සන්ධානය බලයට ආවොත් ජීවන වියදම ඉහළ යනවා
එක්‌සත් ජාතික පෙරමුණේ ගම්පහ දිස්‌ත්‍රික්‌ අපේක්‍ෂක ජෝන් අමරතුංග

ප්‍රශ්නය - මහ මැතිවරණය සඳහා තවදුරටත් ඉතිරි වී තිබෙන්නේ දින 12 ක කාලයක්‌ පමණයි. මේ මොහොත වන විට එක්‌සත් ජාතික පෙරමුණට ලැබෙන ජනතා ප්‍රතිචාරය කෙබඳුද?

පිළිතුර - මේ මොහොත වනවිට අපට ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාර අනුව, අපට රජයක්‌ පිහිටුවීමට අවශ්‍ය පසුබිම නිර්මාණය වෙමින් පවතින බව රට පුරාම තිබෙන තත්ත්වය අනුව පැහැදිලි වනවා. රජයක්‌ පිහිටුවීමට අවශ්‍ය හැකියාව තිබෙන බව ජනතාවගේ ප්‍රතිචාර අනුව පැහැදිලි වෙනවා. නමුත් මන්ත්‍රී සංඛ්‍යාවේ යම් අඩුවක්‌ සිදුවුවහොත් විපක්‍ෂයේ සිටින අනිකුත් මන්ත්‍රීවරුන් සමග එක්‌වී එම අඩුව සම්පූර්ණ කර ගන්නවා.

ප්‍රශ්නය -

ඔබ එක්‌සත් ජාතික පෙරමුණට ආණ්‌ඩුවක්‌ පිහිටුවිය හැකි බව සඳහන් කළත්, එක්‌සත් ජනතා නිදහස්‌ සංධානයේ නායකයන් ප්‍රකාශ කරනවා ඔවුන්ට පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක්‌ හිමිවන බව.

පිළිතුර -

පසුගිය දවසක ජනාධිපතිතුමා ප්‍රකාශ කළ, 2/3 ලබාදීම කෙසේ වුවත්, බහුතරයක්‌ ලැබුණොත් ප්‍රමාණවත් වන බව. ඒ අනුව පැහැදිලි වෙනවා බලාපොරොත්තු වන දේ නොලැබෙන නිසා දැන් 1/3 කින් සෑහීමකට පත්වන තත්ත්වයට පත්වී තිබෙන බව.

ප්‍රශ්නය -

ඔබ මහමැතිවරණයට ඉදිරිපත් වන්නේ ගම්පහ දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරමිනුයි. එක්‌සත් ජනතා නිදහස්‌ සංධානය ගම්පහ දිස්‌ත්‍රික්‌කයට තරග කරන්නේ ජනාධිපතිතුමාගේ සහෝදරයකු වන බැසිල් රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන්.

බැසිල් රාජපක්‍ෂ මහතා ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ නායකයා ලෙස තරග කිරීම එක්‌සත් ජාතික පෙරමුණට අභියෝගයක්‌ ද?

පිළිතුර -

පළමු කාරණය ජනාධිපතිතුමාගේ සහෝදරය ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ඡන්ද දායකයෙක්‌ නොවෙයි. ඔහුට සම්බන්ධකම් තිබෙන්නේ දකුණු පළාතේ හම්බන්තොට ප්‍රදේශයට. එම නිසා ගම්පහට පිටින් ආපු පුද්ගලයකු නායකත්වය ගත්තාට ජනතාවගෙන් ප්‍රතිචාරයක්‌ ලැබෙන එකක්‌ නැහැ. ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ නායකත්වය ගැනීමට ඔහු ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ පුද්ගලයකු විය යුතුයි. එම නිසා ඔහු ගම්පහට තරග කිරීම අපට ප්‍රශ්නයක්‌ නොවෙයි.

ප්‍රශ්නය -

බැසිල් රාජපක්‍ෂ මහතා ප්‍රකාශකොට තිබෙනවා ගම්පහ දිස්‌ත්‍රික්‌කය ලංකාවේ හොඳම දිස්‌ත්‍රික්‌කය බවට පත් කරන බව. එම සටන් පාඨය ඔහුට වාසිදායක තත්ත්වයක්‌ නිර්මාණය කරනවා නේද?

පිළිතුර -

අද මේ රටේ ජනතාව ප්‍රධාන වශයෙන් ම ජීවත් වීමේ ප්‍රශ්නයට මුහුණ දී තිබෙනවා. ඒක තමයි මූලිකම ප්‍රශ්නය. එම ප්‍රශ්නයට මෙම රජයට විසඳුම් නැහැ. එම තත්ත්වය තුළ බැසිල් නොවෙයි කවුරු ඉදිරිපත් වුවත් හරියන්නේ නැහැ. නමුත් එම ප්‍රශ්නය විසඳීමට සමත් ප්‍රතිපත්ති මාලාවක්‌ අපි ඉදිරිපත් කර තිබෙනවා. එම නිසා කවුරු ඉදිරිපත් වුවත් අපට ප්‍රශ්නයක්‌ නැහැ.

ප්‍රශ්නය -

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ නායකයන් ප්‍රකාශ කොට තිබෙනවා ඔවුන්ගේ ප්‍රතිපත්ති සොරකම් කර එක්‌සත් ජාතික පෙරමුණ සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය සකසා තිබෙන බව. එම චෝදනාව පිළිබඳව ඔබගේ ස්‌ථාවරය කුමක්‌ද?

පිළිතුර -

අපට එහෙම කරන්න අවශ්‍යතාවක්‌ නැහැ. අපගේ පක්‍ෂයේ සිටිනවා දක්‍ෂ ආර්ථික විශේෂඥයන්, ඇතුළු දක්‍ෂ පුද්ගලයන්. ඒ අය විසින් අද රටට අවශ්‍ය කුමක්‌ද කියන කාරණය සලකා බලා අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස්‌ කළා. එම නිසා ඔය පදනමක්‌ නැති චෝදනා මම ප්‍රතික්‍ෂේප කරනවා.

ප්‍රශ්නය -

පසුගිය ජනාධිපතිවරණයට පෙරත් සරත් ෆොන්සේකා මහතා ජය ගන්නා බව ඔබලා ප්‍රකාශ කළා. නමුත් එය සිදු වූයේ නැහැ.

අද ඔබ මහ මැතිවරණය ජය ගන්නා බව ප්‍රකාශ කරනවා. මෙම මැතිවරණයටත් ජනාධිපතිවරණයට අත්වූ ප්‍රතිඵලයම අත්වේද?

පිළිතුර -

මැතිවරණය සොරකම් කරනවා නම්, මැතිවරණ මගඩි සිදුකරනවා නම්s, මැතිවරණය ප්‍රොaඩාවක්‌ නම් කොතරම් සාධාරණ මැතිවරණ පැවැත්වුවත් ජනමතය නිසි පරිදි පිළිබිඹු වන්නේ නැහැ.

එහෙත් මෙවර මැතිවරණයේදී එබඳු අක්‍රමිකතා සිදු නොවීමට අවශ්‍ය කටයුතු අප සම්පාදනය කරමින් පවතිනවා. අනෙක්‌ අතට මෙම මැති වරණය පවත්වන්නේ දිස්‌ත්‍රික්‌ක පදනමින්. එම නිසා අපට හැකියාව තිබෙනවා අවංක ජනතා ප්‍රතිචාරය ලබා ගැනීමට.

ප්‍රශ්නය -

ඡන්ද අක්‍රමිකතා වැළැක්‌වීම සඳහා වැඩපිළිවෙළක්‌ දියත් කරන බව ඔබ සඳහන් කළා.

එම වැඩපිළිවෙළ පිළිබඳව යම් පැහැදිලි කිරීමක්‌ කරනවා නම්,

පිළිතුර-

මෙම මැතිවරණය දිස්‌ත්‍රික්‌ පදනමින් පවත්වන නිසා, මෙම දිස්‌ත්‍රික්‌කයෙන් අපේක්‍ෂකයන් 53 දෙනකු ඉදිරිපත් වී සිටිනවා ආණ්‌ඩු පක්‍ෂයේ අයත් ඇතුළුව. එම අපේක්‍ෂකයන්ගෙන් එක්‌ අයකුවත් තමන්ගේ මනාප වෙනස්‌ වන නිසා කිසිදු අක්‍රමිකතාවකට කැමැති වන්නේ නැහැ.

අනෙක්‌ අතට අප පෙත්සමක්‌ ඉදිරිපත් කර තිබෙනවා මැතිවරණ කොමසාරිස්‌වරයාට පසුගිය මැතිවරණයේදී සිදුවූ අක්‍රමිකතා සිදු නොවීමට වග බලා ගත යුතු බවට.

ප්‍රශ්නය -

පසුගිය ජනාධිපතිවරණයේදී එක්‌සත් ජාතික පක්‍ෂය සහ තවත් පක්‍ෂ සමග ඒකාබද්ධව ආර්. සම්බන්දන් මහතාගේ නායකත්වයෙන් යුතු දෙමළ රාජ්‍ය පක්‍ෂයත් සරත් ෆොන්සේකා මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළා.

මෙම මහ මැතිවරණය සඳහා දෙමළ රාජ්‍ය පක්‍ෂය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පෘතුගීසීන් ලංකාවට පැමිණෙන විට ලංකාවේ රාජ්‍ය 3 ක්‌ පැවැති බව සඳහන් කර තිබෙනවා. ඒ අනුව පැහැදිලි වනවා ඔවුන් වෙනම රාජ්‍යයක්‌ වෙනුවෙන් පෙනී සිටින බව. පසුගිය ජනාධිපතිවරණයේදී ඔබලා සමඟ කටයුතු කළ දෙමළ රාජ්‍ය පක්‍ෂයේ මෙම ස්‌ථාවරය පිළිබඳව ඔබගේ ස්‌ථාවරය කුමක්‌ද?

පිළිතුර -
මේ රට ඒකීය රටක්‌. මේ රට තුළ වෙනම රාජ්‍ය පවතින්න බැහැ. ඒකීය රට තුළ විවිධ ජාතීන් ජීවත් වෙනවා. එම විවිධ ජාතීන්ගේ අයිතීන් ආරක්‍ෂා වන ප්‍රතිපත්ති ප්‍රකාශනයක්‌ තමයි අප ඉදිරිපත් කර තිබෙන්නේ.

ප්‍රශ්නය - අවසාන වශයෙන් ඡන්ද දායකයන්ට ලබාදීමට තිබෙන පණිවුඩය කුමක්‌ද?

පිළිතුර - පැවැති ආණ්‌ඩුව මේ රටේ ජීවත් වන ජනතාවගේ කිසිදු ප්‍රශ්නයක්‌ විසඳීමට කටයුතු කර නැහැ. කිසිදු විසඳුමක්‌ ඉදිරිපත් කරන පාටකුත් නැහැ. මැතිවරණය අවසන් වීමෙන් පසුව අත්‍යවශ්‍ය භාණ්‌ඩ මිල යළිත් වැඩි වීම අනිවාර්යයි. විවිධ සමාගම් පුවත්පත්වලට කරන ප්‍රකාශ අනුව ඒ බව පැහැදිලි වනවා. එම තත්ත්වය තුළ රටේ ජනතාව කල්පනා කර තිබෙනවා, පාර්ලිමේන්තුවේ බලය එක්‌සත් ජාතික පෙරමුණට ලබාදීමට. ඒ තුළින් ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම රටේ ජනතාවගේ ආරක්‍ෂාවත් තහවුරු වනවා. ඒ වගේම අලුත් ආණ්‌ඩුව යටතේ රටේ ජනතාවට පහසුවෙන් ජීවත් වීමේ අවස්‌ථාවක්‌ උදාවන බව මම මේ අවස්‌ථාවේදී සඳහන් කළ යුතුයි.

සාකච්ඡා කළේ එරික්‌ ගාමිණි ජිනප්‍රිය
 

 

 

 
Powered By -