රත්නපුරේ මට තරගයක්‌ නෑ
පවිත්‍රා වන්නිආරච්චි

දේශපාලන වේදිකාවේ කැපී පෙනෙන කාන්තාවක වන නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය තුළ සිටින ප්‍රබලම කාන්තා හඬ යෑයි කීවාට වරදක්‌ නැත. ජාතික දේශපාලන තලයේ වාද විවාද සංවාද වලදී පසුගිය ජනාධිපතිවරණ සමයේ කැපී පෙණුනු ඕ මේ දිනවල රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ දේශපාලන කතිකාව තුළ විවාදිත චරිතයක්‌ වෙයි. මේ වූ කලී මෙවර මහ මැතිවරණය අරබයා ඕ දිවයින ඉරිදා සංග්‍රහය" හා කළ සාකච්ඡාවකි.

ප්‍රශ්නය - ඔබ අද රත්නපුරය දිස්‌ත්‍රික්‌කයේ මැතිවරණ වේදිකාව තුළ ප්‍රබල හඬක්‌. කොහොමද ඔබේ ඡන්ද සටන

පිළිතුර - අපි දිනනවා මහ ඉහළින්. අද අපට තරගයක්‌ නැහැ. අපේ ප්‍රතිවාදී පක්‍ෂය වන එක්‌සත් ජාතික පක්‍ෂය හැම අතින්ම බිඳ වැටිලා. ගරා වැටිලා ගිහින්. පාක්‍ෂිකයෝ කලකිරිලා දවසින් දවස අපි වටා ඒකරාශී වෙනවා. අනෙකුත් පක්‍ෂත් ජනතාව ප්‍රතික්‍ෂේප කරලා. ඒක නිසා අපට තරගයක්‌ නෑ.

ප්‍රශ්නය - අපට ආරංචි විදියට රත්නපුරේ තරගය තියෙන්නේ සන්ධානය - එජාපය අතර නොවෙයි. සන්ධානය ඇතුලෙම. මනාපවලට තරගයක්‌ තියෙනවා කියලයි ආරංචි.

පිළිතුර - මොන බොරුද? මට කිසි තරගයක්‌ රත්නපුරේ නැහැ. මම එදා වගේම අදත් පළමුවැනියා. මමත් දෙවැනියා වෙන්න ඉන්න කෙනෙත් අතර මනාප පරතරයත් දිනෙන් දින ඈත් වෙනවා. අති විශාල ප්‍රමාණයකින් ඉස්‌සරහින් ඉන්න මට කොහෙන්ද තරගයක්‌.

ප්‍රශ්නය - මන්ත්‍රීවරු කීදෙනෙක්‌ මෙවර රත්නපුරයෙන් ඔබලාගේ කණ්‌ඩායමට තේරෙයි කියලද හිතන්නේ.

පිළිතුර - අපි අටදෙනෙක්‌ පාර්ලිමේන්තුවට ගන්නවා. එජාපයට මෙවර දෙන්නෙක්‌ තෝරාගන්නත් බැරි තරම් අමාරුයි. අනිත් පක්‍ෂය හේදිලාම යනවා. එක්‌සත් ජාතික පක්‍ෂයෙන් තෝරන දෙන්නා හෝ තුන්දෙනා අඩුම තරමින් රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ නමක්‌ ලිපිනයක්‌ තියෙන කෙනෙක්‌වත් පත්කරල එවන්න කියලා මම එජාපයේ පාක්‍ෂිකයන්ගෙන් ඉල්ලනවා.

ප්‍රශ්නය - තම දිස්‌ත්‍රික්‌කයෙන් රටටම ආදර්ශයක්‌ දෙනවා කියන කතාව අද ගම්පහෙන් ඇහෙනවා. කොළඹින් ඇහෙනවා. හම්බන්තොටින් ඇහෙනවා. රත්නපුරය නියෝජනය කරන ඔබලා මොනවද රටට පෙන්නන්න හිතාගෙන ඉන්න පාඩම. ආදර්ශය.

පිළිතුර - අපි රත්නපුරයෙන් ලොකුම ජයග්‍රහණය අරගෙන දෙනවා. 80% ක විතර ඡන්ද ප්‍රතිශතයක්‌ අරන්. ඒ වගේම පහුගිය කාලයේ අපි ජනාධිපතිතුමන්ගේ හැම වැඩකදීම වැඩසටහනකදීම සෙවනැල්ලක්‌ වගේ ඉදිමින් ලොකු ශක්‌තියක්‌ දුන්නා. විශේෂයෙන් පසුගිය ජනාධිපතිවරණයේදී එතුමන්ට ලොකු හයියක්‌ වුණා. එතුමා අලුත් ශ්‍රී ලංකාවක්‌ හදන්න, සුබ අනාගතයක්‌ ඒ ලංකාවට උදාකර දෙන්න ලොකු වැඩපිළිවෙළක්‌ දියත් කර තිබෙනවා. රට ඉදිරියට ගෙන යන මේ වැඩපිළිවෙළේදී එතුමා දේශීයව, විදේශීයව පැමිණි කිසිම බලවේගයකට, කිසිම කුමන්ත්‍රණයකට යටවුණේ නැහැ. බොහොම අදීනව නිර්භයව කටයුතු කළා. අපි අද රත්නපුරය දිස්‌ත්‍රික්‌කයේ ජනතාව හැටියට ඒ වැඩපිළිවෙළ හිස්‌මුදුනින්ම අනුමත කරනවා. ජනතාව මෙවර ඡන්දයේදී අතිවිශාල බහුතරයක්‌ සන්ධානයට ලබාදීමෙන් රටට ආදර්ශයක්‌ පෙන්වනවා. ජනාධිපතිතුමන්ගේ වැඩපිළිවෙළ වැඩිම ඡන්ද ප්‍රතිශතයක්‌ අනුමත කළ දිස්‌ත්‍රික්‌කය හැටියට.

ප්‍රශ්නය - සන්ධානය තුළ කාන්තා හඬවල් තිබෙන්නේ කිහිපයයි. ඒ අතර ඔබේ හඬ වඩාත් කැපී පෙනෙනවා. ඔබ කොහොමද කාන්තාවක්‌ ලෙස මෙවර මැතිවරණයේදී ඡන්ද සටනට ලබාගන්නා ප්‍රවේශය

පිළිතුර - ඇත්තම කියනවා නම් මම කොතනකදීවත් කාන්තාවක්‌ විදියට පමා වුණේ නැහැ. මම රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ සමස්‌ත ජනතාවම නියෝජනය කරනවා මිස කාන්තාව පමණක්‌ නියෝජනය කරන්නේ නැහැනේ. මම පොදු හඬක්‌ ඇති කෙනෙක්‌. ඒකයි රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ මනාපවලින් මම හැමදාම පළමුවැනියා වෙන්නේ. මට වුවමනා රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ සිටින මගේ මුළුමහත් ජනතාවගේම ප්‍රශ්න විසඳන්න. පොදුවේ ඔවුන්ට සේවයක්‌ කරන්න. විශේෂයෙන් ම දිස්‌ත්‍රික්‌කයේ දුප්පත්කම තුරන් කරන්න. මොකද අපි පෙනී ඉන්නේ ජනාධිපතිතුමන්ගේ අලුත් ශ්‍රී ලංකාවක්‌ හදන මහා සංග්‍රාමයේ සෙනවියෝ හැටියට.

ප්‍රශ්නය - පසුගිය දවස්‌වල සන්ධානයේ නායකයෝ 2/3 ක්‌ ලබා ගන්නවයි කිය කිය හිටපු කතාව දැන් වෙනස්‌ කරල කියලයි එජාපය කියන්නේ.

පිළිතුර - මොකක්‌ද වෙනස්‌ කරල තියෙන්නේ. මොනවද එයාලා කියන්නේ.

ප්‍රශ්නය- 2/3 ක්‌ ගන්න බැරිව දැන් ශක්‌තිමත් ආණ්‌ඩුවක්‌ විතරක්‌ හදල දෙන්න කියල කියනවලු.

පිළිතුර - එක්‌සත් ජාතික පCක්‍ෂය පසුගිය ඉතිහාසය පුරාම මැතිවරණ වලදී ඔය වගේ බහුබූත දෙඩෙව්වා. නමුත් එයාල කියපු කිසිම දෙයක්‌ වෙලා නැහැනේ. මේ නිර්ලඡ්ජිත පරාජිත පක්‍ෂය රටේ සාමය සමෘද්ධිය හා සුබ අනාගතය පතන ජනතාව විසින් උචිත පිළිකුලකින් ප්‍රතික්‍ෂේප කරල ඉවරයි. කියන්න දෙයක්‌ නැතුව අමු කැවිලා වගේ සිහි විකලෙන් එක එක වල්පල් කියවනවා. මෙම ඡන්දයේදී එක්‌සත් ජාතික පක්‍ෂයට වගේම අනික්‌ වදවී යන සත්ව කොට්‌ඨාසවල පCක්‍ෂවලටත් දෙන්න ඕන දඬුවම මොකක්‌ද කියල ජනතාව දන්නවා. රටට ෙද්‍ර`හීවීමේ වරදට ලබන අප්‍රේල් 8 වැනිදා මේ රටේ ජනතාව උදේ පාන්දරම ඡන්ද පොළට ගිහින් නිසැකවම එයාලට ඒ දඬුවම ලබාදේවි.

සාකච්ඡා කළේ බුලිත ප්‍රදීප් කුමාර
 

 

 

 
Powered By -