මට අභියෝගයක්‌ නැහැ
ආයෝජන ප්‍රවර්ධන හා ව්‍යවසාය සංවර්ධන ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා

ප්‍රශ්නය(- මෙම මහා මැතිවරණයේ පක්‍ෂ අතර තරගයට වඩා දැන් තියෙන්නේ මනාප පොරයක්‌ කියලා චෝදනාවක්‌ තියෙනවා. මේ මනාප පොරය වැඩියෙන්ම තියෙන්නේ සන්ධානය අතර. මේ සම්බන්ධව ඔබ මොකද කියන්නේ.

පිළිතුර(- මම පළමුවෙන්ම කියන්න ඕන අපේක්‍ෂකයන් අතර මනාප පොරය මේ මැතිවරණයේ ඇති වූවක්‌ නොවෙයි. මේ සමානුපාතික ඡන්ද ක්‍රමයත් එක්‌ක ඇතිවූ දෙයක්‌.

අද විපක්‍ෂයක්‌ නැති තරම්. අපට විපක්‍ෂය සමග කිසිදු මැතිවරණ සටනක්‌ තරගයක්‌ නැහැ. මේ පවතින මැතිවරණ ක්‍රමය යටතේ ආණ්‌ඩු පක්‍ෂයේ විපක්‍ෂයේ වෙන්න පුළුවන් මනාප සටන තිබෙන්නේ තමන්ගේ අය සමගයි. සමානුපාතික ඡන්ද ක්‍රමයේ පවතින ලොකුම දුර්වලකමත් ඒකයි. මේ මනාප සටන අප පක්‍ෂයේ අය අතර විතරක්‌ නොවෙයි විපක්‍ෂයේ අය අතරත් තිබෙනවා. පවතින මැතිවරණ ක්‍රමය යටතේ එය ස්‌වාභාවික දෙයක්‌.

මනාප ඡන්ද ක්‍රමය පිළිබඳ අප කවුරුත් ඉගෙන ගත යුතු දෙයක්‌ තියෙනවා. එක ඡන්ද දායකයකුට මනාප තුනක්‌ තිබෙනවා. නමුත් ඡන්ද දායකයාට තිබෙන ඒ අයිතිය සමහර අපේක්‍ෂකයන් උදුරාගෙන තමන්ට පමණක්‌ මනාපයක්‌ දෙන්න කියනවා. මෙන්න මේ නිසා තමන්ගේ පක්‍ෂයේ අය අතර මනාප පොරය ඇතිවෙනවා. තමන්ට පමණක්‌ මනාප දෙන්න නොකියා මනාප තුනක්‌ තිබෙනවා. ඒ මනාප තුන තමන් කැමති තමන් තෝරා ගන්නා අපේක්‍ෂකයන් තිදෙනකුට ලබාදෙන්න කියනව නම් මෙවැන්නක්‌ සිදුවන්නේ නැහැ.

මේ මනාප සටන තියෙන්නේ මට විතරක්‌ වෙන කාටවත් දෙන්න එපා කියන අය අතර පමණයි.

ප්‍රශ්නය(- මේ මනාප පොරය නවත්වන්න පක්‍ෂයකට වැඩපිළිවෙළක්‌ නැද්ද?

පිළිතුර(- ජනාධිපතිතුමා අපේ පක්‍ෂයේ නායකයා වශයෙන් පක්‍ෂයේ මහ ලේකම්වරයාටත්, සන්ධානයේ මහ ලේකම්වරයාටත් උපදෙස්‌ දී තිබෙනවා මනාප සම්බන්ධයෙන් ගැටලු ඇතිකර ගන්නා අපේක්‍ෂකයන් සම්බන්ධයෙන් විනය ක්‍රියා මාර්ග අනුගමනය කරන ලෙසට.

ප්‍රශ්නය(- ඔබ නියෝජනය කරන කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ මෙවර සන්ධානයෙන් එජාපයේ හිටපු ප්‍රබලයන් දෙදෙනකුත් තරග කරන නිසා ඔබට අභියෝගයක්‌ තියෙනවද?

පිළිතුර(- මට කිසිම අභියෝගයක්‌ නෑ. අභියෝගයක්‌ කියන්නේ මොකක්‌ද? ඡන්ද සටනට ආවට පසු අපි කවුරුත් එකිනෙකා තරග කරනවා. ඒ වගේම අපි කණ්‌ඩායමක්‌ ලෙස සුහද මට්‌ටමින් කටයුතු කරනවා. අවසාන තීන්දුව තියෙන්නේ මහජනතාව අතේ. මහජනතාව දෙන තීන්දුවනේ අපට පිළිගන්න වෙන්නේ. මගේ ඡන්ද දායකයෝ මා කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා. මා මේතාක්‌ දුර රැගෙන ආ අපේ ඡන්ද දායකයන් මට විශ්වාසයි.

ප්‍රශ්නය(- මේ මැතිවරණයේදී සන්ධානය තුනෙන් දෙකක බලයක්‌ ගැන කතා කරනවා. පවතින සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ එය ලබා ගැනීමට හැකිවෙතැයි ඔබ විශ්වාස කරනවාද?

පිළිතුර(- මං විශ්වාස කරනවා. මොකද හේතුව මේ රටේ ජනතාවට නිදහසින් පසු විශාල උවමනාවක්‌ තිබෙනවා රටේ ආර්ථික සංවර්ධනයක්‌ දැකීමට. ඒ සඳහා ස්‌ථාවර ආණ්‌ඩුවක්‌, ස්‌ථාවර නායකයෙකුගේ අවශ්‍යතාව ජනතාව පිළිගෙන තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම තුනෙන් දෙකක බලයක්‌ ජනතාව අපට දෙනවා. ඒ දෙන්නේ ඔවුන් හොඳටම දන්නවා මේ රටේ සංවර්ධනය ඇතිකරන්න පමණක්‌ නොවෙයි රටේ මිනිසුන්ගේ යහපැවැත්ම වෙනුවෙන්, සමහර අංශවල ප්‍රති sසංවිධානයක්‌ ඇතිවිය යුතුයි. ඒ ප්‍රතිසංවිධානය ඇති කිරීමට වන ස්‌ථාවර ආණ්‌ඩුවක්‌ අපට ලබාදෙන කොට තුනෙන් දෙකක බලය ඉක්‌මවා යන ප්‍රතිඵලයක්‌ ලබාදෙනවා. එයයි මෙවර සිදුවන්නේ.

ප්‍රශ්නය(- මේ ජයග්‍රහණය ලබාදීමේදී ඔබ නියෝජනය කරන කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයෙන් කුමන දායකත්වයක්‌ ලබාදෙන්නේද?

පිළිතුර(- කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ අපි තමයි සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ පසුගිය පළාත් සභා මැතිවරණයේදී පළමු වතාවට ලංකාවට පෙන්නුවේ තුනෙන් දෙකක බලයක්‌ මේ සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ ගන්න පුළුවන් කියලා. වයඹ පළාත් සභාව ගත්තම මන්ත්‍රීවරු 55 න් විපක්‍ෂයට ඉන්නේ මන්ත්‍රීවරු නව දෙනයි.

ඒ නිසා අපි දේශපාලන කණ්‌ඩායමක්‌ හැටියට අපේ ජනතාව මේ රටේ ඉදිරි ගමන දෙස අන්න ඒ විදියේ අදහසකින් බලන්නේ. ඒ නිසා මම කියනවා අපේ දිස්‌ත්‍රික්‌කයේ බුද්ධිමත් ජනතාව අපට 2/3 ක බලය දෙන්න සැදී පැහැදී ඉන්නවා කියලා. ඔවුන් තමයි මේ සමානුපාතික ඡන්ද ක්‍රමය උඩුයටිකුරු කළේ.

ප්‍රශ්නය(- තුනෙන් දෙකක බලයක්‌ ලැබුණොත් ව්‍යවස්‌ථා සංශෝධනයකට යනවද?

පිළිතුර(- අනිවාර්යයෙන්ම ව්‍යවස්‌ථා සංශෝධනය රටට අවශ්‍ය දෙයක්‌. ජනතාව ඉල්ලන දෙයක්‌. එය රටේ හුඟක්‌ අංශවල වෙනස්‌කම්වලට බලපායි. උදාහරණයක්‌ අරගෙන බැලුවොත් ස්‌ථාවර ආණ්‌ඩුවක්‌ නැතුව යම් පනතක්‌ ගෙනාවිට ඒ පනතට සංශෝධන ගෙන එනවා. ඒවාට අපට එකඟවෙන්න සිදුවෙනවා. මේ නිසා ඒ පනතේ ජීව ගුණය නැති වෙනවා. එවැනි අවස්‌ථා ගණනාවක්‌ අපි දැක්‌කා. ඒ තත්ත්වය අපි වෙනස්‌ කළ යුතුයි.

රටට අවශ්‍යයි ස්‌ථාවර ආණ්‌ඩුවක්‌. රටේ ප්‍රතිසංස්‌කරණවාදී මහින්ද චින්තන ඉදිරි දැක්‌ම ක්‍රියාත්මක කරන්න. අපේක්‍ෂාව එයයි.

ප්‍රශ්නය(- ඔබ නියෝජනය කරන දිස්‌ත්‍රික්‌කයේ ඉදිරි සංවර්ධනයට ඔබට සැලසුම් තිබෙනවද?

පිළිතුර(- ඔව්. දිස්‌ත්‍රික්‌කයක්‌ හැටියට ගත්තොත් ආණ්‌ඩුවක්‌ හැටියට කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ පසුගිය කාලයේ විශාල සංවර්ධන වැඩ කොටසක්‌ කර තිබෙනවා. රැකියා උත්පාදනය, යටිතල පහසුකම්, මහා පරිමාණ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරමින් දිස්‌ත්‍රික්‌කයේ පමණක්‌ නොව පළාතේම සංවර්ධනයට අවශ්‍ය කටයුතු පසුගිය කාලයේ කර තිබෙනවා. මේවා ගමේ ජනතාව හොඳින්ම දන්නවා. දැදුරු ඔය, නොරච්චෝලේ බලාගාර පළාතේ කෙරුණු මහා පරිමාණ යෝජනාක්‍රම ලෙස හැඳින්විය හැකියි.

ඉදිරියේ මහින්ද චින්තන ඉදිරි දැක්‌ම යටතේ විශාල සංවර්ධනයක්‌ සිදුකෙරෙනවා. දිස්‌ත්‍රික්‌කයක්‌ ලෙස ගත්තොත් ඉදිරියේදී අපි දිස්‌ත්‍රික්‌කයේ යටිතල පහසුකම් තවත් වර්ධනය කරමින් තරුණ තරුණියන්ට කුසලතා ඇති කිරීම මගින් ඔවුන්ගේ ජීවන මට්‌ටම රැකියා සඳහා ඉඩ ප්‍රස්‌ථා වැඩි වැඩියෙන් ඇති කිරීම, අධ්‍යාපනය ඉහළ නැංවීමට ආධාර උපකාර කිරීම, ගමනාගමන පහසුකම්, සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම වගේ විශාල දියුණුවක්‌ වන දිස්‌ත්‍රික්‌කයක්‌. මේ සඳහා අපට හැමදාම සැලැස්‌මක්‌ තිබුණා. ඒ සැලසුම් ඉදිරියටත් ක්‍රියාත්මක කරනවා.

ප්‍රශ්නය(- ඇමැති මණ්‌ඩලය අඩුකිරීමේ අදහසක්‌ තිබෙනවා. ඒ ගැන ඔබේ අදහස.

පිළිතුර(- ඒක හොඳ අදහසක්‌. ඇමැති මණ්‌ඩලය කුඩා කළාම එක ඇමැතිවරයකුට විශාල පරාසයක වැඩ කරන්න ලැබෙනවා. ඒ වගේම රටේ ජනතාවගේ ඉල්ලීමත් ඒකයි. ඒකට අපිට මෙතෙක්‌ කල් ස්‌ථාවර තත්ත්වයක්‌ තිබුණේ නෑ. ස්‌ථාවර තත්ත්වයක්‌ ඇති වුණාම අනිවාර්යයෙන්ම එය කරනවා. මේ වෙනස්‌කම් ජනතාවගේ අපේක්‍ෂාව බැවින් ජනතාව අපට ස්‌ථාවර ආණ්‌ඩුවක්‌ ලබාදෙන බවට සැකයක්‌ නැහැ.

ප්‍රශ්නය(- ඇමැති මණ්‌ඩලය 35 ට අඩු කරනවද?

පිළිතුර(- ගණන මම දන්නේ නෑ. දළ වශයෙන් ඔය ගණනයි කියන්නේ. ජනාධිපතිතුමා දුන් පොරොන්දු ඉටුකරන නායකයෙක්‌ ලෙස කියපු ආකාරයට තීන්දු ගනිවී.

ප්‍රශ්නය(- අවසාන වශයෙන් ඔබ ජනතාවට දෙන පණිවුඩය කුමක්‌ද?

පිළිතුර(- මම අපේ දිස්‌ත්‍රික්‌කයේ මෙන්ම රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අත්දැකීම් බහුල, මහජනයාට විශ්වාස, මහජනයා වෙනුවෙන් පෙනී සිටින මහජන නියෝජිතයන් පත්කර ගන්නා ලෙසයි. වංචාව, දූෂණ පිටුදකින හොඳ මහජන නියෝජිතයන් තෝරා පත්කර ගැනීම ඡන්ද දායකයාගේ වගකීමක්‌ ලෙස මම දකිනවා. එවැනි පිරිසක්‌ පත්වුණොත් පාර්ලිමේන්තුව මහජනයා බලාපොරොත්තු වන තැනකට ගෙනියන්න පුළුවන් වෙයි. ඒ තත්ත්වය මහජනයා හොඳින් තේරුම් ගනියි. එහෙම කළොත් පැහැදිලි ලෙස අපිට ඊළඟ දශකයේ අපේ ආණ්‌ඩුවක්‌ යටතේ ජනතාවට රටට සුවිශාල මෙහෙවරක්‌ කරන්න හැකිවෙයි.

සාකච්ඡා කළේ අනුර බාලසූරිය

 

 

 
Powered By -