ක්‍රිකට්‌ හා දේශපාලනය මම පටලවා ගන්නේ නෑ....

ප්‍රශ්නය-ඔබ තවමත් ජාතික කණ්‌ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෙක්‌

ක්‍රිකට්‌ ක්‍රීඩාවත් දේශපාලනයත් එකවර කරගෙන යන්නෙ කොහොමද?

පිළිතුර-මේ ක්‍ෂේත්‍ර දෙකම මම පටලව ගන්නෙ නැහැ. මේ වෙනකොට මම ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ වලින් සමුඅරගෙන ඉන්නෙ. ඒ නිසා මට දේශපාලනය කරන්න කාලවෙලාව තියෙනවා.

ඒ වගෙම එක්‌දින තරගවලදී උපරිම තත්ත්වයට එන්න මට අවශ්‍ය සෑම දෙයක්‌ම කරනවා. පුහුණුවීම්වල යෙදෙනවා. ඒ වගෙම ජනතා සේවයට කැපවී කටයුතු කරනවා.

ඉදිරි කාල සීමාවෙදී මම බොහොම කාර්යබහුල පුද්ගලයෙක්‌ වෙයි. මේ ක්‍ෂේත්‍ර දෙකම සමබරව කරගෙන යන්න මාව පාර්ලිමේන්තුවට යවන්න වටිනා ඡන්දය ලබාදෙන මාතර ජනතාව වෙනුවෙන් කළයුතු විශාල මෙහෙයක්‌ තිබෙනවා.

ප්‍රශ්නය-ඔබ ලෝක පූජිත ක්‍රිකට්‌ තරුවක්‌. දේශීය මෙන්ම ජාත්‍යන්තරවද ඔබට විශාල සම්බන්ධතා තිබෙනවා. එවැනි සම්බන්ධතා යොදාගෙන ආධාර ලබාගෙන මාතර දුක්‌විඳින ජනතාවට යම් සේවයක්‌ කිරීමේ සැලසුමක්‌ තිබෙනවද?

පිළිතුර-අප්‍රෙල් 8 වැනිදායින් පස්‌සේ මට විශාල වැඩකොටසක්‌ තිබෙනවා මාතර ජනතාව වෙනුවෙන් කරන්න. මාතර දිස්‌ත්‍රික්‌කයේ ක්‍රිකට්‌ ක්‍රීඩාව වගේම අනෙකුත් ක්‍රීඩා නංවාලීමේ විශේෂ වැඩපිළිවෙළක්‌ මම ක්‍රියාත්මක කරනවා. ඒ වගේම මාතර ප්‍රදේශයේ තරුණ පරම්පරාව අතර විරැකියාව විශාල ප්‍රශ්නයක්‌ වෙලා තිබෙනවා.

තරුණ තරුණියන්ට රැකියාවල් ලබාදී ඔවුන්ගේ ජීවිත යහපත් කිරීමේ වැඩපිළිවෙළක්‌ ඉතාම කෙටි කාලයකින් ක්‍රියාත්මක කළ යුතුයි. මාතර දිස්‌ත්‍රික්‌කයේ රෝහල් වල තත්ත්වය නංවාලීම අනෙක්‌ ප්‍රධානම කරුණ. ඒ වගේම දුප්පත් ජනතාවගේ මූලික ප්‍රශ්න වලටත් කඩිනම් විසඳුම් ලබාදීමේ වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කළ යුතුයි.

ප්‍රශ්නය-ඔබ මේ දිනවල ඉන්දියන් ප්‍රීමියර් ලීග් (අයි. පී. එල්.) තරගාවලියට ක්‍රීඩා කරනවා. මහ මැතිවරණයේ උච්ඡතම අවස්‌ථාව එළැඹී තිබෙන මේ මොහොතෙ ඔබ කොහොමද රටින් බැහැරවෙලා ඉඳගෙන දේශපාලන ප්‍රචාරක කටයුතු කරන්නෙ.

පිළිතුර-අයි. පී. එල්. තරගාවලියට මම ගිවිසුම් අත්සන් කළේ මීට වසර 3 කට උඩදී. එතකොට දේශපාලනයට එන්න අදහසක්‌ තිබුණේ නැහැ. මගේ ගිවිසුම් අනුව ක්‍රීඩා කළ යුතු නිසා මම මේ තරගාවලියට සහභාගි විය යුතුයි. ඒක මාතර ජනතාවත් දන්නවා.

දේශපාලන ප්‍රචාරක කමිටුවක්‌ පත්කර තිබෙනවා. අවස්‌ථාවක්‌ තියෙන හැම වේලාවකදීම මම ලංකාවට ඇවිත් මාතර ජනතාව මුණගැහිලා ප්‍රචාරක කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. මට හැකි අවස්‌ථාවලදී මගේ අම්මත්, තාත්තත්, සහෝදරයත් මගේ ඥති හිත මිත්‍රාදීන් සියලු දෙනාමත් බොහොම කැපවීමෙන් මගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතවී සිටිනවා. ඒක මට ලොකු හයියක්‌.

ඇත්තෙන්ම මම මේක අවස්‌ථාවක්‌ කරගන්නවා ඒ අයට ස්‌තූති කරන්න. මම ලංකාවෙ නැති අතරේ මගේ ප්‍රචාරක කටයුතු කරන්න ක්‍රියාකරන හැම කෙනෙකුවම මම ආදරයෙන් සිහිපත් කරනවා.

ඒ අයට අවශ්‍ය උපදෙස්‌ හැම දෙයක්‌ම ලබාදීලා මම නිතරම දුරකථන මාර්ග ඔස්‌සේ ඒ අයත් එක්‌ක සම්බන්ධකම් පවත්වාගෙන මැතිවරණ ප්‍රචාරක කටයුතු කරගෙන යනවා.

ප්‍රශ්නය-ඔබ දේශපාලන පොරපිටියට සම්බන්ධ වූ පසු සහභාගි වූ මුල්ම විදේශ සංචාරය අයි. පී. එල්. තරගාවලිය ඔබේ අලුත් ක්‍ෂේත්‍රය ගැන විදේශ ක්‍රීඩකයො මොනවගෙ ප්‍රතිචාර ද දක්‌වන්නෙ.

පිළිතුර-ඇත්තටම බොහෝ ක්‍රීඩකයො මගෙන් මේ ගැන ඇහුවා. සචින් තෙන්ඩුල්කාර්, හර්බජන් සිං ඇතුළු ඉන්දියන් ක්‍රීඩකයො සෑහෙන පිරිසක්‌ මම දේශපාලනයට එන එක ගැන සතුටින් කතා කළා.

ඉදිරි දිනවලදී ඒ අය අතුරින් කීපදෙනෙක්‌ මාතර ඇවිත් මගේ ප්‍රචාරක කටයුතුවලටත් සහභාගි වෙන්න කැමැත්ත පළකරලා තියෙනවා.

ප්‍රශ්නය-සමහරු චෝදනා කරනවා ඔබ වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ස්‌ථානයක්‌ ලබාගන්න දේශපාලනය කරනව කියලා.

පිළිතුර-මට ක්‍රිකට්‌වලින් ලබා ගන්න තියෙන හැම දෙයක්‌ම ලබාගෙන තියෙනවා. ඒ නිසා දේශපාලනය කරලා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ තැනක්‌ තියාගන්න මට අවශ්‍ය නැහැ. අනික ඕනෑම කෙනකුට හැමදාම ක්‍රිකට්‌ ගහන්න බැහැ. නමුත් ක්‍රීඩාවෙන් සමුගතයුතු කාලයක්‌ එනවා.

ක්‍රිකට්‌ නතර කරන්න ඕනෙ කවද්ද කියලා මම දන්නවා. මට තවමත් තරුණ ක්‍රීඩකයොත් එක්‌ක කරට කර සෙල්ලම් කරලා ඒ අයට වඩා ඉදිරියෙන් ඉන්න හැකියාව තියෙනවා.

ප්‍රශ්නය-මෙවර මහ මැතිවරණ පොරපිටියේ ජනප්‍රිය ක්‍රීඩකයන් නළු නිළියන් ව්‍යාපාරිකයන් තරග වදිනවා. දේශපාලන දැනුමක්‌ නැති හුදෙක්‌ ජනප්‍රියත්වය නිසා දේශපාලනඥයන් වුවත් පාර්ලිමේන්තුව නියෝජනය කිරීම තුළින් රටට යහපතක්‌ වෙයි කියලා ඔබ විශ්වාස කරනවාද?

පිළිතුර-කවුරු වුණත් තමන් කරන ක්‍ෂේත්‍රය හරියට අවංකව මහන්සියෙන් කැපකිරීමෙන් කළොත් හිනිsපෙත්තටම යන්න පුළුවන්. මම කුඩා කාලෙ ඉඳලම කැපවීමෙන් ක්‍රිකට්‌ ක්‍රීඩාව කළා. ඒ නිසා තමයි මට අද මේ තත්ත්වයට පත්වෙන්න අවස්‌ථාව ලැබුණෙ.

දේශපාලනයේ හිනිපෙත්තෙ ඉන්න අයත් පහළ මට්‌ටමේ ඉඳලා පියවරෙන් පියවර එතනට ආව අය. ඒ නිසා හරි දේ කළොත් ඕනෑම ක්‍ෂේත්‍රයකට සම්බන්ධ කෙනෙක්‌ වූවත් රටට සේවයක්‌ කරන්න ඉඩ ප්‍රස්‌ථාව ලබා ගන්න පුළුවන්.

මම මාතර දිස්‌ත්‍රික්‌කය නියෝජනය කළාට මුළු ලෝකෙම මගේ දිහා බලාගෙන ඉන්නවා මම මොනවද කරන්නේ කියලා. ඒ නිසා හරිදේ කරලා රටට යමක්‌ කරන්න තමයි මගේ එකම අරමුණ.

ප්‍රශ්නය-අලුත් පාර්ලිමේන්තුවෙ ඇමැතිකමක්‌ ඔබ බලාපොරොත්තු වෙනවද?

පිළිතුර-මගේ එහෙම කිසිම බලාපොරොත්තුවක්‌ නැහැ. මහජන නියෝජිතයෙක්‌ විදිහට මාතර ජනතාවට සේවයක්‌ කරන්න ලැබුණොත් මට හොඳටම ඇති. මම අවුරුදු 20 ක්‌ ක්‍රිකට්‌ ක්‍රීඩා කළා. ඒ කාල සීමාවෙදී මට උපන් ගමට පළාතට සේවයක්‌ කරන්න ලැබුණෙ නැහැ.

මගෙන් ඒ පළාතට විය යුතු යුතුකම් ඉටුකරන්නයි මම දේශපාලනයට ආවෙ. මගේ ඉදිරි කාලය මාතර ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් කැප කරන්න මම තීරණය කරලා ඉවරයි.

ප්‍රශ්නය-ඔබ හිතනවද මෙවර මැතිවරණයෙන් ඔබට ජයග්‍රහණය ලබන්න පුළුවන් කියලා.

පිළිතුර - පසුගිය කාලෙ මම මාතර ජනතාව එක්‌ක බොහොම සමීපව කටයුතු කළා. මම දන්නවා ඒ අය මාත් එක්‌ක ඉන්නවා කියලා. ඒ අයට මගෙන් විය යුතු විශාල මෙහෙයක්‌ තිබෙනවා.

ඒ සහෝදර ජනතාවගෙ ප්‍රතිචාර දැක්‌කම මට හිතෙනවා ඒ අය මාව ජනතා නියෝජිතයෙක්‌ විදිහට පත්කරයි කියල.

සාකච්චා කළේ හේමන්ත රන්දුණු

 

 
Powered By -