රනිල්ගෙන් පස්‌සේ...

                             

අවුරුදු උත්සවයන්හි අලියාට ඇහැ තැබීමේ තරග පැවැත්වෙන අතරේම දේශපාලන පිටියේ ද "අලියාට ඇහැ" තැබීමේ තරගයක්‌ පැවැත්වෙමින් තිබේ. ජනාධිපතිවරණයට අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හා මහ මැතිවරණයෙන් එජාපය ලද පරාජය හේතුවෙන් දැන් යළිත් රනිල්ගේ නායකත්වය පිළිබඳ ප්‍රශ්නය එජාපය තුළ කරළියට පැමිණෙමින් තිබේ.

එජාපය දීර්ඝ කාලයක්‌ විපක්‍ෂයේ තබාගත් නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ ඉතිහාසගත වුවද, ප්‍රතිවාදී පක්‍ෂය සමග තරග කරන්නට හැකියාව හා වාසනාව ඔහු සතු නොවුවද පක්‍ෂ නායකත්වය රැක ගැනීමේදී ඔහු සතු හැකියාව හා වාසනා ගුණය ශ්‍රී ලාංකීය දේශපාලනයේ කිසිදු පක්‍ෂ නායකයකු සතු නොවූ තරම් මහඟු ය. එජාපය ලබන පරාජයක්‌ පරාජයක්‌ පාසා රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් ඉවත් කිරීම, කරළියට පැමිණිය ද ඒ සෑම මෙහෙයුමක්‌ නිමා වුණේ රනිල් යළි යළිත් නායකයා ලෙස ප්‍රතිෂ්ඨාපනය වීමෙනි.

ගෙවී ගිය මහ මැතිවරණයේදී එජාපය ලැබූ සුපුරුදු පරාජය හමුවේ දැන් යළිත් රනිල් පක්‍ෂ නායකත්වයෙන් ඉවත් කිරීමේ සුපුරුදු මෙහෙයුම ඇරඹී තිබේ. මෙවර රනිල්ගේ නායකත්වය සඳහා අභියෝගාත්මක ලෙස ඉදිරියට පැමිණ ඇති චරිත ලෙස නම් වන්නේ සජිත් ප්‍රේමදාස හා දයාසිරි ජයසේකරය. රනිල්ගේ නායකත්වය නිමවී හෝ ඔහු නායකත්වයෙහි සිටියදීම මෙම චරිත ද්විත්වයෙන් කවුරුන් ඉදිරි එජාප නායකත්වය දෙසට ගමන් අරඹනු ඇද්ද?

දේශපාලන පිටියේ සිටින "කැපුවත් කොළ" පිරිස්‌ දැන් අතට ගෙන සිටින්නේ ඉහත ප්‍රශ්නයය. ඩඩ්ලිගෙන් පසු ඡේ. ආර්. ද ඡේ. ආර්. ගෙන් පසු ප්‍රේමදාස ද, ප්‍රේමදාසගෙන් පසු ගාමිණී ද, ගාමිණීගෙන් පසු රනිල් ද එජාප නායකත්වයට පැමිණියා සේ රනිල්ගේ ඇවෑමෙන් එජාප නායකයා බවට පත්වන්නේ කවුද?

ඩඩ්ලිගෙන් එජාප නායකත්වය ඡේ. ආර්. අතට මාරුවන අවස්‌ථාව එජාප ඉතිහාසය තුළදී නායකත්වය සම්බන්ධයෙන් ඇතිවූ උග්‍රම ගැටුම ලෙස ගත හැකිය.

ඒ අවස්‌ථාවේදී සේනානායකවරු ඡේ. ආර් දෙස සැකයෙන් බලමින් ඔහු එජාපයෙන් එළියට දමන්නට හදන විට ඡේ. ආර්. ට සවියට සිටියේ එස්‌මන්ඩ් වික්‍රමසිංහය. දේශපාලන උපාය මාර්ගයේ ප්‍රවීණයකු මෙන්ම ලේaක්‌හවුස්‌ ආයතනයේ හිමිකාරීත්වය හේතුවෙන් ජනමාධ්‍ය ආධිපත්‍යයක්‌ ද ඔහු සතු වීම, ඡේ. ආර්. ට තනි නොවීමට ඒ මොහොතේ හේතුවක්‌ විය. ඩඩ්ලි ජීවතුන් අතර සිටියදීම එජාපයේ නිල නොවන නායකයා බවට ඡේ. ආර්. පත් කිරීමට තිරය පිටුපස සිට භූමිකාවක්‌ නියෝජනය කළේ එස්‌මන්ඩ්ය. ඡේ.ආර්. හා එස්‌මන්ඩ් අතර තිබූ ඥතිත්වය මේ නිසා "දේශපාලන සහෝදර බැම්මක්‌ බවට පත්ව තිබුණි. මේ සඳහා ඡේ. ආර්. විසින් එස්‌මන්ඩ්ට කළගුණ සලකන ලද්දේ, එස්‌මන්ඩ්ගේ පුත් රනිල්, එජාපයේ ක්‍රියාකාරී දේශපාලනයේ ඉදිරියෙන් තැබීමෙනි. කැලණිය ආසනයෙන් දකුණු කොළඹට ඡේ. ආර්. පැමිණි විට ද කැලණිය ආසනයේ සංවිධායකකම ඡේ. ආර්. විසින් බාර දෙන ලද්දේ රනිල් වෙතය. 1975 දී කැලණිය ආසනයේ සංවිධායක වූ රනිල් 1976 මැතිවරණය නිරණ කොමිසම විසින් කැලණිය හා මහර මැතිවරණ කොට්‌ඨාස අතරමැදට බියගම නමින් නව කොට්‌ඨාසයක්‌ නම් කිරීමෙන් පසු බියගම ආසනයේ එජාප සංවිධායකවරයා බවට පත් විය. 1977 දී මුල්වරට පාර්ලිමේන්තුවට පත් වූ රනිල් වික්‍රමසිංහ වෙත ඡේ. ආර්. ගේ විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ධුරය ලබාදීම රනිල්ට ඡේ. ආර්. ගෙන් ලැබුණු විසල් සැලකිල්ලක්‌ විය.

ඡේ. ආර්. ගෙන් පසු එජාපයේ නායකත්වයට පත්වීමේ සුදුසුකම් සහිත වැඩිමහල්, ජ්‍යෙෂ්ඨ පුද්ගලයන් සිටියද අනාගත එජාප නායකත්වය සඳහා ඡේ. ආර්. විසින් රනිල් වෙත මග විවර කරන අන්දම ඉදිරි දේශපාලන ඉව සහිත පුද්ගලයන්ට පැහැදිලිව පෙනෙන්නට විය. 1988 ජනාධිපතිවරණයට පෙර ඡේ. ආර්. විසින් තෙවරක්‌ විධායක ජනාධිපති ධුරය දැරීමට හැකියාව ලැබෙන පරිදි ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ ගෙන ඒමට සූදානම් විය. එම උත්සාහය සපල වූවා නම් ප්‍රේමදාස වෙනුවට එජාපයෙන් ඊළඟට බිහිවන නායකයා බවට රනිල් පත්වීමේ ඉඩකඩක්‌ නොතිබුණා නොවේ. ඡේ. ආර්. හා රනිල් අතර තිබූ දිගු වයස්‌ පරතරය නොවන්නට අවම වශයෙන් ඡේ. ආර්. ගේ ආණ්‌ඩුවක්‌ තුළම සභා නායක හෙවත් තුන්වැන්නා බවට රනිල් පත්වන්නට ඉඩ කඩ තිබුණි.

එක්‌ පුද්ගලයකුට ජනාධිපති ධුරය තෙවරක්‌ හෙබවීමට අවකාශ ලැබෙන පරිදි ව්‍යවස්‌ථාව සංශෝධනය කිරීමට 2/3 ක පාර්ලිමේන්තු බලයක්‌ තිබියදීත් ඡේ. ආර්. ට ඒ සඳහා යා නොහැකි වූයේ අගමැති ප්‍රේමදාස ඊට දැක්‌වූ දැඩි විරෝධය හේතුවෙනි. මේ නිසා රනිල්ට ඉක්‌මනින් එජාප නායකත්වයට පත්වන්නට ප්‍රේමදාස බාධකයක්‌ ව පැවතුනු බව පැහැදිලිය. එසේම ලලිත් ඇතුලත් මුදලි හා ගාමිණී දිසානායක වැනි ජනප්‍රසාදිත එජාප ජ්‍යෙෂ්ඨයන් නොවන්නට රනිල් මීටත් වඩා ඉක්‌මනට එජාප නායකත්වය හොබවන්නට ඉඩ තිබුණි. ඡේ. ආර්. ගේ පාලන කාලය තුළදී රනිල්ට ආණ්‌ඩු පක්‍ෂයේ ඉහළම තනතුරක්‌ නොලැබුණ ද ප්‍රේමදාසගේ පාලන සමයේදී ඊළඟ අගමැති ලෙස හැඳින්වෙන සභා නායක ධුරයට රනිල් පත් විය. ඡේ. ආර්. විසින් එජාපයේ නායකත්වය සඳහා රනිල් ගෙනා ආකාරයත්, පක්‍ෂ අභ්‍යන්තර අර්බුදත්, එල්. ටී. ටී. ඊ. ය විසින් එජාප නායකයන් වැලක්‌ ඝාතනය කිරීමත් හේතුවෙන් එජාපයේ නායකත්වයට රනිල් වික්‍රමසිංහ පත්විය. ඡේ. ආර්. හා එස්‌මන්ඩ් අතර තිබූ ඥතිත්වයත්, දේශපාලන සහෝදර බැම්මත් විසින් ඡේ. ආර්. විසින් එස්‌මන්ඩ්ගේ පුත් රනිල්ට එජාපයේ නායකත්වය තෙක්‌ යා හැකි ගමන්මගක්‌ පක්‍ෂය තුළ විවර කර දුන්නේය.

රනිල්ගේ ඇවෑමෙන් එජාප නායකත්වයට පත්වන පුද්ගලයා කවුරුද යන්න උපකල්පනය කිරීම සඳහා රනිල් ආ ගමන් මග උපයෝගී කර ගැනීම වැදගත් වන්නේ ඡේ. ආර්. රනිල්ට මග හෙළි කළා සේම රනිල් ද තවත් කෙනකුට මග හෙළි කරමින් සිටින නිසාය.

ඡේ. ආර්. විසින් රනිල්ට දේශපාලනය සඳහා මග හෙළි කරන ලද්දේ, රනිල් ගේ පියා වූ එස්‌මන්ඩ්ගේ ඥාතිත්වය හා "දේශපාලන සහෝදර බැම්මට" සැලකීමක්‌ ලෙසය. රනිල් විසින් එසේ මඟ හෙළි කරමින් සිටින්නේ රුවන් විඡේවර්ධනටය. රනිල් හා රුවන් ගේ පියා වන රංජිත් විඡේවර්ධන ඥතීන්ය. මෙවර රනිල් ඡේ. ආර්. ගේ චරිතයටත්, රනිල් ගේ චරිතයට රුවන්ද පණපොවන විට එස්‌මන්ඩ් චරිතයට සමගාමීව සිටින රංජිත්ද එස්‌මන්ඩ්ගේ මෙන්ම ප්‍රධාන පෙළේ පුවත්පත් හිමිකරුවෙකි.

ඡේ. ආර්. විසින් රනිල්ව දේශපාලන පිටියට බස්‌සන ලද්දේ, තමන් කොළඹට පැමිණ තමන් එතෙක්‌ නියෝජනය කරන ලද කැළණිය ආසනය රනිල්ට දීමෙනි. රනිල් විසින් රුවන් දේශපාලන පිටියට එවන්නේ තමන් කොළඹට පැමිණ තමන් නියෝජනය කළ බියගම ආසනය රුවන්ට දීමෙනි.

ඡේ. ආර්. විසින් රනිල්ට මග හෙළි කළ සේම රනිල් විසින් රුවන්ට දැන් මඟ හෙළි කරමින් තිබේ. එදා රනිල්ට තම ගමන ඉක්‌මන් කරගැනීමට තිබූ ප්‍රධාන බාධකයක්‌ වූයේ රණසිංහ ප්‍රේමදාසය. එසේම මෙවර රුවන්ටද බාධකයක්‌ බවට පත්වෙමින් සිටින්නේ ප්‍රේමදාස ගේ පුත් සජිත්ය. සජිත් එජාපයේ ඊළඟ නායකයා ලෙස පත් කරන්නට පොදුවේ එජාප පාක්‌ෂිකයන් සියලු දෙනාගේම ඇති කැමැත්ත රුවන්ගේ ගමන ඉක්‌මන් කිරීමට බාධකයක්‌ වී තිබේ. එදා රනිල්ට ලලිත්, ගාමිණී වැනි චරිත තම ගමන ඉක්‌මන් කරගැනීමට බාධකයක්‌ වූවාසේම දයාසිරි වැනි චරිත රුවන්ටද තිබේ.

එජාප ව්‍යස්‌ථාවෙන් රනිල්ට ලැබී ඇති බලතල අනුව පක්‌ෂ නායකත්වයෙන් රනිල් ඉවත් කිරීම සෙස්‌සන්ට නොහැක්‌කක්‌ බවට පත්ව තිබේ. එසේ වී රනිල් දීර්ඝ කාලයක්‌ එජාප නායකයාවී සිටින්නට සිටින්නට රුවන්ට එජාප නායකයත්වය සඳහා ඇති බාධක ඉවත්වී යනු ඇත.

මනෝඡ් අබයදීර

 
Powered By -


      උපාලි නිව්ස්‌පේපර්ස්‌ ප්‍රයිවට්‌ ලිමිටඩ්
           223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.