ජයග්‍රහණය තීන්දු කරන්නේ රටේ ජනතාව
කොළඹ දිස්‌ත්‍රික්‌ අපේක්‌ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති

ප්‍රශ්නය - ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය කොළඹ දිස්‌ත්‍රික්‌කයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු කොයිතරම් දුරට සිදුකර තිබෙනවාද?

පිළිතුර - රට පුරාම වගේම කොළඹ දිස්‌ත්‍රික්‌කයේද සාර්ථක මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක්‌ සිදුවෙනවා. ගෙන් ගෙට යමින් ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහන්, කුඩා රැස්‌වීම් පැවැත්වීමත් ඉතාම සාර්ථකයි.

ප්‍රධාන ප්‍රතිවාදී පක්‌ෂ දැවැන්ත මුදල් කන්දරාවක්‌ ප්‍රචාරක කටයුතුවලට යොදවා ඇති බව අපිට පාරට බැස්‌සහම දකින්න පුළුවන්. අපට මුදල් නැහැ. එසේ වුවත් බිම් මට්‌ටමින් ගෙන්ගෙට යමින් කුඩා ජනහමු, සාකච්ඡා දිස්‌ත්‍රික්‌කය පුරා පවත්වනවා. ඊට ඉහළ ජනතා ප්‍රතිචාරයක්‌ තිබෙනවා.

පසුගිය ජනාධිපතිවරණයේදී තිබුණු සද්දෙට වඩා මෙවර ජනතාව නිහඬයි. නිහඬව සිටිමින් අපට ප්‍රතිචාර දක්‌වන බව පේනවා.

ප්‍රශ්නය - කොළඹ දිස්‌ත්‍රික්‌කයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයට කොයිවගේ ජනතා ප්‍රතිචාරයක්‌ ලැබෙයිද?

පිළිතුර - අපේ සන්ධානයේ නායක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා තරග කරන්නේ කොළඹින්. ඒ වගේම මමත් ලක්‌ෂ්මන් නිපුනආරච්චි, ජයන්ත කැටගොඩ, අජිත් කුරේ, නව සිහළ උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර වැනි ප්‍රබල පුද්ගලයන්ගෙන් යුත් කණ්‌ඩායමක්‌ තරග කරන්නේ. ජාතිකත්ව නියෝජනය සහිත පිරිසක්‌. ඒ වගේම මුළු මැතිවරණයටම තරග කරන එකම මැලේ ජාතිකයාත් අපේ කණ්‌ඩායමේ ඉන්නේ. ඔහු මොහොමඩ් කිචිලාන් මහතායි. ජාතිකත්වය හා සමගිය ඇති ප්‍රබලම හොඳම කණ්‌ඩායම ඉන්නේ අපි සමගයි. ඒ නිසා මේ මැතිවරණය ප්‍රබල සටනක්‌. ඒ වගේම නිසැක ලෙසට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වැඩිම මනාප ලබා ගන්නවා අනෙකුත් අපේක්‌ෂකයන්ට වඩා ඒ සියලු දෙනාම ඔහු වෙනුවෙන් යුක්‌තිය ඉටු කරන්න බැඳී පෙළගැසී සිටින නිසා.

අපට නිදහස දිනා දුන්, අපේ නිදහස වෙනුවෙන් තමන්ගේ නිදහස අහිමි කරගත් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් පක්‌ෂ භේදයකින් තොරව හැම පවුලකින්ම එක ඡන්දයක්‌ හෝ ලැබෙන බවට අපට විශ්වාසයි.

මෙවර කොළඹින් මන්ත්‍රීධුර කිහිපයක්‌ම අපිට ලැබෙන බවට විශ්වාසයි. ජෙනරාල් ෆොන්සේකා මහතා නිදහස්‌ මිනිසෙක්‌ද අපරාධකරුවෙක්‌ද යන තීන්දුව ජනතා අධිකරණයේදී ලබන මාසයේ 08 වැනිදා ලැබෙනවා. එහි ඉහළම තීන්දුව දෙන්නේ කොළඹ දිස්‌ත්‍රික්‌කයේ උගත් බුද්ධිමත් ජනතාවයි.

ප්‍රශ්නය - පසුගිය 2005 වසරේදී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය යටතේ ජවිපෙ තරග කර මන්ත්‍රීධුර හතළිහකට වඩා හිමිකර ගත්තා. එම ප්‍රමාණය මෙවර රැක ගැනීමට හැකි වෙයිද?

පිළිතුර - ජයග්‍රහණය තීන්දු කරන්නේ රටේ ජනතාවයි. ජනතාවට බලපෑම් කරලා තොපේ ඡන්ද මෙච්චර අරගෙන මන්ත්‍රීධුර මෙපමණ ගන්නවා කියලා කියන්න පුළුවන් ඒකාධිපතිවරයෙකුට විතරයි. ජනතාව තීන්දු කළ යුතුයි අපිව පත් කරනවාද නැත්ද කියලා. පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ ජවිපෙ සියලු දෙනා කුසලානය ලකුණ යටතේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් යළිත් පාර්ලිමේන්තුවට යන බව අපට විශ්වාසයි. ඊට හේතුව ජනතාවට අවශ්‍යයි බොරුව නවත්වන්න, දූෂණය, නාස්‌තිය, ජනතාව රැවැටීමට තිත තියන්න. ඒ නිසා අපේ විශිෂ්ඨ ජයග්‍රහණයකින් පසුව ජාතික සංහිඳියාව ඇති නව ආණ්‌ඩුවක්‌ හදන්න ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයට අවශ්‍ය බලය ජනතාව ලබා දෙනවා.

ප්‍රශ්නය - පක්‌ෂ අතර ගැටුම්වලදී වැඩිම හානියක්‌ සිදුවී ඇත්තේ ඔබේ පක්‌ෂයටයි. ඊට හේතුව කුමක්‌ද?

පිළිතුර - ඒ ඔවුන්ට ඇති එකම අභියෝගය අපේ පක්‌ෂය නිසයි. හොරකමට, දූෂණයට, රාජ්‍ය මර්ධනයට ඇති එකම අභියෝගය අපේ පක්‌ෂයයි. ඒ වගේම සල්ලිවලට ගන්න බැරිවූ මන්ත්‍රීවරු අපි නිසයි.

ප්‍රශ්නය - ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්‌වුණා. ඒ අනුව පක්‌ෂයේ අරමුණ කුමක්‌ද?

පිළිතුර - මූලිකව රටට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය ස්‌ථාපිත කිරීම, යහ පාලනය, ආර්ථික සහන සහ සංවර්ධනය, ජාතික සමගිය ගොඩනැගීම, ජාතියේ ආරක්‌ෂාව සහිත එකිනෙකාට ගරු කරන නිවැරදි විදේශ ප්‍රතිපත්තියක්‌ අනුගමනය කිරීම යන මූලික කාරණා ඇතුළත් දැක්‌මක්‌, වැඩ පිළිවෙළක්‌ තමයි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය. ආණ්‌ඩුව ඉදිරි වර්ෂයට අයවැයක්‌ ඉදිරිපත් නොකරද්දී ප්‍රතිපත්ති ප්‍රකාශයක්‌ ඉදිරිපත් නොකර මැතිවරණ කරද්දී ජනතාව අතරට ගෙයින් ගෙට ප්‍රතිපත්ති ප්‍රකාශන ගෙන යන එකම පක්‌ෂය අපේ පක්‌ෂයයි.

ප්‍රශ්නය - ඔබගේ පක්‌ෂය විසින් ඉදිරියේදී පිහිටුවනු ලබන බව කියන ජාතික සංහිඳියාවෙන් යුත් ආණ්‌ඩුව මොකක්‌ද?

පිළිතුර - අපේ මූලික ප්‍රතිපත්ති පිළිගන්න පුළුවන්, ප්‍රජාතන්ත්‍රවාදය අගයකරන, ඒකාධිපතිත්වයට විරුද්ධ බොහෝ දෙනෙක්‌ ඉන්නවා. ඔවුන් පවුල් පාලනයේ යකඩ සපත්තුවට පෑගිලා ඉන්නේ. ඒවගේම ජනාධිපතිවරණයේදී එකට වැඩ කරපු අද විපක්‌ෂයේ සිටින බොහෝ කොටස්‌ද එකතු කරගෙන ඒකාබද්ධ කර ජාතික සංහිඳියාව ගොඩනඟන නව රජයක්‌ පිහිටුවන්න අපට පුළුවන් කියා විශ්වාස කරනවා. ඒක පරිවාසයක්‌ නොවෙයි. පැහැදිලිවම අපිත් සම්බන්ධ වන වගකියන ආණ්‌ඩුවක්‌. මන්ත්‍රීධුර 10 කින් 16 කින් රටේ ආණ්‌ඩු කරන හැටි කියා දීපු අපට මේ මැතිවරණයේදී විශාල බලයක්‌ ලබා ආණ්‌ඩුවක්‌ පිහිටුවන්න අනිවාර්යයෙන්ම පුළුවන්.

අනෙක ජනාධිපතිවරයා තවම ඉන්නේ පරණ ලයිසන් එකෙන්. අලුත් ධුරයේ තවම දිවුරුම් දීලා නැහැ. ඒ දිවුරුම් දීම කරන්න කලින් අපි ඔප්පු කරනවා ඒ ධුරය අයිති ඔහුට නොවෙයි සරත් ෆොන්සේකාට බව. ජනතාවටත් ඒකට හොඳම අවස්‌ථාව තමයි මේ මැතිවරණය.

ප්‍රශ්නය - නමුත් දශක තුනක්‌ පැවැති යුද්ධය අවසන් කළ සන්ධාන ආණ්‌ඩුවට දැවැන්ත සංවර්ධනයක්‌ මගින් රටේ ආශ්චර්යක්‌ සිදුකළ නොහැකිද?

පිළිතුර - බුලත් කොළයට ඡන්දය දෙන අය හිතනවද අප්‍රේල් 08 වැනිදායින් පසු බඩු මිල අඩු වෙනවා කියලා. ගෑස්‌, කිරිපිටි මිල අඩුවෙනවා කියලා. දේශීය කර්මාන්ත ආරක්‌ෂා වෙනවා කියලා. දැනට අපට ආරංචි විදිහට බිත්තර ලක්‌ෂ 39 ක්‌ පිටරටින් ගේන්න තීරණය කරලා. දැන් කියනවා ආසියාවේ ආශ්චර්යය කරනවා කියලා. ඒක ඇත්ත. ආශ්චර්ය කියන්නේ පුදුමය කියන එකයි. ණය බර වැඩිම රට, නාස්‌තිය වැඩිම රට, බඩු මිල අඩු වෙන්නෙම නැති රට, බදු බර වැඩිම රට, කිසිම දෙයක්‌ නොකරන ලෝකෙ ලොකුම ඇමැති මණ්‌ඩලය සිටින රට, දරුවො පස්‌ දෙනෙක්‌ හදාපු අම්මාට කන්න දෙන්න විදිහක්‌ නැතිව එක දරුවෙක්‌ ගඟට විසිකරපු රට. ඉතින් මේක තමයි පුදුම කරවන රට බොරුව රජකරවන රට.

මේ ආණ්‌ඩුවේ බොරුව පරාජය කළ හැක්‌කේ අපටයි. ජයග්‍රහණයට අයිති ලකුණ කුසලානයයි. රටට ජයග්‍රහණ ලබාදුන් රැසක්‌ම ඉන්නේ අපි සමගයි. ඒ නිසා මේ මැතිවරණයේදී සියලු දෙනා පක්‌ෂ පාට භේද වලින් තොරව රටට ජයග්‍රහණය ලබාදීමට කුසලානය දිනවීමට එක්‌වන බව අපට දැඩි විශ්වාසයක්‌ තියෙනවා.

සාකච්ඡා කළේ රනිල් ධර්මසේන
 

 

 
Powered By -