ප්‍රධාන පක්‍ෂ තුනටම තුනෙන් එක බැගින් ආසන හිමිවේවි

රංගන ශිල්පියකු වශයෙන් ජනතාව හඳුනාගත් ජයන්ත කැට ගොඩ පසු කලෙකදී ක්‍රියාකාරි දේශපාලනයට පිවිස පාර්ලිමේන්තුව නියෝජනය කිරීමටද සමත් විය. ඔහු මෙවර පාර්ලිමේන්තු මහා මැතිවරණයට ඉදිරිපත්ව සිටින්නේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ නියෝජනය කරමිනි. ජයන්ත කැටගොඩ මහතා සමග "දිවයින" ඉරිදා සංග්‍රහය කරන ලද සාකච්ඡාවකි මේ.

ප්‍රශ්නය - එක්‌සත් ජාතික පක්‍ෂය නියෝජනය කළ ඔබ ඉන් ඉවත්වී බහුතර ජ.වි.පෙ. සාමාජිකයන් පිරිසක්‌ නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණෙන් කොළඹ දිස්‌ත්‍රික්‌කයෙන් මැතිවරණයට ඉදිරිපත් වෙනවා. එසේ තීරණය කළේ ඇයි?

පිළිතුරු - ඇත්තටම අපි පසුගිය ජනාධිපතිවරණයේදී විපක්‍ෂයේ සියලුම පක්‌ෂ සමග එකතු වී මෙරටට අනිසි ප්‍රතිඵල ගෙන දෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට උත්සාහ ගත්තා. එම තනතුරින් ඇති, රටට හිතකර නොවන විධායක බලය අහෝසි කොට ඒ බලය පාර්ලිමේන්තුවට පැවරෙන ක්‍රමයක්‌ ඇති කිරීම සඳහායි අපි ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඉදිරි පත් කළේ. ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය සම්බන්ධව ගැටලු සහගත තත්ත්වයක්‌ ඇතිව තිබෙනවා. ඒ සම්බන්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගැනෙන නිසා මා ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. කොහොම වුණත් රට වෙනුවෙන් කැපවුණු රට කොටි ත්‍රස්‌තවාදීන්ගෙන් නිදහස්‌ කරගත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අද මේ ආණ්‌ඩුව හිරේ විලංගුවේ දාගෙන ඉන්නවා. එතුමාව නිදහස්‌ කරගන්න, ඒ වෙනුවෙන් කෙරෙන සටනට දායක වෙන්න ඕනෑ කියලා මම තීරණය කළා.

විශේෂයෙන්ම කිව යුතුයි මම මේ තීරණය ගත්තේ එක්‌සත් ජාතික පක්‍ෂයෙන් මට නාමයෝජනා ලබා නොදුන් නිසා නොවෙයි. එක්‌සත් ජාතික පක්‍ෂයෙන් මම බලාපොරොත්තු වුණාටත් වඩා දේවල් හිමිවුණා. මම කඩුවෙල ආසනයේ එජාප සංවිධායක ලෙසයි කටයුතු කළේ. අවිස්‌සාවේල්ල ආසනයෙන් හෂාන් තිලකරත්න මහතා ඉවත් වූ පසුව මට නායකතුමා කිව්වා අවිස්‌සාවේල්ල ආසනයත් භාර ගන්න කියලා. මම එක්‌සත් ජාතික පක්‍ෂයත් සමග තරහ නෑ. මම ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණත් සමග එක්‌වෙන්න තීන්දු කළේ රට බේරගත්තු ජෙනරාල් සරත් ෆොන්සේකා මහත්තයාව ඔය බංකරයෙන් නිදහස්‌ කරගන්න ඕනෑ නිසයි.

ප්‍රශ්නය - මෙවර මහ මැතිවරණයේදී කොළඹ දිස්‌ත්‍රික්‌කය තුළ ප්‍රධාන පක්‌ෂ දෙකට වැඩි වාසි තිබෙන බව පෙනෙනවා. එවැනි තත්ත්වයක්‌ තුළ ඔබද තරග කරන ප්‍රජා තන්ත්‍රවාදී ජාතික පෙරමුණට දැඩි අභියෝගයක්‌ එල්ල වී තිබෙනවා නේද?

පිළිතුර-දැනට කෙරීගෙන යන මැතිවරණ ව්‍යාපාරය අනුව පෙනී යනවා කිසිදු දේශපාලන පක්‍ෂයකට තුනෙන් දෙකක බහුතර බලයක්‌ හිමි නො වෙන බව. ආණ්‌ඩුව තුනෙන් දෙකක්‌ ගන්නවා කියලා පුරසාරම් දෙඩුවත් එවැනි නිල බලයක්‌ කිසිම දේශපාලන පක්‍ෂයකට හිමිවන්නේ නැහැ. මේ රටේ ජනතාව කතා කරන දේවල් වලින් පෙනීයන්නේ රටේ ප්‍රධාන පක්‍ෂ තුන වන එක්‌සත් ජනතා නිදහස්‌ සංධානය, එක්‌සත් ජාතික පක්‍ෂය හා ජෙනරල් සරත් ෆොන්සේකා මහතා නායකත්වය දරන අපද නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ කියන මේ පක්‍ෂ තුනම තුනෙන් එක බැගින් වන විදිහට ජයග්‍රහණය කරාවි. කුසලානය ලකුණ සහිත අපේ පක්‍ෂය අලුතින් නිර්මාණය වුණත් අද මේ රටේ දේශපාලන ක්‌ෂේත්‍රය තුළ දැඩි කතාබහකට ලක්‌ව තිබෙනවා. ඒ නිසා පක්‍ෂ තුනටම සමාන ප්‍රතිඵල තමයි ලැබෙන්නේ. ආණ්‌ඩුව කියන විදිහට ජනතාව තුනෙන් දෙකක බලයක්‌ ඔවුන්ට ලබා දෙන්නේ නැහැ. ඇත්තටම ආණ්‌ඩුවෙන් ඡන්දය ඉල්ලන මැති ඇමැතිවරු කරලා තියෙන සේවාව කුමක්‌ද? පසුගිය අවුරුදු 17 ක්‌ තිස්‌සේ මේ ආණ්‌ඩුවට කරන්න බැරිවුණු දේවල් තව අවුරුදු හයකින් කරන්නේ කොහොමද? මේ රටේ ආර්ථිකය, අධ්‍යාපනය, සෞඛ්‍යය, කර්මාන්ත ඇතුළු ක්‌ෂේත්‍ර රැසක්‌ අද අකර්මන්‍ය වෙලා.

රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වගේම රටේ යහපාලනය කඩා වට්‌ටපු දූෂණය, නාස්‌තිය, වගුරවපු මේ ඇමැති මණ්‌ඩලයම ඉදිරියේදී පත්වුණොත් ළමයින්ව කළු ගඟට විසි කරන්න තමයි ජනතාවට සිදු වෙන්නේ. මේ ඇමැතිවරු ගමට, සමාජයට, රටට කරපු සේවයක්‌ නැහැ. ඇමැතිවරු හතර වටේටම ආරක්‍ෂක හමුදාවන් දාගෙන වාහන පේලියකින් පාරේ යනවා විතරයි අපි දැක්‌කේ.

ප්‍රශ්නය - ඔබ පක්‌ෂයේ නායක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව චෝදනා කිහිපයක්‌ එල්ල වී තිබෙනවා. තවමත් ඔහු සිරගතවයි පසුවන්නේ. මේ තත්ත්වය ඔබේ පක්‍ෂයේ ජයග්‍රහණයට බලපාන්නේ කොහොමද?

පිළිතුර - ජෙනරාල්තුමාට එරෙහිව තිබෙන ප්‍රධාන චෝදනාව වන්නේ රජය පෙරළීමට කුමන්ත්‍රණය කළා කියන එකනේ. ඒ චෝදනාවත් සිදු කරන්නේ රාජ්‍ය මාධ්‍යයයි. නමුත් ඔය කියන චෝදනාව දැන් හැලිලා. දැන් චෝදනා කරන්නේ බැටි්‍ර කෑලි කීපයකුයි සෙකූරිටි සිස්‌ටම් එකකුයි. දුරබලන කණ්‌නාඩි වගයකුයි ගෙනාව කියලනේ. අනෙක්‌ චෝදනාව තමයි නිල ඇඳුම් ඇඳගෙන දේශපාලනය කළා කියලා. ඒකත් දුරකථනයෙන්ලු කරේ. ඔය දුරකථනය අයිති කෙනා දැන් දිව්රුම් ප්‍රකාශයක්‌ දීලා තිබෙනවා එහෙම දෙයක්‌ වුණේ නෑ කියලා. මේවා මහ අභූත චෝදනා. ජෙනරාල් තුමා. හිර කරන්න ඇත්තම කාරණය තමයි වත්මන් ජනාධිපතිවරයාට එරෙහිව ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වීම.

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා දැන් හිරේ හිටියත් එතුමා මැතිවරණ ව්‍යාපාරයට සක්‍රීය ලෙස දායක වෙනවා. එතුමා ජනතා හදවත් තුළ නිදහසේ සැරිසරනවා. එතුමා හිරේ ඉඳගෙන නාමයෝජනාවලට අත්සන් කළා. අපට, ජනතාවට එතුමා සමග සෘජුවම කතා කරන්න බැරි ගැටලුවක්‌ තියෙනවා. ඒත් අප එතුමාගේ නායකත්වය යටතේ මේ මැතිවරණ ව්‍යාපාරය සාර්ථකව කරගෙන යනවා. ලබන අප්‍රේල් 8 වැනිදාට ජෙනරල් තුමා අත් අඩංගුවට අරගෙන මාස දෙකක්‌ සම්පූර්ණ වෙනවා. එදාට තමයි පාර්ලිමේන්තු මැතිවරණයත් පැවැත්වෙන්නේ. එදාට අපි ජනතා අධිකරණයට යනවා. මේ රටේ බුද්ධිමත් ජනතාව ජෙනරල් සරත් ෆොන්aසේකා මහතාව නිදහස්‌ කරන්න ඔවුන්ගේ වටිනා ඡන්දය භාවිත කරාවි. ජනතාව තමන්ගේ යුතුකම ඉටු කරාවි. එදාට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස්‌ වේවි.

එතකොට ඔය චෝදනා තවදුරටත් ගෙන යන්න ආණ්‌ඩුවට බැහැ. එතුමා පාර්ලිමේන්තුවට ආවට පස්‌සේ ඔය චෝදනා සියල්ල අහෝසියි. අපි ජනතාවට කියනවා ඒ මහඟු සත්කාරයට දායක වෙන්න කියලා.

ප්‍රශ්නය- ජනාධිපතිවරණයේදී මෙන් විපක්‍ෂය ඒකාබද්ධවී පුළුල් පෙරමුණක්‌ වශයෙන් තරග වැදෙනවා නම් ආණ්‌ඩුවට දැඩි බලපෑමක්‌ එල්ල කිරීමට විපක්‍ෂයට පුළුවන් නේද? ආණ්‌ඩුව දැන් කියන්නේ විපක්‍ෂය කැඩී ගිහින් කියලායි.

පිළිතුර - ඔබ කියන කතාවේ ඇත්තක්‌ තිබෙනවා. අපි විපක්‍ෂයක්‌ විදිහට පුළුල් ලෙස එක්‌ව තරග කරානම් වැඩි ශක්‌තියක්‌ තිබෙනවා. එහෙත් අප වෙන්ව තරග කරත් එක්‌ තැනකදී අප එකතුවෙනවා. ඒ පාර්ලිමේන්තුව තුළදීයිs. අප විශ්වාස කරනවා යහපත් ප්‍රතිපත්ති තුළින් යහපත් පාලනයක්‌ කරා මේ රට ගෙන යන්න පුළුවන් වේවි කියලා. මම කලින් කිව්ව විදිහට ප්‍රධාන පක්‍ෂ තුනටම තුනෙන් එක ගානේ තමයි ලැබෙන්නේ. ඒ නිසා විපක්‍ෂයට ආණ්‌ඩුවක්‌ පිහිටුවන්නත් පුළුවන් වෙනවා. ආණ්‌ඩුවට තුනෙන් දෙකක්‌ ලැබෙන්නේ නෑ. ඔවුන් කුමක්‌ සඳහා ද මේ බහුතර බලයක්‌ ඉල්ලන්නේ. ඒ මර්දනකාරී වැඩපිළිවෙළක්‌ වෙත යැම සඳහායි. පසුගිය කාලයේත් පාර්ලිමේන්තුව තුළත් ආණ්‌ඩුවට බහුතර බලයක්‌ තිබුණා. එහෙත් ආණ්‌ඩුව ජනතාව වෙනුවෙන් මොනවාද කළේ. රටේ ජනතාවට යහපත්වන පනතක්‌ ගේන්න අවශ්‍ය වෙනවා නම් ඒ සඳහා විපක්‍ෂයේත් සහාය ඇතිව තුනෙන් තුනකම සහයෝගයක්‌ හිමිවේවි.

සාකච්චා කළේ අකිත පෙරේරා

 

 

 
Powered By -