙන් ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳ කුමන පදනමක්‌ මත ද ඔබ එවැනි විශ්වාසයක්‌ තබන්නේ?.

පිළිතුර - අපේ ජයග්‍රහණය පිළිබඳ දැඩි විශ්වාසයක්‌ අපට තිබෙනවා. මොකද ජනතාවගේ විශ්වාසය තියෙන්නෙ අප සමගයි. ජනතාව පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපතිතුමා කෙරෙහි දැඩි විශ්වාසය තබා එතුමා වැඩි ඡන්ද ලක්‍ෂ 18 කට වැඩි ප්‍රමාණයකින් ජයග්‍රහණය කරවූවා. එ ජනාධිපතිවරණයේදී ලැබුණු ජනතා සහයෝගය තව තවත් ශක්‌තිමත් වෙමින් තියෙනවා. එA අවස්‌ථාවේ විපක්‍ෂය සමග සිටි තවත් සියයට පහළොවකට වැඩි පිරිසක්‌ මේ වන විට අප සමග එකතුවෙලා. ඉදිරි දින කිහිපය තුළ මේ තත්ත්වය තව තවත් වේගයෙන් වර්ධනය වෙනවා. ගම්වලට ගියාම මේ තත්ත්වය දකින්න තියෙනවා. එ තත්ත්වය සමීක්‍ෂණ වාර්තා වලින් ද පෙන්නුම් කෙරෙනවා. එ අනුව පැහැදිලිවම අප බලාපොරොත්තු වන විශිෂ්ට ජයග්‍රහණය ලබන්න පුළුවන් ජනතාවගේ බලාපොරොත්තුව ශක්‌තිමත් පාර්ලිමේන්තුවක්‌ තුළින් මහින්ද චින්තන ඉදිරි දැක්‌මේ පරමාර්ථ, අරමුණු ක්‍රියාත්මක කරවීමයි.

ප්‍රශ්නය - පසුගිය ජනාධිපතිවරණයේදී දක්‌නට තිබූ ජනතා උද්යෝගය මේ මැතිවරණයේදී පෙනෙන්නට නැහැ. එය ඔබ දකින්නේ කොහොමද?

පිළිතුර - ජනතාවගේ උද්යෝගයක්‌ නැතුවා නෙවෙයි. එවැන්නක්‌ දක්‌නට ඇත්තේ ප්‍රබල විපක්‍ෂයක්‌ නැතිකමින්. අද අපට තියෙන්නේ හුදකලා මැතිවරණ සටනක්‌. එකයි ඔය උනන්දුවක්‌ නැතුවා වගේ පෙනෙන්නේ. හුදකලා බවක්‌ පෙන්නුම් කරනවා. විපක්‍ෂයට ප්‍රචාරක වැඩපිළිවෙළක්‌ නැහැ. විපක්‍ෂය ප්‍රචාරක රැස්‌වීමක්‌ පවත්වන්න බැරි තරමේ දේශපාලන අගාධයකට වැටිලා. විපක්‍ෂයේ වැරැදි දේශපාලන තීන්දු හේතුවෙන් ජනතාව ඔවුන් ප්‍රතික්‍ෂේප කරලා ජනාධිපතිතුමා වටා ජනතාව එකරාශී වෙනවා. මේ රටේ ජනතාව ජනාධිපතිතුමා කෙරෙහි විශ්වාසය තබා තිබෙන බැවින් මේ මහා මැතිවණයේදී ජනතාව එතුමාට දෙන තවත් ඡන්දයක්‌ හැටියට සලකා අප්‍රේල් 8 වැනිදා දැඩි උනන්දුවකින් ජනතාව සන්ධානයට විශිෂ්ට ජයග්‍රහණයක්‌ අත්කර දෙනවා.

ප්‍රශ්නය - රජයේ ප්‍රබල අමාත්‍යවරයකු ලෙස ඔබ නියෝජනය කරන පොළොන්නරු දිස්‌ත්‍රික්‌කයේ මොන වගේ සංවර්ධනයක්‌ ද කරල තියෙන්නේ.?

පිළිතුර - මම මේ කාරණය මුලින්ම සඳහන් කළ යුතුයි. පොළොන්නරුව කියන්නේ නැගෙනහිරට යාබද දිස්‌ත්‍රික්‌කයක්‌. මේ ජනතාව ත්‍රස්‌තවාදයෙන් දුක්‌විඳි ජනතාවක්‌. ත්‍රස්‌තවාදයෙන් රට නිදහස්‌ කරගැනීමත් සමග එ ජනතාවට නිදහස ලැබිලා බියෙන් සැකෙන් තොරව ජීවත්වීමට අවස්‌ථාව ලැබී තිබෙනවා. මේ ජනතාවගේ හදවත් තුළ කළගුණ සැලකීමේ ගුණය තිබෙනවා. යුද්ධය ජයග්‍රහණය කරලා දැන් රට තුළ විශාල සංවර්ධනයක්‌ සිදුවෙයි කියන විශාල විශ්වාසයක්‌ එ ජනතාවට ඇතිවී තිබෙනවා.

අපි 2004 ජනතාව අතරට පත් කළ සංවර්ධන සැලසුම්වලින් සියයට 75 ක්‌ ඉටු කරලා තියෙනවා. යුද්ධය නැති නිසා අපට විශාල කාර්යභාරයක්‌ කරන්න පුළුවන්. ගොවිජනතාවට පොහොර සහනාධාරය ලබාදී වී වලට හොඳ මිලක්‌ ලබාදී තිබෙනවා. ඊට අමතරව දිස්‌ත්‍රික්‌කයේ යටිතල පහසුකම් සංවර්ධනය කර දරුවන්ගේ අධ්‍යාපන මට්‌ටම ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. මේ ආදි වශයෙන් විශාල සංවර්ධන වැඩකොටසක්‌ මේ දිස්‌ත්‍රික්‌කය තුළ ක්‍රියාත්මක වී තිබෙනවා. සමහර කාරණා අපි ප්‍රකාශනයෙන් ඉදිරිපත් කළ ප්‍රමාණයටත් වඩා කෙරිලා. කෘෂිකර්ම සංවර්ධන ඇමැති ලෙස ජාතික වශයෙන් ආරම්භ කළ "අපි වවමු රට නඟමු" වැඩපිළිවෙළ නිසා ලෝක ආහාර අර්බුදයෙන් බේරීමට හැකි වුණා.

ප්‍රශ්නය - මෙම පළාතේ සංවර්ධනයට ඔබට තිබෙන ඉදිරි සැලසුම් මොනවාද?

පිළිතුර - අපේ ඉදිරි ආණ්‌ඩුවක්‌ යටතේ මේ දිස්‌ත්‍රික්‌කයේ කෙරෙන ඉදිරි සංවර්ධන සැලසුම් මේ වන විට අපි ජනතාව අතට පත්කර තිබෙනවා. යුද්ධය නැති නිසා මුදල් වැය නොවන බැවින් අපට දැන් එ මුදල් රටේ සංවර්ධනයට යොදා විශාල කාර්යභාරයක්‌ ඉටු කරන්න හැකිවී තිබෙනවා.

ප්‍රශ්නය - ඔබ නියෝජනය කරන්නේ කෘෂිකාර්මික ප්‍රදේශයක්‌. ගොවිතැනින් සශ්‍රීක කරන්න මොනවගේ පියවරක්‌ ද ඉදිරියේදී අනුගමනය කරන්නේ?

පිළිතුර - අදත් මේ දිස්‌ත්‍රික්‌කය සශ්‍රීකයි. අපේ බලාපොරොත්තුව මීටත් වඩා සශ්‍රීක කර ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්‌තිමත් කිරීමයි. ගොවීන්ට අවශ්‍ය සියලු පහසුකම් ලබාදී ඔවුන්ගේ ආර්ථිකය ඉදිරියේදී මීටත් වඩා ශක්‌තිමත් කිරීම මගේ අපේක්‍ෂාවයි.

ප්‍රශ්නය - වී මිලදී ගැනීම සම්බන්ධයෙන් විපක්‍ෂය විවිධ චෝදනා නඟනවා. එ ගැන ඔබ මොනවද කියන්නේ?

පිළිතුර - විපක්‍ෂය නඟන චෝදනා පදනම් විරහිතයි. මේ ඡන්ද කාලේ කෘෂිකාර්මික ප්‍රදේශවලට හඬා වැළපෙනවා. මේ අද හඬා වැලපෙන්නේ කෘෂිකර්මාන්තය විනාශ කිරීමට කටයුතු කරපු අයයි. කුඹුරු ඉඩම් ගොඩ කිරීමට යෝජනා කරපු අයයි. අපි වී මිලදී ගැනීම ආරම්භ කළේ මාර්තු මස 1 වැනි දින. සාර්ථකව වී මිලදී ගැනීම් සිදු කෙරෙනවා. අවශ්‍ය මුදල් මහා භාණ්‌ඩාගාරයෙන් වී අලෙවි මණ්‌ඩලයට ලබාදී තිබෙනවා. මුදල් පිළිබඳ ගැටලුවක්‌ නෑ. වී අලෙවි මණ්‌ඩලයේ සියලුම ගබඩා විවෘත කර තිබෙනවා. මෙවර වාර්තාගත වී අස්‌වැන්නක්‌ ලැබී තිබෙනවා. එ සඳහා ගොවීන්ට ඉහළ මිලක්‌ ලැබෙනවා. අඩු මිලට පෞද්ගලික වෙළෙඳුන් වී මිලදී ගැනීම වැළැක්‌වීමට රජය ඉහළ මිලකට වී මිලදී ගන්නවා.

ප්‍රශ්නය - ඔබ ඔහොම කිව්වට වී මිලදී ගැනීමට ප්‍රමාණවත් මුදල් වෙන්කර දී නොමැති බවයි.

පිළිතුර - අමූලික බොරු. එගොල්ලෝ දන්නේ කොහොමද කොතරම් මුදලක්‌ වෙන් කළාද කියලා. සීමාවක්‌ නෑ. වී මිලදී ගැනීමට අවශ්‍ය තරම් මුදල් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

ප්‍රශ්නය - මනාප සම්බන්ධයෙන් ගැටුම් වැඩිපුර තියෙන්නේ සන්ධානය තුළ බවට චෝදනා නැඟෙනවා. ඔබ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහලේකම්වරයා හැටියට මේ ගැටුම් වළක්‌වන්න කුමන පියවරක්‌ ද ගෙන තියෙන්නේ.

පිළිතුර - අපේක්‍ෂකයන් අතර මනාප සම්බන්ධයෙන් ගැටුම් ඇතිවීම මේ සමානුපාතික ඡන්ද ක්‍රමයත් එක්‌ක මතුවන දෙයක්‌.

නමුත් එවැන්නක්‌ සිදුවිය යුතු නැහැ. පක්‍ෂයක්‌ ලෙස එවැනි සිදුවීම්වලට ඉඩදිය නොහැකියි. මේ නිසා ජනාධිපතිතුමා පක්‍ෂයේ නායකයා වශයෙන් පක්‍ෂයේ මහ ලේකම් වශයෙන් තමාටත්, සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතාටත් උපදෙස්‌ දී තිබෙනවා. මනාප සම්බන්ධයෙන් ආරවුලක්‌ ඇති කරගන්නා අය පිළිබඳ විනය ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසට. දැනටමත් අපි විනය මණ්‌ඩල පත්කර පරීක්‍ෂණ කරගෙන යනවා.

මනාප සම්බන්ධයෙන් ගැටුම් ඇති කරගන්නා අය පිළිබඳව තරාතිරම නොබලා කටයුතු කරන ලෙසත් මැතිවරණයෙන් පසු ඔවුන්ට කිසිදු තනතුරක්‌ ලබානොදීමටත් ජනාධිපතිතුමා තීරණය කර තිබෙනවා.

පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ මැතිවරණය සඳහා සන්ධානයේ පක්‍ෂ කාර්යාල 237 ක්‌ පිහිටුවා තිබෙනවා. එ කාර්යාල සියල්ලෙහිම සන්ධානයෙන් දිස්‌ත්‍රික්‌කයට තරග කරන අපේක්‍ෂකයන් අටදෙනාගෙම පෝස්‌ටර්, කටවුට්‌ ගහන්න අයිතිය තිබෙනවා. අපේක්‍ෂකයන් අටදෙනාම එ කාර්යාල පාවිච්චි කරනවා. කිසිදු ගැටුමක්‌ නැහැ. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහලේකම් වශයෙන් තමා එ ආදර්ශය ලබාදී තිබෙනවා.

සාකච්ඡා කළේ - අනුර බාලසූරිය
 

 
Powered By -