"විදෙස්‌ අතපෙවීම් වලට එරෙහිව වීදි බැසීමට වුවත් අප සූදානම්"
එජාප හම්බන්තොට දිස්‌තික්‌ නායක සජිත් ප්‍රේමදාස

ප්‍රශ්නය( මේ මැතිවරණයට එජාපය ඉදිරිපත් වෙන්නේ පරාජිත පක්‍ෂයක්‌ හැටියට. එතකොට මේ ඡන්දයේ ඇතිකරගත හැකි බලාපොරොත්තු මොනවාද?

උත්තරය( මේක හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ ජනතාවට ඉතාමත්ම තීරණාත්මක මැතිවරණයක්‌ හැටියට තමයි මම සලකන්නෙ. විවිධ පසුබෑම් වලට ලක්‌ වූවත්, විපක්‍ෂයක්‌ හැටියට වුවත් අපට පුළුවන් වෙලා තියෙනව හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ සංවර්ධනයට සක්‍රීයව දායක වෙන්න. මේක වාචිකව පමණක්‌ නොව ප්‍රායෝගිකවත් අපි කරල තියෙනවා. මේ දිස්‌ත්‍රික්‌කයේ ජනතාවගේ ජීවිත සුත මුදිත කිරීමට සේවාවන් රාශියක්‌ මගේ නායකත්වයෙන් ක්‍රියාත්මක කරල තියෙනවා. ඒ වැඩපිළිවෙල ඉදිරියට ක්‍රියාත්මක කිරීමට තමයි අපි මෙවර ජනවරමක්‌ පතන්නෙ. හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ අපි ජනතාව සම්බන්ධ කරගෙන ජනතාව පෙරටු කරගෙන අපේ දේශපාලන ක්‍රියාදාමය ඉටුකරමින් සිටිනවා.

ප්‍රශ්නය( රාජපක්‍ෂවරුන්ගේ නිජ බිම නිසා හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ තමයි තරගෙ වැඩිම. එයට ඔබ මුහුණ දෙන්නෙ කොහොමද?

උත්තරය( මම ඒ කාරණය දෙස බලන්නේ "අභියෝගයක්‌" හැටියට නොවේ. මම එය දකින්නෙ "අවස්‌ථාවක්‌" හැටියටයි. මේක මගේ හැකියාවන් හා දක්‍ෂතාවයන් උරගා බලන අවස්‌ථාවක්‌. ඒ වගේම මගේ දේශපාලන ගමන තවදුරටත් පරිණත භාවයෙන් වර්ධනය කරගැනීමට මේක උචිත අවස්‌ථාවක්‌ හැටියට තමයි මම සළකන්නෙ. ජනතාවගේ ආශිර්වාදය සහ අනුග්‍රහය තුළින් ඉහළට එන්නට උත්සාහ දරන පුද්ගලයෙක්‌ හැටියට, මෙය මගේ දේශපාලන ජීවිතයේ තවත් වැදගත් විභාගයකට මුහුණ දෙන අවස්‌ථාවක්‌ හැටියටයි මම මේක දකින්නෙ. මේ විභාගය හමුවේ මම පස්‌සට යන්නේ නැතුව, ඉතා ධනාත්මක ආකාරයට එයට මුහුණ දීමට මම සූදානමින් සිටිනව.

ප්‍රශ්නය( ඔබේ පියා වූ ප්‍රේමදාස ජනාධිපතිතුමා කොළඹ පදනම් කරගත් නාගරික දේශපාලනඥයෙක්‌. දුෂ්කර ග්‍රාමීය පෙදෙසක දේශපාලනය කිරීමට ඔබට සිතුනේ ඇයි?

උත්තරය( මගේ පියා නාගරික දේශපාලනඥයෙකු හැටියට විග්‍රහ කිරීම හරියි කියල මම හිතන්නේ නෑ. එතුමා ග්‍රාමීය, නාගරික භේදයකින් තොරව ජනතා සේවාවන් ඉටු කළා. නමුත් එතුමා නියෝජනය කළ මැතිවරණ කොට්‌ඨාසය නාගරික ජනතාව වෙසෙන බලප්‍රදේශයක්‌. මම හම්බන්තොට දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරන විට ඔබ මතක තබාගත යුතු කාරණය වන්නේ, අපේ රටේ ජනතාවගෙන් 79% ක්‌ම ග්‍රාමීය ජනතාව වන බවයි. නාගරික ප්‍රදේශයක මම හැදුන වැඩුන නිසා නාගරික ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන ප්‍රශ්ණ ගැන මට අවබෝධයක්‌ තිබෙනවා. ඒ වගේම, හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ ජනතාව සමග මම සංවර්ධන කටයුතු වල නියෑළී සිටින නිසා, ග්‍රාමීය ජනතාවගේ සිතුම් පැතුම් අදහස්‌ උදහස්‌ පිළිබඳ මේ වන විට මට මනා අවබෝධයක්‌ ලැබී තිබෙනවා.

ප්‍රශ්නය( කොළඹ කියන්නෙ හම්බන්තොටට වඩා එජාපයට බර ප්‍රදේශයක්‌. ගම්පහට වඩා කොළඹ එජාපයට බර ප්‍රදේශයක්‌ නිසා ගම්පහින් කොළඹට රනිල් වික්‍රමසිංහ මහතා මාරු වූවා මෙන්, හම්බන්තොටින් කොළඹට මාරු වෙන්න ඔබට කුමණ අවස්‌ථාවකවත් කල්පනා වුණේ නැද්ද?

උත්තරය( මම මගේ දක්‍ෂතාවය පෙන්වන්නට නම් මම එය කළ යුත්තේ මට දේශපාලනමය වශයෙන් වාසිදායක ප්‍රදේශයක නොව, එජාපයට අවාසිදායකම දිස්‌ත්‍රික්‌කයක දේශපාලනය කිරීමෙන් කියන එක තමයි මම විශ්වාස කරන්නෙ. කොළඹින් දේශපාලනය කිරීම මට අභියෝගයක්‌ හැටියට දකින්නෙ නෑ. කොළඹින් ඉල්ලනවාට වඩා හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ දේශපාලනයේ නියෑලීම, රටටත් වැදගත්, ගමටත් වැදගත්, ඒ වගේම මා නියෝජනය කරන පක්‍ෂයට හා මගේ දේශපාලන ඉදිරියටත් වැදගත්. 2000 දීත්, 2001 දීත් පාර්ලිමේන්තු මැතිවරණ වලදී එජාපයට හම්බන්තොට දිස්‌ත්‍රික්‌කය දිනවල දෙන්න මම නායකත්වය ලබල දුන්න.

ප්‍රශ්නය( වත්මන් ආණ්‌ඩුවේ නායකයන් සිටින්නේත් ඔබ ඉන්න දිස්‌ත්‍රික්‌කයේමයි. ඔවුන් හම්බන්තොටට අවශ්‍ය දියුණුව ලබල දෙනව. එතකොට ඔබතුමාට ඉතුරුවන කාර්යභාරය කුමක්‌ද?

උත්තරය( වර්තමාන ආණ්‌ඩුවේ සංවර්ධන යෝජනා ගණනාවක්‌ ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒකට අපි නෑ කියන්නේ නෑ. නමුත් බරපතල අඩුපාඩුකම් සහිතව තමයි ඒව ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ. සංවර්ධනයේදී ප්‍රජා දායකත්වයක්‌ තිබිය යුතුයි. නමුත් හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ ක්‍රියාත්මක වන සංවර්ධනයට ඒ දිස්‌ත්‍රික්‌කයේ ජනතාවගේ සහභාගීත්වයක්‌ නෑ. එක උදාහරණයක්‌ මට දක්‌වන්න පුළුවන්. මේ දිස්‌ත්‍රික්‌කයේ පාරවල් කොන්ක්‍රීට්‌ කරන්න විශාල මුදලක්‌ වැය කරනව. ඊට වඩා අඩු මුදලකින්, ඊට වඩා විධිමත්ව ඒ කාරණය ඉටු කරන්න තිබියදීත්, විවිධ දේශපාලන හෙන්චයියන්ට මුදල් දීමේ ක්‍රමවේදයක්‌ බවට පාරවල් කොන්ක්‍රීට්‌ කිරීම දැන් පත්වෙලා තියෙනවා. පාරවල් කොන්ක්‍රීට්‌ කිරීම මේ රජය ක්‍රියාත්මක කළ නිර්මාණශීලී වැඩසටහනක්‌. නමුත් එය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රතිලාභ ලැබෙන්නේ ප්‍රදේශයේ දේශපාලන හෙන්චයියලාට. ඒ වගේම තමයි හම්බන්තොට වරාය ව්‍යාපෘතිය. හම්බන්තොටට වරායක්‌ ලැබෙනවා යෑයි කියන්නේ ඓතිහාසික දෙයක්‌. නමුත් එම ඉදිකිරීම සඳහා දේශීය ශ්‍රමය පාවිච්චි වෙන්නෙ නෑ. එම නිසා දේශීය වශයෙන් එම ව්‍යාපෘතියේ සිදුවිය යුතු මුදල් සංසරණය ද අල්පයි. තවද, මම දන්නා තරමට මෙම වරාය ඊධඔ ක්‍රමයට වසර ගණනාවක්‌ ඉදිරියට ක්‍රියාත්මක කිරීමට බලය තිබෙන්නේ ද විදෙAශීය සමාගමකට.

ප්‍රශ්නය( ඔබ මුල්වරට පාර්ලිමේන්තුවට ආවේ 2000 දී. නමුත් දැන් අවුරුදු 16 ක්‌ පමණ එජාපය විපක්‍ෂයේම හිරවෙල ඉන්නව. මේකට හේතුව කුමක්‌ද?

උත්තරය( රටේ අනෙකුත් දිස්‌ත්‍රික්‌ක පරදින විට අපි 2000 දීත් මේ දිස්‌ත්‍රික්‌කය දින්නා. ග්‍රාමීය සංවර්ධනයට මුල්තැන දීම එක්‌සත් ජාතික පක්‍ෂයේ දේශපාලන ගමනේ මුඛ්‍ය අරමුණ විය යුතු දෙයක්‌. එවැනි දෙයක්‌ නොකර කවදාවත් රටට සෞභාග්‍යයක්‌ උදා කරන්නත් බෑ. ඒ වගේම දේශපාලන බලය ලබාගැනීමේ හැකියාවකුත් අපට ලැබෙන්නේ නෑ. එමනිසා පවතින තත්ත්වය තුළ එජාපයට ඉදිරිගමනක්‌ තියෙන්නෙ ග්‍රාමීය ජනතාව පෙරටුකරගත් තත්ත්වයක්‌ යටතේ. මේ ගැන මට කියන්න තියෙන්නෙ හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ එජාපයේ ක්‍රියාකාරකම් මුළු රටේම එක්‌සත් ජාතික පක්‍ෂයට ආදර්ශයක්‌ වී ඇති බවයි. බලයක්‌ ඇතත් නැතත් ජනතාවට ජන ජීවිතය සුත මුදිත කරගැනීමට අවස්‌ථාව ලබාදීමට අපි කටයුතු කරල තියෙනවා.

ප්‍රශ්නය( ඔබ කියන විදිහට ග්‍රාමීය පැත්තට බර චින්තනයක්‌ නැති නිසා තමයි එජාපය මේ ආකාරයට පරදින්නෙ. එතකොට ඔබ කියන්නෙ එජාපයේ වර්තමාන චින්තනය නගරයට බර චින්තනයක්‌ කියලද?

උත්තරය( නෑ එහෙම නෙමෙයි. නගරයේ වුවත් ග්‍රාමීය ප්‍රදේශ වලත්, අපි කටයුතු කරන්න ඕන මේ රටේ නිහඬ බහුතරය නඟා සිටුවන්න. නිහඬ බහුතරයට ශක්‌තියක්‌ ලබාදෙන්න. මේ කාරණය අරමුණ කරගෙන අපි හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ දසවැදෑරුම් සැලැස්‌මක්‌ ක්‍රියාත්මක කරල තියෙනව. මේවා එකිනෙක ගතහොත්, කාන්තාවනට පොලී රහිත ණය ලබාදීම, ගෘහ මූලිකයන්ට ව්‍යාපාර හා ස්‌වයං රැකියා සඳහා ණය ලබාදීම, සෑම පවුලකම එක ළමයෙක්‌ සඳහා පාසැල් උපකරණ හා ළමා ගිණුම් ලබාදීම, නිවසේ අඩුපාඩුකම් තිබේනම් ඒවා හදා ගැනීමට පොලී රහිත ණය ලබාදීම. මරණයකදී මූල්‍යාධාර ලබාදීම, ගමට පොදු උපකරන කට්‌ටල ලබාදීම, සෑම කාන්තාවකටම තමන්ගේ යෑයි කියා මහන මැෂින් අයිතිකරගැනීමට අවස්‌ථාව සළසාදීම, විරැකියාවෙන් පෙළෙන තරුණයන්ට බරවාහන බලපත්‍ර ලබාදීම, උපාධි හදාරන සිසුන්ට උපාධි ශිෂ්‍යත්ව ලබාදීම, කලාපීය මට්‌ටමින් ඉංග්‍රීසි හා පරිගණක වැඩසටහන් පවත්වාගෙන යැම හැටියට සඳහන් කරන්න පුළුවන්.

ප්‍රශ්නය( එජාපයට සුළු ජාතික ඡන්ද තිබුනත්, දිනන්න බැරි සිංහල බෞද්ධ මහජාතියේ ඡන්ද නැති නිසා බව පැහැදිලියි. ඔබ සිතන විදිහට එජාපයට දේශෙද්‍රdaහී ලේබලය වැදී තිබෙන්නේ ඇයි?

උත්තරය( යුද්ධය පැවති සමයේ විවිධ අවස්‌ථාවල යුද්ධයට පක්‍ෂ භේදයකින් තොරව හයිය ලබාදෙමින් මම ප්‍රකාශ නිකුත්කර තිබෙනවා. මා එසේ කළේ එජාපයේ මන්ත්‍රීවරයෙක්‌ හැටියට. එක්‌සත් ජාතීන්ගේ සංවිධානය පැත්තෙන්ද යම් බලපෑම් ලංකාවට ඉදිරිපත් වන විට, මම එයට තරයේ විරුද්ධවෙලා තියෙනව. එ.ජා. සංවිධානයේ බෑන් කී මූන්ට ලංකාව සම්බන්ධයෙන් ඔහුට උපදෙස්‌ දීමට විශේෂඥ කණ්‌ඩායමක්‌ පත්කිරීමට කිසිදා අයිතියක්‌ නැති බවත් මම සඳහන් කර තියෙනව. මගේ ඒ ප්‍රකාශන ජනමාධ්‍යවලත් පළවුණා. එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 2.4 වගන්තිය අනුව රටවල අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීමට එම සංවිධානයට අයිතියක්‌ නෑ. විදේශීය අතපෙවීම් වලට ශ්‍රී ලංකාව විරුද්ධයි. අපි ඒවාට එරෙහිව වීදි බැසීමට වුවත් සූදානම්.

සාකච්ඡා කළේ සී. ඒ. චන්ද්‍රප්‍රේම

 

 

 
Powered By -