යුද ගිනි නිවුණු රටක දේශපාලන යාන්ත්‍රණයේ වගකීම!

පසුගියදා පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය විශිෂ්ට ජයග්‍රහණයක්‌ ලබමින් 2/3 ට ආසන්න ජයක්‌ ලබාගත් බව අද මුළු රටම දනී. මේ ජයග්‍රහණයේ රහස අන් කවරක්‌වත් නොව රටේ පැවති යුද භීෂණය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් මුලිනුපුටා දැමීමය.

සැබවින්ම මේ විජයග්‍රහණයට ජනාධිපතිවරයා, ආරක්‍ෂක ලේකම් ත්‍රිවිධ හමුදාපතිවරු, මාණ්‌ඩලික නිලධාරිවරු, හමුදාවේ මේජර් ජනරාල්වරු, සේනාංකාධිපතිවරු සහ ත්‍රිවිධ හමුදාවේ උසස්‌ නිලධාරීහු සහ සියලුම වීර සෙබළුනුත්, පොලිස්‌පතිතුමන් ඇතුළු පොලිස්‌ නිලධාරිවරු, රහස්‌ පොලිසිය සහ නිලධාරී ග්‍රාමාරක්‍ෂක ඇතුළු ආරක්‍ෂක අංශවල සියලුම දෙනාත් එක්‌ව කටයුතු කිරීම හේතූන් විය. තනි අතින් අත්පුඩි ගැසිය නොහැකිවාක්‌ මෙන් මේ සියල්ලගේ එකමුතුවෙන් ලෝකයේ පැවති දරුණුම ත්‍රස්‌තවාදයක්‌ හා යුද්ධයක්‌ රටින් අතුගා දැමීමේ ගෞරවය ජනාධිපතිවරයා ඇතුළු රජයටත් මහජනතාවටත් හිමි විය යුතුය. මහජනතාවට විශේෂයෙන්ම ඒ ගෞරවය හිමිවිය යුත්තේ මහින්ද රාජපක්‍ෂ මහතාව පළමුවතාවට රටේ නායකත්වය දරන ඉහළම තනතුර වන ජනාධිපති ධූරයට පත් කිරීම නිසාය.

මේ වනවිට ශ්‍රී ලංකාවේ පිට පිටම මැතිවරණ පෝලිමක්‌ තබා ඡන්ද අපේක්‍ෂකයෝත්, රජයත්, මහජනතාවත් හොඳටම හෙම්බත් වී සිටිති. ඡන්ද අපේක්‍ෂකයෝ හෙම්බත්වී ඇත්තේ තමන් සතුව තිබූ අඩුම කෝටියකට ආසන්නව වැය කළ මුදල් ආපසු ලබාගන්නේ කෙසේද යන්න ගැන කල්පනා කරමිනි. පරාජිත වූවෝ ඊටත් වැඩිය හෙම්බත්වී ඇත්තේ තමන් ඡන්දය වෙනුවෙන් වැය කළ මුදල ඇමැතිකමක්‌ හෝ නියෝජ්‍ය ඇමතිකමක්‌ හෝ අඩුම මන්ත්‍රී තනතුරවත් නැතිව එම මුදල් ආපසු උපයා ගන්නේ කෙසේද යන්න කල්පනා කරමිනි. මහජනතාව මේ සැමටත් වැඩිය හෙම්බත්වී ඇත්තේ මේ වනවිටත් වැඩි වී ඇති පාන් මිල, ගෑස්‌ මිලත් ළඟ ඒමට නියමිත කිරිපිටි මිල වැඩිවේවි යන බිය ආදියත් නිසාය.

ජනාධිපතිවරයා මේ වනවිට සිය රජයේ අගමැතිවරයා සහ කැබිනට්‌ එක සහ අනෙකුත් නියෝජ්‍ය අමාත්‍යවරු පත්කර හමාරය. මෙය ඉතා භාරදූර කාර්යයකි. මන්ද සිය පක්‍ෂයෙන් පාර්ලිමේන්තු යන හැම මන්ත්‍රීවරයකුම ඇමැතිකමක්‌ හෝ නියෝජ්‍ය ඇමැතිකමක්‌ අපේක්‍ෂාවෙන් පාර්ලිමේන්තු යාමට ඉටා ගැනීමය. නවක මන්ත්‍රීවරු තමන් වැඩි මනාප ගත් නිසා ඇමැතිකමක්‌ ලැබේ යෑයි කල්පනා කරති. තව සමහරෙක්‌ හිටපු ඇමැති නිසා මෙවරත් ඇමැතිකමක්‌ ලැබේ යෑයි කල්පනා කළහ. තව සමහරෙක්‌ අප පක්‍ෂය රජයට සහයෝගය දක්‌වන නිසා ඇමැතිකම අපට දිය යුතුය යන ආකල්පයේ පසුවෙති. මීට අමතරව දිස්‌ත්‍රික්‌ක අනුව, ජාතීන් අනුව, පළාත් අනුව සීමිත ඇමැතිකම් ප්‍රමාණයක්‌ ප්‍රදානය කිරීමට යැමේදී සමහරෙක්‌ මූණු නරක්‌ කරගෙන හොස්‌ස එල්ලා ගනිති.

එක්‌තරා නියෝජ්‍ය ඇමැතිවරයෙක්‌ තමන්ට ලැබුණු ඇමැති ධුරයට කලකිරී සිය ආහාරය පවා ගත්තේ වෛරයෙන් බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබිණි. දේශපාලනයට යන අය දේශපාලනය කරන්නේ තමන්ට ආදරේකට නොව රටට ආදරේ නිසා බව ඔවුහු නිතර දිව මතුරති. රටට එය එසේ පෙන්වති. එසේ නම් තනතුරුවලින් ඵලක්‌ නැත. තනතුරු යනු ද නාම මාත්‍රික දේවල්ය. අප රෝස යෑයි හඳුන්වනු ලබන මල වෙනත් මලකින් හැඳින්වූවද එකම සුවඳ පතුරුවයි යනුවෙන් වල්පොල රාහුල හිමියන් බුදුන් වදාළ ධර්මයේදී සඳහන් කළ දෙය මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලුම දෙනාම සිහියට ගැනීම වටී.

රටක දියුණුවට ඒ රටේ නිරෝගිමත් හා බුද්ධිමත් ජනතාවක්‌ අත්‍යවශ්‍යයෙන්ම සිටිය යුතුය. මේ සම්පත් දෙකම රටකට මිල කළ නොහැකි ඉතාමත්ම වටිනා සම්පත්ය. ශ්‍රී ලංකාවේ මුළු ජනගහනය කෝටි දෙකක්‌ පමණය. එයින් ලක්‍ෂ 48 ක්‌ හෙවත් කෝටි භාගයක්‌ම (ළමයින් ඇතුළුව) සීනි අමාරුව හෙවත් "දියවැඩියා" රෝගයෙන් පෙළෙති. හඳුනා නොගත් රෝගවලින් දිනකට 400 ක්‌ පමණ මියයන බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ හඳුනා නොගත් රෝග ඒකකය පෙන්වා දෙන බව පසුගියදා ජාතික පුවත්පත්aවල පළවිය. වසරකට විසිදහසක්‌ පමණ දුම්පානය නිසා මියයන බව ද වාර්තා විය. මේ අතර අලුත්ම වාර්තාව වනුයේ ශ්‍රී ලංකාවේ ඇදුම රෝගීන් මිලියනයක්‌ හෙවත් දස ලක්‍ෂයක්‌ සිටින බවය. මීට අමතරව නිතර ඇතිවන ඩෙංගු හා වෙනත් බෝවන රෝගවලින් මිය යන පිරිස ද සුළුපටු නොවේ. උපන්නා වූ මිනිස්‌සු කෙසේ හෝ මරණයට පත්විය යුතුය. නමුත් මෙසේ අකාලේ ජාතිය රෝගීන් බවට පත් වී මිය යැම අතිශය ශෝචනීය තත්ත්වයකි. ඇරැත් එසේ මිය යන්නේ ජීවිතය ගැටගසා ගැනීමට දහසක්‌ දුක්‌ විඳිනවාට වඩා එසේ අකාලේ මිය යැම සැපයක්‌ යෑයි කල්පනා කරති.

නිරෝගි සම්පන්න හා බුද්ධිසම්පන්න ජාතියක්‌ නැති රට අයාලයේ යමින් අරාජිකත්වයට පත්වේ. පසුගිය රජයේ ජාතිය නිරෝගිමත් කරන සෞඛ්‍ය අමාත්‍යංශය භාරව කටයුතු කළේ ලෝක සෞඛ්‍ය සංගමයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා බවත් බුද්ධි සම්පන්න ජාතියක්‌ බිහිකිරීමේ අමාත්‍යංශය වන අධ්‍යාපන අමාත්‍යංශය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා බවත් රටම දනී. මේ අමාත්‍යංශ දෙකම ජරාජීර්ණවී අරාජික වූ බව අද ගම්බද ජනතාව පවා මැනවින් දනිති.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ වත්මන් මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතාට රටේ සෞඛ්‍ය තත්ත්වය ගොඩගැනීමට භාර දීමෙන් ජනපතිවරයා රටේ සෞඛ්‍ය තත්ත්වය යථා තත්ත්වයට ගැනීමට දරන උත්සාහය අවංක බව පෙනේ, හැබැයි සෞඛ්‍ය ඇමතිතුමනි, පොළොන්නරුව රෝහල ජාතික රෝහලක්‌ බවට පත් කිරීමෙන් පමණක්‌ වැටී ඇති රටේ සෞඛ්‍ය තත්ත්වය ගොඩගත නොහැකි බව සිහිපත් කරන්නෙමු. පසුගිය රජය සමයේ මහජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයත් "අන්තයටම සවුත්තු" බවට ජනතාවගෙන් අපවාද නැඟුණි. මේ තත්ත්වය දුරුකොට මහජන සෞඛ්‍ය සේවය යහපත් තත්ත්වයකට ගෙන ඒම නව සෞඛ්‍ය ඇමැතිවරයා සතු භාරධූර කාර්යයකි.

ජනාධිපතිවරයා කඩාවැටුණු අධ්‍යාපනය පුනරුත්ථාපනය කිරීමට බන්දුල ගුණවර්ධනයන් හා එස්‌. බී. දිසානායකයන් හට අධ්‍යාපන හා උසස්‌ අධ්‍යාපන ඇමැතිකම් පවරාදීමෙන් පෙනේ. විශේෂයෙන් දහය වසර සමත්ව උසස්‌ පෙළ අධ්‍යයනය කිරීමට නොහැකි වන හා උසස්‌ පෙළ අධ්‍යයනය කොට එම විභාගය සමත්වුවද විශ්වවිද්‍යාලවල පවතින අඩුපාඩුකම් නිසා සරසවි යා නොහැකිවීමෙන් රටට අවශ්‍ය බුද්ධිමතුන් බිහිවීම බිඳ වැටීම ඇතිවේ. යන්තමින් හෝ යමක්‌ කමක්‌ ඇති දෙමාපියෝ සිය ඉඩ කඩම්, කුඹුරු ආදිය උගස්‌ තබා හෝ ඉන්දියාව, රුසියාව, චීනය, බංගලාදේශය වැනි රටවලට උසස්‌ අධ්‍යාපනය සඳහා සිය දරුවන් යවන්නේ ඔවුනට සුබ අනාගතයක්‌ උදා කරනු පිණිසය.

ශ්‍රී ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරනවාට සරසවි සිසුහු හැමදාම අරගල කරන්නේ නිදහස්‌ අධ්‍යාපනය රැක ගැනීමට යෑයි පවසමිනි. නමුත් මෙයින් රටේ ජාතික ධනය විදේශයන්වලට ඇදීයාම ගැන හෝ උසස්‌පෙළ සමත් වුවද සරසවි යැමට නොහැකිව කඩපිල් ගානේ රස්‌තියාදු ගහන තරුණයන් ගැන හෝ ගෙදර කුස්‌සියට සීමාවන තරුණියන් ගැන විශ්ව විද්‍යාලවලට ඇතුළත්වන බුද්ධිමත් යෑයි සැලකෙන මේ තරුණ පිරිස නොසැලකීම සිය මන්ද බුද්ධික භාවය පෙන්නුම් කරන්නකි. ඔවුහු මෙසේ සරසවි වරම් නොලද අය ද තමන්ගේම සහෝදර සහෝදරියන් බව නොතැකීම කණගාටුදායකය. ජාතික විශ්වවිද්‍යාල යෑයි ද, නිදහස්‌ අධ්‍යාපනය රැකගත යුතු යෑයි ද කෑ මොර දෙන මොවුහු සරසවි ජීවිතයෙන් සමුගෙන හුදකලාවීමෙන් ගල් ගිලපු අය සේ මේ ගැන කතා නොකරති. උපාධියෙන් පසුව තමන් පමණක්‌ රැකියාවකට යා යුතු බවත් සරසවි වරම නොලැබූ අය කඩපිල් ගානේ හා කුස්‌සිවලට සීමා වී ඔවුන් අඳුරු ජීවිතයක කල් ගෙවිය යුතු බවත් සරසවි සිසුන් කල්පනා කරන්නේ නම් එය තම බෙල්ල සියතින් සිඳ ගැනීමකි.

ධනවත් පවුල්වල බොහෝ දරුවන් උසස්‌ පෙළ අසමත් වන නිසා මුදල් ගෙවා ඔවුනගේ දරුවන් පෞද්ගලික සරසවිවලට ඇතුළත්වීමට විරුද්ධවීම රජයේ සරසවිවල සිසුන් මෙසේ පුද්ගලික සරසවිවලට විරුද්ධවීමට තවත් හේතුවකි. නමුත් ලක්‌දිව ධනවත් පවුල්වල දරුවන් ඇමෙරිකාව, කැනඩාව හා එංගලන්තය ඇතුළු යුරෝපයේ හෝ ජපානය වැනි රටවලට ගොස්‌ උසස්‌ අධ්‍යාපනය ලබා සමහරු ඒ රටවලටම සේවයක්‌ කරති. සමහරු සිය රටට පැමිණ සේවයක්‌ කරති. මේ පිළිබඳව සරසවි සිසූහු කතා නොකරති. ඇරැත් ලක්‌දිව පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේදී එහි බොහෝවිට සිදුවනුයේ "පෞද්ගලික විශ්වවිද්‍යාල" යන නම පමණි. පුද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරන්නේ ඔය කෑ ගහන සරසවි සිසුන්ගේ ඉඩම්වල නොවේය. රජයේ ඉඩම්වලය. ඊට අයත් ගොඩනැඟිලි ඉදිකෙරෙනුයේ ද එම ශිෂ්‍යයන්ගේ මුදල් වලින් ද නොවේ. ඒවා ඉදි කෙරෙනුයේ ද රජයේ ආධාර ඇතිවය. බොහෝවිට ඒවායේ උගන්වනු ලබනුයේද ජාතික විශ්වවිද්‍යාලවල කථිකාචාර්යවරුම වෙති.

අද ලක්‌දිව ජාතික විශ්විද්‍යාල යනුවෙන් කතා කරන සරසවිවල වෙනස එම සිසුන්ට නොමිලේ අධ්‍යයනය කිරීමට ලැබීම පමණය.

ජර්මනිය ඇතුළු යුරෝපයේ සෑම සරසවියකම හැම සිසුවෙකුම ලියා පදිංචි ගාස්‌තුවට අමතරව සෑම අධ්‍යයන වාරයකටම මුදල් ගෙවිය යුතුය. මේ තත්ත්වය ලංකාවේ ද ඇති වුවහොත් ජාතික විශ්වවිද්‍යාලත් පුද්ගලික විශ්වවිද්‍යාලත් අතර වෙනසක්‌ ඇති නොවේ. එම නිසා ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම යුගයේ අවශ්‍යතාවයක්‌ බව හැම කෙනෙකුම තේරුම් ගත යුතුය. ඉන් රටට අත්‍යවශ්‍ය බුද්ධි සම්පන්න ජාතික වස්‌තුව නිෂ්පාදනය කෙරෙනු ඇත. එය විදේශීය ධනය ගලාගෙන ඒමේ උල්පතක්‌ ද විය හැකිය. දියුණුවන ජාතීන් අතර අත්වැල් බැඳගැනීමට පෞද්ගලික සරසවි බිහිවීම පිටිවහලක්‌ වනු ඇත. රට තුළ පෞද්ගලික සරසවි ඇති කිරීමට පාලකයන් තුළ කොන්දක්‌ තිබිය යුතු බව පසුගියදා උසස්‌ අධ්‍යාපන අමාත්‍ය එස්‌. බී. දිසානායක මැතිතුමා වැඩ භාරගැනීමේ අවස්‌ථාවේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නායක හාමුදුරුවන් වහන්සේ විසින් කරන ලද ප්‍රකාශය අතිශය කාලෝචිතය.

සරසවිවලට ඇතුළත් වන සිසුන් තමන් පමණක්‌ දක්‍ෂයන් ලෙසත් සරසවියට යැමට නොහැකි වූ අය අදක්‍ෂයන් ලෙසත් සලකන්නේ නම් එය ද මහා මෝඩකමකි. සරසවිවල පවතින ඉඩකඩ මඳකම නිසා සරසවියට යැමට නොහැකිව සිටින දක්‍ෂයෝ අපමණවත් සිටිති. සමහර ශිෂ්‍යයෝ කුඩා කල කිසි දිනෙක ළදරු පාසැල් ගොස්‌ නැත. දහම් පාසැල් ගොස්‌ නැත. පළමු වන ශ්‍රේණියේදී පන්තියේ 25 වැනියා පමණ වෙති. සාමාන්‍යපෙළ යාන්තමින් ගොඩ දාගත්තෝ වෙති. නමුත් උසස්‌ පෙළ ඉතා ඉහළින් සමත්ව විශ්වවිද්‍යාලවලට ඇතුළත්ව පසුව ඒවායෙහි මහාචාර්යවරුන් බවට පවා පත්වෙති. එසේම සමහර ශිෂ්‍යයෝ කුඩා කල ශිෂ්‍යත්ව විභාග ද සමත්ව, සාමාන්‍ය පෙළ ද අති විශිෂ්ට ලෙස සමත්ව උසස්‌ පෙළ සමත්වන නමුදු සරසවියට ඇතුළත්වීමට වරම් නොලබති. එහෙත් ඔවුහු අදක්‍ෂයන් ලෙස යන එන මං නැතිව නන්නත්තාර විය යුතු නැත. කවුරු කෙසේ හෝ ජාතික විශ්වවිද්‍යාලවලින් හෝ පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් බුද්ධිමතුන් බවට පත්වන්නේ නම් එය රටට වැඩදායක වන ජාතික සම්පතක්‌ බව අප අමතක කළ යුතු නොවේ. බුද්ධි සම්පන්න ජනතාවගේ වටිනාකම මැනවින් දන්නා ඇමෙරිකාව, කැනඩාව වැනි රටවල් ලෝකයේ කවර ජාතිකයකු වුවද සිය රටට ගෙන්වාගෙන ඇමෙරිකන් හෝ කැනේඩියන් පුරවැසිභාවය පිරිනමති.

කෙසේ වුවද සුබ අනාගතයකට කෙළින්ම දායක වන මේ වටිනා ඇමැතිකම් දෙක සුදුස්‌සන් දෙදෙනකුට ලබාදීමෙනුත් මේ අංශයන් දෙකෙහි නව පෙරළියක්‌ නොවී සෞඛ්‍ය සම්පන්න හා බුද්ධිසම්පන්න ජාතියක්‌ බිහි නොවුණොත් රටටත් ජනතාවටත් දෙවියන්ගේම පිහිටය. සමහර ඇමැතිවරුන්ට තමන් ළඟට ඉන්න නියෝජ්‍ය ඇමැතිවරු අල්ලන්නේ නැත. ඒ ගැන කණස්‌සල්ලෙන් පසුවෙති. තමන්ගේ අමාත්‍යංශ ලේකම්වරු ගැන හෝ සභාපති අධ්‍යක්‍ෂකවරු ගැන සෑහීමකට පත් නොවෙති. ලක්‌දිව බොහෝ ඇමැතිවරු දේශපාලන විද්‍යාව හෝ අර්ථ ශාස්‌ත්‍රය හෝ වෙනත් විෂයයනට අදාළව විශ්වවිද්‍යාල උපාධි ලත් අය නොවෙති. අප රටේ දේශපාලන පොරපිටියට ඇතුළත්වී පාර්ලිමේන්තුවට යෑමට අට සමත්වීමවත් අවශ්‍ය අධ්‍යාපන සුදුසුකමක්‌ නොවේ.

මේ නිසා ඇමැතිවරු පිටුපස සිට ක්‍රියාත්මක වන අමාත්‍යංශ ලේකම්වරු උපාධිධාරීන් හෝ රාජ්‍ය පරිපාලන ක්‍ෂේත්‍රයේ ඉහළටම ගිය නිලධරයෝ වෙති. ඔවුන් සිය අමාත්‍යංශයෙන් ඉටුවිය යුතු නොයෙකුත් සේවාවන් සඳහා ඉතා වටිනා යෝජනාවන් හා කෙටුම්පත් ගෙන ඒමේදී සමහර ඇමැතිවරු ඊට අකමැති වෙති. මීට හේතුව ලේකම් තුමන් විසින් ඉදිරිපත් කරනු ලබන වැඩපිළිවෙළ දියත් කිරීමෙන් එය සාර්ථක වුවහොත් එය ඇමැතිතුමාගේ අදහසක්‌ අනුව නොව ලේකම්ගේ අදහසක්‌ අනුව ක්‍රියාත්මක වූවක්‌ ලෙස පිළිගැනීමට ඇති අකැමැත්ත නිසාවෙනි. මේ වගේ මුග්ධ ඇමැතිවරු සමග වැඩ කිරීමට බැරි නිසා එබඳු ලේකම්වරු සිය රජකාරියට ද ආයුබෝවන් කියා ගෙදර ගිය අවස්‌ථා දක්‌නට ලැබේ.

කෙසේ හෝ දැන් ඇමැතිකම ලැබුණට පස්‌සේ බොහෝ අය නැකත් වේලාවන් සොයමින් කල්මැරීමද, පෞද්ගලිකව හා අමාත්‍යංශ මට්‌ටමින් උත්සව, පාටි ආදිය දැමීමට ද ඉන්පසුව මහා නාහිමිවරු බැහැදැකීමට ද, දළදා මාළිගාවට, ජය ශ්‍රී මහාබෝධීන් වහන්සේට හා කතරගමට මැතිවරණයට පෙර වෙච්ච බාර හාර ඔප්පු කිරීමට ද මාස දෙක තුනක කාලයක්‌ ගනිති. අනතුරුව කාර්යාල අලුත්වැඩියා කරගැනීම, උපකරණ සපයා ගැනීම, මිලියන ගණන් වියදම්කොට ෆොටෝ ගසාගෙන එල්ලා ගැනීම, සේවක සේවිකා ස්‌ථාන මාරුවීම්කොට තමන්ට හිතැති අය ළං කරගැනීම, තම කටයුතු සඳහා හා ව්‍යාපෘති සඳහා සැලසුම් සකසා ගැනීම ආදිය අවසන් වනවිට තවත් මාස කීපයක්‌ හෝ අවුරුද්දක්‌ පමණ ගත වේවි. ඊළඟ අවුරුදු දෙකේදී ප්‍රාදේශීය සභා, පළාත් සභා. නගර සභා ආදී මැතිවරණ සඳහා යහමින් වැඩකිරීමට කාලය මැරීමට ඔවුනට සිදුවේ. ටිකක්‌ වැඩ කොට සිව්වන වසර එළැඹීමත් සමග නැවත මහ ඡන්දයකට පොරකෑමට සිදුවේ.

දැන් ජනතාවගේ පැත්තෙන් යුතුකම ඉටුවී ඇත. ජනපතිවරයාගේ පැත්තෙන් ද තනතුරු ලබාදීමෙන් යුතුකම් ඉටු වී ඇත. වත්මන් රජයට, විපක්‍ෂයට හෝ ජනතාවට දොස්‌ නඟමින් ඇඟිල්ල දික්‌ කළ නොහැකිය. රජයට විරුද්ධව ඇඟිල්ල දිග් නොකරන තැනට රජයේ ඇමැතිවරු වැඩ කළහොත් හැම කෙනෙකුටම කට උත්තර නැතිවේවි. එසේ නැතිව හැරෙනකොටම කාලය ඉවර වුණොත් "අන්තිමට ගහපු බෙරේකුත් නැහැ, බෙරේ පලුවකුත් නැහැ" යන්න ඇමැතිවරුනට කෙසේ වුවත් රජය පත් කළ ජනතාවටම වැඩි කල් යන්නට මත්තෙන් කීමට සිදුවනු ඇත. එයම අනාගත විපක්‍ෂය බලයට පත්ව නව රජයක්‌ පිහිටුවීමට හේතු වනු ඇත. 1977 දී පැවති මහමැතිවරණයේදී එක්‌සත් ජාතික පක්‍ෂය 5/6 ක බලයක්‌ ලබාගත් විට පැවැති ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ රජයට හැකි වූයේ ආසන 8 ක්‌ පමණක්‌ ලබා ගැනීමට බව අමතක කළ යුතු නොවේ. ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායක ඒ. අමිර්තලිංගම් මහතා ඒ හේතුවෙන්ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්‍ෂ නායකයා බවට ද පත්විය.

ශාස්‌ත්‍රපති
රුඹුක්‌වැල්ලේ දේවානන්ද හිමි
බර්ලින් - ජර්මනිය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.