මෙතනින් එහාටත් අපට ලොකු සටනක්‌ තියෙනවා
දිනේෂ් ගුණවර්ධන

ප්‍රශ්නය - මෙවර මහ මැතිවරණයේදී මනාප සටන ඉතාමත් උණුසුම් වී තිබෙනවා. විශේෂයෙන්ම එකම පක්‍ෂය නියෝජනය කරන අපේක්‍ෂකයන් අතර එම තත්ත්වය නොඅඩුව දැකිය හැකියි. මෙම තත්ත්වය යටතේ ජයග්‍රහණයට ඇත්තේ දැඩි තරඟකාරි බවක්‌ නොවේද?

පිළිතුර - මෙම ඡන්ද ක්‍රමය පැමිණි දා සිට මනාප සටන දවසින් දවස උග්‍ර වී තිබෙනවා. කෝටි ප්‍රකෝටි ගණනින් මුදල්, නව තාක්‍ෂණය මැතිවරණ කටයුතු සඳහා යොදා ගනිමින් තිබෙනවා. ව්‍යාපාර කරන අයට මේක හොඳ ව්‍යාපාරයක්‌. අලෙවිකරණය, වෙළෙඳ දැන්වීම්, මුද්‍රණය දේශපාලනයට එක්‌වී තිබෙනවා. නමුත් මහජනයා බොහෝම නිශ්ශබ්දව බුද්ධිමත්ව මේ පිළිබඳව කල්පනා කරනවා. දේශපාලනඥයන්ගේ බොහෝ ක්‍රියාකාරකම් මහජනයාට දිරවන්නේ නැති තත්ත්වයට පත්වෙලා තිබෙනවා.

මැතිවරණ කොමසාරිස්‌වරයා දෙන නියෝග අපේක්‍ෂකයන් පිළිනොපැදීම පිළිබඳව ඡන්ද දායකයා කුතුහලයට මෙන්ම පුදුමයට පත්වී තිබෙනවා. නමුත් බුද්ධිමත් ඡන්ද දායකයා තමන්ගේ රටට හිතවත් ජනතාවට හිතවත් පළාතට හිතවත් මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවට තෝරා පත්කර යෑවීමට බලාපොරොත්තු වෙනවා. එසේ නොමැතිව කෙටි කාලීන සතුටක්‌ ලබන්න ඡන්දදායකයා බලාපොරොත්තුවන්නේ නැහැ.

ප්‍රශ්නය - මහමැතිවරණ සටනට එළැඹ ඇති අපේක්‍ෂකයන් තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය නොයෙකුත් තේමා පාඨ ඔස්‌සේ සිදුකරනවා. නමුත් ඔබතුමාගේ මැතිවරණ තේමා පාඨය අන් සෑම අපේක්‍ෂකයකුටම වඩා වෙනස්‌, ඔබගේ තේමා පාඨය වී තිබෙන්නේ දිනේවා ලක්‌මව" යන්නයි. මෙවන් තේමා පාඨයක්‌ ඔබ යොදා ගත්තේ ඇයි?

පිළිතුර - අපගේ මාතෘ භූමිය ආරක්‍ෂා කර ගැනීමට ඒකීය රාජ්‍ය ආරක්‍ෂා කර ගැනීමට මව්බිම බෙදී යැමෙන් වැලැක්‌වීමට එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදය පරාජය කිරීමට ආරම්භයේ සිටම කටයුතු කළ විපක්‍ෂයක්‌ ලෙස මහජන එක්‌සත් පෙරමුණත්, එහි නායකයා හැටියට ඒ සෑම උත්සාහයකම නිරත වුණේ අපි. අපගෙන් පසු බොහෝ දෙනා එම සටනට එකතු වී තිබෙනවා.

ප්‍රශ්නය - මෙවර මහමැතිවරණයෙන් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය තුනෙන් දෙකක බලයක්‌ නියත ලෙසම හිමිකර ගන්නා බව සන්ධාන උදවිය පවසනවා. නමුත් විපක්‍ෂය පවසන්නේ එවැනි බලයක්‌ ලබාගත නොහැකි බවයි. පවතින මැතිවරණ ක්‍රමය තුළ තුනෙන් දෙකක බලයක්‌ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට ලබා ගැනීමට හැකිවෙතැයි ඔබ සිතනවාද?

පිළිතුර - එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට තුනෙන් දෙකක බලයක්‌ හිමිකර ගැනීමට හැකි සෑම සාධකයක්‌ම මතුවී තිබෙනවා. ජනාධිපතිවරණයේදී ජනාධිපතිතුමා හිමිකරගත් ඡන්ද සංඛ්‍යාව වගේම ඡන්ද ප්‍රමාණයක්‌ අප ලබාදීම සඳහා දක්‌වන උනන්දුව මත තුනෙන් දෙක ලබාගත හැකි වෙනවා. ඊට අතිරේකව සෑම දිස්‌ත්‍රික්‌කයකින්ම තවත් මන්ත්‍රීවරයෙකු බිහිකර ගත්තොත් අපිට දිනාගත හැකි මන්ත්‍රිධුර සංඛ්‍යාව 151 ක පසුකර යනවා. ජනතාවට ජයවර්ධන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පිළිබඳ හතිවැටිලා ඉන්නේ. මෙම ව්‍යවස්‌ථාව වෙනස්‌ කළ යුතුය යන හැඟීම ජනතාව තුළ තිබෙනවා. මෙම ව්‍යවස්‌ථාවේ එක වගන්තියක්‌වත් එක වචනයක්‌වත් තුනෙන් දෙකක බලයක්‌ නොමැතිව වෙනස්‌ කළ නොහැකියි.

ප්‍රශ්නය - ඔබ පවසන පරිදි ව්‍යවස්‌ථා සංශෝධනයකින් පසු සිදු කෙරෙන නව මැතිවරණ ක්‍රමයට යැමේදී වත්මන් මැතිවරණ ක්‍රමයේ පැවැති අඩුපාඩු වැනිදේ එහි ඇති නොවීමට දිය හැකි සහතිකය කුමක්‌ද?

පිළිතුර - අපගේ එකඟතාවක්‌ තිබුණා වැඩියෙන් කේවල ආසන වලිනුත් අඩුවෙන් අනුපාත ක්‍රමයටත් පත්වන මැතිවරණ ක්‍රමයක්‌ ඇති කිරීමට. එය සියළුදෙනා එකඟවුණු දෙයක්‌. නමුත් එය ක්‍රියාත්මක කිරීම සඳහා නීතිරීති සකස්‌ කිරීමට එක්‌සත් ජාතික පක්‍ෂය සහයෝගයක්‌ දැක්‌වූයේ නැහැ. විවිධ දේවල් කියමින්, යෝජනා කරමින් ඔවුන් කල්මැරුවා. ඔවුන් අපට සහයෝගය දැක්‌වූවානම් මෙම මනාප ක්‍රමය දැන් නැහැ. මෙම අනුපාත ක්‍රමය නැහැ. තමන්ගේ ආසනයට මන්ත්‍රීකෙනෙකු ඇතිවීමේ හා මන්ත්‍රී තමන්ගේ ආසනයට ඇති බැඳියාව වැඩිවීමේ පිළිවෙතට යන මැතිවරණ ක්‍රමයකට යැමට හැකියාව තිබුණා. ඒ වගේම පළාත් පාලන මැතිවරණ පනත සැකසුවා. පසුව විපක්‍ෂයේ කලින් මෙම පනතට එකඟවුණු මන්ත්‍රීවරු පිරිසක්‌ එය ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක්‌කළා. නමුත් අප පනත හදලා කොට්‌ටාස ක්‍රමයේ ගමේ මෙම්බර්ගේ සිට වඩාත් සංවර්ධන බලතල ඇති පළාත් පාලන ක්‍රමයක්‌ ගැසට්‌ කරලා පනත ඉදිරිපත් කර තිබෙනවා. එය ඉදිරි පාර්ලිමේන්තුවේදී සම්මත කර ගන්නවා. ඒ වාගේම අපගේ ආණ්‌ඩුවෙන් ජාතික හැඳුනුම්පත අනිවාර්ය කළා. ඒමගින් මේ රටේ ඡන්ද ලේඛනය සුද්ධ කරන්න ඡන්ද කොමසාරිස්‌තුමාට හැකියාව ලැබුණා. හොර ඡන්ද මිටි ගණන් දමාපු යුගය අවසන් කරන්න එමගින් අපට හැකිවුණා.

ප්‍රශ්නය - පසුගිය සෑම මැතිවරණයක්‌ සඳහාම රජය ඉදිරිපත්වූයේ යුද ජයග්‍රහණයේ සාධක ඉදිරියේ තබා ගනිමින් බවත් ඒ හැර රජය ජනතාව වෙනුවෙන් කළ අන්යමක්‌ නොමැති බවක්‌ විපක්‍ෂය චෝදනා කරනවා.

පිළිතුර - විපක්‍ෂය චෝදනා පමණක්‌ සිදුකරන විපක්‍ෂයක්‌ බවට පත්වෙලා. තවත් වසර හයක්‌ විපක්‍ෂයේ සිටීමේ සටනට දැන් එළැඹිලා සිටිනවා. ජයග්‍රාහී ලෙස අප එජනිස රජය පිහිටුවීමේ කටයුතු ජනතා සහයෝගය ඇතිව සිදු කරනවා. අපගේ රජය යටතේ ගමට අලුත් ආදායම් ලැබී තිබෙනවා. ගම නැඟුම, මඟ නැඟුම, ප්‍රජා බල අරුණෝදය නිවාස වැනි වැඩසටහන් සාර්ථකව ක්‍රියාත්මක වී තිබෙනවා.

ප්‍රශ්නය - එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බැන්කී මූන් මහතා මෑතකදී ප්‍රකාශ කර සිටියා ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා ඒ මහතාගේ නියෝජිත කණ්‌ඩායමක්‌ පත්කිරීමට කටයුතු කරන බව. ඒ වගේම ඔහු අපේ රටේ තත්ත්වය පිළිබඳ සැක සංකා මතුකරනවා. ඒ මහතාගේ එම ස්‌ථාවරය පිළිබඳ ඔබගේ මතය කුමක්‌ද?

පිළිතුර - ඒ මහතාගේ එම ස්‌ථාවරය පදනම් විරහිත මෙන්ම අප රටට විශාල හානියක්‌ ගෙන දෙන්නක්‌. එක්‌සත් ජාතීන්ගේ ප්‍රතිපත්තියට පටහැනිව අප රට කිසිවිටකවත් කටයුතු කර නැහැ. ඉතා පැහැදිලිව කියන්න ඕන අප රටේ ජාතික ස්‌වාධීනත්වය, ස්‌වෛරීත්වය, භෞමික අඛණ්‌ඩතාවය ආරක්‍ෂා කිරීමට ස්‌වාධීන රාජ්‍යක්‌ ලෙස අප ගත යුතු පියවරයන් ප්‍රජාතන්ත්‍රවාදීව අරන් තිබෙනවා. එක්‌සත් ජාතීන්ගේ මහා මණ්‌ඩලය විසින් අමරිකාවට එල්ලවූ සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු ත්‍රස්‌තවාදය ලෝකයෙන් තුරන් කර යුතුයි යන යෝජනාව සම්මත කළා. අද බැන්කී මූන් මහතාට එය අමතක වෙලා තිබෙනවා. බටහිර රටවල බලපෑම ඔහුට ගැටලුවක්‌ වී තිබෙනවා. බැන්කී මූන් මහත්තයා දන්නවා. එක්‌සත් ජාතීන්ගේ මහා මණ්‌ඩලය සම්මත කළ ත්‍රස්‌තවාදය පරාජය කිරීමේ යෝජනාව ජයග්‍රහණය කළ ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව බව.

ප්‍රශ්නය - ඡන්ද දායකයන්ට ඔබතුමා දෙන පණිවිඩය කුමක්‌ද?

පිළිතුර - රටට හිතවත් ජනතාවට හිතවත්, විශ්වාසය කඩ නොකරන ගෞරවයක්‌ ඇති අය පාර්ලිමේන්තුවට පත්කරන ලෙස ඡන්ද දායකයන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. එයයි ඔබේ ආරක්‍ෂාව එයයි රටේ ජීවය.

සාකච්ඡා කළේ සිරිමන්ත රත්නසේකර
ඡායරූපය - ඇන්ටන් ප්‍රනාන්දු

 

 

 
Powered By -