ආණ්‌ඩුවේ තුනෙන් දෙකේ සිහිනය බිඳ වැටිලා
එක්‌සත් ජාතික පෙරමුණේ ගාලූ දිස්‌ත්‍රික්‌ අපේක්‍ෂක - ගයන්ත කරුණාතිලක

එක්‌සත් ජාතික පක්‍ෂය මේ මැතිවරණයට මුහුණ දෙන්නේ බොහොම ඇල්මැරුණු ස්‌වභාවයකින්. ඇතැම් පළාත්වල කොළ පාට කොඩියක්‌වත් දකින්නට නැහැ. එක්‌සත් ජාතික පක්‍ෂය මේ සටන අතෑරලද?

නෑ. අපි සටන අතෑරලා නැහැ. පසුගිය ජනාධිපතිවරණයේදිත් එක්‌සත් ජාතික පක්‍ෂය ඉතාම උනන්දුවෙන් ඒ මැතිවරණ ව්‍යාපාරයෙ නිරත වුණා. එහිදී නිර්දේශපාලනීකරණය වූ පොදු අපේක්‌ෂකයකුට අපේ උපරිම සහාය දුන්නා. අපේ බිම් මට්‌ටමේ සංවිධායකවරුන්ගේ සිට පක්‍ෂයේ සෑම කෙනෙක්‌ම උපරිම කැපවීමෙන් වැඩ කළා. මේ පාර්ලිමේන්තු මැතිවරණයේදිත් අපි අපේ ශක්‌තිය උපරිමයෙන් යොදවල හැම දිස්‌ත්‍රික්‌කයකටම ඉතාමත් ප්‍රබල අපේක්‌ෂක කණ්‌ඩායම් ඉදිරිපත් කරල තියෙනවා. ඒ පිරිස මේ වනවිට ඉතාමත් සාර්ථකව තම තමන්ගේ මැතිවරණ කටයුතුවල නිරත වෙමින් සිටිනවා.

අපේ නායකතුමා මේ වනවිට හැම දිස්‌ත්‍රික්‌කයකම දිස්‌ත්‍රික්‌ සම්මේලන පවත්වල ආසන බල මණ්‌ඩල කැඳවල දැනුවත් කරල යාපනේ පවා ගිහින් මැතිවරණ කටයුතු ආරම්භ කරල රට පුරාම අපේ මැතිවරණ ව්‍යාපාරය සාර්ථකව දියත් කරල තියෙනවා.

නමුත් විපක්‍ෂයක්‌ හැටියට මේ මැතිවරණයෙදි එක්‌සත් ජාතික පක්‍ෂය රජයට අභියෝගයක්‌ නැහැ."යි කියන මතයත්. ඒ නිසාම මේ මැතිවරණයේ කිසි උණුසුමත්a නැහැ කියන අදහසත් සමහරු ප්‍රකාශ කරනව නේද?

මේ ආණ්‌ඩුවේ ක්‍රියාකලාපය නිසා මහජනයාට ඡන්දෙ එපාවෙලා. එක්‌සත් ජාතික පක්‍ෂයේ මැතිවරණ ව්‍යාපාරයේ උණුසුමක්‌ නැතුව නෙමෙයි. මුළු රටේම මැතිවරණ ගැන තියෙන උණුසුම දැන් අඩුවෙලා. පහුගිය කාලේ මේ ආණ්‌ඩුව අපේ රට හැමදාම ඡන්ද තියන රටක්‌ බවට පත්කළා. එක දවසකින් තියල ඉවර කරන්න පුළුවන් පළාත් සභා වැනි ඡන්ද රුපියල් කෝටි ගණන් වියදම් කරලා තමුන්ගෙ පැවැත්ම වෙනුවෙන් මැතිවරණ කාලසටහන් හදාගෙන ගත්තු ක්‍රියාමාර්ග හින්ද මැතිවරණ කෙරෙහි මහජනතාව තුළ තිබෙන උනන්දුව හීන වුණා. පසුගිය ජනාධිපතිවරණය වුණත් එය පැවැත්වූ ආකාරය සහ එහි ප්‍රතිඵල පිළිබඳවත් ජනතාව තුළ විශාල පිළිකුලක්‌ තිබෙනවා. රාජ්‍ය මාධ්‍ය ක්‍රියාත්මක වෙන්නෙ කිසිම සමබරතාවයකින් නොවෙයි. ඒවා මෙහෙයවන්නෙ ඒකපාක්‌ෂිකවයි. රාජ්‍ය දේපල අමු අමුවේම දේශපාලන කටයුතුවලට යොදා ගන්න හැටි මහජනතාවට පේනව. ඒ නිසා ජනතාව මේ රජයේ මැතිවරණ ක්‍රියාකලාපය පිළිබඳ දැඩි කලකිරීමකින් ඉන්නෙ.

එක්‌සත් ජාතික පක්‍ෂ මැතිවරණ ව්‍යාපාරය තුළ කිසිම පසුබෑමක්‌ නෑ. ගම් මට්‌ටමේ සිට එය ඉතා හොඳ පිබිදීමකින් සාර්ථකව ඉදිරියට යනවා.

නමුත් ගාල්ල දිස්‌ත්‍රික්‌කය තුළ බැලුවත් පසුගිය ජනාධිපතිවරණයේ සමස්‌ත මැතිවරණ ප්‍රතිඵලය දෙස බැලුවත් එක්‌සත් ජාතික පක්‍ෂයට සිංහල ඡන්ද පදනම එක්‌තරා ආකාරයක පසුබෑමක්‌ පෙනෙන්නට තිබෙනවා. දෙමළ, මුස්‌ලිම් ජනකොටස්‌ තමයි වැඩිපුර එක්‌සත් ජාතික පක්‍ෂයට සහයෝගය දක්‌වන්නෙ. ප්‍රධාන ජාතික පක්‍ෂයක්‌ හැටියට සිංහල ජන කොටස්‌වල ප්‍රසාදය මීට වඩා දිනාගත යුතුයි නේද?

එක්‌සත් ජාතික පක්‍ෂය මේ රටේ සියලු ජාතීන් එක්‌සත් කරපු පක්‍ෂය. එක්‌සත් ජාතික පක්‍ෂය සකස්‌වෙලා තියෙන්නෙත් සියලුම ජාතීන්ගෙන්.

ගාලු දිස්‌ත්‍රික්‌කයේ මුස්‌ලිම් ජනතාව ඉන්නෙ සුළු පිsරිසයි. ඒ අතුරින් වැඩි පිරිස ඉන්නේ ගාලු නගරය ආශ්‍රිතවයි. ආසන විධියට බැලුවත් ආසනයකට එක ගමක්‌ වගේ තමයි මුස්‌ලිම් ජනතාව ඉන්නෙ. මේ සුළු ජාතීන්ගේ විශ්වාසය එක්‌සත් ජාතික පක්‍ෂය දිනාගෙන තියෙනවා. නමුත් එහෙම කියලා බහුතර සිංහල ජනතා විශ්වාසය එක්‌සත් ජාතික පක්‍ෂයට නැහැ කියල කියන්න බැහැ. මේ මැතිවරණයේදී මෙරට සිංහල ජනතාවගේ එකම බලාපොරොත්තුව බවට එක්‌සත් ජාතික පක්‍ෂය පත්වෙමින් තිබෙනවා. මේ රටේ ආර්ථිකය හදන්න පුළුවන් එකම පක්‍ෂය එක්‌සත් ජාතික පක්‍ෂය බව මේ රටේ සියලු ජන කොටස්‌ අතර පිළිගැනීමක්‌ ඇතිවෙලා තිබෙනවා.

පොදුවේ හැම පක්‍ෂයක්‌ම මැතිවරණ නීති උල්ලංඝනය කරන බව පෙනෙන්න තිබුණත් මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියාවල කිසියම් අඩුවීමක්‌ අද දකින්නට තිබෙනවා.

මේ අපේ රටේ පොලිසිය නීතිය අකුරට ක්‍රියාත්මක කිරීම නිසා ඇතිවී ඇති තත්ත්වයක්‌ද?

අතීතයේ සිටම ගාලු දිස්‌ත්‍රික්‌කයේ මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා අවම කර ගන්නට අපි දෙගොල්ලන්ටම හැකියාවක්‌ තිබුණා. නමුත් සමහර ආසනවල ජනාධිපතිවරණයෙන් පසු මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා සෑහෙන්න සිදුවුණා. හිනිදුම මැතිවරණ කොට්‌ඨාසයේ දිගින් දිගටම ආණ්‌ඩුවේ පාර්ශ්ව මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියාවල නිරතවෙමින් සිටිනවා. කරන්දෙනිය බද්දේගම ආසනවලත් මැතිවරණ ප්‍රචණ්‌ඩත්වය යම් මට්‌ටමකින් දකින්නට තිබෙනවා. මේ පළාත්වල එක්‌සත් ජාතික පාක්‌ෂිකයන්ට දිගින් දිගටම හිරිහැර වලට මුහුණ දෙන්නට සිදුවෙලා තියෙනවා.

මැතිවරණ ප්‍රචණ්‌ඩත්වය අද තියෙන්නෙ ආණ්‌ඩුව ඇතුළෙ. ආණ්‌ඩුව ඇතුළෙ අද මනාප බලු පොරයක්‌ ඇතිවෙලා.

ආණ්‌ඩුව මේ මැතිවරණයේදී ජනතාවගෙන් ඉල්ලන්නෙ තුනෙන් දෙකක බලයක්‌. තමුන් ජයග්‍රහණය කරවන්න කියලා නෙමෙයි. මේ මැතිවරණ ජයග්‍රහණය පිළිබඳ ආණ්‌ඩුවට ප්‍රශ්නයක්‌ නෑ කියලයි ආණ්‌ඩුව කියන්නෙ?

මේ මැතිවරණයෙන් ආණ්‌ඩුව තුනෙන් දෙකක්‌ ලබා ගන්නව කියනවා. ඔවුන් මේ මැතිවරණ ව්‍යාපාරය පටන් ගන්නකොට දොඩවපු පුරසාරමක්‌. අද ඔවුන්ගෙ ඒ සිහිනය කඩා වැටිලා. ජනාධිපතිවරයා පවා දැන් කියන්නෙ තුනෙන් දෙකක්‌ නෙමෙයි ආණ්‌ඩු බලයක්‌ ලබා දෙන්න කියලයි. තුනෙන් දෙකෙන් පටන් ගත්තු ආණ්‌ඩුව අද බහුතරයවත් හදාගන්න බැරි තත්ත්වයකට පත්වෙලා.

සාකච්ඡා කළේ පාලිත සේනානායක

 

 

 
Powered By -