නව අගමැති ලෙස දිමු දිවුරුම් දෙයි

අනුර බාලසූරිය

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් දි. මු. ජයරත්න මහතා ඊයේ (21 වැනිදා) පස්‌වරු 6.06 ට යෙදුණු සුබ මොහොතින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

දිවුරුම්දීමේ උත්සවය අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

දි. මු. ජයරත්න මහතා ශ්‍රී ලංකාවේ දහ හතරවන අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දීමෙන් පසුව හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක, හිටපු ඇමැතිවරු හා පැමිණ සිටි පිරිස ඔහුට සුබ පැතූහ.

එජනිස මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, බැසිල් රාජපක්‍ෂ, ඩලස්‌ අලහප්පෙරුම, නිමල් සිරිපාල ද සිල්වා යන මැති ඇමැතිවරුන් හා පක්‍ෂ නායකයන් කිහිප දෙනෙකු සහභාගි වූ අතර නව අග්‍රාමාත්‍යවරයාගේ බිරිඳ සහ දරුවන් තිදෙනාද මෙම අවස්‌ථාවට එක්‌වී සිටියහ.

දි. මු. ජයරත්න මහතා ශ්‍රී ල.නි.ප. නිර්මාතෘ ඇස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා සමග එක්‌වූයේ 1952 දී පක්‌ෂයේ සමාරම්භයත් සමගමය. දේශපාලනයට ඒමට පෙර ගුරුවරයකු වූ හෙතෙම ඉනික්‌බිති උඩපළාත කඳුකර පහළ ගම් සභාවේ සභිකයකු ලෙස සිය දේශපාලන ජීවිතය අරම්භ කළේය.

දිසානායක හේරත් මුදියන්සේලාගේ පුංචිරාල සහ ආරච්චිලාගේ ගෙදර බණ්‌ඩාර මැණිකේ යන යුවළට දාව 1931 ජුනි මස 04 වැනි දින ලැබුණු පුතුට නම් තබන ලද්දේ දි. මු. ජයරත්න යනුවෙනි. පසුව ගම්පොළ දොලුව මහ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ දි. මු. ඉන්පසු ගම්පොළ සහිරා විද්‍යාලයේ හා මහනුවර ගාන්ධි විද්‍යාලයේ සිය අධ්‍යාපනය සම්පූර්ණ කර ඇත.

පාසල් අධ්‍යාපනය නිමාකළ හෙතෙම 1957 වසරේදී සිය මූලික අධ්‍යාපනය ලැබූ දොලුව මහා විද්‍යාලයේම ගුරුවරයෙකු වශයෙන් වෘත්තීය ජීවිතය ආරම්භ කළේය.

ගුරුවෘත්තියෙන් සමුගෙන තැපැල් දෙපාර්තමේන්තුවට එක්‌ව දොලුව උප තැපැල් ස්‌ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ඔහු සිය ඉරණම වෙත ළංවිය.

ඒ උඩපළාත කඳුකර පහළ ගම්සභා නියෝජිතයකු වූ හෙතෙම 1960 දී සිය දේශපාලන ජීවිතය අරඹමින්ය. ඔහු ගම්සභාපති ධුරයට ද පත්විය. පසුව මහනුවර දිස්‌ත්‍රික්‌ ගම්සභා සම්මේලනයේ සභාපති ධුරයටත් ඉන් අනතුරුව සමස්‌ත ලංකා සම්සභා සම්මේලනයේ සභාපති ධුරයටත් පත්විය.

මෙලෙස දේශපාලනයේ පහළ තැනින් සිය දේශපාලන දිවිය ඇරඹූ ඔහු 1970 වසරේදී නිදහස්‌ පක්‍ෂය නියෝජනය කරමින් සමගි පෙරමුණින් ගම්පොළ ආසනයට තරග කර ජයග්‍රහණය කළේය.

1970 සිට 1977 දක්‌වා පැවැති සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ සමගි පෙරමුණු රජයේ පාර්ලිමේන්තුව නියෝජනය කළ දක්‍ෂ කථිකයෙක්‌ද විය. 1977 දී පැවැති මහ මැතිවරණයෙන් පරාජයට පත්වූ ඔහු නැවතත් 1989 වසරේදී පාර්ලිමේන්තුවට තේරීපත්ව 1994 දක්‌වා විරුද්ධ පක්‍ෂයේ මන්ත්‍රීවරයෙකු පමණක්‌ නොව පෙරළිකාර මන්ත්‍රීවරයෙක්‌ ද විය.

1994 වසරේදී ඔහු නැවතත් පොදු පෙරමුණෙන් තරග කොට මහනුවර දිස්‌ත්‍රික්‌කයේ වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය.

ඔහු පොදු පෙරමුණු ඡන්ද ව්‍යාපාරයේදී පොලිස්‌ අත්අඩංගුවට පවා පත්විය. ජයරත්න මහතා පොලිස්‌ අත්අඩංගුවට පත්වූ අවස්‌ථාවේ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එදා නීතිඥවරයකු වශයෙන් ඔහු වෙනුවෙන් පෙනී සිටියේය.

පොදු පෙරමුණු රජයේ ඉඩම් කෘෂිකර්ම හා වන සම්පත් ඇමැති ධුරයට පත්වූ දි. මු. ජයරත්න මහතා 2000 වසරේදී කෘෂිකර්ම, ආහාර සමුපකාර ඇමැති ධුරයටත්, 2003 දී තැපැල් හා විදුලි සංදේශ ඇමැති ධුරයටත්, 2004 හා 2005 වසරවලදී එම ඇමැති ධුරයට අමතරව උඩරට සංවර්ධන, ග්‍රාමීය ආර්ථික සංවර්ධන ඇමැති ධුරයටත් පත්විය. 2007 වසරේදී වැවිලි කාර්මාන්ත අමාත්‍යවරයා වශයෙන් පත්විය.

ජ්‍යෙෂ්ඨ ඇමැතිධුර ගණනාවක්‌ හෙබවූ දි. මු. ජයරත්න මහතා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයෙකු මෙන්ම පොදු ජන එක්‌සත් පෙරමුණේ මහ ලේකම්වරයා ද වේ.

අනුලා යාපා මහත්මිය සමග විවාහ දිවියට පත් දි. මු. ජයරත්න මහතාට හා එම මහත්මියට පුතෙකු හා දියණියන් දෙදෙනකු සිටිති.

අගමැතිවරයෙකු වූ ඩී. බී. විඡේතුංග මහතාගෙන් පසු කන්ද උඩරටින් බිහිවන දෙවැනි අග්‍රාමාත්‍යවරයා වන දි. මු. ජයරත්න මහතා ශ්‍රී ලංකාවේ 14 වැනි අග්‍රාමාත්‍යවරයා වශයෙන් ශ්‍රී ලංකා ඉතිහාසයට එක්‌වනු ඇත.
 

 
Powered By -