දැයට බත සපයන කුඹුරේ කතාව


බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන හැරුණ විට ජාතියට සවිය දුන් තවත් රුවන් තුනක්‌ එදා හෙළ දිව ආර්ථිකයට උරුම වී තිබිණි. ගවයා, කුඹුර සහ පොල්ගස එම රත්න තුනයි. එම රත්න තුනේ දෙවැන්න වූ කුඹුර ගැන තොරතුරු ටිකක්‌ හෙළි කිරීමට මෙම ලිපිය ලියමි.

"කුඹුර" යන නම සකස්‌ වූයේ දෙමළ භාෂාවෙන් ඇති "කුම්බුරු" වචනය අනුකරණය කිරීමෙන් යෑයි අදහසක්‌ ඇති අතර එය "කුඹුරු" වී "කුඹුර" බවට පසුව පත් වුණායෑයි සමහරුන්ගේ මතයකි. තවත් සමහරෙකු පවසන්නේ පාලි භාෂාවේ එන "කේදාර" යන වචනය "කුඹුර" ලෙස සිංහලයට නැඟුන බවයි. විල්හෙල්ම් ගයිගර් පඬිතුමා "කුඹුර" යන වචනයේ උත්පතිත්ය "ගම්භීර" යන්නෙන් විකාශය වුණා යෑයි අදහස්‌ කරයි. කෙසේ වෙතත් මෙම වදන අපට අනාදිමත් කාලයක්‌ තිස්‌සේ උරුම වී ආවකි.

බුදුරජාණන් වහන්සේ තම ශාසනයේ පූජනීය ඇඳුම ලෙස සකසාගත් ඇඳුම වූ "සිවුර" සඳහා තෝරාගත් හැඩය "කුඹුරක" ආකාරය නිසා කුඹුර මොන තරම් වටිනවා දැයි සිතා ගත හැක. ගොවියාත්, ගවයාත්, ගෙවිළියත්, එක්‌වූ තැන බිහි වුණ වචනය "ගොවිතැනය" ගොවිතැනේ මහ ගෙය කුඹුරය. කුඹුරට, "වෙළ" යනුවෙන් නාමයක්‌ ද සිංහලයේ ඇත. එලෙස වෙල් ලක්‍ෂයයක්‌ (කුඹුර ලක්‍ෂයක්‌) තිබුණ ප්‍රදේශය වෙල්ලස්‌ස විය. වෙල්ලස්‌සට මායිම් වූ අනෙක්‌ ප්‍රදේශය දීඝ මණ්‌ඩලය හෙවත් දිගාමඩුල්ලය. මේ සියලු ප්‍රදේශ ලක්‍ෂ ගණනක්‌ කුඹුරු පිහිටි දැයේ මහ ගොවිබිම්ය. ඒ ගොවිබිම් වල පිහිටි කුඹුරු වර්ග අපි හඳුනා ගනිමු. ප්‍රධාන වශයෙන් කුඹුරු වර්ග දොළොසක්‌ (12 ක්‌) පමණ වේ. ඓතිහාසික ලේඛන අනුව ඒමං මෙසේය.

1.උතුකුඹුරු 2. අග්‍රහාර කුඹුරු 3. අගම්පඩි කුඹුරු 4. අගාර කුඹුරු 5 අනුබු කුඹුරු 6 ඉරවලු කුඹුරු 7 ඉරකොඳු කුඹුරු 8 ආනප්පට්‌ට කුඹුරු 9 අස්‌වැද්දුම් 10 අටවරල කුඹුරු 11 අකරහ කුඹුරු -12 අඳ කුඹුරු.

1. උතු කුඹුරු

මෙම කුඹුරුවලට "උතු කුඹුරු" යෑයි නම යෙදුනේ සාරවත් කුඹුරු යන්නෙන් හැදින්වීමෙනි. අතීතයේදී කුඹුරුවල සරුභාවය අනුව රජයට බදු ගෙවීමට ගොවියාට සිදුවිය. ඒ අනුව කුඹුරු වර්ග තුනක කට බෙදා ඉතා සාරවත් කුඹුරු "උතු කුඹුරු" ලෙස ගෙන. එයින් අය කරන බද්ද අනෙක්‌ බදුවලට වඩා ටිකක්‌ වැඩිකර ඇත. මේ සඳහා බොහෝ සෙයින් තේරී ඇත්තේ වැව ආසන්නයේම තිබෙන කුඹුරුය. එම කුඹුරුවල සාරත්වය එනම් උච්ච බව උසස්‌ බව සලකා "උතු" යන වචනය යොදාගෙන ඇත. අනෙක්‌ කුඹුරු දෙවර්ගය "මැදී" පැසි යනුවෙන් වෙන්කර ඇත.

අග්‍රාහාර කුඹුරු

ආගමික වශයෙන් පූජනීය අයට පැවරූ ප්‍රදානය කළ කුඹුරු අගහැර කුඹුරු ලෙස ගැණින. මෙම කුඹුරුවලින් බදු අයකර ගනු නොලැබිණ. මෙලෙස ලැබුණ කුඹුරු රජකාලයේ සිට හිමිවූයේ පන්සල් දේවාල කෝවිල් ආදියටය. මේ අන්දමින් වෙන්වුණ විශේෂ ප්‍රදේශ නින්දගම් ලෙස ද හඳුන්වයි. ඒවාට ගොඩ මඩ දෙකම අයත් විය.

අගම්පඩි කුඹුරු

රජතුමන්ගේ රාජකීය අභ්‍යන්තර සේවක පිරිස අගම්පඩි ලෙස හැඳින්වින. දෙමළ වචන ශබ්දයක අරුතෙන් හැදුන මෙම වචනය පසුව අගම්පොඩි යනුවෙන් විකාශය විය. මෙම වචනය වාසගම් නාමය ලෙස හඳුන්වන පිරිස්‌ ද අප රටේ අතීතයේ සිට එයි. මෙම අය අතර සිටි හමුදා භට සේනාංකය ද හඳුන්වන ලද්දේ අගම්පඩි හමුදාව ලෙසය. ඒ අයගේ ප්‍රධාන හමුදා කඳවුර දඹදෙණි යුගයේදී පිහිටියේ දකුණු සිරිලක ගොස්‌ගොඩය. එම කඳවුරු බැඳි බිම පරතරකය" ලෙස අදත් හඳුන්වයි. මෙම අගම්පඩි පිරිස කඳවුරු කුළය ලෙස හැඳින්වූවා යෑයි සිතිය හැක. තොටගමුවේ ශ්‍රී රාහුල සංඝරාජයාණන් වහන්සේ මෙම කඳවුරු කුළයේ මා හිමි නමකි.

මෙම අගම්පඩි හමුදාවල සේවය කළ අයට රජතුමන් විසින් බදු අය කිරීම් වලින් නිදහස්‌ කර පිරිනැමූ කුඹුරු අගම්පඩි කුඹුරු ලෙස පුරාණයේ සිට පැවත එයි.

අගාර කුඹුරු

මෙලෙස හඳුන්වා ඇත්තේ වැඩි වශයෙන් ජලය රැඳෙන කුඹුරුවලටය. සමහර ප්‍රදේශවල මෙම කුඹුරු "දෙණි" කුඹුරු ලෙස ද හඳුන්වනු ඇත.

අනුබු කුඹුරු

තෙත් කලාපයේ ජලයෙන් හිඟ නොවූ ප්‍රදේශවල පිහිටා ඇති කුඹුරු "අනුබු කුඹුර" ලෙස සඳහන්ය. "අමාවතුර" නම් ඉපැරණි ග්‍රන්ථයේ ද මෙම කුඹුරු විශේෂය ගැන සඳහන්ය.

ඉරවලූ කුඹුරු

මෙලෙස හඳුන්වන කුඹුරු විශේෂය නම් බිම් ප්‍රමාණය පළලින්a අඩුවී දිගින් වැඩි වූ කුඹුරුය. ඉරක්‌ වැනි යන්න මෙයි කෙටි අර්ථයයි

ඉරකොඳු කුඹුරු

ඉරවලු කුඹුරුවලට මාතර ප්‍රදේශයේදී ව්‍යවහාර වූ නාමය "ඉරකොඳු යන්නයි.

ආනප්පට්‌ට කුඹුරු

මෙලෙස හඳුවන්නේ මුල් අයිතිකාරයාගෙන් එම කුඹුර වෙනත් අයෙකුට හිමිවීම නිසාය මෙහි සාමාන්‍ය තේරුම අන්‍ය ප්‍රාප්ත වූ කුඹුර යන්නයි.

අස්‌වැද්දුම

අස්‌වැද්දුම කුඹුරු ලෙස ගැනෙන්නේ කලින් කුඹුරක්‌ නොවූ බිමක අභිනවයෙන් සකස්‌ කර ගන්නා කුඹුරුයි. මේ නමින් සමහර පළාත්වල ගම්මාන ද පිහිටා ඇත.

අටවරල කුඹුරු

ලිස්‌සන සුළු මඩවලින් යුත් කුඹුරට "අටවරල" කුඹුරු යෑයි පැවසේ.

අඳ කුඹුරු

මෙලෙස හඳුන්වන්නේ අස්‌වැන්නෙන් කොටසක්‌ කුඹුරේ අයිතිකරුට ලබා දෙන පොරොන්දුව පිට වෙනත් අයෙක්‌a අස්‌වද්දන කුඹුරටය. එසේ වගාකරන ගොවියා "අඳ ගොවියා ලෙසද ව්‍යවහාර වේ. මෙම ගොවිතැන හා ගොවියා පිළිබඳව රජයේ සැකසුන ගොවි නියෝග හා ප්‍රතිපත්ති නීති රීති ඇතුළත් පණත "අඳ ගොවි පනත" ලෙසද හඳුන්වයි.

මෙම වර්ගවලට අමතරව තවත් කුඹුරු වර්ග වෙතොත් ඒවා කුමක්‌දැයි සොයාගත යුතුය. එය අපගේ දැනුම වැඩුමට හේතු වනු ඇත.

දේ.සු.ද. සොයිසා
 

 
Powered By -