විදුහල්පතිනියගේ අමානුෂික ක්‍රියාවක්‌ නිසා
කොඳුඇට පෙළ ආබාධිත දැරියට සැත්කමක්‌
කරන්න වෙලා

දිවයින ප්‍රවෘත්ති අංශය

කොඳු ඇට පෙළේ ආබාධයකට ප්‍රතිකාර ගනිමින් සිටි මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ උසස්‌ පෙළ සිසුවියක එහි විදුහල්පතිනිය විසින් පැය භාගයක්‌ තිස්‌සේ අමානුෂික ලෙස දණ ගසා තැබීම නිසා දැඩි ලෙස යළිත් වරක්‌ අසනීප වී සැත්කමකට ලක්‌කරන්නට සිදුව ඇතැයි ඇගේ දෙමවුපියෝ පවසති.

මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණදී තිබෙන්නේ ආන්යා ගුණසේකර නමැති උසස්‌ පෙළ ශිෂ්‍යාවකි. ඇය මේ වසරේ අගෝස්‌තු මාසයේ අපොස උසස්‌ පෙළ විභාගයට මුහුණ දීමට නියමිතව සිටියාය.

එම විද්‍යාලයේ අතිදක්‌ෂ දීප්තිමත් ශිෂ්‍යාවක්‌ වන ඇය පසුගිය වසරේ ජපානයේ විශේෂ ශිෂ්‍යත්වයක්‌ පවා දිනාගෙන ජපානයට ගොස්‌ පාඨමාලාවක්‌ද හැදෑරූ ශිෂ්‍යාවකි. එවන් සමත් කමක්‌ කළ මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයීය ඉතිහාසයේ එකම සිසුවිය ඇය වීමද විශේෂ සිද්ධියකි.

අභූත චෝදනාවක්‌ මත විදුහල්පතිනියගේ නියෝග යෙන් ඇය එළිමහනේ පලුදුවූ කොන්ක්‍රීට්‌ ලෑල්ලක දණගස්‌වා ඇති අතර වෛද්‍යවරු පවසන්නේ ඒ හේතුවෙන් ඇගේ කොඳු ඇට පෙළේ කොටසක්‌ ඉවතට පැන ඇති බවත් එය සැත්කමක්‌ මගින් ඉවත් කළ යුතු බවත්ය.

මේ සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස දැරියගේ දෙමාපියන් ජනා ධිපතිවරයාගෙන්ද ලිතව ඉල්ලා ඇත.

ඇයගේ අසනීපය සම්බන්ධයෙන් එම පාසලට දන්වා ඇතත් පාසලේ විදුහල්පතිනිය හෝ කිසිවකුත් කිසිදු තැකීමක්‌ කර නැත.

උසස්‌ පෙළ අයෑදුම්පත්‍රවලට අත්සන් කිරීමට පාසලට මව සමග යාමට හෝ මෙම සිසුවියට විදුහල් පාලනාධිකාරිය ඉඩ නොදුන් බව ඇගේ දෙමාපියෝ පවසති.

මෙම තත්ත්වය නිසා දැඩි මානසික මෙන්ම ශාරීරික අපහසුතාවන්ට ලක්‌ව සිටින ඇයට සහන සලසන ලෙස ඇගේ දෙමාපියෝ රජයෙන් ඉල්ලා සිටිති.

ජනාධිපතිවරයාගේ වෛද්‍ය එලියත්ත වයිට්‌ මහතාගේ ප්‍රතිකාර ඇයට ලබාදෙන ලෙසටද ඇගේ දෙමාපියන් ඉල්ලා සිටිති.

 

 
Powered By -