ලෝක නාට්‍ය දිනය හා සිංහල නාට්‍යයේ බහින කලාව

ලෝක නාට්‍ය දිනය මාර්තු 27 වන දිනට (අදට) යෙදී ඇති හෙයින් මේ කෙටි ලිපිය ඒ නිමිත්තෙන් පළ කෙරේ.

යුනෙස්‌කෝව මගින් ලෝක නාට්‍ය දිනයක්‌ ඇති කර ඇත්තේ නාට්‍ය කලාව තුළින් ජනතාවට සිදුවන සුවිසල් මෙහෙවර සලකාගෙනය.

ගිය සති අන්තයේ ඉරිදා පුවත්පතකට ප්‍රවීණ නාට්‍ය නිෂ්පාදකවරයෙක්‌ වන ධර්මසිරි බණ්‌ඩාරනායක මහතාගෙන් වර්තමානයේ නාට්‍ය ක්‍ෂේත්‍රය පිළිබඳ ඔබේ අදහස නෙබඳුදැයි ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේ,

"නාට්‍ය කලාව කියන්නේ වර්තමානයේ අන්තතයටම පිරිහුණු කලාවක්‌. රාජ්‍ය මට්‌ටමින් එක එක උදාර වචන, උදාර වැඩපිළිවෙළවල් තිබෙන බව පැවසුවාට සැබෑ අර්ථයෙන් ගත්තම නාට්‍ය කලාව තියෙන්නේ ඉතාම පහළ අඩියකයි."

බණ්‌ඩාරනායක මහතාගේ මෙම ප්‍රකාශය සත්‍ය අසත්‍යදැයි සැකෙවින් විමසා බැලීම වැදගත් යයි හඟිමි.

ලෝකයේ කිසිදු රටක නොමැති අන්දමට, අපේ රටේ නාට්‍ය කලාවේ ප්‍රවර්ධනයට අතහිත දෙන රාජ්‍ය අමාත්‍යාංශ දෙපාර්තමේන්තු, මණ්‌ඩල, නාට්‍ය අනුමණ්‌ඩල, උපදේශක සභා, නාට්‍ය පාසල්, රඟහල පදනම්, පාසල්, විශ්වවිද්‍යාල දුසිම් ගණනාවක්‌ තිබේ. මෙම ආයතන මොනවාදැයි සොයා බලමු. නාට්‍ය කලාවට ඇතුළු සියලු කලාවන්ට අතහිත දෙන රාජ්‍ය අමාත්‍යාංශ හතරක්‌ තිබේ. ඒවායේ කාර්යභාරයන් හඳුනාගනිමු.

සංස්‌කෘතික කටයුතු අමාත්‍යංශය යටතේ නාට්‍ය කලාවේ උන්නතියට ක්‍රියාකරන ආයතන හතරක්‌ තිබේ. එම අමාත්‍යංශය යටතේම ඇති සංස්‌කෘතික වර්ධන අංශය මින් ප්‍රධාන තැනක්‌ ගනී. පරිපාලන සේවයේ පළමු පංතියේ අතිරේක ලේකම්වරියක්‌ හා සහකාර ලේකම්වරියන් කිහිපදෙනෙකුගේ අධීක්‌ෂණය යටතේ පවතින මෙම ප්‍රවර්ධන අංශය අමාත්‍යාංශ ලේකම්වරයෙකුගේ මෙහෙයවීම යටතේ පවතී. මෙම අමාත්‍යාංශය විසින් 2007 වසර "රාජ්‍ය නාට්‍ය වසර" ලෙස අමාත්‍ය මණ්‌ඩල අනුමැතියෙන් පුළුල් ප්‍රචාරයක්‌ ලබාදී කටයුතු කරන ලදී. තෝරාගත් නාට්‍ය පිටපත් දහස්‌ ගණනකින් නාට්‍ය අසූවක්‌ නිෂ්පාදනය කළේලු, ප්‍රදර්ශනය කළේලු.

රාජ්‍ය අනුග්‍රහයෙන් නිෂ්පාදනය කළ මේ නාට්‍ය අසූවෙන් එක කාට්‍යයක්‌ හෝ අද ඉතිරිව තිබේද? මෙම නාට්‍ය කොළඹ හෝ පිට පළාත්වල කී වතාවක්‌ ප්‍රදර්ශනය කර ඇත්දැයි දැන්වීමට බලධාරීන්ට අපි අභියෝක කරමු.

සංස්‌කෘතික කටයුතු අමාත්‍යංශය යටතේ ඇති කලා මණ්‌ඩලය ද කලා මණ්‌ඩලය සභාපතිවරයාගේ යටතේ තිබෙන නාට්‍ය අනු මණ්‌ඩලයද නාට්‍ය කලාවේ ප්‍රගමනය උදෙසා ක්‍රියා කරන්නේලු. සත්‍යය නම් අහිංසක නාට්‍ය ශිල්පීන් විසින් කිසිවෙකුගේ පිහිටක්‌ නොමැතිව නිෂ්පාදනය කරනු ලබන නාට්‍ය නරඹා ඉන් තමන් කැමති කිහිපයකට (බොහෝවිට සුදුසු නිර්මාණ හෝ සුදුසු ශිල්පීන්ට නොවේ) සම්මානයක්‌ සහතික පත්‍රයක්‌ මුදල් ත්‍යාගයක්‌ ලබාදෙයි. මේ මුදල් ත්‍යාගය රු. 10,000/} පමණ වේ. වසරේ හොඳම නාට්‍ය නිෂ්පාදනයට ලබාදෙන මුදල රු. 25,000/- සිට 50,000/} දක්‌වා වේ. නමුත් නාට්‍යයක්‌ නිෂ්පාදනය කිරීමට වර්තමානයේ රුපියල් ලක්‍ෂ පහක්‌ හෝ ඊට වැඩි ප්‍රමාණයක්‌ වැය කරන්නට සිදුවේ.

මෙම රාජ්‍ය නාට්‍ය උත්සවය සංවිධානය කරන සේවකයන් නිලධාරීන් (රියදුරන්, කා.කා.ස.වරුන්) ඇතුළුව එක්‌ එක්‌ අය අවම වශයෙන් ලබා ගන්නා අතිකාල දීමනා හා සංයුක්‌ත දීමනාවල එකතුව පමණක්‌ හොඳම නාට්‍ය නිෂ්පාදකයා ලබන මූල්‍ය ප්‍රදානයට වඩා වැඩි බව මෙහිලා සඳහන් කළ යුත්තෙමු. රාජ්‍ය නාට්‍ය උත්සවය වෙනුවෙන් පළ කරනු ලබන සමරු කලාප ඇතුළු පත්‍රිකාවලට ලක්‍ෂ ගණනින් වියදම් කිරීමට මුදල් ඇත. වාර්ෂික රාජ්‍ය නාට්‍ය උත්සවය පෙන්වනු ලබන වේදිකාව සැරසීමට පමණක්‌ ඇතැම් වසරවලදී රු. ලක්‍ෂ හත අටක්‌ වැය කරන අවස්‌ථා ඇත. ඒවා සිදුකරනුයේ ටෙන්ඩර් පරිපාටියෙන් තොරවය. මේවායේ රහස පාඨකයෝ වටහා ගනිත්වා.

වාර්ෂිකව රාජ්‍ය නාට්‍ය උත්සවවලින් ජයග්‍රහණය කරනුයේ ඒ වෙනුවෙන් කැපවී ක්‍රියාකරන නාට්‍ය නිෂ්පාදකයන් ශිල්පීන් හා කාර්මිකයන් නොව රාජ්‍ය ආයතනවල සිටින නිලධාරීහු වෙති. අවසානයේ මේ සියල්ලෙහිම ගෞරවය හා කීර්තිය බලෙන් ලබාගනුයේ දේශපාලන උෂ්ණයෙන් වැජඹෙනුයේ නාට්‍ය කලාව පිළිබඳව මොලෝ හසරක්‌ නොදන්නා බමුණුකුල නිලධාරීන්ද බොරු කේලාම් කිය කියා තාන්න මාන්න හා සභාපතිකම් ගන්නා කලා මණ්‌ඩල ඇත්තෝ වෙති.

නාට්‍ය කලාවේ ප්‍රගමනයට ඇති තවත් රාජ්‍ය ආයතනයක්‌ වනුයේ ටවර්හෝල් රඟහල පදනම වේ. මේz යටතේ නාට්‍ය පිළිබඳ ඩිප්ලෝමා හා උපාධි පරිනමන පාසලක්‌ද ආරම්භ කර ඇත. විවෘත විශ්වවිද්‍යාලය හා ඒකබද්ධව නාට්‍ය පිළිබඳ උපාධි පිරිනැමීමටද ක්‍රියාකර තිබේලු. සියවසකට වැඩි කාලයක්‌ නාට්‍ය කලාවේ දැවැන්තයින්ද ජාතික නිදහස්‌ සටනට සේවයක්‌ කළ වූද එසේම හොඳ නාට්‍ය නිර්මාණ ද බිහි කිරීමට තෝතැන්න වූ ටවර් හෝල් රඟහලද ද ඇල්පින්ස්‌ටන් හා සව්සිරිපාය වැනි අංග සම්පූර්ණ ගොඩනැගිලිද ටවර් හෝල් රඟහල පදනමට අයත්ය. මෙහි සිටිනා බලධාරීන් ඉහළ දේශපාලනඥයන් විසින් පත් කර ඇති නිසා එම දේශපාලනඥයන්ගේ මැතිවරණ වේදිකාවලට උම්බෑ කියන නළු නිළියන් සපයන නිසාත් ඔවුන්ට නාට්‍ය කලාව වෙනුවෙන් යමක්‌ කිරීමට කාලයක්‌ නොමැති බව අපගේ සමීක්‍ෂණ වලින් පැහැදිලි විය. එහෙත් මෙම ආයතනය මසකට වරක්‌ මියගිය නාට්‍ය ශිල්පියෙකු වෙනුවෙන් ගුණානුස්‌මරණ උත්සවයක්‌ පවත්වන බව පෙනේ.

සංස්‌කෘතික කටයුතු අමාත්‍යාංශය හෝ එම අමාත්‍යංශය යටතේ ඇති විවිධ ආයතන හෝ නාට්‍ය කලාවේ උන්නතියට (රාජ්‍ය නාට්‍ය උත්සව හැර) එක ශත පහක්‌ වැය කර ඇත්නම් ඒ අසවල් කාර්ය සඳහා යොදවනු ඇතැයි කීමට ඔවුන්ට නොහැකිය.

ලෝකයේ බොහෝ රටවල මෙන්ම අපේ අසල්වැසි ඉන්දියාවේ පවා වසරේ හොඳම නාට්‍ය නිෂ්පාදකයාට හෝ නාට්‍ය අංශයෙන් සමත්කම් දක්‌වන ශිල්පීන්ට හෝ ඔවුන්ට ප්‍රදානය කරන ත්‍යාග මුදලට අමතරව නව නිර්මාණ බිහිකිරීම සඳහා ඉල්ලීම් කළහොත් ඒ සඳහා මූල්‍ය පහසුකම් ලබාදීමට එම රටවල ආණ්‌ඩු ප්‍රතිපත්තියක්‌ වශයෙන් ක්‍රියාකරයි. ඇතැම්විට නාට්‍ය පිටපත කියවා එහි නිෂ්පාදනය කිරීමට වැයවන සම්පූර්ණ මුදල හෝ ඉන් අඩකට වැඩි ප්‍රමාණයක්‌ හෝ අදාළ ආයතන මගින් දෙනු ලබයි.

විවෘත ආර්ථික ක්‍රමය මේ රටට හඳුන්වා දීමත් ප්‍රේමදාස අගමැතිව සිටි කාලයේ ටවර් හෝල් රඟහල පදනම බිහි කිරීමත් ඒ සමග නාට්‍ය කලාව ඇතුළු බොහෝ කලා මාධ්‍යයන් දේශපාලනීකරණය වීමත් සමග සකල විධ කලාවන්ගේ උන්නතිය නොව අවනතිය උදාවී ඇති බව කිව යුතුය. එසේ වුවත් ධර්මසිරි බණ්‌ඩාරනායකලා වැනි ප්‍රවීන නාට්‍ය ශිල්පීන් හා අතළොස්‌සක්‌ දෙනා දේශපාලනීකරණය යටතේ මහා පරිමාණ වරප්‍රසාද ලබන බව පෙනේ. මෙම තත්ත්වය 1977 මෙපිට දශක තුනක කාලය තුළදී සිදුවූ සමස්‌ත කලාවේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම්ය.

අධ්‍යාපන අමාත්‍යංශය ද මෙරට නාට්‍ය කලාවේ උන්නතියට ක්‍රියා කරයි. නාට්‍යකරණය පාසල් විෂය ධාරාවට අයත්ය. ඇතැම් පෙළ පංතිවල ළමයි නාට්‍යකරණය විෂයයක්‌ ලෙස හදාරති. එම විෂය ඉගැන්වීමට ගුරුවරුද පත් කර සිටිති. එහෙත් ඇතැම් පාසල්වල නාට්‍යකරණය උගන්වනුයේ ජීවිතයේ කිසිමදාක නාට්‍යයක්‌ නොබලපු, නාට්‍ය කලාව කුමක්‌දැයි නොදන්නා ගුරුවරුය. කෙසේ වෙතත් විශ්වවිද්‍යාලය විෂය ධාරාවටද නාට්‍ය කලාව අයත්ය. පනහේ හැටේ හා හැත්තෑවේ දශකවලදී ලංකා විශ්වවිද්‍යාලය (වත්මන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය) විශේෂයෙන් මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර සූරීන් විසින් නාට්‍ය කලාව පිළිබඳ පර්යේෂණ කරමින් නාට්‍ය කලාවේ ප්‍රගමනයට සුවිසල් මෙහෙයක්‌ කරන ලදී. ඔහුගෙන් පසු කිසිදු විශ්වවිද්‍යාලයකින් නාට්‍ය කලාවේ උන්නතියට සේවයක්‌ සිදු නොවූ බව කිව යුතුය.

එසේ වූවත් මහාචාර්ය සරත්චද්‍රයන්ගෙන් නාට්‍ය කලාවේ "අ" යන්න "ආ" යන්න උගත් සිසු පිරිසක්‌ අසූවේ දශකය උදාවන තුරු නාට්‍ය කලාවට රාජ්‍ය අනුග්‍රහයකින් තොරව යම් සේවයක්‌ කළහ. එයට අමතරව හෙන්රි ජයසේන, සුගතපාල ද සිල්වා ධම්ම ජාගොඩ, සෝමලතා සුභසිංහ, ධර්මසිරි බණ්‌ඩාරනායක වැනි කලාකරුවන් නාට්‍ය නිර්මාණ බිහිකරමින් නාට්‍ය කලාවට යම් ජීවයක්‌ දීමට ක්‍රියා කළ නාට්‍යවේදීන් කිහිප දෙනෙකි. මහාචාර්ය සරත්චන්ද්‍රයන් නිර්මාණය කළ නාට්‍ය නිර්මාණ මෙන්ම හෙන්රි ජයසේනලා, සුගතපාල සිල්වලා, ධර්මසිරි බණ්‌ඩාරනායකලා බිහි කළ නාට්‍ය නිර්මාණ අද පවා ජීවමානව තිබෙනු බව පෙනේ. මොවුන්ගේ මෙම නිර්මාණවලින් බහුතරය රාජ්‍ය සම්මාන ලැබූ ඒවා නොවන බව සැළකිය යුතුයි.

වර්තමානයේ නාට්‍ය කලාවේ ප්‍රගමනයට ඇති එක්‌ බාධාවක්‌ නම් රාජ්‍ය සම්මානය උදෙසාම නාට්‍ය නිර්මාණය කිරීම බව අපගේ හැඟීමය. අනෙක රාජ්‍ය වාරණය වේ. ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්‌ඩලයද දේශපාලනීකරණය වී ඇත. සුචරිත වාදයත්, ද්වේශසහගත පලිගැනීමත් රැඟුම් පාලක මණ්‌ඩල න්‍යාය වී ඇත.

අපේ රටේ නාට්‍ය කලාවේ උන්නතියට ක්‍රියා කරන තවත් රාජ්‍ය ආයතනයක්‌ ඇත. එනම් තරුණ කටයුතු පිළිබඳ අමාත්‍යංශය යටතේ ඇති ජාතික තරුණ සේවා සභාවවේ. තරුණ සේවා සභාව මගින් වෙනත් රාජ්‍ය ආයතනවලට වඩා තරුණ තරුණියන්ට නාට්‍ය පිළිබඳව න්‍යයාත්මකව හා ප්‍රයෝගිකව අධ්‍යාපනයක්‌ ලබාදෙන බව සත්‍යයකි. තරුණ නාට්‍යකරුවන්ගේ නිර්මාණ අගය කිරීමේ වාර්ෂික උළෙල පවත්වයි. එහෙත් න්‍යයාත්මක හා ප්‍රායෝගික දැනුම හා පුහුණුව ලබන නාට්‍ය ශිල්පී ශිල්පිනියන් නාට්‍ය ක්‍ෂේත්‍රයේ රැඳී නොසිටීම ජාතියේත් නාට්‍ය කලාවේත් අවාසනාවකි. දක්‌ෂයන් ක්‍ෂත්‍රය තුළ රඳවා ගැනීමට සැලසුම් නොමැතිවීම ඊට හේතුවකි.

නාට්‍ය කලාවේ ප්‍රගමනය උදෙසා ආණ්‌ඩුව විසින් අමාත්‍යාංශ හතරක්‌ යම් යම් ක්‍රියාදාමයන් ගෙන ඇති බව පෙනේ. එම අමාත්‍යාංශ නම් සංස්‌කෘතික, අධ්‍යාපන, උසස්‌ අධ්‍යාපන හා තරුණ කටයුතු යන අමාත්‍යාංශ වේ. විවෘත ආර්ථිකයෙන් පසු නාට්‍ය කලාව ඇතුළු සංස්‌කෘතියේ බහින කලාව ආරම්භ වී ඇත. කලාවේ වර්ධනයට සිටින නිලධාරී පංතියට මෙන්ම ඊනියා කලාකරුවන්ටද කලාව නොපිහිටීම වත්මන් සංස්‌කෘතික ෙ€දවාචකයට මූලික හේතුව වේ.

මෙම කරුණු සලකා බලනවිට, ධර්මසිරි බණ්‌ඩාරනායකයන් කියා සිටි "නාට්‍ය කලාව කියන්නේ වර්තමානයේ අන්තයටම පිරිහුණු කලාවක්‌, රාජ්‍ය මට්‌ටමෙන් එක එක උදාර වැඩපිළිවෙළක්‌ තිබෙන බව පැවසුවාට සැබෑ අර්ථයෙන් ගත්තම නාට්‍ය කලාව තිබෙන්නේ ඉතාම පහළ අඩියකයි" යන්න සනාථ වන බව මින් පැහැදිලි වේ.

සුනිමල් ජයවර්ධන

 

 
Powered By -