පැවිදි ජීවිතේ දුක්‌ විඳින්නේ නොදන්නාකම හා නොවැටහීම නිසයි

ජීවිතයකට අවශ්‍ය දේ ඇත. අනවශ්‍ය දේ ද ඇත. අත්‍යවශ්‍ය දේ ද ඇත. අප ලද මිල කළ නොහැකි මනුෂ්‍ය ජීවිතයේ අප කාගෙත් කුඩා කාලය ළමා කාලය අදට වඩා බෙහෙවින්ම සුන්දරය. වගකීම් රහිතය. මේ සුන්දර ළමා කාලය පිළිබඳව මතකය ඇති බොහෝ වයෝවෘද්ධ අය අප අතර අද ද සිටී. ළමා කාලය තුළ සිතේ ඇතිවන විවිධ ක්‍රියාකාරකම් අතර මහණ වුණා නම් හොඳයි කියන උතුම් කැමැත්ත වයස අවුරුදු නවයේදී සිතේ ඇතිවූ මහා පඬිරුවනක්‌ සමග උන්වහන්සේගේ පිරිපුන් ජීවිතය පිළිබඳව කතා කිරීමේ භාග්‍ය මා හට කොළඹ කොල්ලුපිටිය වාලුකාරාම විහාරස්‌ථානයේදී උදා වුණා. උන්වහන්සේ බෙල්ලන ශ්‍රී ඥනවිමල මහ නාහිමිය.

අවසරයි මහ නායක හාමුදුරුවනේ උපන්දිනය ළඟයි නේද?

ඔව්, 26 වැනිදාට අවුරුදු 91 ක්‌, 1920 මාර්තු 26 වැනිදා බස්‌නාහිර පළාතේ කළුතර දිස්‌ත්‍රික්‌කයේ පස්‌යොදුන් කෝරළයේ කුඩා ගම් එකොළහක්‌ එකතුවී සෑදුන බෙල්ලන තමයි මගේ ගම. ඒ කාලේ බස්‌ ගමනාගමනය නෑ. රික්‌සෝවෙන් තමයි ගමන් බිමන් ගියේ. ගම් වැසියෝ නිතරම තමන්ගේ ඕනෑකම්වලට පන්සලට යනවා. රික්‌සෝවෙන් බෙල්ලන පන්සලට එනවා ජ්‍යෙdතිෂ වැඩකර දෙන්න හාමුදුරු කෙනෙක්‌.

මගේ තාත්තගේ නම බෙල්ලන විතානගේ බාරොන් අප්පුහාමි, තාත්තත් මගේ හඳහන අරගෙන ගිහින් ඒ හාමුදුරුවන්ගෙන් අහල තියෙනවා මාව මහණ කරන්න හොඳද කියලා. හොඳයි කියපු පණිවිඩය අම්මට කියනවත් මම අහගෙන හිටියේ. අපේ පරණ ගේ ඉස්‌සරහින්ම තව අලුත් ගෙයක්‌ හදන්න ගත්තා. මම ළමයින් එක්‌ක ඔය ගේ හදන දිහා බලන් හිටිය දවසක තාත්තා පන්සල් ගිහින් ඇවිත් අම්මට කියනවා ඇහුණා පොඩි එක්‌කෙනාව මහණ කරමු කියලා හාමුදුරුවෝ කිව්ව කියලා. ඒක ඇහුණ ගමන් මගේ ඇඟේ කීරක්‌ ඇනෙනවා වගේ මට දැණුනා. 1924 මාර්තු මාසේ 14 පන්සලට එක්‌ක ගියා. පොතක්‌ කියවන්න දුන්නා. එදා ගෙදර ආවා. හැබැයි නවතින්න එන්න කිව්වා. 1929 මැයි 23 දවල් එකයි විනාඩි අටට මහණ කළා. මට වඩා අවුරුදු 6 ක්‌ වයසින් වැඩි කෙනෙකුත් එදාම මහණ කළා.

මහණ වීම හොඳද නරක ද කියා නොදැන මහණ වුණත් ඔබ වහන්සේගේ පැවිදි ජීවිතය පරිපූර්ණයි නේද?

ඒක ලොකු වාසනාවක්‌. මම නොදැන කරගත් මේ මහ වාසනාව හා සැනසිල්ල වචනයෙන් කියා නිම කරන්න බෑ. දැනීමේ හැටියට සිතුම් පැතුම් අනුව පෙර ජාතිවල පළපුරුද්දක්‌ කියලයි මට හිතෙන්නේ. පරණ ඉගෙන ගත්තු දේ මතුවෙලා. මේ ආත්මයේ ඉගෙන ගැනීම් කටයුතු පහසු වුණා. අවුරුදු 12 වෙන විට පාලි භාෂාවෙන් ගාථාවක්‌ හදාගන්න පුළුවන්. පෙර භවය ගැන ගොඩක්‌ පරීක්‍ෂා කරලා තියෙනවා. ඒවා ගැන මං ලියපු පොත්වල සටහන් කරල තියෙනවා. ජීවන රටාව සහ සසර පැවැත්ම, පෙනෙන ලොව තුළ නොපෙනෙන ලොවක්‌)

මහණ වීම ලොකුම වාසනාවක්‌ කිව්වේ ඇයි?

ගිහි උදවිය වයසට යනවිට විඳින දුක්‌ මගෙ ඇහැට මම දකිනවා. දරුවන්ගේ කරදර, භාර්යාවගේ කරදර, ස්‌වාමියාගේ කරදර, නැදැයන්ගේ කරදර නිසා පවුල් ජීවිතවල සතුටින් ඉන්න අය 5% ක්‌ වත් නෑ. ඒවා මග අරින්න බැරි කරදර, එහෙම වෙන්න හේතු තියෙනවා. ඒවා මගේ පොත්වල මම ලියලා තියෙනවා. ගිහි ජීවිතයට ඒවා අනිවාර්යය වුණාට පැවිදි ජීවිතයට අනිවාර්යය නෑ.

පැවිදි ජීවිතේ දුක්‌ විඳින්නෙ නොදැනුවත්කම නොවැටහීම නිසා. නොදන්නා ගෝලයෙක්‌ මහණ කර ගැනීම, දායක පිරිස සමග ගමක ජීවත් වෙන විදිය නොදන්නා කම සහ ඉන්න පන්සලේ අනික්‌ අයත් එක්‌ක සමගියෙන් ඉන්න නොදන්නකම නිසා ප්‍රශ්න හදා ගන්නවා. සමහර දරුවන් ඉපදුනාම දරුවන්ගේ වැරදි නිසා මවුපියන් දුක්‌ විඳිනවා. භික්‍ෂූන්ට පුළුවන් හොඳ පවුලකින් දරුවෙක්‌ ඉල්ලගෙන මහණ කරගන්න. තෝර ගන්න, කොච්චර හොඳ වුණත් හදා ගන්න බැරි අයත් ඉන්නවා.

මහණ කරලා තිබුණේ වෙලාවකට, නැකතකට, ජ්‍යෙdතිෂය විෂය පිළිබඳව විශ්වාසයක්‌ තියෙනවද?

හොඳ වෙලාවක කරන දේවලින් හොඳ ප්‍රතිඵලත් නරක වෙලාවක කරන දේවලින් නරක ප්‍රතිඵලත් තියෙන බව අත්දැකීම් අනුව මම විශ්වාස කරනවා. ජ්‍යෙdතිෂය කියන්නේ ආකාශ වස්‌තු සූර්යයා වටේ ගමන් කිරීම, ප්ලැනට්‌ස්‌ නමිනුත් හඳුන්වනවා. ග්‍රහයෝ කියන නමින් හඳුන්වනවා. ඒ වචනය හරියටම කියන්න බෑ. එක එක විශාල ග්‍රහ වස්‌තු සූර්යයා වටේ කරකැවෙනවා, ඉන් එකක්‌ තමයි අපි ජීවත් වෙලා ඉන්න මේ පොළොව, පොළොවයි, සූර්යයි. ඒ වටේ හැසිරෙන අනික්‌ ග්‍රහ වස්‌තුයි හැසිරෙන ආකාරය අනුව බොහෝ අතීත කාලේ ඉඳල ඉඟි ලබාගෙන තියෙනවා. මේ වගේ තාරකාවල් තියෙන කොට මෙන්න මේ වගෙ දේ සිදුවන බව. ඉපදුන අයට ඇතිවන ගතිගුණ පිළිබඳව. මේ විදියට තියෙන තාරකා රාශිවෙලා නැකැත් 27 හැදෙනවා. මේවායින් සිදුවන විවිධ ප්‍රතිඵල, ස්‌වරූප සටහන් කරගෙන තියෙනවා. ගණන් ගත්තෙ නැති ආකාශ වස්‌තු තියෙනවා ග්‍රහයො ගානටම. දැන් නැප්චූන් යුරේනස්‌, ප්ලූටෝ සූර්යයා වටේ අපි වගේ ගමන් කරනවා පමණයි. ඒවා සජ්‍යෙdතිෂයට පුරාණයේ ඉඳලම සම්බන්ධ කරගෙන නෑ. නවීන ජ්‍යෙdතිෂන් මෙම ග්‍රහයන්ද එකතු කරගන්න හදනවා.නමුත් මගේ විශ්වාසය නම් ඒක අසාර්ථක බවයි.

නමුත් සූර්යයා, චන්ද්‍රයා, පොළොව, අපි ග්‍රහ වස්‌තු ඔවුනොවුන්ට සාපේක්‍ෂව හැසිරෙන විදිය පොළොවෙ ඉන්න මිනිස්‌සුන්ටත්, ඉපදෙන්න ඉන්න අයටත් බලපානවා කියන එකයි මගේ විශ්වාසය.

ජ්‍යෙdතිෂය විෂයක්‌ විදියට ඉගෙනගෙන තියෙනවද?

ඔව්, 1938 වසරේදී මට අවුරුදු 18 යි. ඕමත්තේ විමලවංශ හාමුදුරුවන්ගෙන් වේලපත්කඩය ලකුණු කරන්න ඉගෙන ගත්තා. ඒක පදනම් කරගෙන දන්න අයගෙන් නොයෙක්‌ දේවල් දැනගෙන තියෙනවා. අවුරුදු 20 වෙන කොට සංස්‌කෘත පොතක්‌ කියවලා තේරුම් ගන්න පුළුවන්. ඉන්දියාවෙන් සංස්‌කෘත පොත් ගෙන්න ගෙන කියවන්න පටන් ගත්තා. ඒ සම්බන්ධ මෙහෙ පොතුත් කියෙව්වා. ගොඩක්‌ මහන්සිවෙලා තමයි ජ්‍යෙdතිෂය ගැන දැනුම වැඩි දියුණු කරගත්තෙ. 1944 වසර වන විට මට වයස 23 වෙන කොට කේන්දරයක්‌ ගැන හොඳ දැනුමක්‌ ලබා ගත්තා.

තනියම උත්සාහයෙන් සොයාගත්තු ජ්‍යෙdතිෂ කරුණු තියෙනවද?

ඔව්, චන්ද්‍ර නිර්යානය එකක්‌. මම මයි මේ නම දැම්මේ. චන්ද්‍රයාගේ අමුතු ක්‍රමයක්‌. මෙය චන්ද්‍රයා රාශියෙන් රාශියට යැම පදනම් කරගෙන සිදුවෙන දෙයක්‌.

ශනි මංගල යෝගය තව එකක්‌. ඒකට නම නම් කවුරු හරි දාල. ඒ කියන්නෙ විවාහය සම්බන්ධව කුජ ශනි ග්‍රහයන් දෙදෙනාගේ හැසිරීම මේ ගැන මම හොයා ගන්න කොට කිසිම තැනක දැකලවත් අහලවත් තිබුණේ නෑ.

ශනි කුජ එකතු වීමෙන් විවාහ ජීවිත අසාර්ථක වීමයි මේ සොයා ගැනීම. මෙයට පසුකාලීනව රාහු ග්‍රහයත් එකතු කර ගැලපෙන හැටි සෙව්වා. මේ සොයා ගැනීම ඈපා පංචාග ලිතේ පළ කරන්නත් දුන්නා. දැන් දිගටම පළවෙනවා. 1915 ඈපා පංචාග ලිත්වල තිබුණ 20 පොරොන්දමට මම තව එකක්‌ එකතු කළා පළමු වරට. ඒක සමාජය පිළිගත්තේ නෑ. 1925 දී නැවත පළ කළා. 1950 දී සංශෝධනයක්‌ පමණක්‌ කර තිබෙනවා.

පොරොන්දම් බැලීමෙන් පමණක්‌ දෙදෙනකුට හොඳින් ජීවත් වන්න පුළුවන්ය කියන්න බෑ මගේ වැටහීමේ හැටියට.

හඳහන් බලන්නෙ නැතුව විවාහ වෙන අය ඉන්නව මෙය වරදක්‌ද?

පාරක්‌ තියෙද්දි කැලේ යන මිනිසෙක්‌ට වෙන දේ වගෙ තමයි ඒක. තියෙන නියම පාරේ හරි පාරේ යන එක. යන කෙනාගෙ නුවණ. මං 1938 ඉඳලම ජ්‍යෙdතීර් විද්‍යා පර්යේෂකයකු ලෙස කටයුතු කරනව.

දේහ ලක්‍ෂණ කියන්නෙ ජ්‍යෙdතිෂයට සම්බන්ධ දෙයක්‌ද?

ඔව්. ඒ ගැන පොතක්‌ තියෙනවා දෛවඥ කාමෙනුව කියල. ඒ පොතේ පරිච්ඡේදයක්‌ම තියෙනව ඔය ගැන. පරණ සිද්ධියක්‌ මතක්‌ වුණා, 1951 අවුරුද්ද වෙන කොට මට වයස 31 යි. වැඩිහිටි දායක මහත්මයෙක්‌ පන්සලට ආවා දානෙකට සල්ලි ගෙනත් දෙන්න. මං දිහා බලන් ඉඳල කිව්ව මං හුඟක්‌ දේවල් කරන කෙනෙක්‌ වෙනව කියල. මේ වෙන කොට භාෂා හයක්‌ (සිංහල, පාලි, සංස්‌කෘත, දෙමළ, හිංදි, ඉංගී්‍රසි) කතා කරන්න ලියන්න මට පුළුවන්. පරිගණකයෙන් තනියම ලිපි ලේඛනවල වැඩ තාමත් කරනව. විවිධ විෂයයන් යටතේ පොත් ගණනාවක්‌ ලියල තියෙනවා.

අත්ලෙ රේඛා පිහිටීම අනුව වෙනම ශාස්‌ත්‍රයක්‌ තියනව. ඒකත් ජ්‍යෙdතිෂ විෂයයෙම එක කොටසක්‌.

නැකතක ඇති වැදගත්කම මොකක්‌ද?

නැකැත් තියෙන්නෙ රාශි චක්‍රයට වඩා හුඟක්‌ ඈත. තාම කොහෙ තියනවද කියල හොයාගෙන නෑ. පුරාණයේ ඉඳල රාශි චක්‍රයට පිටතින් සංකේතාත්මකව හඳුන්වන රවුමක්‌ තියෙනවා. ඒ රවුම 27 කට බෙදල තියෙනවා. ඒ 27 න් එක එක දේවලින් උපදින අයට හොඳ නරක සිද්ධ වෙනව. හැබැයි ඒ බලය නැකතෙ ඉඳල පොළවට ලබා ගන්න බෑ. නැකත කෙලින් චන්ද්‍රයා ඉන්න වෙලාවට පමණක්‌ ක්‍රියාත්මක වෙනව. හරියට බූෂ්ටරයක්‌ වගෙ ක්‍රියාත්මක වෙනව. චන්ද්‍රිකා අහසට යවල තොරතුරු ගෙන්න ගන්නව වගේ දෙයක්‌ තමයි මේක. ඈත තිබුණ නැකතෙ ගුණ අඟුණ ඇදල පොළොවට ලබා දෙනවා. ඒ මොහොතෙ පොළොවට සාපේක්‍ෂව චන්ද්‍රයා සිටීම අනුව තිබුණ පල අපල ඉපදුන කෙනාට ලැබෙනව.

ඊළඟට අපි කරකැවෙනව, කරකැවෙන කොට හඳට කෙලින් යම්කිසි නැකතක්‌ තියෙනව නම් ඒක තමයි අපේ උපන් නැකත වෙන්නෙ. ඒ වෙලාවට නක්‍ෂත්‍රයෙන් නිකුත් කෙරෙන ශක්‌තිය චන්ද්‍රයා විසින් ඇදල දෙනව. ඒ වෙලාවට උපන් කෙනාට ඒකෙන් යම් ප්‍රමාණයකට චරිත ලක්‍ෂණ ලැබෙනව.

පෘථිවිය කෙරෙහි බලපාන ලක්‍ෂණ 5 ට තමයි අපි පංචාගය කියන්නෙ. දවස, නැකත, තිථිය, යෝග, කරන කියන මේ 5 එක්‌ එක්‌ වෙලාවට එක එකට කලවම් වෙනව. එක ජාතියක්‌ පොළොවට ඉලක්‌ක වෙන වෙලාව අනුව ගුණ අගුණද වෙනස්‌ වෙනව. මේ අංග පහෙන් වඩා වැදගත් එක තමයි නැකත.

අපි සාමාන්‍යයෙන් නැකත කියල පාවිච්චි කරන්නෙ සුබ වෙලාවට.

ජ්‍යෙතිෂයේදී යෝග කියල කියන්නෙ මොනවටද?

එක එක ග්‍රහයන්, රාශි මිශ්‍රවෙමින් එක එක ආකාරයට පිහිටල තිබීමයි.

පත්මලතා අබේසිංහ
 

 
Powered By -