වංචා දූෂණයෙන් තොර බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට පත්කළ යුතුයි
ගම්පහ දිස්‌ත්‍රික්‌ අපේක්‍ෂක සිසිර ජයකොඩි

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය මෙවර මහ මැතිවරණයට සෑම දිස්‌ත්‍රික්‌කයක්‌ සඳහා ම නවක මුහුණු රැසක්‌ ඉදිරිපත් කර ඇත. ගම්පහ දිස්‌ත්‍රික්‌කය සඳහා එසේ ඉදිරිපත් කළ නවක මුහුණු අතරින් බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී සිසිර ජයකොඩි බොහෝ කතාබහට ලක්‌වූ දේශපාලනඥයෙකි. එබැවින් අපි ඔහු සමඟ පිළිසඳරක යෙදුනෙමු.

ප්‍රශ්නය - ගම්පහ දිස්‌ත්‍රික්‌කයට නවකයකු ලෙස තරග කරන ඔබ මෙවර මැතිවරණය දකින්නේ කෙසේද?

පිළිතුර - ප්‍රථමයෙන් ම මා පවසන්න ඕනේ පාර්ලිමේන්තු මැතිවරණයට නවකයෙක්‌ වුණාට දේශපාලනයට මා නවකයෙක්‌ නෙමෙයි. මම 1988 - 89 යුගයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්‌ ලෙස එවකට පැවති භීෂණකාරී දේශපාලනයට එරෙහිව සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය සමඟ එක්‌ව සටන් කළා. 1995 වසරේ දී දිනේෂ් ගුණවර්ධන ඇමැතිතුමා සමඟ එක්‌ව රටේ ඒකීය භාවය වෙනුවෙන්, අපගේ පෞරාණික උරුමයන් රැකගැනීම වෙනුවෙන් ක්‍රියාකාරීව නැගී සිටියා. බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස අඛණ්‌ඩව තෙවරක්‌ මනාප ඡන්ද පනස්‌දහසකට වැඩි සංඛ්‍යාවක්‌ ලබාගෙන තේරී පත්වී ජනතා සේවයට කැප වී සිටිනවා. එසේම 2005 වසරේදී වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රථම ජනාධිපතිවරණ සටනේදී රට එක්‌සේසත් කිරීම වෙනුවෙන් මවුබිමේ සුරක්‍ෂිතතාව වෙනුවෙන් දිවි හිමියෙන් කැප වී සේවය කළා. මා මෙවර මහ මැතිවරණය දකින්නේ ජාතික යුතුකමක්‌ ඉටු කළ යුතු මැතිවරණයක්‌ ලෙසයි. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කොටි ත්‍රස්‌තවාදය පරාජය කර රට එක්‌සේසත් කර පසුගිය ජනාධිපතිවරණයේදී විශිෂ්ට ජයග්‍රහණයක්‌ ලබා ගත්තා. ජනාධිපතිතුමාට එම ජයග්‍රහණය ජනතාව ලබා දුන්නේ රට ගොඩනැගීම සඳහායි. දූෂණයෙන් තොර, ප්‍රචණ්‌ඩ ක්‍රියාවල නොයෙදෙන, බුද්ධිමත් මන්ත්‍රීවරු පිරිසක්‌ පාර්ලිමේන්තුවට ගියොත් තමයි ජනාධිපතිතුමාගේ විශිෂ්ට ජයග්‍රහණය වඩාත් ශක්‌තිමත් වෙන්නේ. ජනාධිපතිතුමාට එම ශක්‌තිය ලබාදීම සඳහා පුණ්‍යකර්මයක්‌ ලෙසයි මා මෙවර මැතිවරණයට ඉදිරිපත් වී සිටින්නේ.

ප්‍රශ්නය - ඔබ සිතනවාද ඔබට එම පුණ්‍යකර්මයට දායක විය හැකි යෑයි කියා.

පිළිතුර - සත්‍ය වශයෙන්ම, මට එය විශ්වාසයි. මොකද මා දේශපාලනයේ නිරත වන්නේ ගමට නගරයට සහ රටට සේවයක්‌ කිරීම සඳහායි. එය මා මෙතෙක්‌ පැමිණි දේශපාලන ගමන් මඟ තුළ ඉටු කළා. එසේම ගම්පහ දිස්‌ත්‍රික්‌කයෙන් මෙවර ශක්‌තිමත් කණ්‌ඩායමක්‌ ඉදිරිපත් වී සිටිනවා. එම කණ්‌ඩායමේ නායකත්වය ගෙන සිටින්නේ බැසිල් රාජපක්‍ෂ මහතායි. එතුමා ජනාධිපතිතුමාගේ සහෝදරයා පමණක්‌ නෙමෙයි. පරිනත දේශපාලනඥයෙක්‌. හොඳ නායකයෙක්‌. එතුමාගේ සංවිධාන ශක්‌තිය තුළින් අපට පැහැදිලි අනාගතයක්‌ උදා වී තිබෙනවා.

ප්‍රශ්නය - ඔබ නියෝජනය කරන කැලණිය ප්‍රදේශය තුළ දේශපාලන වාතාවරණය උණුසුම්ව පවතින්නේ ඇයි?

පිළිතුර - එසේ විශේෂ උණුසුම් බවක්‌ දක්‌නට නැහැ. ඇතැම් දේශපාලනඥයන් ක්‍රියාවට වඩා වචනයෙන් කරන දේවල් නිසා විවිධ ප්‍රතිරූප මතුව තිබෙනවා. කැලණිය ප්‍රදේශය තුළ කඩිනම් සංවර්ධනයක්‌ සඳහා ව්‍යාපාති ක්‍රියාත්මක කළේ හිටපු ඇමැතිවරයකු වූ දිවංගත ශ්‍රීපති සූරියආරච්චි මහතායි. අදටත් ක්‍රියාත්මක වන්නේ එතුමා ආරම්භ කළ සංවර්ධන වැඩ කටයුතුයි. කැලණිය ප්‍රදේශයේ දිළිඳුකමේ අන්තයට වැටුණු ජනතාවක්‌ සිsටිනවා. ඔවුන් ඉන් මුදාගත යුතුයි. ඒ සඳහා අප දැනටමත් වැඩසටහන් රැසක්‌ ක්‍රියාත්මක කරගෙන යනවා. ප්‍රදේශයේ පාසල් සංවර්ධනය කිරීම සඳහා වැඩසටහන් රැසක්‌ ආරම්භ කර තිබෙනවා. ගම්පහ දිස්‌ත්‍රික්‌කය දකුණු ආසියාවේ ඓශ්චර්යවත් දිස්‌ත්‍රික්‌කයක්‌ බවට පත් කිරීම සඳහා අවශ්‍ය වැඩසටහන් රැසක්‌ අපගේ බලප්‍රදේශ තුළ දිගු කාලයක සිට ආරම්භ කර තිබෙනවා.

ප්‍රශ්නය - පවතින දේශපාලනය වෙනස්‌ විය යුතුයි කියා ඔබ සිතනවාද?

පිළිතුර - ඇත්ත වශයෙන්ම ඔව්. වත්මන් දේශපාලන ක්‍රමය තුළ පවතින්නේ එකිනෙකා ජයග්‍රහණය කිරීමේ තරගයක්‌. ඒ නිසා බොහෝ දෙනෙක්‌ මෙම දේශපාලනයෙන් එතෙර වූ පසු උත්සාහ ගන්නේ තමාගේ ජයග්‍රහණයට උදවු උපකාර කළ අය වෙනුවෙන් කටයුතු කිරීම සඳහා වැඩි

වංචා දූෂණයෙන්

උනන්දුවක්‌ දැක්‌වීමයි. එසේම මෙම දේශපාලනය මහා විශාල තරගයක්‌. මෙම තරගයට මුහුණදීම සඳහා විශාල මුදල් කන්දරාවක්‌ වැය කරන්නත් වෙනවා. එනිසා මෙම මැතිවරණ ක්‍රමය රටටත් ජනතාවටත් බරක්‌. ඉන් අප මිඳිය යුතුයි. රට ගොඩ නැගිය හැකි සැමට සංවර්ධන කටයුතු බෙදී යන දේශපාලන ක්‍රමයක්‌ ඇතිවිය යුතුයි. එවිට ශක්‌තිමත් පාලනයක්‌ රට තුළ ඇති කළ හැකියි. මෙය මා හිතන්නේ ඒ සඳහා උදාවී තිබෙන හොඳම අවස්‌ථාවයි.

රට සංවර්ධනය කිරීමට බාධකයක්‌ව පැවැති කොටි ත්‍රස්‌තවාදය පරාජය කරන්න ජනාධිපතිතුමාට හැකියාව ලැබුණා. එනිසා රට සංවර්ධනය කිරීමේ හැකියාවත් එතුමාට තිබෙනවා. අප සියලු දෙනාම මෙවර ඒ සඳහා දායක විය යුතුයි. එසේ වූ විට රටේ සම්පත් ප්‍රයෝජනයට ගෙන නව ව්‍යාපෘති ඇති කළ හැකියි. ඉන් විරැකියාවෙන් පෙළෙන තරුණ තරුණියන්ට රැකියා අවස්‌ථා උදාකර දිය හැකියි. රට තුළ ආකල්පමය වෙනසක්‌ ඇති කළ යුතුයි. ඉන් සදාචාර සම්පන්න සමාජයක්‌ ගොඩනැගිය හැකියි. පවතින රජය වෙනස්‌ කර වෙනත් පක්‍ෂයක්‌ බලයට පැමිණීමේ සාම්ප්‍රදායික ඡන්ද ක්‍රමය වෙනුවට රට සංවර්ධනය කළ හැකි යහපත් අනාගතයක්‌ ගොඩනැඟිය හැකි පක්‍ෂය ජයග්‍රහණය කරවිය යුතුයි.

ශක්‌තිමත් පාර්ලිමේන්තුවක්‌ ජනාධිපතිතුමාට ලබාදුනහොත් සංවර්ධනයේ වේගය කඩිනම් කළ හැකියි. ඒ සඳහා අවශ්‍ය සැලසුම් සහ ජවය අපට තියෙනවා. අපි දේශපාලනය කරන්නේ හම්බ කරගන්න නෙමෙයි. මම ගුරුවරයකු ලෙස වසර විස්‌සක්‌ කටයුතු කර උගත් තරුණ පරපුරක්‌ රටට දායාද කර දුන්නා. මා එසේ කළේ මුදල් පරමාර්ථයෙන් නෙමෙයි. මා කරන වෘත්තියෙන් සේවයක්‌ කිරීමේ පරමාර්ථයෙන්. ඒ වගේම තමයි මා දේශපාලනයේ නිරතව සිටින්නේත් දෙපයින් නැගී සිටීමට වෙර දරණ ජනතාවට හයියක්‌ වීමටයි.

සාකච්ඡා කළේ උපාලි ද සේරම්

 

 

 
Powered By -