මම උපරිමයෙන් වැඩකරන්න සූදානම්
එ.ජ.නි.ස. කොළඹ දිස්‌ත්‍රික්‌ අපේක්‍ෂක තිලංග සුමතිපාල

මැතිවරණයට කොළඹ දිස්‌ත්‍රික්‌කය සඳහා තරග වැද සිටින අපේක්‍ෂකයන් අතර නවකයන් රැසකි. ඒ අතර එ.ජ.නි.ස. නියෝජනය කරමින් තරග වැද සිටින තිලංග සුමතිපාලට හිමිවන්නේ සුවිශේෂී ස්‌ථානයකි. මේ වනවිටත් පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස කැපීපෙනෙන වැඩ කොටසක්‌ ඉටුකර ඇති තිලංග "වැඩක්‌ කරන තිලංග" යන තේමා පාඨයෙන් මැතිවරණ සටනට පිවිසෙන්නේ කොළඹ දිස්‌ත්‍රික්‌කය සඳහා වූ අනාගත සැලසුම් රැසක්‌ද ජනතාවට ඉදිරිපත් කරමිනි. මේ ඔහු හා කළ සාකච්ඡාවකි.

ප්‍රශ්නය - "ශ්‍රී ලංකාව ආසියාවේ ඓශ්චර්ය" කරන විට කොළඹ එහි කේJද්‍රස්‌ථානය කරමු" තේමා පාඨය කරගෙනයි ඔබ මැතිවරණයට ඉදිරිපත්වෙන්නේ. මෙය යථාර්ථයක්‌ බවට පත්කරන්න හැකිවේවිද?

පිළිතුර - අනිවාර්යයෙන්ම, ඒක කරන්න පුළුවන්. අපි හැමෝටම භූමිකාවක්‌ තියෙනවා. එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය ප්‍රතිපත්ති ප්‍රකාශනයක්‌ ඉදිරිපත් කර තිබෙනවා. එහි සඳහන් සියලු දෑ ක්‍රියාත්මක වනවා නම්, මා නියෝජනය කරන කොළඹ දිසාවේ ජනතාව කොළඹ දිසාව අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කළ යුතුයි. එවැනි අභියෝගයක්‌ ජයගැනීමට මට පුළුවන්කම තිබෙනවා. එසේම එවැනි අභියෝගයක්‌ බාරගැනීම අපේ වගකීමක්‌. ඒ නිසාම ජනාධිපතිතුමා මේ රට ආසියාවේ ඓශ්චර්ය බවට පත්කරනවිට ඒ ක්‍රියාදාමය කරුණු පහකට වෙන්කර තිබෙනවා. හොඳම වරාය, හොඳම ගුවන් තොටුපළ, හොඳම වෙළෙඳ කේJද්‍රය සහ තොරතුරු තාක්‍ෂණයෙන් පිරිපුන් ජනසමාජයක්‌ ලෙස එය දක්‌වන්න පුළුවන්. එතකොට කොළඹ දිසාව උපරිම ශක්‌තියකින් යුතුව හොඳම වාණිජ්‍ය කේJද්‍රය බවට පත්කිරීම අපේ වගකීමයි. ඒ නිසා අපි නිර්මාණශීලීව ඊට මුහුණදිය යුතුයි.

ප්‍රශ්නය - ඔබේ නිත්‍ය තේමා පාඨය වන්නේ "වැඩක්‌ කරන තිලංග" යන්නයි. ඒ නිසා කොළඹ ඓශ්චර්යයේ කේJද්‍රස්‌ථානය කිරීම පළාත් සභාව තුළ හිඳිමින්ම ක්‍රියාත්මක කිරීමට හැකියාව තිබුණා යෑයි කිව්වොත්.

පිළිතුර - පසුගිය මාස නවයට අපි විශාල වැඩකොටසක්‌ කර තිබෙනවා. ජනතාව මා වගකීමක්‌ බාරගත හැකි නොයෙක්‌ අභියෝග ජයගත් කෙනෙක්‌ හැටියට හඳුන්වනවා. පළාත් සභාව ප්‍රතිව්‍යqහගත කළ යුතුයි කියන ස්‌ථාවරයේ සිට පළාත් සභාවේ සියලු පක්‍ෂ එක්‌වී කමිටුවක්‌ පත්කළා. එහි සභාපති හැටියට යෝජනා වුණේ මගේ නම. ඒ අනුව මම මුළු පළාත් සභාවම ප්‍රතිව්‍යqහගත කිරීමේ, පරිගණක ගත කිරීමේ වාර්තාවක්‌ සැකසුවා. ඒ අනුව අපි හොයාගත්තා බස්‌නාහිර පළාතේ පරිගණක භාවිතයෙන් ක්‍රියාත්මක වන්නේ සියයට තුනයි. කෝටි ගණනක ආදායමක්‌ උපයද්දිත් ඒ සියලු දේ කරන්නේ අතින්. අපේ කාර්යක්‍ෂමතාව මේනිසා බිඳවැටී තිබෙනවා. මේ නිසා ප්‍රමාදවීම්, විනිවිදභාවය අඩුවීම් බහුලව සිදුවෙනවා. මම එය පළාත් සභාවේ සභාගත කොට අවසන්. මේ නිසා අපිට හැකියාව ලැබෙනවා මුළු බස්‌නාහිර පළාත් සභාවම පරිගණක ගත කොට ප්‍රතිව්‍යqහගත කිරීම කරන්න. ඊට වැයවන මුදල වසර තුනක්‌ තුළ අපට උපයාගත හැකිවෙනවා. එසේම මාස හයක්‌ තුළ මම කොළඹ දිස්‌ත්‍රික්‌කයේ ජනතාව වෙනුවෙන් ලක්‍ෂ 500 ක පමණ වැඩකර තිබෙනවා. විදුලි බලය නැති තැන්වලට විදුලි බලය ලබාදීම, ආබාධිතයන්ට කිහිලිකරු, රෝදපුටු ලබාදීම්, කොළඹ දිසාවේ පාසල් දරුවන් ලක්‍ෂයකට නොමිලේ අභ්‍යාස පොත්, ක්‍රීඩා සමාජ 100 කට ක්‍රීඩා භාණ්‌ඩ, කොළඹ ප්‍රදේශයේ අඩු පහසුකම් සහිත නිවාසවල පදිංචිකරුවන්ට යටිතල පහසුකම් හා සෞඛ්‍ය පහසුකම් ලබාදීම්, පෙර පාසල් ගුරුවරුන්ට ඉංග්‍රීසි පාඨමාලා, තරුණයන් 315 කට නොමිලේ රියෑදුරු බලපත්‍ර, කොළඹ දිසාවේ ත්‍රීරෝද රථ රියෑදුරන් 4000 කට එක්‌ අයකුට රුපියල් 4500 ක්‌ බැගින් වූ සහන ණයක්‌, තරුණයන් 400 කට විදෙස්‌ රැකියා මෙවැනි වැඩකටයුතු රාශියක්‌ පළාත් සභාව තුළ හිඳිමින්ම දැනටමත් ඉටුකර තිබෙනවා.

නමුත් පළාත් සභා මට්‌ටමින් කළ හැකිදේ සීමිතයි. ජාතික මට්‌ටමේ දේශපාලන ක්‍රියාදාමය ඊටත් වඩා පුළුල් පරාසයක විහිද පවතින්නක්‌. ඉහත කී සියලු කාරණා ජාතික මට්‌ටමේ දේශපාලන ක්‍රියාවලියේදී පුළුල් ලෙස විහිදුවාලීමේ හැකියාව තිබෙනවා. "මම වැඩක්‌ කරන තිලංගම" බව ක්‍රියාවෙන් ඔප්පු කර ඇති නිසාම ජනාධිපතිතුමා එම ජාතික තලයේ දේශපාලනය සඳහා ආරාධනා කළා. මේ එහි පළමු පියවරයි.

ප්‍රශ්නය - නමුත් අපට හුරුපුරුදු දේශපාලන යථාර්ථය නම් "මුලදී පෙන්වන" තරමේ වැඩ ජාතික දේශපාලන තලයේදී ඉටුකරන දේශපාලනඥයන් ඇත්තේම නැති බවයි.

පිළිතුර - ඒක දේශපාලන යථාර්ථයක්‌ හැටියට ඒත්තු ගැන්වීම වැරැදියි. හැම මොහොතකම එහෙම සිද්ධ වෙන්නේ නැහැ. පසුගිය කාලයේ මේ රට මුහුණදුන් සිදුවීම් අතරතුර අවුරුදු 30 ක කාලයත් යුද්ධයෙන් පසු එළැඹුණු යුගයත් අතර පැහැදිලිවම ඉතා විශාල වෙනසක්‌ තිබෙනවා. ජනතාව තුළ තිබූ අවිනිශ්චිතභාවය තුරන්ව ඇති නිසා ඔවුන්ට අපේaක්‍ෂාවෙන් හා බලාපොරොත්තු රාශියක්‌ ගොඩ නැගෙනවා. ඒ නිසා රජයට සිද්ධවෙනවා ඒ අපේක්‍ෂාවන් ඉටුවන ආකාරයේ පරිපාලනයක්‌ සඳහා රට ගෙනයැමට. මේ වගේ තත්ත්වයක්‌ තුළ මේ රටේ ඉන්න බුද්ධිමත් ජනතාව සුදුස්‌සා තෝරා බේරාගෙන කටයුතු කරාවි. ඒ ගැන සැකයක්‌ නෑ. අනෙක්‌ කාරණය මම මුලින් කිව්ව වගේ මම කරන දේ කියපු මිනිහෙක්‌. ඒ වගේම කියපු දේ කරලත් පෙන්වපු අයෙක්‌. ඒ බලය හෝ වගකීම කියන එක උපරිමයෙන් නොතිබුණු යුගයක. ඒ අවස්‌ථාව උපරිමයෙන් ලැබුණොත් උපරිමයෙන් වැඩකරන්න මම සූදානම්.

ප්‍රශ්නය - ව්‍යාපාරික ප්‍රජාව එජාපය දේශපාලනයට වඩාත් නැඹුරු බවක්‌ දක්‌වන බවක්‌ තමයි අප පසුගිය දේශපාලන වකවානුවේදී දුටුවේ. ඔබ ඒ සංකල්පයෙන් මිදී එජනිස සමග එකතුවන්න තීරණය කළේ ඇයි?

පිළිතුර - මූලිකවම කියන්න ඕන ඇත්තටම ව්‍යාපාරික ප්‍රජාව එජාප දේශපාලනයට අනුගතයි කියන කතාව හිතලුවක්‌ විතරයි. විවෘත ආර්ථිකය මේ රටට හඳුන්වා දුන්නේ එජාපය. ඒ යුගයේ ව්‍යාපාරිකයන්ට නිතැතින්ම එජාප දේශපාලනයත් සමග අනුගතවීමට සිදුවුණා. නමුත් අද තත්ත්වය වෙනස්‌. නමුත් අද වනවිට ව්‍යාපාරික ප්‍රජාවත්, මේ රටේ බුද්ධිමත් ජනතාවත් දේශීය ආර්ථිකය ගොඩනංවන දේශීයත්වය සුරකින ක්‍රමවේදයට අනුගතයි. මම සංකල්පමය වශයෙන් කවදත් ස්‌වාධීන තැනක හිටියා. මේ රට ගොඩනැංවීමට නම් කොළඹ නගරය ආර්ථික කේJද්‍රස්‌ථානයක්‌ කරන්නටත් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ආර්ථික ප්‍රතිපත්තිවලට හැකියාව තිබෙනවා.

ප්‍රශ්නය - ඔබ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට එකතුවීමට බලපෑ මූලික කාරණය එය පමණක්‌ද? ඔබ කලක්‌ එජාපය සමගත් එක්‌ව කටයුතු කළා. පක්‍ෂ දෙක අතර ඔබ දකින වෙනස මොකක්‌ද?

පිළිතුර - නැහැ. ඒකට හේතුව ඒක නොවෙයි. මේ රට ගොඩනැංවීමේ එකම සහ ශක්‌තිමත් න්‍යාය පත්‍රයක්‌ මහින්ද චින්තනය සතුව තිබෙනවා. ජනාධිපතිවරයා ඊට ශක්‌තිමත් නායකත්වයක්‌ සපයනවා. අනෙක්‌ කාරණය ජනාධිපතිවරයා හැම විටම ප්‍රමුඛත්වය දෙන්නේ ජනතාවගේ පැත්තෙන් මතුවන යෝජනාවලටයි. එතුමා නම්‍යශීලී අන්‍යයන්ට කන්දෙන, පුළුල් සංවාද ඉවසන්නට හැකි, ඕනෑම පක්‍ෂයක්‌, පුද්ගලයෙක්‌ සමග වැඩ කළ හැකි අයෙක්‌. අප මෙරටට අවශ්‍ය පුද්ගලයන් හැටියට තෝරාගන්නට එතුමාට හැකිවන්නේ ඒ නිසයි.

ඒත් එජාප නායකත්වය අධිපතිවාදය කරපින්නාගත් එකක්‌. එහි ප්‍රතිවිරුද්ධ මතවලට ඉඩක්‌ නැහැ. "මම" "මගේ අය" "මගේ පැවැත්ම" වැනි තර්කවලටයි එහි ඉඩකඩ තිබෙන්නේ. සමස්‌ත එජාපයම නායකත්වය අනුවම යමින් ජනතාවගේ යෝජනා ප්‍රතික්‍ෂේප කරනවා.

ප්‍රශ්නය - පළාත් මට්‌ටමේ සිට ජාතික දේශපාලනයට ප්‍රවිශ්ඨවන ඔබ වැඩි සැලකිල්ලක්‌ දක්‌වන්නේ කිනම් ඉසවු කෙරෙහිද?

පිළිතුර - මේ රට බොහෝ කාලයක්‌ ඉතා දුක්‌බර අභාග්‍යසම්පන්න ඉරණමකට මුහුණදෙමින් සිට, ජනාධිපතිවරයාගේ සෘජු මෙහෙයවීම මත ඉන් ගැලවීම ලැබුවා.

දැන් උදාවී තිබෙන්නේ එය හොඳ අතට පෙරළීමයි. ඉන් අදහස්‌ කරන්නේ අවුරුදු 30 ක යුද්ධය පැවැතුණු යුගයට සාපේක්‍ෂව ඉතා ඉක්‌මනින් මේ රට සංවර්ධනය විය යුතුයි කියන එකයි. නව කම්හල් ආරම්භකර නිෂ්පාදනය වැඩිකිරීමෙන් රැකියා අවස්‌ථා බිහිවෙනවා. නමුත් ඒ සඳහා මූලිකම කාරණා පෙළ ඒ සඳහා පෙළගැස්‌වීමට අධ්‍යාපන හා වෘත්තීය නිපුණතා මට්‌ටමේ වැඩසටහන් ක්‍රියාත්මක විය යුතුයි. මහින්ද චින්තනය මේ රට ආසියාවේ ඓශ්චර්ය කරන විට මම කොළඹ ඒ ඓශ්චර්ය කේJද්‍රස්‌ථානය බවට පත්කරනවා කියන්නේ ඒ නිසයි.

ප්‍රශ්නය - පසුගිය ජනාධිපතිවරණයේදී බොරැල්ල ආසනය පරාජය වුණා. ඔබ ඉහතකී කාරණා යථාර්ථයක්‌ කරගන්නට ජයග්‍රහණය කළ හැකි බවට විශ්වාසයක්‌ තිබෙනවාද?

පිළිතුර - නියත වශයෙන්ම ඔව්. මම වැඩිම මනාප ප්‍රමාණයකින් සන්ධාන අපේක්‍ෂකයකු ලෙස කොළඹ ජයගන්නවා. ඒ ගැන සැකයක්‌ නැහැ. මහ මැතිවරණයකදී ජනාධිපතිවරණයකට වඩා වෙනස්‌ ආකාරයකටයි ඡන්ද භාවිත වන්නේ.

ප්‍රශ්නය - ජනතාව ඔබ විශ්වාස කළ යුත්තේ ඇයි?

පිළිතුර - මෙතෙක්‌ මා කළ කී දෑම ඊට ප්‍රමාණවත්. දඹුල්ලේ ක්‍රීඩාංගණයක්‌ හදන්න බැහැ කියන කොටසක්‌ හිටපු යුගයක මම ජාත්‍යන්තර වශයෙන් ඒ අභියෝගය ජය අරගෙන පෙන්නුවා. මොබිටෙල් ආයතනය "ඇනලොග්" ක්‍රමයේ සිට ජී. එස්‌. එම්. ක්‍රමයට පරිවර්තනය කර ලාභ ලබන ආයතනයක්‌ බවට පත්කර ටෙලිකොම් සමාගමට අනුගත කළා. අද "උපහාර" ලබන බොහෝ පිරිසකට ඒ අවස්‌ථාව ලැබෙන්නේ මම බය නැතුව ඒ තීරණය ගත්ත නිසයි. ඒ හැර තවත් බොහෝ දේ මට විස්‌තර කළ හැකියි. ජනතාව දැනටමත් මා ගැන විශ්වාසය පළකර හමාරයි. දැන් තිබෙන්නේ ඉදිරිය ජයගැනීමේ අවස්‌ථාවයි. තොටළඟ වෙළෙඳ නගරය නැවත ගොඩනැංවීම, කුණු ප්‍රශ්නය සඳහා ස්‌ථිරසාර විසඳුමක්‌ ගෙන ඒම, කොළඹ නගරයේ ජනතාවගේ යටිතල පහසුකම්, නිවාස පහසුකම් ගොඩනැංවීම මෙන්ම දියුණු ජනතාවක්‌ සිනහාවෙන් පිරි ජනතාවක්‌ බිහිකිරීම මගේ ඉලක්‌කයයි. අප්‍රේල් 08 වැනිදාට බස්‌නාහිර පළාතේ ජනතාව ඒ සියලු දෑ ඉටුකරගන්නට මා වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට පත්කරන බව නියතයි.

සාකච්ඡා කළේ උදේශ සංජීව ගමගේ

 

 

 
Powered By -