මං ආණ්‌ඩුව ඇතුලේ තනිවුණ වෙලාවල් තිබුනා
වෙළෙඳ, අලෙවි සංවර්ධන, සමුපකාර හා පාරිභෝගික සේවා ඇමැති- බන්දුල ගුණවර්ධන

සතර මහා අර්බුදයන්ට මුහුණදී අභියෝග ජයගත් ශ්‍රී ලංකාවේ එකම වෙළෙඳ ඇමැතිවරයා තමා බව ද දැන් උද්ධමන අනුපාතය තනි ඉලක්‌කමක්‌ දක්‌වා අඩුවී ඇති බව ද වෙළෙඳ අලෙවි සංවර්ධන සමුපකාර හා පාරිභෝගික සේවා අමාත්‍ය බන්දුල ගුණවර්ධන "දිවයින ඉරිදා සංග්‍රහය" සමග සම්මුඛ සාකච්ඡාවකට එක්‌වෙමින් ප්‍රකාශ කළේය. පහතින් සටහන් වන්නේ කාලීන දේශපාලන හා ආර්ථික කරුණු කාරණා රැසක්‌ ගැන අප ඇසූ ප්‍රශ්නවලට අමාත්‍ය බන්දුල ගුණවර්ධන ලබා දුන් පිළිතුරුයි.

ප්‍රශ්නය(- එජාපයේ සිට මහින්ද රාජපක්‍ෂ රජයට එක්‌වූ පසුව ඔබ වෙළෙඳ අලෙවි සංවර්ධන සමුපකාර හා පාරිභෝගික සේවා අමාත්‍යවරයා ලෙස පත්වුණා. ඔබ දීර්ඝ කාලයක්‌ මේ අමාත්‍ය ධුරයේ කටයුතු කළා. ආපසු හැරී බලන විට ඔබට කළ හැකි වූ මෙහෙය ගැන තෘප්තිමත්ද?

පිළිතුර(- ඔව්. නිදහසෙන් පසුව ලංකාවේ කිසිම වෙළෙඳ ඇමැතිවරයකු මුහුණ නොදුන් ප්‍රධාන අර්බුද හතරක්‌ සමග තමයි ජනාධිපතිතුමා මේ අමාත්‍යාංශයේ වගකීම බාර දුන්නේ. මේ කාලය තුළ ත්‍රස්‌තවාදයේ උච්චතම අවස්‌ථාවට පත් වුණා. මේ කුරිරු ත්‍රස්‌තවාදය අවසන් කිරීමට සහ නිරායුද, අවිහිංසක ජනතාවගේ ජීවිත හා දේපළ අරක්‍ෂා කරන්න විශාල මුදල් ප්‍රමාණයක්‌ අපේ රජයට අවශ්‍ය වුණා. 2003 වසරේදී රාජ්‍ය ආරක්‍ෂක වියදම රුපියල් කෝටි 4700 යි. 2009 දී ප්‍රභාකරන් ඉවර කරල රට ත්‍රස්‌තවාදයෙන් මුදා ගන්න කෝටි 25,000 ක්‌ වැය කරන්න අපට සිදුවුණා. මහවැලි ගඟ හරවන්නත් ගියේ කෝටි 5000 යි. මේ සල්ලි අපි හොයා ගත්තෙ ජනතාවගෙන් බදු මගින්. ජනතාව ලෙස මේ මුදල දුන්නත් ආණ්‌ඩුවට මේ මුදල සොයා ගැනීම ලොකු අභියෝගයක්‌ වුණා.

දෙවැනි වශයෙන් ලෝක ඉතිහාසයේ කිසි දිනක නොවූවිරූ ලෙස ඛනිජ තෙල් මිල ඉහළ ගිහිල්ල. මුළු ලෝකෙම තෙලෙන් බැදුණා. 2003 තෙල් බැරලයක්‌ වුණේ ඩොලර් 29 යි. ඒකට 2009 දී ඩොලර් 147 ට වැඩිවුණා. ඒ එක්‌කම ගෑස්‌ මිල වැඩි වුණා. පොහොර මිල වැඩි වුණා, රසායනික ද්‍රව්‍ය මිල වැඩිවුණා. ඒ වගේම බලශක්‌තිය පිළිබඳ අර්බුදයක්‌ ඇති වුණා.

තුන්වෙනුව ලෝකේ වසර 30 කට පසුව විශාල ආහාර අර්බුදයක්‌ ඇති වුණා. වැඩිම කටවල් ප්‍රමාණය තියෙන ඉන්දියාව සහ චීනය බඩු අපනයනය නතර කළා. ඒ වෙනුවට භාණ්‌ඩ විදේශ වෙළෙඳ පොළෙන් ඉල්ලන්න පටන් ගත්තා. ඒ සමගම ලෝක වෙළෙඳපොළේ ආහාර ද්‍රව්‍ය මිල ගණන් ලෝක ඉතිහාසයේ කවරදාවත් නොවූ විරූ විදිහට වැඩි වුණා.

හතර වෙනුව ලෝකෙ කාර්මික රටවල් සියල්ල කාඩ් කුට්‌ටමක්‌ පෙරලෙන්න වගේ කඩා වැටෙන්න පටන් ගත්තා. ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් කඩා වැටෙන කොට ෆැක්‌ටරියෙන් ෆැක්‌ටරිය වැහුණා. බැංකු බංකොලොත් වුණා. එතකොට අපේ රටට එන සංචාරකයිනුත් අඩුවුණා. එතකොට අපේ තේ, රබර් මිල බැහැල විශාල අර්බුදයක්‌ ඇති වුණා.

මේ විස්‌තර කළ ත්‍රස්‌තවාදය උච්චතම අවස්‌ථාවට පත්වීම, ලෝක ඛනිජ තෙල් අර්බුදය, ලෝක ආහාර අර්බුදය සහ ලෝක ආර්ථික කඩා වැටීම කියන අර්බුද තමයි, සතර මහා අර්බුදයන්. මේ අර්බුදයන්ට එකවර මුහුණ දුන්න එකම රාජ්‍ය නායකයා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා.

ඒ වගේම ලංකාවේ කිසිම වෙළෙඳ ඇමැතිවරයකුට මුහුණ දීමට සිදුනොවූ මේ සතර මහා අර්බුදයන්ට වෙළෙඳ ඇමැතිවරයා ලෙස මට මුහුණ දීමට සිදුවූණා. මෙය කළමනාකරණය කරගන්න බැරි වුණා නම් මිල පීඩනය උග්‍රවෙලා ජනයා පාරට බැස්‌ස නම් අපිට උතුරේ හමුදා දකුණට ගේන්න වෙනව. එහෙම වුණා නම් ප්‍රභාකරන් තවමත් ජීවතුන් අතර ඉන්නව. ඒ නිසා අපි විවිධ උපාය උපක්‍රම පාවිච්චි කරල ප්‍රවෘත්ති සාකච්ඡා තියල ජනයා දැනුවත් කරල අපි ජනාධිපතිතුමාවයි, ආණ්‌ඩුවයි රැක්‌ක. ආණ්‌ඩුව ඇතුලේ සමහර අවස්‌ථාවල මම තනි වුණා. ඒත් අපි ඒ වැඩපිළිවෙළ දිගටම කරගෙන ගියා. දැන් ප්‍රභාකරන් නැති නිදහස්‌ රටක්‌ තියෙනවා. බඩු මිල ඉහළ යැමේ වේගය (උද්ධමනය) තනි ඉලක්‌කමකට අඩුවෙලා තියෙනවා. ජනතාවට සහන ලැබිල තියෙනවා. ඒ නිසා මම දරපු වෙළෙඳ අමාත්‍ය ධුරයේ වගකීම පිළිබඳ තෘප්තිමත් වෙනවා.

ප්‍රශ්නය(- මේ උත්සාහයේදී ආණ්‌ඩුව ඇතුලේ ඔබ තනිවුණා කියල ප්‍රකාශ කළා. ඇයි ඒ?

පිළිතුර(- අපේ රටේ තියෙන්නෙ ජනප්‍රිය දේශපාලනයේ සංස්‌කෘතියක්‌නෙ. දිනපතාම ප්‍රහාර එල්ල වෙනකොට තමන්ගෙ ජනප්‍රියකමට හානියක්‌ වෙයි කියල හුඟක්‌ අය ඔළුව බිම නමා ගන්නව. සමහර අය මේක අපේ වැඩක්‌ නෙවෙයි කියල හිටිය. ඇත්තටම මේ බඩු මිල ප්‍රශ්නය මගේ විෂය පථයට අදාළ දෙයක්‌ නෙවෙයි. ඒක මුදල් අමාත්‍යංශයටයි අයිති. රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, අයවැය පරතරය, එය පියවා ගන්නා ආකාරය යනාදිය මත තමයි උද්ධමනය ඇති වෙන්නේ. මුදල් අමාත්‍යාංශයට මේක අයිති වුණත් ජනාධිපතිතුමාට මිල ස්‌ථායිකරණා ප්‍රශ්නයයි. රට බේරා ගැනීමයි දෙකම එකට කරන්න බෑ. නමුත් කිසි දවසක ජනාධිපතිතුමා මාව තනි කළේ නෑ. එතුමා මාව නිරන්තරයෙන්ම රැක්‌කා. මේ කාර්යයේ තියෙන බැරෑරුම්කම නිසා.

ප්‍රශ්නය(- ඇමැතිතුමනි, විපක්‍ෂ නායකතුමා කියනවා එජාපයට බලය දුන්නොත් අත්‍යවශ්‍ය භාණ්‌ඩවල සියලු බදු වසරකට ඉවත් කරලා ජනතාවට ඉක්‌මන් සහන සැලසීමට පියවර ගන්නවා කියලා. මේ ගැන ඔබේ අදහස කුමක්‌ද?

පිළිතුර(- මේකයි එජාප නායකතුමාට තොරතුරු ලබාදීමේ විශාල වැරැද්දක්‌ තියෙනවා. දැන් ගිය ජනාධිපතිවරණයේදී "ජනතා න්‍යාය පත්‍රය" කියල හදපු වැඩපිළිවෙළ අපි කවුරුත් දැනගෙන සිටියේ නෑ. ඒකෙ හාල්මැස්‌සො දෙනවයි කියන ගාණට වඩා අඩුවෙන් වෙළෙඳ පොළේ හාල්මැස්‌සො තිබුණා. එතුමා වටකරගෙන ඉන්න ප්‍රශස්‌තිකරුවො එදත් එතුමාට වැරැදි තොරතුරු දුන්නා. අදත් එහෙමයි. නිවැරදි චිත්‍රය නෙවෙයි එතුමාට දෙන්නෙ.

උදාහරණයක්‌ ලෙස සමහර අවස්‌ථාවල පෙට්‍රල් ලීටරයට රුපියල් 145 ක්‌ බදු අය කළා. අද ශතයක්‌වත් අය කරන්නෙ නෑ. ඩීසල් වලට රුපියල් 15 ක්‌ බදු අය කළා. අද කීයක්‌වත් බදු නෑ. භූමිතෙල් වලටත් ශතයක්‌වත් බදු නෑ. භාණ්‌ඩාගාරය හිඳෙන සමහර අවස්‌ථාවලදී අපි ගෑස්‌ සිලින්ඩරයකට රු. 400 ක්‌ බදු අය කරපු අවස්‌ථා තිබුණා. අද ශත පහක්‌වත් ගෑස්‌වලට බදු අයකරන්නෙ නෑ.

ප්‍රශ්නය(- ඔබ කියන්නේ දැනටමත් අත්‍යවශ්‍ය භාණ්‌ඩ සඳහා උපරිම ලෙස බදු අඩු කර ඇති බවයි?

පිළිතුර(- ඔව්. අපට කලින් බදු විශාල ප්‍රමාණයක්‌ රැස්‌ කර ගන්න වුණේ යුද්ධයේ තීරණාත්මක පැයේදී ආරක්‍ෂක අංශවල අවශ්‍යතාවන් ඉටුකරන්න වූ නිසයි. අපට කෙටිකාලීන වාණිජ ණය පවා ගන්න සිදුවුණා.

ප්‍රශ්නය(- මීළඟ අමාත්‍ය මණ්‌ඩලයේත් ඔබ වෙළෙඳ අමාත්‍යවරයාමද?

පිළිතුර(- මට අභියෝගාත්මක ඕනෑම ඇමැති ධුරයක්‌ කරන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් මට තේරෙන ලෙස මට කරන්න පුළුවන් ඇමැති ධුර තුනයි. මුදල් ඇමැති ධුරය, වෙළෙඳ ඇමැති ධුරය සහ අධ්‍යාපන ඇමැති ධුරය යන ඇමැති ධුර තුනට පමණයි, මම සුදුසු වෙන්නෙ කියල මම හිතන්නෙ.

ප්‍රශ්නය(- ඔබ මීළඟ පාර්ලිමේන්තුවේ සිටිය යුත්තේ ඇයි කියා ඇසුවොත් ඔබ ඊට දෙන පිළිතුර කුමක්‌ද?

පිළිතුර(- මහින්ද චින්තන ජාතික පුනර්ජීවන වැඩපිළිවෙළ ගෙනියන්න. ශීලාචාර හොරකම මැරකම වංචාවට සම්බන්ධ නැති බුද්ධිමය දායකත්වයක්‌ සපයන්න පුළුවන් ප්‍රබුද්ධ සංවාද මණ්‌ඩපයක්‌ බවට පාර්ලිමේන්තුව පත් කරන්න දායකත්වයක්‌ සැපයිය යුතු නිසා. හේතුව නම් ඉතා නරක ලෙස පසුගිය පාර්ලිමේන්තුව නාය ගිහින් තියෙනව. අපි 1989 දී පාර්ලිමේන්තුවට එන විට තිබුණ තත්ත්වයන් එක්‌ක බලන විට, පාර්ලිමේන්තුවට යන්න ඡන්දෙ ඉල්ලන එක ලැඡ්ජාවක්‌ වන තත්ත්වයට පාර්ලිමේන්තුව කඩා වැටිල තියෙනවා. ඒත් ඒක ඒ තරම් සමාජ තකිකාවකට භාජන වුණේ නැහැ. ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදයෙන් රටම ඇළලී ගිහින් තිබුණේ.

ඒ නිසා ප්‍රබුද්ධ සංවාදශීලී ජනතා මණ්‌ඩපයක්‌ වෙන්න නම් මොන දේශපාලන පක්‍ෂයකින් පාර්ලිමේන්තුවට පුද්ගලයන් පත් වුණත් ඒ අය නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට හිතකර බුද්ධිමතුන්ගේ පාර්ලිමේන්තුවක්‌ ඇති කර ගැනීම තමයි රටට වැදගත් වෙන්නේ. ඒ වගේ දෙයකට දායකකත්වය සපයන්න තමයි මගේ පාර්ලිමේන්තු නියෝජනය වැදගත් වෙන්නේ.

සාකච්ඡා කළේ
ශ්‍යාම් නුවන් ගනේවත්ත

 

 
Powered By -