ආණ්‌ඩුවට තුනෙන් දෙක නෙමෙයි, තියෙන ටිකත් නැති වෙනවා!
කොළඹ දිස්‌ත්‍රික්‌ අපේක්‌ෂක ජයන්ත ද සිල්වා- එ. ජා. ප.

ප්‍රශ්නය - ඔබ දිගු කලක්‌ ජනතාව අතර සිටින දේශපාලනඥයකු ලෙස හැඳින්වුවත්, ජාතික මට්‌ටමේ දේශපාලනය නියෝජනය කරන්න අවස්‌ථාවක්‌ ලැබුණේ නැහැ. පුද්ගලිකව ඔබ සම්බන්ධයෙනුත්, එජාපය සම්බන්ධයෙනුත් මෙවර මැතිවරණය පිළිබඳව මොන වගේ අදහසක්‌ද තිබෙන්නේ.

පිළිතුර - ඇත්තෙන්ම කිව්වොත් මම වසර 38 කට කිට්‌ටු කාලයක්‌ ඉතා ජනහිතකාමී දේශපාලනයක නිරතවූ කෙනෙක්‌. විවිධ හැල හැප්පීම් බාධක මැද්දේ වුණත් මම ජනතාව එක්‌ක හිටියා. ඒක හෙටත් එහෙමයි. මොකද ඒ ජනතා ආශිර්වාදය නිසයි. මම තවමත් ජාතික මට්‌ටමේ දේශපාලන කටයුතුවල නිරත නොවුණත් ක්‍රියාකාරී දේශපාලනයක නිරත වී ඉන්නේ. ඒ කොයි මොහොතකවත් ජනතාව මා ප්‍රතික්‌ෂේප කළේ නැහැ. ඒ ඔවුනට මාව විශ්වාස නිසයි. ඒ නිසා මෙවර ප්‍රතිඵලය ගැන මට තියෙන්නේ සුබවාදී අදහසක්‌.

කොහොම නමුත් සමස්‌ත මැතිවරණයම ගත්තොත් කවුරු මොනව කිව්වත් රට "පුදුම කරවන" ප්‍රතිඵලයක්‌ දැකබලා ගැනීමට හැකියාව ලැබේයි කියන එක තමයි මගේ විශ්වාසය. මම එහෙම කියන්නේ හේතු සාධක ඇතුවයි. පසුගිය කාලයේ ඇතිවූ බොහොමයක්‌ සිද්ධීන්, ජනතාව වෙනස්‌ මතයක්‌ දැරුවා නම් එය වෙනස්‌ කරන්න හේතුවුණා. ආසන්නම සිද්ධිය තමයි සිරසට ප්‍රහාරයක්‌ එල්ලවීම. ඒ අනුව මෙවර එජාපයේ ජයග්‍රහණය ස්‌ථිරයි.

ප්‍රශ්නය - එජාපයේ "ජයග්‍රහණය ස්‌ථිරයි" කියන කතාව අපිට අලුත් දෙයක්‌ නොවෙයි. පසුගිය කාලය පුරාම එජාපය එහෙම කිව්වත් අත්වුණේ පරාජය පමණයි.

පිළිතුර - හැම මොහොතකම එකම දේ සිද්ධ වෙන්න බැහැ. ඒ හැරත් ඕනෑම පක්‍ෂයක්‌ තමන් පරාද වෙනවා කියලා කොතනවත් කියන්න කැමැති නැහැනේ. එතකොට අනෙක්‌ අයගේ ධෛර්ය හීන වෙනවා. අනිත් කාරණාව පසුගිය කාලයේ පැවැති හැම මැතිවරණයක්‌ම පරාජය වෙන්න හේතු තිබුණා.

මුලදී සිද්ධ වුණේ මොනතරම් අර්බුද තිබුණත් මිනිස්‌සු යුද්ධය ඉවර වෙනකල් ඉවසාගෙන සිටීමයි. ඒ කාලය පුරාම ආණ්‌ඩුව කළේ යුද්ධය විකුණාගෙන කෑමයි. බොහෝ දෙනෙක්‌ හිතුවේ යුද්දේ කරනවා වාගේම ආණ්‌ඩුව රටේ ජනතාවගේ අනෙක්‌ ප්‍රශ්නවලටත් විසඳුම් දෙයි කියලයි. ඒත් ඒක එහෙම වුණේ නැහැ. ඊළඟට ආණ්‌ඩුව ජනාධිපතිවරණ ජයග්‍රහණය කොල්ල කෑවා. ඉතිං එහෙම බලනකොට ඇත්තටම සිද්ධවෙලා තිබෙන්නේ අපි පරාජය වීම නොවෙයි. විශේෂම දේ තමයි පළාත් සභා ඡන්ද, ප්‍රාදේශීය සභා ඡන්ද මත පදනම් වෙලා මහ මැතිවරණයක ජය තීරණය කරන්න නොහැකිවීම. බොහෝ විට පළාත් සභා, ප්‍රාදේශීය සභා මැතිවරණවලදී ජනතාව ඡන්දය භාවිත කිරීමේදී ප්‍රතිශතය අඩුයි.

ප්‍රශ්නය - ජනපතිවරණ ජය කොල්ලකෑ බව ඔබ සඳහන් කළා. එහෙම නම් අද ඒ අපේක්‌ෂකයා සමඟ එක්‌වීමත් එජාපය ප්‍රතික්‌ෂේප කරන්නේ ඇයි?

පිළිතුර - ඒ කතාව වැරදියි. අපි කාවවත් ප්‍රතික්‌ෂේප කර නැහැ. අපි හැමෝටම අවස්‌ථාවක්‌ ලබා දුන්නා. එජාපය මේ රටේ ස්‌ථාවර ඡන්ද හතළිස්‌ හත් ලක්‍ෂයකට ආසන්නව ඇති රටේ විශාලතම පක්‍ෂයයි. එතකොට අනිකුත් පක්‍ෂවලට අපි යෝජනා කළා එජාපය යටතේ පෙළ ගැසෙන්න කියලා. කොටසක්‌ ඒක ප්‍රතික්‌ෂේප කළා. එපමණයි සිද්ධ වුණේ. නමුත් අපි විශ්වාස කරනවා මේ මොහොතේ අපි වෙන් වෙන් වශයෙන් තරග කරන එක වාසියි කියලා. එහෙම තරග කරලා ජයග්‍රහණයක්‌ අත්පත් කරගෙන සියලු පක්‍ෂ එකට එකතුවෙලා බහුතරයක්‌ පෙන්වලා රජයක්‌ පිහිටුවීමේ හැකියාව තිබෙනවා.

ප්‍රශ්නය - එකට එකතුවී රජයක්‌ පිහිටුවනවා කියන පූර්ව මතයේ ඉන්නේ, පරාජය ගැන අනුමානයක්‌ තිබෙන නිසා නේද?

පිළිතුර - නැහැ ඒක නෙමෙයි. මේ රටේ කවදාවත් කිසිම පක්‍ෂයකට කොහොම ජයග්‍රහණය කළත් ස්‌ථාවර ආණ්‌ඩුවක්‌ පිහිටුවීමේ හැකියාවක්‌ නැහැ. අපේ රටේ ව්‍යවස්‌ථාව නිසයි ඒ අර්බුදය මතුවෙන්නේ. ඒ නිසා ආණ්‌ඩුව වුණත් ස්‌ථාවරව ඉන්න නම් අනිකුත් සුළු පක්‍ෂ සමඟ එකඟතාවකට යන්න වෙනවා.

ප්‍රශ්නය - ඒත් ආණ්‌ඩුව ප්‍රකාශ කරන්නේ මෙවර තුනෙන් දෙකක බලයක්‌ ලබාගෙන ස්‌ථාවර ආණ්‌ඩුවක්‌ පිහිටුවිය හැකි බවයි.

පිළිතුර - ආණ්‌ඩුව එහෙම කිව්වට ඇත්ත තත්ත්වය ඒක නොවෙයි. ආණ්‌ඩුවට මේ පාර තුනෙන් දෙක නෙමෙයි තියෙන ටිකත් නැති වෙනවා. සමහර ඇමැතිවරුන්ට කොළඹ ප්‍රදේශයේ ජනතාව කියන්නේ "ගෙදර යන ගමන්" කියලා. ගෙදර යන්න සූදානම් වුණ ඇමැතිවරු පෝළිමක්‌ ඉන්නවා.

ප්‍රශ්නය - ඒත්, අලුත් පරම්පරාවකට පාර හැදෙනවා.

පිළිතුර - ඔව්. අපේ පක්‍ෂයෙත් අලුත් මුහුණු තියෙන්නේ. මම කියන්නේ ඒ අයගෙනුත් සමහර අයට ගොඩ යන්න බැරි වෙයි.

ප්‍රශ්නය - එජාපයේ "අලුත් මුහුණුවලටත්" ගොඩ යන්න බැරිවෙයිද?

පිළිතුරු - නැහැ. ආණ්‌ඩුවේ අය හැලුනාම අපේ අයට නිකංම ඉඩ එනවනේ. සමහර විට තුනෙන් දෙක අපිට ලබාගන්නත් ඉඩ තියෙනවා.

ප්‍රශ්නය - සෑහෙන විශ්වාසයකින් කතා කළත්, එජාපයේ චන්ද ව්‍යාපාරයම ඇල්මැරිච්ච ගානයි.

පිළිතුර - කවුද එහෙම කියන්නේ. අපි බොහොම ශක්‌තිමත් ඡන්ද ව්‍යාපාරයක්‌ කරගෙන යනවා. හැබැයි මැතිවරණ නීති රීතිවලට එකඟව. ආණ්‌ඩුව නම් ඒවත් කඩ කරලා ප්‍රචණ්‌ඩත්වය මුදාහරිනවා. අපිට විතරක්‌ නොවෙයි රටේ කාටවත් කටක්‌ ඇරලා තමන්ගේ අදහස්‌ ඉදිරිපත් කරන්න පුළුවන්ද? සිද්ධවෙන අකටයුතුකම් ගැන කතාකරන්නේ කවුද? අනිත් හැම දේම අමතක කරන්න අද ජනමාධ්‍ය නිදහස තියෙනවද, එතකොට විපක්‍ෂය කාට කතා කරලද තමන්ගේ මතවාද රටට ගෙනියන්නේ.

ප්‍රශ්නය - එජාපයෙන්ම මෙවර කොළඹ දිස්‌ත්‍රික්‌කයට ප්‍රබලයන් රැසක්‌ ඉදිරිපත්වී සිටිනවා. එසේ තිබියදී, ඔබට ඔබේ ජයග්‍රහණය ගැන එතරම් තක්‌සේරුවක්‌ තියෙන්නේ කුමන හේතු නිසාද?

පිළිතුර - ඇත්තටම මම මුලින් කිව්ව වගේ මම මේ පක්‍ෂය වෙනුවෙන් විශාල කැපකිරීමක්‌ වසර 38 ක්‌ තිස්‌සේ කළා. ඒ නිසාම එජාප නායකතුමා මට සංවිධායක ධුරයක්‌ ලබා දුන්නා. මේ කාලය පුරාම මම රටේ ජනතාවට හැකි පමණින් ඇප උපකාර කළා. බොහෝ විට මම ඒ දේවල් කළේ. මට කිසිදු බලයක්‌ නොමැති අවස්‌ථාවලයි. බොරැල්ල ආසනයේ පමණක්‌ නොවෙයි කොළඹ දිස්‌ත්‍රික්‌කයේ බොහෝ ජනතාව මා කළ සේවය ගැන දන්නවා.

ප්‍රශ්නය - දේශපාලනයේ ස්‌ථාවරවීම සඳහා "ජනතා ලෙන්ගතුකම" පමණක්‌ ප්‍රමාණවත්ද?

පිළිතුර - ඊටත් වඩා අවශ්‍ය වන්නේ මොකක්‌ද? ජනතාව නේද අපිව තෝරාපත් කර ගන්නේ.

ප්‍රශ්නය - මම අදහස්‌ කළේ. මේ මැතිවරණයේදී සියලුම පක්‍ෂවල අපේක්‌ෂකයන් "වියදම්" කරන විදියට, පොඩි "ෂෝ" එකකුත් වුවමනායි නේද කියන එකයි.

පිළිතුර - ෂෝ එක දාන්නේ වැඩ නොකළ, ආවත් වැඩකරන්නේ නැති අය. ඒ අය හිතන්නේ ජනතාව ඒ ෂෝ එක නිසාම රැවටෙනවා කියලා.

සාකච්ඡා කළේ - උදේශ සංජීව ගමගේ

 

 

 
Powered By -