මම ලෝකේ කොහේ ගියත් සේවය කරන්නේ ගාල්ලට

ප්‍රශ්නය(- ඔබ සිනමා ලෝකයේ ජනප්‍රියම තාරකාවක්‌. කලාවට හාත්පසින්ම වෙනස්‌ වූ ක්‍ෂේත්‍රයක්‌ තෝරා ගැනීමේ අරමුණ කුමක්‌ද?

පිළිතුර(- රටේ දුක්‌ විඳින ජනතාව ඉන් මුදවා ගැනීමේ අරමුණ ඇතිවයි මම දේශපාලනය කරන්නේ. ජනතාවගේ ඡන්දයෙන් අපි පාර්ලිමේන්තුවට යන්නේ ඒ අයගේ නියෝජිතයන් විදිහට. පාර්ලිමේන්තුවට ගියාම යාන වාහන ආරක්‍ෂකයෝ තියාගෙන සුරසැප විඳින එක නෙවෙයි යුතුකම.

මේ රටේ බහුතරයක්‌ ඉන්නේ දුක්‌විඳින අහිංසක ජනතාව. ඒ අය කෝටි ගණන් සල්ලිවත්, අති සුඛෝපභෝගී ජීවිතයක්‌වත් ඉල්ලන්නෙ නැහැ. අහිංසක ජනතාව ඉල්ලන්නෙ තමුන්ගේ මූලික අවශ්‍යතාවන් සපුරාගෙන සාමකාමීව ලස්‌සනට ජීවත් වෙන්න අවශ්‍ය පරිසරයක්‌.

යන්න එන්න පාරවල්, දරුවන්ට හොඳ පාසලක්‌, බේත් හේත්, ආහාර පාන, හොඳ රැකියාවක්‌ ලැබුණොත් මේ අහිංසක ජනතාව තෘප්තිමත්.

මේ රටේ යුද්ධයක්‌ නොතිබූණා නම් රට ගව් ගණනක්‌ දුර සංවර්ධනය වෙලා. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කැපවීම නිසා අද යුද්ධය අවසන් වෙලා. ඉදිරියේදී අපට තියෙන්නේ මේ රට සංවර්ධනය කරන්න. මහජනතාවට උපරිම සේවයක්‌ කිරීම තුළින් රට සංවර්ධනය කිරීමේ අරමුණ ඇතිවයි මම දේශපාලනයට ආවේ.

ප්‍රශ්නය(- දුක්‌ විඳින ජනතාව ඉන් මුදවා ගන්න මොන වගේ සැලසුම්ද ඔබ අනුගමනය කරන්න බලාපොරොත්තු වෙන්නේ.

පිළිතුර(- ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ ජනතාවගෙන් වැඩි පිරිසක්‌ කෘෂිකර්මය මුල්කරගත්ත රැකියාවල නිරත වෙලා ඉන්නේ. තේ, රබර්, කුඹුරු වැඩ මුල්කර ගත්ත සුළු රැකියාවල්වල නිරත වී සිටින පීඩිත ජනතාව වැඩි පිරිසක්‌ සිටිනවා. ඒ අය ලබන්නේ බොහොම සොච්චම් වැටුපක්‌. අලුත් නීති රීති සම්මත කරගෙන මේ දුක්‌ විඳින ජනතාවට ස්‌ථාවර අවම වැටුපක්‌ ලබාදෙන්න මම කටයුතු කරනවා.

ඒ වගේම ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ මැතිවරණ කොට්‌ඨාස 10 ම ආවරණය වන පරිදි ඇඟලුම් කර්මාන්ත ශාලා 10 ක්‌ ඉදිකිරීමට මම දැනටමත් සැලසුම් සකස්‌ කරගෙන යනවා. මම වසර ගණනක්‌ තිස්‌සේ ඇඟලුම් ක්‍ෂේත්‍රයට සම්බන්ධවෙලා කටයුතු කරපු නිසා මම දන්නවා මිනිස්‌සුන්ට තියෙන ප්‍රශ්න.

අහිංසක වැඩකරන ජනතාව සූරාගෙන කන්නෙ නැතිව ඒ අයගේ ජීවන මට්‌ටම උසස්‌ කරන්න සුදුසු ඇඟළුම් රැකියාවක්‌ ලබාදෙන්න මම පියවර ගන්නවා.

ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ මැතිවරණ කොට්‌ඨාස දහයෙම අය මට ඡන්දය දෙනවා. ඒ නිසා ඒ අය වෙනුවෙන් මම යමක්‌ කළ යුතුයි. මහජනතාවගේ ප්‍රශ්න විසඳන්න පැය 24 පුරාම ක්‍රියාත්මක වන කාර්යාලයක්‌ ගාල්ලේ පිහිටුවීමට මම කටයුතු කරනවා.

මම ලෝකේ කොහේ හිටියත් ගාල්ලෙ ජනතාව වෙනුවෙන් ඒ අයගෙ ප්‍රශ්න වෙනුවෙන් ඕනෑම වෙලාවක ඉදිරිපත් වෙන්න සූදානම්. ඒ වගේම ඇඟලුම් කර්මාන්ත ශාලා ගමට ගෙන ගියාම ගමේ දුප්පත් ජනතාවගේ ආර්ථිකය දියුණු වෙනවා. කොළඹ ඇඟලුම් කර්මාන්ත ශාලාවල වැඩකරන තරුණියන්ට වඩා ලොකු මුදලක්‌ ඉතිරි කිරීමේ හැකියාව ගමේ තරුණියන්ට ලබාගන්න පුළුවන්.

ප්‍රශ්නය(- ඔබ සිතනවද දේශපාලනයත් සිනමාවත් සම්බන්ධ කරගෙන යන්න හැකියාවක්‌ ලැබෙයි කියලා.

පිළිතුර(- පසුගිය අවුරුදු 5 ක කාල සීමාවේදී මට ලැබුණු චිත්‍රපට 8 ක්‌ ප්‍රතික්‍ෂේප කළා. මම දැන් පූර්ණකාලීන නිළියක්‌ නොවෙයි. හොඳ වැදගත් චරිතයක්‌ ලැබුණොත් රංගනයෙන් දායක වෙනවා ඇරෙන්න මම සිනමාවට සම්බන්ධවෙලා කටයුතු කරන්නේ නැහැ.

මගේ දුව ඉගෙන ගන්නේ ඇමරිකාවේ. මට කිසිම පවුල් බරක්‌ නැහැ. ඒ නිසා මට පූර්ණ කාලීනව දුප්පත් ජනතාව වෙනුවෙන් කාලය ගත කරන්න හැකියාව තිබෙනවා. මම දේශපාලනයට එන්න එක හේතුවක්‌ තමයි මම උපන් ගමට සේවයක්‌ කිරීම. අවුරුදු 12 කින් බෙන්තර, ඇල්පිටිය නියෝජනය කරන්න ආණ්‌ඩු පක්‍ෂයෙන් මන්ත්‍රීවරයකුට අවස්‌ථාව ලැබුණේ නැහැ. ඒ නිසා මේ ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලැබිලා නැහැ.

බෙන්තර ඇල්පිටියේ ජනතාව වතුර නැති ප්‍රශ්නයෙන් දුක්‌ විඳිනවා. මම මේ වන විටත් ජල ප්‍රශ්නය විසඳීමට අවශ්‍ය සැලසුම් සකස්‌ කරගෙන යනවා. මම ඉදිරියේදී පූර්ණකාලීන දේශපාලකවරියක්‌ විදියට කටයුතු කරන්න සූදානම්.

ප්‍රශ්නය(- ඔබ මැතිවරණ ව්‍යාපාරය කරගෙන යද්දී විපක්‍ෂයේ අපේක්‍ෂකයන්ගෙන් මෙන්ම ආණ්‌ඩු පක්‍ෂයේ ඇතැම් සහෝදර අපේක්‍ෂකයන්ගේ කෙනහිලිකම්වලට ලක්‌වෙන්න සිද්ධවෙලා තිබෙනවද?

පිළිතුර(- මම ගාල්ල දිස්‌ත්‍රික්‌කයෙන් තරග කරන්න ආව එකට සමහරු විරුද්ධයි. ඒ අය බයයි මම නිසා ඒ ගොල්ලන්ගෙ මනාප නැති වෙයි කියලා. සමහරු මට ඒ අයගේ ආසනවලටවත් එන්න ඉඩ දෙන්නෙ නැහැ.

මම අවුරුදු 30 ක්‌ රටේ ජනතාවගේ සිත් සතුටු කළා. මම දේශපාලනය කරන්න ආවේ මැර කණ්‌ඩායම්, ආරක්‍ෂක නිලධාරීන් අවි ආයුධ අරගෙන නොවෙයි. මම මහජනතාව අතරට ගිහින් ඒ අයගේ ඡන්දය ඉල්ලනවා. මේකට බොහෝ දෙනෙක්‌ කැමැති නැහැ.

මගේ කටවුට්‌ ගිනි තියනවා. ආධාරකාරයන්ට පහර දෙනවා, පෝස්‌ටර් ඉරලා දානවා, තර්ජනය කරනවා. මේ දේවල් කරන්නේ ආණ්‌ඩුවට සම්බන්ධ සමහර අය. ඒත් මාව නතර කරන්න කාටවත් බැහැ. ජනතාව මට ආදරේ බව මම දන්නවා. ඒ වගේම විපක්‍ෂයේ අයත් විශාල වශයෙන් මගෙත් එක්‌ක එකතු වෙනවා.

ප්‍රශ්නය(- මේ අභියෝගත් එක්‌ක ඔබට පාර්ලිමේන්තුවට යන්න අවස්‌ථාවක්‌ ලැබෙයි කියලා ඔබ විශ්වාස කරනවද?

පිළිතුර(- පැහැදිලිවම මම පාර්ලිමේන්තුවට යනවා. ඒක මට විශ්වාසයි. අපි කරන කියන දේ හරියට කළොත් ඒ අභියෝග ජයගන්න පුළුවන්. මම ඇඟලුම් ක්‍ෂේත්‍රයට අතගහන කොට මැෂින් 25 ක ෆැක්‌ටි්‍රයක්‌ තිබුණේ. ඒත් අද ලංකාවේ විශාලම ඇඟලුම් කර්මාන්ත ශාලාවල් කීපයක්‌ අපට හිමිවෙලා තියෙනවා. ඒ තත්ත්වයට පත්වුණේ අවංකව කැපවීමෙන් වැඩ කිරීම නිසයි.

ඡන්දදායකයන්ගෙන් 56% ක්‌ කාන්තාවන්. ඒ කාන්තාවන්ගෙන් බහුතරයක්‌ මට ඡන්දය දෙයි කියලා ලොකු විශ්වාසයක්‌ තියෙනවා.

ප්‍රශ්නය(- ඔබ දේශපාලනය කරන්නේ මුදල් හම්බ කරන්නද?

පිළිතුර(- මගේ ප්‍රචාරක වැඩවලට මම කිසිම කෙනෙක්‌ගෙන් තඹ සතයක්‌ අරගෙන නැහැ. ඒ නිසා මම කාටවත් ණය නැහැ. කාටවත් යටත් නැහැ. මම මගේ මුදල් වියදම්කරලා දේශපාලනය කරන්නේ. කොටින්ම මම දේශපාලනයට එන්නෙ හරිහම්බ කරන්න නෙවෙයි. හම්බ කරපුවා වියදම් කරන්න.

මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්‌ වුණාම මගේ වැටුප ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ දුප්පත් දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදෙන්න වියදම් කරනවා.

ප්‍රශ්නය(- මැතිවරණ කටයුතු සඳහා ජනාධිපතිතුමාගෙන් මොන වගේ සහායක්‌ද ලැබෙන්නේ.

පිළිතුර(- ජනාධිපතිතුමා වගේම ආර්යාවගෙනුත් මට ලොකු සහායක්‌ ලැබෙනවා. බෙන්තර ඇල්පිටිය ප්‍රදේශයේ සම සංවිධායක ධුරය ජනාධිපතිතුමා මට පිරිනැමුවා. නොයෙල් පද්මසිරි කාරියවසම් මහතා බෙන්තර ඇල්පිටිය සංවිධායක විදිහට කටයුතු කළා. දැන් මම ඔහුත් සමග බොහොම සුහදව සහයෝගයෙන් කටයුතු කරනවා. මනාප අඩුවෙච්ච නිසා එතුමාට පාර්ලිමේන්තුවට යන්න ඉඩ ලැබුණේ නැහැ. මම එතුමාගේ පාක්‍ෂිකයොත් බලාගෙන බෙන්තර ඇල්පිටිය දියුණු කරන්න අවශ්‍ය කටයුතු කරනවා.

ප්‍රශ්නය(- දේශපාලකවරියක්‌ වීම තුළින් ඔබට තෘප්තිමත් විය හැකිද?

පිළිතුර(- මම වසර 7 ක්‌ පිට පිටම හොඳම නිළිය වුණා. වසර 2 ක්‌ ජනප්‍රියම නිළිය වුණා. සිනමාවේ මට ලබන්න තියෙන ඉහළම ජනප්‍රියත්වය තෘප්තිය ලැබුවා. මගේ අනාගතය මේ රටේ අහිංසක ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් කැප කරන්න මම තීරණය කරලා හමාරයි. සිනමාව තුළින් වගේම දේශපාලනය තුළිනුත් මම තෘප්තිමත් වෙනවා.
 

 

 

 
Powered By -