ඇසි දිසි මානය
මුස්‌ලිම් සඳ බැලීම සහ සිංහල හඳ බැලීම

මේ සිංහල අලුත් අවුරුදු කාලයයි. අවුරුදු සතියේ අවුරුදු කවි, අවුරුදු කෙටි කතා, අවුරුද්ද පිළිබඳ ලිපි රචනා පල කිරීම පුවත්පත්වල සාමාන්‍ය සිරිතයි.

මෙවර අපගේ නිම්නය අතිරේකයේ පළවන්නේ ඔබට පුරුදු ලේඛකයකු වන ලීලානන්ද වික්‍රමසිංහ ලියූ අවුරුදු කෙටිකතාවයි.

එය නම් කොට ඇත්තේ "නව සඳ" යනුවෙනි. වැඩිහිටි පරම්පරාවේ පියකු අවුරුදු චාරිත්‍රයක්‌ ලෙස තම පුතා නව සඳ බැලීමට රැගෙන ගිය සැටිත් දෙවන පරම්පරාවේ පුතා සඳ යනු දේවත්වයෙන් සැලකියුතු දෙයක්‌ නොව එය තවත් උප ග්‍රහයෙක්‌ පමණක්‌ බව කියමින් උපහාසයට ලක්‌කිරීම පැවසීමේ මෙම කෙටි කතාවේ තේමාවයි.

නව සඳ බැලීම ගැන මේ කෙටි සටහන ලියන්නට මා පොළඹවනු ලැබුයේ එම කෙටිකතා තේමාවේ අපූර්වත්වය බැව් පළමුව සඳහන් කළ යුතුය.

නව සඳ බැලීම යනුවෙන් අවුරුදු චාරිත්‍රයක්‌ දැන් තිබේද නැද්ද කියාවත් නව පරම්පරාව නොව අපේ පරම්පරාවේ අයද නොදන්නේ යයි මම සිතමි. නව සඳ බැලීමේ අවුරුදු චාරිත්‍රය ආදී ඉතිහාසයේ මිනිසාට තිබුණු වලිගය කාලයාගේ ඇවෑමෙන් ගිලිහී ගියාක්‌ මෙන් දැන් නැත්තටම නැතිවී ගොස්‌ තිබේ.

නමුත් ඈපා හෝ ලීලා පංචාංග බිත්ති ලිතක්‌ ළඟට ගොස්‌ බැලුවහොත් මේ අලුත් අවුරුදු චාරිත්‍රය මේ අවුරුද්දේත් අප්‍රේල් 18 වැනිදාට යෙදී ඇති බැව් ඔබට දැකිය හැක.
ෙ€දනීය කරුණ නම් පංචාග බිත්ති ලිතක්‌ තියෙන ගෙදරක්‌ද සොයා ගැනීමද දැන් අපහසුවීමය. එකල බොහෝ ගෙවල්වල ඈපා ලිත බිත්තියේ අලවා තැබීම අපේ පැරැන්නන්ගේ සිරිතක්‌ විය. පෝයදින, පෝය ලබන, ගෙවෙන වේලාවල් ලග්නයට අනුව වසරේ අය වැය හූනන් ඇඟ වැටීමේ පලාපල, වසරේ සුබ නැකත් ආදී බොහෝ දේ එම ලිතේ තිබිණි. එබැවින් ඈපා හෝ ලීලා බිත්ති ලිත අපේ පැරණි සමාජයේ සංස්‌කෘතික ලියවිල්ලක්‌ බඳු විය.

බිත්තියෙන් ලිත ඉවත්වී යැම වූ කලී අපේ චාරිත්‍රවාරිත්‍රවලට අත්වෙමින් තිබෙන ඉරණම පිළිබඳ නිහඬ කතාවක්‌ කියා පාන්නක්‌ වැන්න.

නවසඳ බැලීමේ චාරිත්‍රය අභාවයට ගොස්‌ ඇතත්, එය අවුරුදු චාරිත්‍රවලට ඇතුළත්ව තිබෙන්නේ ඇයි දැයි සොයා බැලීම සුදුසු යෑයි මම සිතමි.

ශ්‍රී ලංකාවාසීන් වන අපි ආර්යජනයාගෙන් පැවත එන්නන් වෙමු. ආර්යයන්ගේ ජීවන ක්‍රමය වූයේ මහපොලොව සොලවා වනපල, භවභෝග සිටුවා පල දැරූ පසු ඒවායින් බඩගින්න නිවාගැනීමයි.

ආර්ය ජනයා පමණක්‌ නොව ආදී කාලීන ලෝක ජනයා හිරුටත් සඳුටත් අප්‍රමාණ ලෙස භක්‌තිමත් වූවාසේම හිරු සඳු දෙවියන් ලෙස සැලකූහ. හිරුට සඳුට නමස්‌කාර කළහ. වැන්දාහ.

ආදී ජනයා කාලය මැන ගත්තේ චන්ද්‍රයා බැසයන නැග එන ආකාරය අනුවය.

පෝය දෙකක්‌ ගෙවී ගිය පසු මාසයක්‌ අවසන් වේ. එම කාල නියමය හඳුන්වනු ලැබුයේ චන්ද්‍රමාස ක්‍රමය ලෙසයි.

චන්ද්‍රමාස ක්‍රමය අනුව අවුරුද්දේ පළමු මාසය බක්‌ හෙවත් භාග්‍යවන්ත මාසයයි. ලැබූ අලුත් අවුරුද්දේ පළමු මාසයේ පළමු සඳ ඇබින්ද දැකීම මහත් භාග්‍යයක්‌ ලෙස අපේ පැරැන්නන් සැලකූහ.

නවසඳ බැලීම සිංහල අලුත් අවුරුදු චාරිත්‍රයක්‌ ලෙස එකතුවී ඇත්තේ එබැවිනි.

මේ චාරිත්‍රය මුස්‌ලිම් ජනයා අතරද තිබීම අනිත් විශේෂ කාරණයයි.

රාමලාන් මාසයේ උපවාස කිරීම හෙවත් නෝම්බි ඇල්ලීම මුස්‌ලිම් ජනයාගේ ආගමික චාරිත්‍රයකි. ඉස්‌ලාම් දින දර්ශනය අනුව නවවැනි මාසය රාමලාන් නමින් හැඳින්වේ. එම මාසයේ සෑම දිනකම පෙරදිග අහසේ සුද පෙනෙන්නට පෙර ආහාර ගෙන හිරු බැස යන තෙක්‌ කිසිදු ආහාරයක්‌ නොගෙන සිටීම රාමලාන් උපවාසයයි.

ඇත්තෙන්ම මෙයින් අදහස්‌ කෙරෙන්නේ ආහාර වර්ජනයක්‌ම නොව ආශාවෙන් හැඟීම් මර්දනය කිරීමෙන් ආධ්‍යාත්මික පිරිසිදු වීමට පුහුණුවක්‌ ලබා ගැනීමයි.

මුස්‌ලිම් ජනයා මෙම උපවාසය අත්හරිනු ලබන්නේ රාමලාන් මාසය අවසන් වී ඊළඟ මාසයේ පළමු සඳ දකින්නට ලැබෙන දිනදීය. ඔවුන් සඳ බලන්නේ උපවාසය අත්හැරීම සඳහා රාමලාන් මාසය අවසන්වී දැයි දැනගනු පිණිසය.

ඉස්‌ලාම් භක්‌තිකයන්ට දහවැනි මාසයේ පළමු සඳ දකින්නට වලිකන්නේ ඒ සඳ දැක්‌මෙන් තමන්ට වැඩිවැඩියෙන් ධනය ලැබෙතැයි හැඟීමෙන් බවට මතයක්‌ ඇතත් චාරිත්‍ර ගැන දන්නා උගත් මුස්‌ලිම්වරයකු කීවේ එය සම්පූර්ණ බොරුවක්‌ බවයි.

සිංහල අප අප්‍රේල් මස නව හඳ බැලීමත් මුස්‌ලිම් ජනයා නව සඳ බැලීමත් අතර සමානතාවක්‌ තිබෙන බව මෙයින් පෙනේ. අප දෙගොල්ලාම කරන්නේ අලුත් මාසය උදාවූයේ දැයි සොබා දහම දෙස බැලිමෙන් සොයා ගැනීමය.

ඉංග්‍රීසින් අපට කැලැන්ඩරය පුරුදු කළහ. ඒ නිසා ආර්යයන් ගේ සිරිතට අනුව දැන් අපට චන්ද්‍රමාසම් ක්‍රමය ඔස්‌සේ මාසය දැන ගැනීමට සඳ බැලිය යුතු නැත.

එබැවින් අලුත් අවුරුද්දට සඳ බැලීමේ සිරිත පංචාග ලිතේ ඇතත් එය අපෙන් ගිලිහී ගිය චාරිත්‍රයක්‌ බවට පත්ව තිබේ.

අලුත් අලුත්දෑ වහා වැළඳගැනීම සිංහල අපේ සිරිතය. නමුත් දැඩි ආගමික විනයකින් යුතු මුස්‌ලිම් ජනයා ඉංගිරිසි කාරයා මොනදේ ගෙනැවිත් පුරුදු කළද තම ආගමික චාරිත්‍රවල ඉපැරැණි බව අත් නොහරිති. මාසයක්‌ම දිවා කාලය බඩගින්නේ සිටින ඔව්හු රාමලාන් මාසය අවසන්දැයි දැන ගැනීමට නව සඳ බැලීම අනිවාර්යයෙන්ම කරති.

චන්ද්‍රසිරි දොඩන්ගොඩ

 
Powered By -