දේශපාලනයට හෘදය සාක්‌ෂියක්‌!

ලබන 08 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණය මනාප ක්‍රමය යටතේ පැවැත්වෙන අවසන් මහ මැතිවරණය විය හැකි බව රජයේ ප්‍රබල ඇමැතිවරුම ප්‍රකාශ කර සිටිති. 1978 ව්‍යවස්‌ථාව මගින් හඳුන්වා දෙන ලද ඊනියා සමානුපාතික ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදයේ සරදමක්‌ බවට දැන් පත්ව තිබේ. මෙවර මහ මැතිවරණයේදී මන්ත්‍රී ධුර 196 සඳහා හත් දහසකට වැඩි අපේක්‍ෂකයන් සංඛ්‍යාවක්‌ තරග වැදී සිටින බවද පෙනේ. එසේම දේශපාලන පක්‍ෂ හැටකට ආසන්න සංඛ්‍යාවක්‌ හා ස්‌වාධීන කණ්‌ඩායම්ද ඒ සඳහා ඉදිරිපත්ව සිටිති.

ශ්‍රී ලංකාවේ දේශපාලන පක්‍ෂ හා ඒවායේ ක්‍රියාකාරිත්වය දෙස බලන විට නම් බොහෝ දෙනෙකුගේ දේශපාලන දැනුම හා අවබෝධය නොව සාමාන්‍ය දැනුම ගැනද ප්‍රශ්න මතුවේ. පසුගිය ජනාධිපතිවරණය සඳහාද ඒ වර්ගයට අයත් විහිළුකාරයෝ වූහ. මේ විහිළුකාරයන් නිසා සිදුවන එකම දේ ඡන්ද පත්‍රිකාව දික්‌වීම පමණි. එහෙත් ඇත්ත වශයෙන්ම ඔවුන් වෙනුවෙන් (රජය) මැතිවරණ දෙපාර්තමේන්තුව වියදම් කරන මුදල පවා අපරාධයකි. මොන තරම් මුදලක්‌ නිරපරාදේ නාස්‌ති කළත් ඒ ජනාධිපති අපේක්‍ෂකයන්ගෙන් ප්‍රජාතන්ත්‍රවාදයට හෝ ජනතාවට ලැබුණු කිසිම අර්ථයක්‌ තිබේද?

ඡේ. ආර්. ගේ මැතිවරණ ක්‍රමය අද වන විට එකම පක්‍ෂය තුළ මරා ගන්නා ක්‍රමයක්‌ බවට පත්ව තිබේ. ජනමාධ්‍යවලින් අනාවරණය වූ තොරතුරු අනුව ආණ්‌ඩුවේ ඇමැතිවරු මේ මනාප පොරයේ ඉහළින්ම සිටිති. මනාප පොරයේ විලාසය රටට හෙළි කරන පෝස්‌ටර් හා කටවුට්‌ සංස්‌කෘතිය මැතිවරණ කොමසාරිස්‌ගේ නීතියට උඩින් පියාසර කරන්නකි. මැතිවරණ කොමසාරිස්‌වරයා පමණක්‌ නොව පොලිස්‌පතිවරයාද පඹ සැරසිලි බවට පත්ව තිබෙන මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා වැය වන මුදල් කොපමණ යන්නත් අද වේදිකාවලම ප්‍රශ්න කරනු පෙනේ.

රජය පසුගිය දිනයකදී විවෘත කළ රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානයට කළ ආයෝජනය ලෝකයේ රජයක්‌ විසින් මෙතෙක්‌ සිනමාව සඳහා, සිනමා කර්මාන්තය සඳහා කළ විශාලතම ආයෝජනය බවද කියනු ඇසිණි. එහෙත් රජයේ මන්ත්‍රීධුර අපේක්‍ෂකයන් විසින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ආයෝජනය කරන ලද මුදල ද ඊටත් වඩා වැඩි විය හැකි බව සමහරු කියති.

සිනමාව වැනි විශිෂ්ට කලාවක්‌ උදෙසා කරනු ලබන ආයෝජනය ඉතා වැදගත් හා බුද්ධිමය කටයුත්තක්‌ වුවද දේශපාලනය කර්මාන්තයක්‌ නැතහොත් ආයෝජනයක්‌ බවට පත්වීම නම් කිසිසේත් සතුටුදායක තත්ත්වයක්‌ නොවේ. මේසා ධනස්‌කන්ධයක්‌ වැය කරන්නේ කුමක්‌ සඳහාද? පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරයකුට හෝ ඇමැතිවරයකුට තමන් විසින් වැය කරනු ලබන ඒ මුදල් කන්දරාව උපයා ගැනීමට මඟක්‌ නැත්නම් මෙලෙස මුදල් වියදම් කරනු ඇත්ද? අද බලය, ධනය ඉපයීමේ මාර්ගය වී නැතැයි කිසිවෙකුට කිව හැකිද?

මෙම ක්‍රමය යටතේ ගරු මන්ත්‍රීවරයා විශ්‍රාම වැටුප් හා වෙනත් වරප්‍රසාද ගණනාවකටම හිමිකම් කියයි. ඔහුට හෝ ඇයට මන්ත්‍රීධුරය පස්‌වසරක්‌ හිමිව තිබුණොත් විශ්‍රාම වැටුප් ප්‍රතිලාභයක්‌ හිමිවේ. එපමණක්‌ නොව මෙම දේශපාලනයේ අනුහසින් මන්ත්‍රී පවුලට වුවද බොහෝ වරප්‍රසාද ලබා ගත හැකිය. ඒ අයට වුවද වසර පහක සේවයෙන් පසු විශ්‍රාම වැටුප් ලබා ගත හැකි බවද සමහරුන්ගේ විවේචනයකි.

දේශපාලනඥයා යනු ජනතා සේවය වෙනුවෙන් කැපවූ අයෙක්‌මද යන්නත් අද ගැටලුවකි. ඔහුගේ සබඳතා ජාලය මුදල් ඉපයීමටත්, රජයේ කොන්ත්‍රාත් ආදිය කර ගෙන යැමටත් බලයෙන් යුතු බව කව්රුත් දනිති. කොළය මඩවන සතා කොළයෙන් කන්නාක්‌ මෙන් දේශපාලනයේදී එයින්ම කෑම බීම අද සම්මත වී තිබුණත් එය ඉතා ලැඡ්ජා සහගත දෙයකි. එහෙත් එබඳු දේවල් නොකරන දේශ පාලනඥයෝද සිටිති.

දේශ පාලනයේදී අත දිග හැර පවුල්වලට, හිතවතුන්ට සංග්‍රහ කරන, සාද පවත්වන නාස්‌තිකාරයන් ගැන හෙළි කිරීම මෙවේලේ සුදුසු නැත. එහෙත් දේශපාලනයේදී තමන්ට හිමි වරප්‍රසාද අත්හැර දැමූ අයද සිටින බව කිව යුතුය. කිසිම දිනක මත්පැන් බලපත්‍ර නොදුන් ඇමැතිවරුද සිටිති. ආචාර්ය සරත් අමුණුගම, දිනේෂ් ගුණවර්ධන, හා බන්දුල ගුණවර්ධන ඒ පව් වැඩේ නොකළ බව ප්‍රසිද්ධියේම කියති.

බන්දුල ගුණවර්ධන තමන් විසින් නොකරන ලද ලබා නොගන්නා ලද වරප්‍රසාද ගැන පුවත්පත් වලද පළකර තිබිණි. ඔහු සිය මන්ත්‍රී වැටුප හෝ රැගෙන නැත. නිල නිවාසය හෝ රජයේ වාහනද ගෙන නැත. විශේෂයෙන් නිල සංචාරවලදී ලබාගත් මුදලින් ඉතිරි මුදල් රජයට බාර දුන් බවද සඳහන් කර ඇත.

මේ තොරතුරු මා සොයා ගත්තේ ඔහුගේම නිවේදනයකින්ය. කිසිවෙක්‌ ඔහුට අභියෝග නොකිරීමෙන්ද එය සත්‍යයක්‌ බව තහවුරු වේ. එහෙත් මේ රජයේම නාස්‌තිකාර ඇමැතිවරු වූහ. ජනතාවද ඒ බව දනිති. පොදු ජනතාවගේ මුදල් අයුතු හා අසාධාරණ ලෙස යොදා ගැනීම සඳහා මන්ත්‍රීකම හෝ ඇමැතිකම බලපත්‍රයක්‌ ලෙස සමහරු කල්පනා කරත්ද?

අනෙක්‌ අතට රටේ ජන ජීවිතය පිළිබඳ සත්‍යය නම් ඔවුන් ආර්ථික දුෂ්කරතා මැද ජීවිත ගෙවන බවය. පසුගියදා කළුගඟට වීසි කරන ලද දරුවාගේ මව එබඳු තත්ත්වයකට වැටීමේ මූලික හේතුව දුප්පත්කම බවද හෙළි වී තිබේ. දුප්පත්කම නමැති හේතුව සමාජ අසාධාරණයන්ට හෝ මිනීමැරීමට හෝ සාධාරණ කරුණක්‌ නොවන බවද කිව යුතුය.

පොදු ජනතාවගේ දුප්පත්කම හා ගොවීන්ගේ අඳෝනාද දේශපාලනයේදී හොඳට භාවීත කළ හැකි අවියකි. අද ගොවීන් ගැන කතා කරන විපක්‍ෂයට තමන්ගේ පාලන කාලවලදී ගොවීන්ගේ සුබ සාධනයට කළ දේවල් එකක්‌ හෝ කිව හැකිද? සෞඛ්‍ය, අධ්‍යාපනය වැනි දේවලදීත් මේ අයට ජාතික පිළිවෙතක්‌ සාදා ගත නොහැකි විය.

අද දේශපාලන වේදිකාවලින් කෙරෙන විවේචනත්, ප්‍රචාරක ව්‍යාපාරවලින් ඉදිරිපත් වන යෝජනාත් දෙස බලන විට නම් මේ රට සුරපුරයක්‌ කිරීමට ඒවායින් අඩක්‌ වුවද ප්‍රමාණවත් බව පෙනී යයි. එහෙත් බලය අතටගත් පසු මේ අය කෙසේ ක්‍රියා කරත්දැයිද නිසැකව කිව හැක්‌කේ කාටද?

තවත් වැදගත් කරුණක්‌ නම් දේශපාලනය නිසා කිසිවකුට ප්‍රභූ තත්ත්වයක්‌ හිමි කරගත හැකිද යන්නත් ගැටලුවකි. ප්‍රභූන් ලෙස සියලුම දේශපාලනඥයන් හැඳින්වීම අද සම්මතයක්‌ වී තිබේ. එහෙත් ප්‍රභූවරයා යනු පරමාදර්ශී පුද්ගලයෙකි. දේශපාලනයට සම්බන්ධව සිටි ප්‍රභූ පුද්ගලයෝද සිටිති.

පාර්ලිමේන්තුව නියෝජනය කළ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, මෙන්ම ඩඩ්ලි සේනානායක, එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක, සිරිමාවෝ බණ්‌ඩාරනායක, ඩී. ඒ. රාජපක්‍ෂ, පිලිප් ගුණවර්ධන වැනි තවත් නම් එයට ඇතුළත් කළ හැකිය. ඩඩ්ලි සේනානායක වැනි අගමැතිවරයකු මිය යනවිට බැංකු ගිණුමේ තිබුණේ රුපියල් 400 ක්‌ වැනි මුදලක්‌ බවද කියති. එහෙත් අද ඇතැම් ඇමැතිවරු තමන්ගේ ගිණුමට මුදල් ලැබුණේ කෙසේද යන්නවත් නොදනිතියි කියන වාර්තා ද ලැබේ.

අනෙක්‌ අතට ඇතැම් දේශපාලනඥයන්ගේ හැසිරීම් රටාවන් පවා පිළිකුල් සහගතය බොහෝ දේශපාලනඥයෝ සාහසිකව හැසිරෙති. වාචාල බස්‌ දොඩති. සමාජ විරෝධී කටයුතු කරති. නීතිය හා යුක්‌තිය නොසලකති. අපරාධකරුවන්, පාතාලයන්, මැරයන් හා විවිධ දූෂිත පුද්ගලයන් සමග සබඳතා පවත්වති. ඔවුන්ගේ සේවය ලබා ගන්නා අතරම ඔවුන්ට රැකවරණයද සලසා දෙති. එබඳු මුග්ධ හැසිරීම් ඇත්තෝ ප්‍රභූන් ලෙස සැලකීමට නොහැකි වෙති.

ශ්‍රී ලංකාවේ දේශපාලනයේ අද තිබෙන නරකම හා අනතුරුදායකම ලක්‍ෂණයක්‌ නම් එය ප්‍රභූන්ගෙන්, උගතුන්ගෙන් හිස්‌වීමය. රාජ්‍ය දේපල සූරාකෑම්, බලය අපයෝජනය වැනි දේ පිළිබඳ චෝදනා ලත් කිසිවෙකුට එරෙහිව ගත් පියවරක්‌ තිබේද? කෝප් වාර්තාව ගැන හෝ අල්ලස්‌ චෝදනා නැඟෙන සමහරුන් ගැන හෝ විධිමත් පරික්‍ෂණයක්‌ කර තිබේද?

අපගේ මේ සියලු විවේචන එක්‌ පක්‍ෂයකට හෝ එක්‌ රජයකට හෝ නොවන බවද කිව යුතුය. දේශපාලනයේ පහළ සිටම මේ සියලු අව ලකුණු දැකගත හැකිය. දේශපාලනය යනු පහසුවෙන් යමක්‌ උපයා සපයා ගන්නා ක්‍රමයක්‌ මෙන්ම හතර වරිගයම එගොඩ කරගත හැකි ක්‍රමයක්‌ද වී තිබේ. ගෙවී ගිය දසක තුනක පමණ කාලය මුළුල්ලේම මේ රටේ දේශපාලනය හා සමාජය පිළිබඳ යථාර්ථය එය නොවේද?

මෙවර මහමැතිවරණය සඳහා තරග වදින හැම දෙනෙක්‌ම ඉදිරිපත් කරන්නේ ආකර්ෂණීය තේමා පාඨයි. නාස්‌තිය හා දූෂණය නැති කිරීම, යහ පාලනයක්‌ ඇති කිරීම මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම වැනි දේත් එයට අඩංගුය. විශ්වසනීය වෙනසක්‌ ගැනද සමහරු කියති. ශිෂ්ට සම්පන්න දේශපාලනයක්‌ ගැනද ඇසෙයි. එහෙත් මේවායින් එකක්‌ හෝ ජයග්‍රහණයෙන් පසු යථාර්ථයක්‌ වන දේවල්ද?

මේ සියලු දේවල් හුදු මවාපෑම් බව දැන දැනත් ජනතාව ඒ අපේක්‍ෂකයන්ට මනාප දෙන්නේ ඇයි? දේශපාලනය පිළිsබඳ තීන්දු ගැනීමේදී පෝස්‌ටර්, කටවුට්‌ හා දැන්වීම් දෙස පමණක්‌ බලන්නේ ඇයි? ඇත්තවශයෙන්ම අප පිළිතුරක්‌ සොයා ගත යුත්තේ එයටය. ජනතාවගේ කිසිදු බලාපොරොත්තුවක්‌ ඉටු නොකර ධනය ඉපයීමට හා දුසිරිතට අනුබල දුන් අයට ඡන්දය දෙන්නේ ඇයි?

දේශපාලන වේදිකාවලදී මෙන්ම රූපවාහිනි නාලිකාවල සිදුවන සංවාද හා පුවත්පත් සාකච්ඡා වැනි විවිධ තැන්වලදීත් රටේ ආර්ථිකය, පාලනය, දූෂණය යනාදිය ගැන චෝදනා ඇසෙයි. ජනාධිපතිවරයා පවා ප්‍රකාශ කරන්නේ හොඳම අයට මනාප දී පාර්ලිමේන්තුවට එවිය යුතු බවයි. ඒ ප්‍රකාශය තුළ ඇත්තේ නරක අයද තරග වැදී සිටින බවය.

එ. ජා. ප. නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රචාරක දැන්වීමකදී ඉතා සැකෙවින් කියන්නේ රටේ ආර්ථිකය කඩා වැටී තිබෙන බවත් ඇමැතිවරුන් ජනතාවගේ බදු මුදල් වලින් සුඛවිහරණය ලබන බවත්ය. එසේම රජයේ ආදායමට වඩා වැඩි ණයවාරිකයක්‌ ගෙවීමටද සිදුවී තිබෙන බවත්ය. තමන්ට හා තම පක්‍ෂයට එයින් රට ගලවා ගත හැකි බවද ඔහු කියයි. පාලකයන් රාජ්‍ය දේපල අපයෝජනය කරන බවද ඔහුගේ තවත් චෝදනාවකි.

ජනතාව මේ කිසිම දෙයක්‌ පිළිබඳව බැරෑරුම් ලෙස සලකා ඡන්දය පාවිච්චි කරන්නේද යන්න අප්‍රේල් 9 වැනිදා වනවිට දැන ගත හැකිය. රටේ සංවර්ධනය හා ආර්ථික යුද්ධය ජය ගැනීම බාර කළ යුත්තේ මහින්දට ද? නැතහොත් රනිල්ට ද යන්න ඔවුහු තීරණය කළ යුතු වෙති. එම තීරණය ගැනීම සඳහා වුවමනා හේතු සාධක තර්ක විතර්ක මේ වන විට ඕනෑ තරම් සපයා තිබේ.

අප්‍රේල් 08 වැනිදා රහසිගතව ඔවුන් විසින් ගසනු ලබන කතිරය ඉතා වැදගත් එකක්‌ වනු ඇත. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා වෙනුවෙන් තෝරන පාර්ලිමේන්තුවේ බලය හා ශක්‌තිය කුමක්‌ද යන්න ඔවුහු කල්පනා කළ යුතු වෙති. මහින්දගේ මෙහෙයුම් යන්ත්‍රය හෙවත් 30 හෝ 35 කුඩා කැබිනට්‌ මණ්‌ඩලයට මේ රට බාර දෙන්නේද එහිදී 2/3 බලයක්‌ දිය යුතුද යන්නත් ඔවුන්ට අයිති වැඩකි.

ජනතාවගේ මනාපය මානසික අල්ලස්‌ මගින් උදුරා ගැනීම සඳහා නිර්මාණය කරනු ලබන ආකර්ෂණීය තේමා පාඨවලට වඩා වෙනස්‌ බුද්ධිමය ඇසක්‌ ජනතාවට තිබිය යුතුය. 2010 දී එනම් මෙම 8 වැනිදා බලයට පත් කරන අයගේ ක්‍රියාකාරකම් මත ප්‍රතිඵල බලා ගත හැකි වන්නේ තව අවුරුදු හයකට පසුව බවද ජනතාව මතක තබා ගත යුතුය. එසේම ඒ අතරතුර යළිත් මැතිවරණයක්‌ නොපැමිණියොත් හැර තමන් පැවරූ ජනවරම ආපසු කැඳවිය නොහැකි බවද ජනතාව තේරුම් ගත යුතුය. පාර්ලිමේන්තුවට යෑවිය යුත්තේ විකටයන් හෝ මෝඩයන් හෝ නොව හෘදය සාක්‌ෂියක්‌ සහිත මිනිසුන් බවද කල්පනා කළ යුතුය. දේශපාලනයට හෘදය සාක්‍ෂියක්‌ ලබාදීම අද තිබෙන ප්‍රබල ජාතික අවශ්‍යතාව නොවේද?


මේඝ
 

 

 

 
Powered By -