අද රටේ නීතියක්‌ යුක්‌තියක්‌ සාධාරණයක්‌ නෑ
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ කළුතර දිස්‌ත්‍රික්‌ නායක අර්ජුන රණතුංග

ලංකාවේ කීර්තිමත් ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ නායකයෙකු හා හිටපු මන්ත්‍රීවරයෙකු ලෙස රටේ ජනතාව අතර ගෞරව බහුමානයට පත් අර්ජුන රණතුංග මෙවර මැතිවරණයට ඉදිරිපත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ කළුතර දිස්‌ත්‍රික්‌ නායකයා ලෙසය. ඔහු දේශපාලනයේදී මෙතෙක්‌ ගනු ලැබූ තීන්දු හා තීරණ පිළිබඳ රටේ පවතින කතිකාව උණුසුම් ය. අපි ඒ පිළිබඳ ඔහු හා කතා බහ කළෙමු. එහිදී අප ඇසූ ප්‍රශ්න හා ඔහු දුන් පිළිතුරු මෙහි ඇතුළත්ය.

ප්‍රශ්නය(- ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය ජනතාවට අලුත්. කුසලානය ලකුණත් ජනතාවට අලුත්. මේ තත්ත්වය යටතේ ජනතාවගේ පිළිගැනීම කොහොමද?

පිළිතුර(- පක්‍ෂයත් ලකුණත් අලුත් වුණාට අපි ජනතාවට ඉදිරිපත් කරල තිබෙන ප්‍රතිපත්ති රටට අතිශයින් වැදගත්. රටේ තිබෙන්නෙ ප්‍රධාන පක්‍ෂ දෙකයි. ඒ පක්‍ෂ දෙකට විකල්පයක්‌ ජනතාව අපේක්‍ෂාවෙන් හිටියේ. ඒ විකල්පය ජනතාවට අද ලැබිලා. නිදහසින් පසු වසර හැට දෙකක්‌ ගතවෙලා ප්‍රධාන පක්‍ෂ දෙක මාරුවෙන් මාරුවට රට පාලනය කළා. නමුත් රටට ජනතාවට මොනවද ලැබිල තිබෙන්නෙ. රට අගාධයටම ගිහිල්ලා. මේ තත්ත්වය යටතේ නව දේශපාලන සංස්‌කෘතියක්‌ ජනතාව බලාපොරොත්තු වෙනවා. ඒ නව දේශපාලන සංස්‌කෘතියට ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය ඉතාම හොඳ ප්‍රවිශ්ඨයක්‌.

ප්‍රශ්නය(- ඔබ මීට පෙර පාර්ලිමේන්තුවට පත්වූයේ කොළඹින් තරග කරමින්. මෙවර ඇයි කළුතර දිස්‌ත්‍රික්‌කය තෝරා ගත්තේ...?

පිළිතුර(- මගේ තාත්තා ගමේ දේශපාලනය කළ පුද්ගලයෙක්‌. එතුමා ගමට විශාල සේවයක්‌ කළා. මම කොළඹට පැමිණියේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මියගෙ ආරාධනය මතයි. එතුමිය කිව්වේ කොළඹට හොඳ වැඩ කරන්න පුළුවන් පිරිසක්‌ අවශ්‍යයි කියලා. ඒ ඇරෙන්න කොළඹට එන්න වෙනත් හේතුවක්‌ තිබුණේ නැහැ. මං කැමතියි ගමේ ජනතාව සමග වැඩ කරන්න. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා කොළඹට නායකත්වය දෙනවා. කළුතර හිඩැස පුරවන්නයි කළුතරට ආවේ. කළුතර දිස්‌ත්‍රික්‌කයේ ජනතාව අද දැඩි කළ කිරීමකින් ඉන්නේ. ඇතැම් ඇමැතිවරු තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයට තරුණයන් ගන්නෙ මත්පැන් දීලා. ඔවුන් කරන්නෙ මොනවද කියන්නෙ මොනවද කියල කවුරුත් දන්නෙ නැහැ. එහෙම සංස්‌කෘතියක්‌ කළුතර තිබෙන්නේ. උගත් බුද්ධිමත් ජනතාව මේ ගැන අවධානයෙන් ඉන්නවා. උගත් බුද්ධිමත් ජනතාවට අද ප්‍රතිපත්තිගරුක පක්‍ෂයක්‌ තිබෙනවා.

ප්‍රශ්නය(- කළුතර දිස්‌ත්‍රික්‌කයේ මැතිවරණ ව්‍යාපාරය සාමකාමීද...?

පිළිතුර(- ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය ලෙස අපි කිසිදු නීති විරෝධී කටයුත්තක්‌ කරන්නෙ නැහැ. මැතිවරණ නීතිය අනුවයි අපි වැඩ කරන්නේ. වෙනත් පක්‍ෂ සමග අපි ගැටුම් ඇති කර ගන්නෙ නැහැ. මේ ප්‍රදේශයේ ඇමැතිවරු වගේ කටවුට්‌ පෝස්‌ටර් සටනට අපිට යන්න තියා හිතන්නවත් බැහැ. මේ අයට මැතිවරණ නීතියක්‌ නැහැ. ඇතැම් ඇමැතිවරුන්ගේ කටවුට්‌ 20-25 දිස්‌ත්‍රික්‌කය පුරා තිබෙනවා. මැතිවරණ නීතිය මුළුමනින්ම උල්ලංඝනය කරමින් ඇමැතිවරුන් කටයුතු කළත් කිසිදු නීතිමය පියවරක්‌ නැහැ.

ප්‍රශ්නය(- ප්‍රජාතන්ත්‍රවාදී එක්‌සත් ජාතික පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරයට ප්‍රධාන පක්‍ෂවලින් බලපෑමක්‌ නැද්ද...?

පිළිතුර(- අපිට කිසිම බලපෑමක්‌ නැහැ. ප්‍රධාන පක්‍ෂ අපේක්‍ෂකයන්ගේ පෝස්‌ටර් යුද්ධයට අපි නැහැ. සමහර දේශපාලනඥයන් රුපියල් ලක්‍ෂ සිය ගණන් ප්‍රචාරණයට වියදම් කරන්නේ. අපිට ඒ තරම් වැය කරන්න බැහැ. අපි තැනින් තැන පෝස්‌ටර් දෙක තුන අලවමින් යන්නෙ. අන්තිමට ඒවත් වහලා වෙනත් අය පෝස්‌ටර් අලවනවා.

ප්‍රශ්නය(- ඔබ නියෝජනය කරන පක්‍ෂයේ නායකත්වය අත්අඩංගුවේ පසුවන්නේ. මැතිවරණ ව්‍යාපාරයට ඉන් සිදුවන බලපෑම...?

පිළිතුර(- අද රටේ නීතියක්‌ නැහැ. සාධාරණයක්‌ නැහැ. යුක්‌තියක්‌ නැහැ. ජනාධිපතිට, ආණ්‌ඩුවට, ආණ්‌ඩු පක්‍ෂ පුද්ගලයන්ට ක්‍රියාත්මක වන නීතිය නෙවෙයි සාමාන්‍ය ජනතාවට ක්‍රියාත්මක වෙන්නේ. මේ රට නිදහස්‌ නිවහල් දේශයක්‌ බවට පත් කරන්න ජීවිතය පරදුවට තබා සටන් කළ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා හිර කරගෙන ඉන්නවා. ඉතාම අමානුෂිකයි. ශ්‍රී දළදා මාළිගාවට පහර දුන් මේ රටේ හාමුදුරුවරුන් ඝාතනය කළ ඝාතකයන්ට ආණ්‌ඩුව සුර සැප දෙනවා. ඉතාම නිර්ලඡ්ජිතයි. ජෙනරාල් ෆොන්සේකා මහතාට ආණ්‌ඩුව එල්ල කළ චෝදනා ඔප්පු කර ගන්න බැරිව ආණ්‌ඩුව හිරවෙලා. සරත් ෆොන්සේකා මහතාට තරම් ආණ්‌ඩුව කිසිම පුද්ගලයකුට බය නැහැ. ඒ තරමටම ඔහුට ආණ්‌ඩුව බයයි. හිරගෙදර හිටියත් අපිට අවශ්‍ය සියලු උපදෙස්‌ දෙන්නෙ ඔහුයි. අපි කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව උපදෙස්‌ ලබා ගන්නෙ සරත් ෆොන්සේකා මහතාගෙන් ඔහු ඉතාම හොඳ නායකයෙක්‌. යුද්ධයට නායකත්වය දුන්නා වගේම මේ දේශපාලන සටනටත් එතුමා හොඳ නායකත්වයක්‌ දෙනවා.

පුද්ගලයාගේ තරා තිරම හෝ මතවාදයන් නිසා නීතිය වෙනස්‌ නොවිය යුතුයි. ඒ නිසා මේ ක්‍රමය වෙනස්‌ කළ යුතුයි. ජනතාව පෙළ ගැසෙමින් සිටින්නේ ඒ සඳහායි. ඒ වෙනස අපි ඇති කළ යුතුයි.

ප්‍රශ්නය(- ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය මේ මැතිවරණයේදී ජනතාවට දෙන පණිවුඩය ගැන කතා කළොත්...?

පිළිතුර(- රට වෙනස්‌ කළ යුතු කරුණු දහයක්‌ ඇතුළත් ප්‍රතිපත්ති ප්‍රකාශයක්‌ අපි ජනතාවට ඉදිරිපත් කර තිබෙනවා. අධ්‍යාපනය, සෞඛ්‍ය, ආර්ථිකය, ක්‍රීඩාව යන සියලු ක්‍ෂේත්‍රයන් අද කඩා වැටිලා. අධ්‍යාපන පද්ධතිය සෞඛ්‍ය ක්‍ෂේත්‍රය අද හොඳටම පිරිහිලා. මේ ආණ්‌ඩුවේ ක්‍රීඩා ඇමැතිවරයා ක්‍රීඩාව විනාශ කළා. මේ සියලු ක්‍ෂේත්‍රයන් විනාශයට පත් කළ අයමයි ආයෙමත් ඡන්දය ඉල්ලන්නෙ. ජනතාව මේ ගැන හොඳ අවබෝධයෙන් සිටිය යුතුයි. රට විනාශ කළ පුද්ගලයන්ට යළි මනාප දීලා රට තවත් විනාශ කර ගන්නවාද නැත්නම් අවංක වැඩ කරන පක්‍ෂයකට ඡන්දය දීලා රට ගොඩනඟනවාද කියලා සිතා බැලීම අවශ්‍යයි. අපි ජනතාවට දෙන පණිවුඩය එයයි. ජනතාව මුළා කරන අපේක්‍ෂකයන්ට ඡන්දය දෙන්න එපා.

ප්‍රශ්නය(- පක්‍ෂයේ ජයග්‍රහණය ගැන මොකද හිතන්නේ.

පිළිතුර(- අපි ජනතාව සමග ඉන්නවා. ජනතාව අප සමග ඉන්නවා. අපි හොඳ ජයග්‍රහණයක්‌ ලබනවා ස්‌ථිරයි. ඒ ජයග්‍රහණයෙන් පසුව අවංක දේශපාලනඥයන් සමග එකතු වී රටේ ඉදිරි ගමන වෙනුවෙන් කැප වෙනවා.

සාකච්ඡා කළේ නිලන්ත මදුරාවල

 

 

 
Powered By -