දියලුම සුරකිමු

රටේ ජාතික ආර්ථිකයට උරදෙන අමාත්‍යංශ අතුරෙන් සංචාරක අමාත්‍යංශය තුළින් අරඹා ඇති සංචාරක කර්මාන්තය වෙසෙසින්ම වැදගත් වෙයි. සංචාරක කර්මාන්තය ආකර්ෂණීය වූ තරමට වාර්ෂිකව මෙරටට ඇදී එන සංචාරකයන්ගේ සංඛ්‍යාව ප්‍රමාණාත්මකව ඉහළ යැම නිතැතින්ම සිදුවේ. මේ තත්ත්වය නිසාම අප අපේ සංචාරක ආකර්ෂණය රඳවා ගැනීමට සොබා සොඳුරු දසුන් සපිරි දායාද වඩාත් කැපවීමකින් හා උනන්දුවකින් යුතුව ආරක්‍ෂා කළ යුතුය. පාරිසරික වශයෙන් එම ස්‌ථාන සිත්ගන්නා සුළු ආකාරයට පවත්වාගෙන යායුතුය. එය එසේ සිදුවන්නේද යන්න සැබැවින්ම ප්‍රශ්නයකි.

අප උක්‌ත වදන් කිහිපය සටහන් කළේ ලොව දියඇලි අතුරින් 62 වැනි ස්‌ථානයට පත්ව ඇති මෙරටේ දියඇලි අතුරින් උසින් තුන්වැනි ස්‌ථානයේ ඇති ඌව පළාතේ අතිශය දැකුම්කළු දිය ඇල්ලක්‌ වූ දියලුම ගැන කතාකරන්නට පෙරවදනක්‌ වශයෙනි.

දුටු පමණින් සංචාරක සිත් මෝහනය කරන දියලුම ඇල්ල සොබාදහමින් ඌව පළාතට හිමි වූ මහඟු සම්පතක්‌ කිවහොත් එය නිවැරැදිය. බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් දියලුම පිහිටියේ වැල්ලවාය බෙරගල මහා මාර්ගය ආසන්නයේ කොස්‌ලන්ද සහ ගම්පහ යන ගම්මාන අතරේය. පූනාගල ඔයෙන් පෝෂණය වන දියලුම උසින් මීටර් 171 කි. පුනාගල ආශ්‍රිත දිය ඇලි සංඛ්‍යාවෙන් අවසන් දිය ඇල්ල සේ සලකනු ලබන දියලුම පළමුව කුඩාඔය හා එක්‌ව ගලාබසී. මේ දියදහරාව කිරිඳි ගඟට මුසු වී පසුව තිස්‌සමහාරාමය ආසන්නයේදී මුහුදට එක්‌ වේ.

දියලුම දියඇල්ල "ජලජ පහණ" ලෙසත් "විස්‌මිත දියඇල්ල" ලෙසත් නම් ලබා තිබේ. අතීතයේ දියෑලුම ඇල්ල ලෙසත්, දියහලුම ඇල්ල ලෙසත් මෙය නම් දරා ඇත්aතේ එහි ආකර්ෂණීය ලෙස දිය ගලා යන ආකාරය හැඩය හා පිළිවෙළ නිසාවිය යුතුය.

දියලුම ඇල්ල ආශ්‍රිත පහත් හෙල් කොටසේ සේම පහත් බිම් වල කොටියා දක්‌නට ලැබෙන බවත්, ඉතා දුලබ කටුසු වර්ගයක්‌ වන පඳුරු කටුස්‌සා සේම නෙමස්‌පීස්‌ පොඩි හූනා නමින් හඳුන්වනු ලබන හූනා ද මේ ආශ්‍රිතව වෙසෙන බව පරිසර විද්‍යාඥයෝ කියා සිටිති.

අපි දියලුම ඇල්ල පසුකර කොස්‌ලන්ද පෙදෙසට යන විට දකුණු පස දක්‌නට ඇති කඳු හා හෙල් ආශ්‍රිත වන ගහණය සෑම වසරකම සිව් වතාවක්‌ පමණ ගිනි තබා විනාශ කරනු දක්‌නට ලැබෙන බවත් මේ පාරිසරික අපරාධය නිසා ජල පෝෂක ප්‍රදේශයන්ට වන හානිය සුළුපටු නොවන බවත් ජ්‍යෙෂ්ඨ පරිසර විද්‍යාඥයකු වන සුමතිපාල හේවගේ මහතා අප හා සඳහන් කර සිටියේ දැඩි කම්පාවෙන් යුතුවය.

දියලුම මනස්‌කාන්ත පරිසරයට ඉතාමත් හානිකර ලෙස ඒ ආශ්‍රිතව පිහිටි අබලන් මඩු සේ සැලකිය හැකි කඩ දක්‌නට ඇති අතර යම් අයකුට වෙළ¹මක්‌ කරගත යුතුව ඇත්නම් එය සිත් ගන්නා ආකාරයට දැකුම්කලු මුහුණුවරකින් දියඇල්ලට සමීප නොවන ලෙස කරගෙන යැමේ උපදෙස්‌ අදාළ ප්‍රාදේශීය සභා මගින් ලබාදිය යුතුය.

දියලුම දියඇල්ල අසල වැසිකිලියක්‌ තනා ඇතත් එයට ජල පහසුවක්‌ නම් නැත. කිසිවිටෙකත් දියලුම අසල සංචාරකයන්ට එපා වන අප්‍රිය වන පරිසරයක්‌ නිර්මාණය නොවිය යුතුය. වෙළෙඳසල් අලෙවි කඩ වෙතින් ඉවතලන දෑ විධිමත් ලෙස බැහැරවිය යුතුය.

දියලුම දිය ගලා යන වටපිටාවේ මහා සෙල්පවු, (ගල්) දේශපාලනඥයන්ගෙන් නම් ගම් කතිර වලින් කැත වී තිබේ. මේවා මකා දමා මතු එවැන්නක්‌ නොවීමට වගබලා ගත යුතුය.

ඌව පළාත් සංචාරක අමාත්‍යංශය මගින් යෝජිත දියලුම දියඇල්ල ආශ්‍රිත සංවර්ධන ව්‍යාපෘතියක්‌ සඳහා මෙම ස්‌ථානයේ සමරු ඵලකයක්‌ පිහිටුවා ඇත. එහි සඳහන් ආකාරයට මහින්ද චින්තන වැඩපිළිවෙළ යටතේ, එවකට ඌව පළාත් මහ ඇමැති වී සිටි විජයමුණි සොයිසා මහතාගේ ඉල්ලීම පිට මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ මැදිහත් වීමෙන්, හපුතලේ නගර සභාවේ සභාපතිව සිටි සුමිත් සමයදාස හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්. එම්. ධනරත්න යන මහත්වරුන්ගේ සහාය ඇතිව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමට නියමිතය. සමරු ඵලක හැර අද එහි සංවර්ධනයක සටහනක්‌වත් නැත. මෙය, දියඇල්ලට තර්ජනයක්‌ වන ව්‍යාපෘතියක්‌ද පරිසරවේදීන්ට ප්‍රශ්නයක්‌ව පවතී. කවුරුන් කුමක්‌ කීවත් කළත් සොබාදහම නිර්මාණය කළ දේපළක්‌ අසල සංවර්ධනයේදී ඔලුවෙන් ටිකක්‌ කල්පනා කර බැලීම අත්‍යවශ්‍යයයි.

මෙහි නරඹන්නන්ට දුරින් සිට දියඇල්ල නරඹන්නට පහසුකමක්‌ ලබාදීම වැදගත්ය. හිතුමතේ කඩ සාප්පු අරින්නට ඇති ඉඩකඩ නැති කළ යුතුය. කැළිකසළ වලින් තොර පරිසරයක්‌ මෙහි තිබිය යුතුය. මේ අවට ගස්‌ ගල් දේශපාලකයන්ගේ නම්වලින් දූෂණය නොකළ යුතුය. දියලුම දියඇල්ල ගැන දැඩි ප්‍රසාදයක්‌ ඇති වන පරිසරයක්‌ නිර්මාණය විය යුතුය.

දඹේගොඩ ජිනදාස

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.