"ශික්‌ෂක වෘත්තිය" කුමාරතුංග මුනිදාස විසිදුනු ප්‍රකාශන

"ශික්‌ෂණය කරනුයේ ශික්‌ෂකයි. ගුරුවරයා යනු සාමාන්‍ය ව්‍යවහාරයයි" යනුවෙන් ආරම්භ වී, ශික්‌ෂක වෘත්තිය හෙවත් ගුරු වෘත්තිය පිළිබඳව කුමාරතුංග මුනිදාස මහතා 1930 සැප්තැම්බර් සිට නොවැම්බර් තෙක්‌ "ස්‌වදේශ මිත්‍රයා" පුවත්පතෙහි පළ කළ ලිපි පෙළක එකතුවක්‌ "ශික්‌ෂක වෘත්තිය" යනුවෙන් එළිදක්‌වා ඇත. කුමාරතුංග මුනිදාස පදනම විසින් පළ කරනු ලැබ ඇති ශික්‌ෂක වෘත්තිය ග්‍රන්ථය, ශ්‍රී ලංකාවේ විසූ අභීත අදීන උදාර ගුරුවරයකුගේ මඟපෙන්වීම කොතරම් ප්‍රබල ද යනු මනාව ප්‍රකට කරන්නකි. අධිරාජ්‍යවාදීන් විසින් මෙරට අධ්‍යාපනය හසුරුවන අවදියේ ඔවුන් රටකට කරන අපරාධය වටහා දී, එයම අනුමත කරමින් තම කොඳු ඇට පෙළ නවා වැඳ වැටෙන සිංහල ගුරුවරයාගේ හීන දීන බව තුරන්කොට, ඔහු අදීන ප්‍රබල අයකු බවට පත් කිරීමට කුමාරතුංග මුනිදාස මහතා ලියූ ලිපි පෙළ මෙතෙක්‌ මේ ක්‍ෂේත්‍රයට සිංහලයෙන් ලියෑවුණු අභීතම, නිර්මාණාත්මක හා උද්යෝගීතාවෙන් පිරි පෙළ ලිපි ලෙස හැඳින්විය හැකිය.

"කොඳු ඇට නැතියවුන්ට කොඳු ඇට වඩවාලන්නටත්, කොඳු ඇට වක වූ අයට එය කෙළින් සිටුවා ගන්නටත්, කොඳු ඇට කෙළින් තබාගෙන සිටියවුන්ට තම ශක්‌තිය තව තවත් ශක්‌තිමත් කරගැනීමටත් මේ ලිපි පෙළ පමණක්‌ වුව ප්‍රමාණවත්ය. 1930 වසරේ කුමාරතුංග මුනිදාස මහතා ඉස්‌මතු කර දක්‌වන දුබලතා අඩු වැඩි වශයෙන් දැනුත් දැකගන්නට ලැබීම ෙ€දවාචකයකි. මේ නිසා "ශික්‌ෂක වෘත්තිය" කෘතිය යළි සෑම ගුරුවරයකුම තම අත්පොතක්‌ ලෙස ළඟ තබාගෙන යළි යළිත් කියවිය යුතු පොතකි. නිතර පරිශීලනය කළ යුත්තකි. සැබෑ ගුරුවරයා යනු කවරෙක්‌ද, ඔහු තුළ තිබිය යුතු ගුණාංග කවරේද, දුරු කළ යුතු දුබලතා සහ වර්ධනය කළ යුතු ප්‍රබලතා කවරේද යනු ඉගෙනීමට කදිම අත්පොතක්‌ ලෙස "ශික්‌ෂක වෘත්තිය" ග්‍රන්ථය සැලකිය හැකිය.

සිංහල දරුවන්ට පළමුව නිවැරදි සිංහල බස ඉගැන්විය යුතු බවත්, භාෂාව සමග සංස්‌කෘතියත්, ජාති උත්කර්ෂයත්, ආගමත් වර්ධනය වන ආකාරය මෙහි මනාව දක්‌වා ඇත. වෙනත් රටවල් විසින් එ රටවල පරිසරය, සිරිත් විරිත් හා සංස්‌කෘතිය පදනම් කරගෙන ලියූ ග්‍රන්ථ එ අයුරින්ම මෙරටට ගෙනවුත් එ බසින්ම හෝ ගෙඩි පිටින්ම පරිවර්තනය කොට ඉගැන්වීමෙන් සිංහල භාෂාවට, සිංහල සංස්‌කෘතියට, බුද්ධාගමට පමණක්‌ නොව සමස්‌ත ජාතියටම වර්තමානයේත්, අනාගතයේදීත් සිදුවන හානිය කුමාරතුංග මුනිදාස මහතා ඉතා අර්ථවත්ව තාර්කිකව මේ ලිපි පෙළෙන් පැහැදිලි කර ඇත. ශික්‌ෂක සංහතියට හිමි කටයුතු සතක්‌ ඔහු හඳුන්වා දී ඇත. තත්ත්ව රක්‍ෂණය, කාර්ය විචාරණය, පුස්‌තක විවේචනය, පුස්‌තක සම්පාදනය, දුෂ්ට නිග්‍රහය, ශිෂ්ට සංග්‍රහය, ස්‌වදේශානුශාසනය ලෙස එවා දක්‌වා ඇති කුමාරතුංග මුනිදාස මහතා මෙයින් පහක්‌ පිළිබඳ ලිපි ලියා පළ කර ඇත.

මේ සෑම ලිපියක්‌ම ගුරුවරයාගේ ඇස්‌ ඇරලීමට, සිත් පොබ කරලීමට, දක්‍ෂ අන්දමින් මනාවූ වාග් රීතියකින්, හරවත්, තෙදවත්, ඔදවත් භාෂාවකින් ඇඟට දැනෙන්නටත් සිතට වදින්නටත්, රිදිය යුත්තන්ට රිදෙන්නටත්, පිදිය යුත්තන් පුදන්නටත්, හිස්‌ බසින් හිස උදුම්මාගෙන සිටින හිස්‌ පුද්ගලයන්ට, තම හැසිරීමෙහි ඇති දුබලතා නිවට බව පැහැදිලි කර දෙන්නටත් මනාව රචනා කර ඇත්තේය. "ශික්‌ෂක වෘත්තිය" නිවැරදිව හා සාර්ථකව කළ කල්හි රටක්‌, සමයක්‌, මෙන්ම ජාතියක්‌ ඔදවත් තෙදවත් වන බව යළි යළිත් එතුමා සිහිපත් කර ඇත. එතුමාගේ පැතුම ලෙස දක්‌වනුයේ, "ශික්‌ෂකයෝ නියම මහජන සේවයෙහි යෙදෙත්වාෘ එකලැ රටෙහි දුසිරිත් මැඬෙනු ඇත. සුසිරිත් වැඩෙනු ඇත. දිළිඳු බව පලනු ඇත. සුව උතුරණු ඇත. නුවණ බබළනු ඇත. ශික්‌ෂකයන් හිමි තැනට පැමිණෙනු ඇතැයි" යනුවෙනි.

රටක්‌ ජාතියක්‌ නඟාසිටුවීමෙහි ලා ගුරුවරයා සතු බලය යළි යළිත් එත්තු ගන්වාලීමට මේ ලිපි මගින් මහත් උත්සාහයක්‌ දරා ඇත. ගුරු වෘත්තියට උචිතම පුද්ගලයන් බඳවාගත යුතු බවත් වෘත්තියට සුදුසු නැති පුද්ගලයන් වෘත්තියෙන් ඉවත්කොට ගුරු වෘත්තිය වෘත්තික මට්‌ටමට ඔසොවා තැබිය යුතු බව කුමාරතුංග මුනිදාස මහතාගේ ප්‍රාර්ථනයයි.

"ශික්‌ෂකයන් විසින් කළ යුත්තේ කවුරුන් කුමක්‌ කීවද කළ ද ගුණයෙන් නුවණින් අනූන වූ මාර්ගයට තරම් වූ භව්‍යයන් මැ තෝරාගෙනැ ශික්‌ෂකත්වයට නැඟෙන මඟට පැමිණැවීමයි. "මේ වැදගතකුගේ දරුවකු, මේ මට වහල් වැ සිටියේ යෑ" යනාදියක්‌ සලකා ශික්‌ෂකත්වයට නැඟෙන්නන් තේරුව හොත්, ශික්‌ෂක වෘත්තිය අභව්‍යයන්ගෙන් කෙලෙසෙනු නියතය." ගුරුවරුන් බඳවා ගැනීමේදී වෘත්තියට සුදුස්‌සන්ම තෝරා ගැනීමේ අවශ්‍යතාව කුමාරතුංග මුනිදාස මහතා අවධාරණය කර ඇත.

"සිංහල ශික්‌ෂකයෝ තමන්ගෙන් රටට ද ජාතියට ද සිදුවිය යුතු මහත් මෙහෙය සියලු කල්හි සිහි කෙරෙත්වාෘ කාර්ය විචාරණයෙන් තොරවැ එ මෙහෙය සුදුසු සේ සිදු කිරීමක්‌ නොවිය හැකි බවද සලකත්වාෘ"

මේ අයුරින් ගුරුවරයා තම වගකීම මැනවින් හඳුනාගෙන තම කාර්යය ඉටු කළහොත් එමඟින් ජාත්‍යත්කර්ෂණය කළ හැක බව මනාව පැහැදිලි කර ඇත.

දයාරෝහණ අතුකෝරාල
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, කොළඹ විශ්වවිද්‍යාලය.
 

 
Powered By -